වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ සිනමා උළෙල සිනමාවට වගේම සමාජයටත් වැදගත්

කොළඹ සිනමා උළෙල සිනමාවට වගේම සමාජයටත් වැදගත්

උළෙලේ අධ්‍යක්ෂ - අශෝක හඳගම

මෙරට සිනමා ඉතිහාසයේ පැවැත්වෙන දැවැන්ත සැණකෙළිය කොළඹ අන්තර් ජාතික සිනමා උළෙලය. එය ලබන 2 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත් වේ. මේ එම උළෙල අරභයා එහි අධ්‍යක්ෂ ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම සමඟ කරන ලද සාකච්ඡාවකි.

* අන්තර් ජාතික සිනමා උළෙලක් හඳුන්වන්නේ කොහොමද?

අන්තර්ජාතික සිනමා උළෙලක් රටක හරියට කළොත් රටක සිනමාව විතරක් නොවෙයි තව බොහෝ දේ සඳහා බලපෑම් කළ හැකි ශක්තියක් තියෙන දෙයක්. උදාහරණයක් හැටියට ගත්තොත් සිනමා උළෙලක් පැවැත්වීමේ තියෙන ප්‍රතිලාභ සහ එයින් ලැබෙන දේ සිනමාවට විතරක් අදාල කාරණාවන්ට සීමා වෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් තමයි සිනමා උළෙලක් වැදගත් වෙන්නේ. උදාහරණයක් හැටියට කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලක් පවත්වන්න යෙදීම සැළකුවහොත් කොළඹ කේන්ද්‍රය සමඟ හැදිල තියෙන නම, ප්‍රතිරූපය ආදී සියලු දේ සමඟ ගත්තාම ප්‍රංශයේ කාන් සිනමා උළෙල වැනි එකක් සමඟ සැසඳුවහොත් කොහොම දෙයක් වෙයිද? සිනමා උළෙලක් කියන්නේ චිත්‍රපට විතරක් පෙන්වන එයටම සීමා වූවක් නෙවෙයි. මීට පෙර අපේ රටේ චිත්‍රපට උළෙලවල් තිබුණානේ. 70 දශකයේ පටන්ම අන්තර්ජාතික සිනමා උළෙල පැවැත් වුවත් ඒවා අන්තර්ජාතික මට්ටමෙන්ම පවත්වන්නට නොහැකි වූ බවයි මගේ විශ්වාසය. ඒ නිසා තමයි එයට ලොකු බලපෑමක් කරන්න නොහැකි වුණේ.

දැන් අපි මේ චිත්‍රපට උළෙල පටන් ගත්තේ එහෙම තවත් එක චිත්‍රපට උළෙලක් කරන්න නෙවෙයි. අපේ සිනමාවට වගේම සමාජයටත් කිසියම් විදියක බලපෑමක් ඇති කරන්න පුළුවන් පරිමාණයෙන් එය සිදු කිරීමයි අපේ උත්සාහය. එය තමයි අභියෝගය. එය ඇත්තටම අමාරු දෙයක්. එහි තියෙන බලපෑම කෙනෙකුට පරිකල්පනය කර ගන්න බැහැ. එවැනි තත්ත්වයක් තුළ මේ වෙනුවෙන් දායක වන පිරිසේ අඩුවක් මුලින් තිබුණා. රජය පවා පසුගිය වසරේ මෙය සංවිධානයට සූදානම් වුණත් ආරම්භ නොකළේ මුදල් නොමැතිකම නිසා නෙවෙයි. බොහෝ පිරිස් එහි වටිනාකම තේරුම් නොගැනීම පිළිබඳ ගැටළුවයි. ඒ නිසා තමයි සංවිධානය නොකළේ. එනිසයි සිනමාකරුවන් විදියට මෙය අපි පටන් ගත යුතුයි, ආරම්භ කර පෙන්විය යුතුයි කියන තැනට ආවේ.

