වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




මම සිනමාවට ආවේ සල්ලි හොයන්න නෙවේ

මම සිනමාවට ආවේ සල්ලි හොයන්න නෙවේ

“රාස්ස කැලේ” නිෂ්පාදක කුසල් පෙරේරා

තාත්තාගෙන් ‘රිදී තැල්ල’ පුතාගෙන් ‘රාස්ස කැලේ’

ලාබය මුල් කොට ගෙන වර්තමානයේ චිත්‍රපට නිෂ්පාදනයට පිවිසීම අවදානම් සහගත ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුදු ඒ අවදානම නොතකා ඇතැමෙකු එකී අභියෝගාත්මක කාර්යයට මුල පුරන්නේ සිනමාව කෙරෙහි ඇති අසීමිත ලැදියාව නිසාවෙනි. එය හුදු ව්‍යාපාරික අරමුණෙන් ඔබ්බට ගිය එකකි.

අපේ සිනමාවට අලුතෙන්ම එක් වූ නිෂ්පාදකවරයා කුසල් පෙරේරාය. ඔහු නිපදවූ ‘රාස්ස කැලේ’ චිත්‍රපටය මේ දිනවල සාර්ථක ලෙස තිරගත වේ. නවක නිෂ්පාදකයකු වුව ද සිනමාව පිළිබඳ ඔහුගේ දැක්ම සහ මතවාදය සුබවාදීය. බලාපොරොත්තු සහගතය.

මේ කුසල් ‘සරසවිය’ හා කතාබහකට එක් වූ අයුරුය.

සිනමාව ඔබට ආගන්තුක තැනක් නෙවෙයි?

මගේ පියා පිටකොටුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඔහු සිනමාවට අසීමිත ලැදියාවක් දක්වපු කෙනෙක්. මේ නිසාමද මන්දා ඔහු අසූව දශකයේදී සිරි කුලරත්න අධ්‍යක්ෂණය කළ ‘රිදී තැල්ල’ චිත්‍රපටයට සම නිෂ්පාදනයෙන් දායක වෙනවා. ඒ චිත්‍රපටයේ මමත් පොඩි චරිතයක් රඟපානවා. එහි රූගත කිරීම් ගොඩක් කළේ අනුරාධපුරය, පොළොන්නරුව පැත්තේ. තාත්තා එක්ක ඒ දර්ශන තලවලට පවා ගියා මට මතකයි.

‘රිදී තැල්ල’ ප්‍රධාන නළුවා වුණේ ගාමිණී ෆොන්සේකා?

ඔව්. ඇත්තටම ගාමිණී ෆොන්සේකා වගේ දැවැන්ත නළුවෙක් ඒ චිත්‍රපටයේ රඟපෑ එක අපට ලොකු හයියක් වුණා. සජීවීව එතුමාගේ රඟපෑම් දැක බලා ගන්න මට ඒ ලැබුණ අවස්ථාවත් විශාල වාසනාවක් කියා අද මට හිතෙනවා.

ඒ චිත්‍රපටයේ ඔබත් රඟපෑවා කිව්වා. ඇයි දිගටම ඒ පැත්තට යොමු නොවුණේ?

ඒක ඉතිං වෙනම ක්ෂේත්‍රයක්නේ. මට ඕනෑ වුණේ කවදා හරි තාත්තා වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. සිනමාව කියන්නේ ඒ කාලේ මිනිස්සුන්ට තිබුණ ලොකුම විනෝද මාධ්‍යය. තාත්තා ‘රිදී තැල්ල’ නිෂ්පාදනය කළේ ඇත්තටම මුදල් සෙවීමේ පරමාර්ථයෙන්ම නෙවෙයි. මිනිස්සුන්ට සතුට, විනෝදය ලැබෙන නිර්මාණයකට දායක වීම ඔහුටත් සතුටක් වුණා. ‘රිදී තැල්ල’ කරද්දී මට වයස අවුරුදු දහයයි. රඟපානවාට වඩා ඒ කාලෙත් මට ඕනෑ වුණේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නයි.

