|
|
මම ඉතිහාසයට අයිති මිනිහෙක් ඇහැළේපොළ අදිකාරම් සමඟ කතාබහක්
අනුර ධර්මසිරිවර්ධන
අනුර ධර්මසිරිවර්ධන නම් වන ඔහු අපට මෑතකාලීනව මුණ ගැසුණේ රිදී තිරයෙන් පමණි. එහෙත් ඔහු කාලයක් වේදිකාවේ සක්‍රීයව සිටි රංගන ශිල්පියෙකි. කාලයාගේ ඇවෑමෙන් රංගන කටයුතුවලින් ඈත් වූ අනුර යළිත් රිදී තිරයට පිවිසෙන්නේ වියපත් බඹරා සිනමා සිතුවමෙනි. අනතුරුව විජය කුවේණි, පරපුර, මහරජ ගැමුණු ආදී සිනමාපටයන් රංගනයෙන් හැඩ කළ ඔහු මේ වන විට කතාබහට ලක්වන අයකු බවට පත් වී ඇත්තේ ඇහැළේපොළ අදිකාරම් චරිතය නිසායි.
අනුර කොහොමද ඔබට ඇහැළේපොළ අදිකාරම් හා ජිවත්වීම දැනුණේ? මං හිතනවා මං වර්තමානයට අයිති සිංහලයෙක් නෙවෙයි කියලා. මාව අයිති අතීතයටයි. මගේ හඬ මගේ දේහ ලක්ෂණ දැකපු අධ්‍යක්ෂවරු වැඩි දෙනෙක් එහෙම කියලා තියෙනවා. මට ඇහැළේපොළ අදිකාරම්ගේ චරිතයට සුගත් සමරකෝන් මහත්මයා කතා කළාම මං පුදුම වුණේ නැහැ. මටම හිමි වෙන්න ඕනෑ චරිතයක් කියලයි මට දැනුණේ. මං ඇහැළේපොළ අදිකාරම් ගැන අධ්‍යයනය කළා. ඔහුගේ ජනප්‍රවාද සෝදිසි කෙරුවා. එතෙන්දි මට හමුවුණු තොරතුරක් තමයි ඔහුට පුදුමාකාර ජන රැල්ලක් තිබුණා කියන එක. ඔහු හරිම ආකර්ෂණීය පුද්ගලයෙක්. එතුමාණන් පැවසූ දේ ජනතාව පිළිගත්තා. ඔහු රජුගේ ආහාර ගබඩාව ධාන්‍ය සහල්වලින් පිරෙව්වා. ඔහුගේ බල ප්‍රදේශය දියුණු කළා. අන්න ඒවගේ කෙනෙක් තමයි ඇහැළේපොළ අදිකාරම් කියන්නේ. මං ඒ ගතිගුණ ආරූඪ කරගෙන රඟපෑවා. චිත්‍රපටය නරඹපු පිරිස හරිම ආදරණීය ප්‍රතිචාර දක්වනවා. ඇතැම් අය කියනවා මා තුළින් ඇහැළේපොළ අදිකාරම්තුමාව දැක්කා කියලා.
ඔබ එතුමාණන්ගේ සැබෑ රූපයක් දැකලා තියෙනවාද? ඔව්. මං හිතන්නේ ඒක ඔහුගේ රුව ඇඳි සිතුවමක්. ඒ ස්වරූපයට මගේ මුණ මං වෙනස් කරගත්තා.
සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙකෙහිම ඔබ ප්‍රධාන චරිත මැව්වා. ඔබ හා අධ්‍යක්ෂවරයා අතර ඇති හිතමිත්‍රකම පැවසුවොත්? මේ වෙලාවේ වැඩි දෙනෙක් නොදන්නා කතාවක් මං කියන්නම්. මේ සංවාදය ආරම්භයේ ඔබ සඳහන් කළානෙ මං වේදිකාවේ හිටියා කියලා. අසූ ගණන්වල සුගත්ගේ ජනප්‍රියම නාට්‍යයක් තිබුණා මතකද උතුරේ රාහුල හිමි කියලා. එහි හැන්ඩි දොස්තරගේ චරිතය රඟපෑවේ මම. එහි දර්ශන වාර දාහක් පමණ අපි වේදිකා ගත කළා. සුගත්ගෙයි මගෙයි ඉතිහාසය එච්චර කාලයකට දිව යන එකක්. සමහරු හිතනවා මා ඔහුව හඳුනා ගත්තේ ඊයේ පෙරේදා කියලා. අපි දෙන්නා අතර තියෙන ඉතිහාසගත මිත්‍රකම නිසයි ඔහු මට මෙවන් වූ චරිත ලබා දෙන්නේ.
පාසල් යන කාලේ ඉඳලා රංගනයට තද ඇල්මක් තිබුණා. ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් මං සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාගේ කලා ආයතනයට බැඳුණා. එතුමාණන් තමයි මාව මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට ගෙනෙන්නේ. ඊට පසුව ගල්හේන කියලා නිෂ්පාදක මහත්මයකුගේ ගෙදරදී සුගත්ව හමු වුණා. ඔහු මං අර කිව්ව නාට්‍යයට ගත්තා මගේ පෙනුම දැකලා.
මං අහලා තියෙන විදියට හැන්ඩි දොස්තර චරිතය ලියවිලා තියෙන්නේ අප රටේ හිටපු ජනකාන්තම නළුවාගේ ජීවිතය ඇසුරෙන්. ඔබ ඔහුව අනුකරණය කළා? ඔව්. එතකොට ඔහු අප අතරින් සමුගෙන. හැබැයි එම නළුවාට ලැබුණු ජනප්‍රසාදයෙන් කොටසක් මටත් හිමි වුණා. ඇතැම් ජනප්‍රිය නිළියෝ වේදිකාව ඉස්සරහ ඇඬුවා මගේ රංගනය දැකලා සැබෑ කෙනාව මතක් වෙලා.
ඔබ විජය කුමාරතුංගයන්ව අනුකරණය කරනවා කියලා ඇතැම් අය කියනවා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ? ඔහු වැනි විශිෂ්ට අයකු වන්නට මට බැහැ. මම මම වෙන්නයි මට ඕනෑ.
නමුත් ඔබේ කොණ්ඩා මෝස්තරය, ඇතැම් රංගන ජවනිකා විජයගේ වගේ? මං කොහෙත්ම ඔහුව අනුකරණය කරන්නේ නැහැ. මගේ ජවයෙන් මං රඟපානවා. මගේ ඇඟේ තියෙන හැකියාව එළියට දානවා. එතෙන්දි මාව විජය කුමාරතුංගයන් වගේ පෙනෙන්නේ නැහැ කියලයි මං විශ්වාස කරන්නේ.
මුල් යුගයේදීවත් ඔබ ටෙලි නාට්‍ය රඟපෑවේ නැද්ද? නැහැ. මං හිටියේ චිත්‍රපටවල පමණයි.
ඒ කොයි කාලෙද? අනූව දශකයේ මැද විතර.
රඟපෑ පළමු චිත්‍රපටය? කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්තයාගේ උණ්ඩය. ඊට පසුව චිත්‍රපට හය හතක රඟපෑවා.
එහෙම වැඩ කටයුතු කරගෙන එද්දී ඇයි ඔබ රංගනයෙන් ඉවත් වුණේ? ඒක පුද්ගලික තීරණයක්. අනූ හතේදී විතර මං කලාවෙන් සමුගන්නවා.
ඇයි ආයෙත් රඟපාන්න එන්න හිතුණේ? මගේ ඇඟේ තියෙන්නේ කලාව. මගේ හැකියාවන් අපතේ යනවා නේද කියලා හිතුණා. ඒක නිසා නැවත රඟපාන්න ආවා. ප්‍රසාද් ද සිල්වා තමයි මගේ දෙවැනි රංගන ගමන ආරම්භ කරන්නේ. ඒ ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු වියපත් බඹරා සිනමාපටයෙන්. ඒත් එක්කම විදෙස් ගතවෙලා හිටපු සුගත් සමරකෝන් ලංකාවට එනවා. අපි ආයෙත් ගනුදෙනු කරන්න පටන් ගන්නවා. සුගත් බෙහෙවින් සතුටු වුණා මං ආයෙත් රඟපාන්න ආවට.