වාසනාවකට මේ වෙනුවෙන් වූ පිරිවැය අපට ජපානයේ ඔකිනාවා චිත්‍රපට උළෙලින් ලැබුණා. ඒ නිසා චිත්‍රපට ගෙනත් ප්‍රදර්ශනයට මුදල් දැන් අපි ළඟ තියෙනවා. දැන් අපිට අඩිය ගහගන්න තැනක් ලැබුණා. අඩිය තියන්න තැනක් ලැබුණු නිසා ඉදිරියට ඒ තැන ලොකු කර ගන්න පුළුවන් වුණා. රීගල් සිනමා ශාලාව, මැජෙස්ටික් සිනමා ශාලාව,චිත්‍රපට සංස්ථාව අපි වෙන් කර ගත්තා. මුදල් ගෙවීමේ බලාපොරොත්තුව ඇතිව අපි මේ ශාලා වෙන් කළත් ඔවුන් නොමිළයේ එය ලබා දුන්නා. ඒ දායකත්වය විශාලයි. කිංග්ස්බරි හෝටලය සමඟ අමුත්තන්ගේ නවාතැන් ගැන කතා කළා. ඔවුන් එයට ඉදිරිපත් වුණා. නමුත් දැන් තවත් පිරිස් අපෙන් විවිධ කටයුතු පිළිබඳ විමසනවා. මුලදී එහෙම නොවුණේ මේ කටයුත්ත පිළිබඳ නිවැරැදි අවබෝධයක් නොවූ නිසයි.

දැන් අපට මේ චිත්‍රපට උළෙල පෙන්විය හැකි තත්ත්වය උදා වෙලා තියෙනවා. ඒ වගේමයි රීගල් සිනමා ශාලාවට චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න බැරිකමක් තිබුණා. එය තමයි අපේ රටේ ප්‍රධානතම වගේම පැරැණිම සිනමා ශාලාව. ආරම්භක උළෙලේදී එහි ඩිජිටල් චිත්‍රපටයක් තිරගත කරන්න බැරි වුණාම එය අපට ලොකු ගැටළුවක්. මොකද අලුත් චිත්‍රපට නිෂ්පාදනය කෙරෙන්නේ ඩිජිටල් තාක්ෂණයෙන්. රීගල් සිනමා ශාලාව ඩිජිටල්කරණය කිරීමේ සූදානම තිබුණේ ලබන වසරේ පෙබරවාරි මාසයේදීයි. එය අපට ලොකු ගැටළුවක් වුණා. මිලිමීටර් 35 පටියකින් අපි කොහොමද මෙය ආරම්භ කරන්නේ කියලා. නමුත් රිගල් සිනමා ශාලාව මාසයක කාලයක් වහලා නවීකරණය කරන්න සිලෝන් තියටර්ස් සමාගම තීරණය කළා. ඒ බලපෑම ඇති වුණේ මේ චිත්‍රපට උළෙල පවත්වන්න යෙදුණු අදහස නිසයි. මේ පිළිබඳ විශ්වාසය ගොඩ නැඟුණේ ඒ ආකාරයටයි. එය මේ වන විට සාර්ථක අයුරින් සිදු වෙමින් පවතිනවා. මෙය මේ අන්දමින් වසර පහක් කරගෙන යාමට හැකි වුණොත් මෙරට සිනමාවේ, සිනමා සංස්කෘතික තත්ත්වය දක්වා විශාල බලපෑමක් වේවි.

* එතකොට සිනමා පරම්පරා ගණනාවක සිහිනය සැබෑ කර දුන් අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මේ සඳහා එක් වුණේ කොහොමද?

එහි මූලිකම දෙය තමයි සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංවිධානයක් අපිට බිහිකර ගැනීමට හැකි වීම. ඒ හරහා ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම කොටස් එක තැනකට ගන්න හැකියාව ලැබුණා. සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංවිධානය වුණත් අනෙකුත් සිනමා ශිල්පීන් මෙහි සිටිනවා. එබැවින් අද මෙරට චිත්‍රපට ක්ෂේත්‍රය සංවිධානාත්මකව ශක්තිමත් තැනක ඉන්නවා. මීට පෙර එවැනි සංවිධානයක් අපිට තිබුණේ නැහැ. ඒ එකමුතුව අද අපිට තියෙනවා. එයට සමාන්තරව මෙලෙස චිත්‍රපට උළෙලක් පැවැත්වීමේ වැදගත්කම සහ එහි ඇති ආර්ථික ප්‍රයෝජනය පිළිබඳ අවධානය යොමු වෙලා තිබෙනවා. ඔය අතරතුර ටෝකියෝ චිත්‍රපට උළෙලේ කළ සාකච්ඡාවකදී මේ අදහස මා සඳහන් කළේ. ඒ අනුව තමයි මෙය ආරම්භ කරන්න අවස්ථාව ලැබුණේ. එය පුවත්පතක පල වූ පසු ඔකිනාවා උළෙලේ සංවිධායකයන් කිසි දැන හැඳුනුම්කමක් නැතුව අපට මේ වෙනුවෙන් මුදල් ලබා දුන්නා. එහි වටිනාකම ඔවුන් හඳුනා ගත් නිසයි අපට ඒ අවස්ථාව ලැබුණේ. ජපානය කෙළවරේ ඇති ඔකිනාවා නගරයක ඔවුන් සිනමා උළෙලක් පවත්වන්න හිත දුන් යම් කාරණාවක් ඇති. මේ පිළිබඳත් එවැනි වූ වැදගත්කමක් ඔවුන් තේරුම් ගත් නිසා මේ අයුරින් අපට චිත්‍රපට උළෙලක් ආරම්භ කරන්න හැකියාව ලැබුණේ. ඒ අඩිතාලම මත සිටිමින් අපි දැන් මේ ජාත්‍යන්තර සිනමා උළෙල ආරම්භ කරන්න සූදානම් වෙනවා.

* මොන වගේ බාධාවන් ද මේ කටයුත්තේදී මුහුණ දෙන්න සිදු වුණේ?

ලොකුම බාධාව වුණේ මෙහි වටිනාකම අනිත් අය හට ඒත්තු ගන්වන්න අපහසු වීම. අපි දැන් හොඳින්ම දන්නවා දෙවැනි අවුරුද්ද වන විට ඒ අපහසුව නැති වන බව එවිට අපිට පෙන්වන්න දෙයක් තියෙන නිසා. අත්දැකීම් නොමැති නිසා දැන් අපිට එය පෙන්වන්න අපහසුතාවය තියෙන්නේ. එය තමයි තියෙන එකම ගැටළුව.

* මෙරට පැවැති සිනමා උත්සව අප දුටුවා. එහෙත් වසර විස්සකට පමණ පෙර සිනමාහලකට ගොඩ වන්න තිබූ ප්‍රේක්ෂක උනන්දුව දැන් හීන වෙන වගක් පේනවා. ඒ අභියෝගය ජය ගන්නේ කෙසේද?

ඒකට තමයි ඇත්තටම ජනමාධ්‍යවල අවශ්‍යතාවය තියෙන්නේ. මේ පණිවුඩය ගෙන යන්නේ, මේක කොහොමද පැෂන් එකක් කර ගන්නේ, චිත්‍රපට උත්සවයකදී ඒක කොහොමද ස්ටයිල් එකක් කර ගන්නේ කියන එක. මේ අභියෝගය ජය ගන්න පුළුවන් වුණොත් පළමු අවුරුද්දේ ශාලා උතුරන්න සෙනඟ හිටියොත් එතැනින් එහාට මේක ඉබේම සිදු වෙනවා. ඒක වළක්වන්න බැහැ. එය තමයි ප්‍රධාන අභියෝගය. අනිකුත් අභියෝග අපි ජයගෙන තියෙනවා. අපිට දැන් සිනමා උළෙල කරගන්න පුළුවන්කම ඇති වෙලා තියෙනවා. අපිට ලෝකයේ තියෙන හොඳම චිත්‍රපට හමු වෙලා තියෙනවා. සිනමාකරුවන් මෙරටට ගෙන්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ආශ්‍රිතව වැඩමුළු ආදි විවිධ දේ සංවිධානය කර ගන්න හැකි වෙලා තියෙනවා. අඩුව තියෙන්නේ නරඹන්න මිනිසුන් තමයි. සියලු වියදම් දරා මෙය අපි පෙන්වන්නේ නොමිලයේ.

* කුමන රටවලින් මොන වගේ චිත්‍රපට ද මෙය නියෝජනය කරන්නේ?

චිත්‍රපට 102 දැනට ලැයිස්තු ගතවෙලා තියෙනවා. රටවල් 35 ක් පමණ මෙම ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරන්න නියමිතයි. ඒ වගේම මෙහි විවිධ අංශ තිබෙනවා. ළමා චිත්‍රපට අංශය, ප්‍රත්‍යවලෝකන සිනමා අංශය, නව ස්පාඤ්ඤ කාන්තා සිනමා අංශය ආදී වශයෙන්.

* රැඟුම් පාලක මණ්ඩලයෙන් මේ චිත්‍රපට සම්බන්ධව ලැබුණු ප්‍රතිචාර මොන වාගේද?