ඉදිරියේදීත් සිනමාපට තුළින් ද ඔබේ රංගන හැකියාවන් අපට දැකගන්න සිදු වන්නේ? ඔව්.
ටෙලි නාට්‍ය කලාව එපා වෙලාද? මං හිතනවා මං මේ හදා ගත්තු නම සහ ප්‍රතිරූපය මෙගා නිසා විනාශ වේවි කියලා.
චිත්‍රපට ක්ෂෙත්‍රයත් යම් යම් අර්බුදකාරී තත්ත්වයන් යටතෙයි ඉදිරියට යන්නේ. ඒ හින්දා චිත්‍රපටවල විතරක් රඟපෑම ඔබේ රංගන ගමනට බාධාවක් නොවෙයිද? සිනමාවේ අර්බුද ඇති කරලා තියෙන්නේ අපේ අයමයි. ඔය කියන පිටපත් ගණනේ ප්‍රශ්නය ගැන හිතලා බලන්නකෝ. ඒ ගණන නිශ්චය කර ගන්න බැරිව අපේම අය බෙදිලා කුලල් කා ගන්නවා. චිත්‍රපට කර්මාන්තයේ ඉන්න ඉහළම නිලධාරියා අතීතයේ නළුවෙක්. ඔහුටවත් බැරි වෙලා තියෙනවා මේ පිරිස එක්කාසු කරගන්න. එතැනින් එහාට කවර කතාද? ඒත් මොන ප්‍රශ්නෙ ආවත් මං චිත්‍රපට ක්ෂේත්‍රයෙන් නම් ඉවත් වන්නේ නැහැ.
ඔබ වඩාත් දක්නට ලැබෙන්නේ ඓතිහාසික චරිත හරහා. මොකද හේතුව? හේතු කිහිපයක්ම තියෙනවා. ඒක එම චරිතවලට මගේ ඇති ප්‍රියතාවය. විජය කුවේණි හි මගේ චරිතය දැකලා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මහරජ ගැමුණු චිත්‍රපටයට මාව ගත්තා. එහි ඩබිං කරද්දී ඔහු මොකක්ද පැවසුවේ දන්නවාද? අපේ සිනමා ඉතිහාසයේ එයා අහපු ලස්සනම කටහඬ තියෙන්නේ මට කිව්වා. එහෙම කියලා එම චිත්‍රපටයට මගේ කටහඬින් සෑහෙන්න ප්‍රයෝජන ගත්තා එතුමා. ඔය වගේ කතා ඇහෙද්දී ඓතිහාසික චරිත නොකර කොහොමද?
මොනවද ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු? අපි කලා තොරතුරු විතරක් කතා කරමු. පෞද්ගලික විස්තර ඕනැ නැහැ නේද. මං ව්‍යාපාරිකයෙක් කියලා විතරක් කියන්නම්. ජොබ් කළා. කලාව හින්දා ඒවා නැති කර ගත්තා. අන්තිමේ ව්‍යාපාරවලට යොමු වුණා. දැන් රංගනය සමඟ ඒ වැඩ ටික කරගෙන ඉන්නවා. |



ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටයේ ඇහැළේපොළ අදිකාරම් වන්නේ ඔහුයි. ප්‍රතාපවත් කළු
සිංහලයකු වූ ඇහැළේපොළ අදිකාරම්ගේ චරිතය මේ රංගන ශිල්පියා කදිමට නිරූපණය කරන බව
චිත්‍රපටය නැරැඹූ බොහෝ දෙනාගේ මතයයි.
අනුරගේ රංගන ඉතිහාසය ගැන අහන්න හොඳම වෙලාව දැන් කියලයි මට හිතෙන්නේ?