කිසිම චිත්‍රපටයක් වාරණයට ලක් වුණේ නැහැ. ඇත්තටම ඉතා හොඳ ප්‍රතිචාර ඔවුන් ලබා දුන්නා. ඔවුන් සියලුම චිත්‍රපට අනුමත කර වර්ගීකරණයකට ලක් කිරීමයි සිදු කළේ.

* අධ්‍යක්ෂවරුන්ගේ සංසදය භාවිතයේදී කොහොමද එහි සිටින බොහෝ දෙනාට මෙහි වටිනාකම අවබෝධ කර දෙන්නේ?0

බොහෝ දෙනා අද සිනමාව ගැන බලාපොරොත්තු අතහැර සිටින තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ වන විට කිහිප දෙනෙක් පමණයි ක්‍රියාකාරී ලෙසින් ක්ෂේත්‍රයේ නිරතව සිටින්නේ. සිනමාව පිළිබඳ යහපත් බලාපොරොත්තුවක් සිනමා ක්ෂේත්‍රයේ අය තුළ ඇති කිරීමයි මූලිකව කළ යුතුව තියෙන්නේ. මේ එයට හොඳම මාර්ගයයි

* මේ සඳහා ඇතුළත් ලංකාවේ චිත්‍රපට මොනවාද?

ධර්මසේන පතිරාජගේ ‘ස්වරූප’, නිලේන්ද්‍ර දේශප්‍රියගේ ‘තණ්හා රති රඟා’, උදය ධර්මවර්ධනගේ Miles of a Dream, උදාර අබේසුන්දරගේ සෙවණැලි, ප්‍රසන්න ජයකොඩිගේ 28 යන චිත්‍රපට මෙය නියෝජනය කරන්න නියමිතයි. අපි තෝරා ගත්තේ තිරගත නොකළ චිත්‍රපට.

* පොදුවේ චිත්‍රපට කර්මාන්තය සැළකීමේදී අනෙක් ශිල්පින් තුළ මේ සම්බන්ධ ප්‍රබෝධයක් තියෙනවාද?

අපි ඒත්තු ගන්වන්න හදන්නෙත් මෙය අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ හෝ කිහිප දෙනෙකුගේ උවමනාවට කරන දෙයක් නොවෙන බවයි. අපගේ ප්‍රධාන අරමුණත් කොහොමද ඔවුන් තුළ ප්‍රබෝධයක් ඇති කරන්නේ කියන එකයි. එහෙත් කරගෙන යන විට ඒ හැමෝගේම තුළ උනන්දුවක් ඇති බව අපට පෙනෙනවා. නවකයන් තුළ මේ පිළිබඳ ලොකු උනන්දුවක් අපි දැන් දකිනවා. අපට අවශ්‍ය වන්නේත් එයයි.

* පසුගිය කාලය පුරවටම කොළඹ නවීකරණය කිරීමේ කටයුතු සිදු කෙරුණා. මේ තුළ සිනමාවේ ක්‍රියාකාරකම් කොහොමද සිදු වෙන්නේ?

ලංකාවේ සංවර්ධන වැඩ පිළිවෙලේ තියෙන එක දෙයක් මූලික පොදු පහසුකම් ඇති කිරිම. එය හරිම වැදගත්. ඒ අතරතුර මෙය සංස්කෘතික නගරයක් වීමට නම් ඒ ආශ්‍රිත දේ ගොඩනැංවිය යුතුයි. උදාහරණයක් විදියට ඩුබායි නගරය ගත්තොත් එය විශාල වෙළෙඳ නගරයක්. එහි වෙළෙඳ කටයුතු පමණක්ම සිද්ධ වුණොත් එයට ආත්මයක් නැහැ. එයට ආත්මයක් දිය යුතුයි. ආත්මයක් දෙන්න ඔවුන් බොහෝ දේ නිර්මාණය කර තියෙනවා. ඩුබායි චිත්‍රපට උළෙල, කලා උළෙලවල් ආදී දේ ඔවුන් සංවිධානය කරනවා. නැත්නම් එයට පණක් නැහැ. සිංගප්පූරුව දියුණු වුණාට කලාව හැදුණේ නැහැ. දැන් කලාව බලෙන් නිර්මාණය කරනවා. ඒ වගේ තමයි ගොඩනැඟිලි ඉදිවෙලා, වාහන තිබුණාට මිනිසුන්ට දැනෙනවා එතැන ජීවිතය නැහැ කියලා. ඒ ජීවිතය දෙන්න තමයි එතැනට කලාව අවශ්‍ය වෙන්නේ. එයයි අපි තවමත් තේරුම් අරගෙන නැත්තේ. මං හිතනවා ඉදිරියට එය තේරුම් ගනීවි කියලා.

අපි නිකම්ම විනෝදය පසුපස හඹා යනවා විතරයි. විනෝදය නෙවෙයි ජීවිතය. ජීවිතය කියන්නේ වින්දනය. වින්දනය කියන එක විමෝදයට වඩා වෙනස්. වින්දනය දෙන්න පුළුවවන් වෙන්නේ මේ වගේ කලා කටයුතුවලින්. ඒ නිසා මෙවැනි සිනමා උත්සව ඇති විය යුතුයි. මේ සිනමා උළෙල හා සමගාමීව තමයි ලක්ෂ්මන් ජෝෂප් ද සේරම් ගේ සජීව සංගීත ප්‍රසංගය පැවැත් වෙන්නේ. සිනමාවේ සම්භාව්‍ය සංගීතය කොහොමද භාවිත වෙලා තියෙන්නේ කියන එක එහිදී පෙන්වන්න පුළුවන්. මොසාද්, බීතෝවන් ආදීන්ගේ සංගීතය කෙහොමද චිත්‍රපට තුළට ඇවිත් තියෙන්නේ කියන එක වගේම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත නිර්මාණත් එදින වාදනය කරන්න නියමිතයි. මෙය හා බැඳුණු තවත් විවිධ දේ අඩංගුයි. ලංකාවේ සිනමා ඉතිහාසය පිළිබඳ ප්‍රදර්ශනයක් පවත්වන්නත් නියමිතයි.

* මෙම සිනමා උළෙලෙන් අත්විඳින එක් ප්‍රායෝගික ගැටළුවක් තමයි ලංකාවේ සිනමා ශාලා එකිනෙක තරමක් දුරින් පිහිටා තිබීම. මේ තත්ත්වය විසඳා ගන්න කොහොමද කටයුතු යොදා ගෙන තියෙන්නේ?

එහි අවාසියක් වගේම වාසියකුත් තියෙනවා. අවාසිය තමයි තැන් තැන්වලට යන්න සිදුවීම. ඩුබායි සිනමා උළෙල පැවැත්වෙන්නේ සිනමා සංකීර්ණයක් ඇතුළේ. එහි සිනමා ශාලා දහසයකදී විතර චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනවා. අපට එවැනි පහසුකම් නැහැ. ඒ නිසා අපි මේ ශාලා හතර අතර පළාතම එකක් බවට නිර්මාණය කරන්න වෙහෙසුනා. එයට විශාල මුදලක් වැය වෙනවා. ඒක තමයි මම මුලින් සඳහන් කළේ. අපේ හීනය ගොඩක් ලොකුයි. ඒ හීනය සම්පූර්ණයෙන් දකින්න බැරි වුණත් එහි කොටසක් හරි දකිනවා කියන එකයි අපේ පරමාර්ථය. මෙය එක පළාතක් ලෙසින් සිනමා ගම්මානයක් බවට පත් කර බේරා ගන්න පුළුවන්. යම්තාක් දුරකට අපි එය කරන්න බලාපොරොත්තු වෙනවා.

* රාජ්‍ය මට්ටමෙන් ලැබෙන සහයෝගය ගැන සඳහන් කළොත්?

අපි මහා දේවල් ඉල්ලුවේ නැහැ. ජනමාධ්‍ය අමාත්‍යාංශය මුල ඉඳලම සහාය පළ කළා. එමෙන්ම චිත්‍රපට සංස්ථාවත් ශාලා ලබාදීමේදී පහසුකම් සපයා තිබෙනවා.

* මෙහි තරඟකාරී අංශයක් පැවැත්වීමේ අදහසක් මුලින් පළ වී තිබුණා?

අපිට තරඟකාරී අංශය හඳුන්වා දෙන්න බැරි වෙලා තියෙන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් තවම මේ පිළිබඳ දැනුවත් නොමැතිවීමයි. මෙය ප්‍රථම උළෙල නිසා අපට විවෘත ආරාධනා පත්‍ර දෙන්න බැහැ. එය තවත් ප්‍රසිද්ධ විය යුතුයි. එය ලබන අවුරුද්දේ සිට අපට කැඳවන්න පුළුවන්. එහි මුල් පියවර ලෙස අපි ඉන්දියානු සාගර කලාපයේ තරඟයක් විදියට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර සිනමා ජූරියක් පවා පත් කර ගත යුතුයි.

* මේ සඳහා ඇති ජාත්‍යන්තර පිළිගැනීම මොන වගේද?

මේ උළෙල ජාත්‍යන්තර සිනමා උළෙල අතරේ ලියා පදිංචි වුණාට පසුවයි ශ්‍රේණිගත කිරීම ලැබෙන්නේ. එය පවත්වන තත්ත්වය අනුව ශ්‍රේණිගත කිරීමට ලක් කෙරෙනවා.

* එම ශ්‍රේණිගත කිරීම සිදු කරන්නේ කවුරුන් විසින්ද?

ඒ වෙනුවෙන් වෙනමම සංවිධානයක් තියෙනවා.

* අද වන විට ආසියානු කලාපයේ ඉන්දියාව වැනි රටවල බොහෝ සිනමා උළෙලවල් පැවැත්වෙනවා. ඒවායින් බොහොමයක නිසි ප්‍රමිතියක් නැහැ. අපට එහෙම නොවී යම් මට්ටමක ප්‍රමිතියක් පෙන්වන්න හැකි තත්ත්වයක් තියෙනවාද?

එය තමයි තියෙන ලොකුම අභියෝගය. මෙය අපි වසර පහක්වත් පවත්වාගෙන යා යුතුයි. එමෙන්ම අඛණ්ඩව පවතින සිනමා උළෙලක් විය යුතු වෙනවා. එවිටයි ඒ සඳහා පිළිගැනීමක් ලැබෙන්නේ. ඒ වගේම සිනමාවේ වටිනා චරිත ඒ සිනමා උළෙල නියෝජනය කිරිමත් වැදගත්. උදාහරණයක් හැටියට කාලෝස් රෙගදාස් මෙහි පැමිණීම. ඒක ලොකු දෙයක්. හේතුව ඔහු සමහර අවස්ථාවල කාන් සිනමා උළෙලටවත් සහභාගි වෙන්නේ නැහැ. නමුත් ඔහු මෙහි පැමිණ සිනමා වැඩමුළුත් පවත්වනවා. රෙගදාස් අපේ ආරාධනාව පිළිගැනීම පමණක් නොව වැඩමුළුත් පැවැත්වීමත් අතිශය වැදගත්.

* සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී මෙම සිනමා උළෙල පවත්වන්නට ද බලාපොරාත්තු වෙන්නේ?

පළමු උළෙල මේ වසරේ සැප්තැම්බර් මස පැවැත්වුවත් මීළඟ වසරේ සිට එය ජූලි මාසයේදී පමණ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. එය තවම සාකච්ඡා වෙමින් තියෙන්නේ.

* මෙවර උළෙලට සහභාගි වන විදෙස් සිනමා ශිල්පීන් කිහිප දෙනෙකු සඳහන් කළොත්?

මේ සඳහා ලෝක ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂවරුන් ඇතුළුව සිනමාකරුවන් රාශිියක් සහභාගි වෙන්න නියමිතව සිටිනවා. ඒ අතර මෙක්සිකෝ ජාතික අධ්‍යක්ෂ කාලෝස් රෙගදාස්, ඊශ්‍රායල් ජාතික අධ්‍යක්ෂ ටොම් ෂොවල්, සපාඤ්ඤ ජාතික අධ්‍යක්ෂ ලුයිස් ලෝපස් කැරැස්කෝ, සිංගප්පූරු ජාතික අධ්‍යක්ෂ කාන් ලුමේ, පාකිස්ථාන ජාතික අධ්‍යක්ෂ ෆර්ජාඩ් නබී, ඉරාන ජාතික අධ්‍යක්ෂ රේසා ඩොර්මි ෂියන්, ඉතාලි ජාතික අධ්‍යක්ෂ උබෙර්තෝ පැසොලිනි, තායිලන්ත ජාතික අධ්‍යක්ෂ සමනාර්ත් කන්ජනාවනිත්, ඉන්දියානු ජාතික නළු ගීතාංජලි තාපා, කැමරා ශිල්පී රාජීව් රවී, අධ්‍යක්ෂ ගීතු මෝහන්දාස්, අධ්‍යක්ෂ අවිනාශ් අරුන්, නළු ධිරිතිමන් චෙත්‍රජි ඇතුළු තවත් චිත්‍රපට අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු සහ සංස්කරණ ශිල්පීන් රැසක් සහභාගි වීට නියමිතයි.