‘රිදී තැල්ල’ අධ්‍යක්ෂවරයාම තමයි ඔබේ චිත්‍රපටයත් නිර්මාණය කරන්නේ. එයත් විශේෂත්වයක්?

‘රිදී තැල්ල’ චිත්‍රපටය කරලා වසර තිස් එකකට පසුව තමයි සිරි කුලරත්න මේ චිත්‍රපටයට මා සමඟ අත්වැල් බැඳ ගන්නේ. ඇත්තෙන්ම මේ තෝරා ගැනීමට හේතු වුණේ ඔහු අපේ තාත්තා සමඟ තිබූ සමීප සබඳතාවයි.

කොහොමද ‘රාස්ස කැලේ’ට මුල පිරුවේ?

මම අමෙරිකාවේ පරිගණක විද්‍යාව පිළිබඳ වසර හයක පමණ කාලයක් අධ්‍යාපනය ලැබුවා. ඊට පසුව ලංකාවට ඇවිත් මගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන කොට දවසක් සිරි කුලරත්න අපේ කාර්යාලයට ආවා. එතැනදි ඇති වුණ කතාබහකට පසුව තමයි මම ‘රාස්ස කැලේ’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න තීරණය කළේ.

මුලින්ම ඔබ යෝජනා කළේ ටෙලි නාට්‍යයක් කරමු කියලා නේද?

ඔව්. මුලින්ම ටෙලි නාට්‍යයක් කරමු කියලා තමයි මම කිව්වේ. නමුත් සිරි කුලරත්න මහතා මට කිව්වා ‘නෑ අපි චිත්‍රපටයකට ගියොත් හොඳයි. මේ වෙලාවේ ළමයින් වෙනුවෙන් හැදෙන චිත්‍රපටවල අඩුවක් තියෙනවා’ කියලා. පස්සේ අපි කතාබහ කරලා තමයි මේ එකඟතාවයට ආවේ.

ඇයි ඔබ මුලින් ටෙලි නාට්‍යයක් කරමු කියන තැන හිටියේ?

මේ කාලේ ඉතින් වැඩි රසික ආකර්ෂණයක් දිනාගන්න මාධ්‍ය ටෙලි නාට්‍යයනේ. ඒකයි මුලින් ටෙලි නාට්‍යයක් කරලා අත්දැකීම් ලබාගෙන පසුව චිත්‍රපටයක් නිෂ්පාපදනය කරන්න සූදානම් වුණේ.

කොහොමද ‘රාස්ස කැලේ’ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

දවසින් දවස ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ යන බව තමයි පේන්නේ. විශේෂයෙන්ම ළමා පරපුරේ ප්‍රතිචාර, මේ ඔවුන් වෙනුවෙන් තැනුන චිත්‍රපටයක්. පාසල් නිවාඩු කාලය නිසා තවම මේ චිත්‍රපටය නැරැඹුවේ නැති පොඩිත්තෝ ඉන්නවා නම් ඒ අයටත් එන්න කියලා මම ආරාධනා කරනවා. අපට හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන් වෙනුවෙන් යටිතල පහසුකම් ලැබෙන්නේ අඩුවෙන්.

ඒ කියන්නේ?

අද චිත්‍රපට ශාලාවල තත්ත්වය වැඩි දියුණු කළ යුතුයි. ප්‍රේක්ෂකාගාර නවීකරණය වෙන්න ඕනෑ. වැසිකිලි, කැසිකිලි පහසුකම් ඇති කරන්න ඕනෑ. අද සමහර සිනමා ශාලා ගරා වැටිලා. ඒවායේ වවුලෝ ලඟිනවා. මේවා පිළිසකර කළ යුතුයි. එක පැත්තකින් අති නවීන, සියලු පහසුකම් සහිත සිනමා ශාලා අලුතින් ඉදි වෙන රටක අර වගේ තත්ත්වයක් තිබීම කනගාටුවට කරුණක්. ප්‍රේක්ෂකයා නැවත සිනමා ශාලාවලට ගෙන එන්න නම් මේ පහසුකම් අපි ඇති කළ යුතුයි.

නිෂ්පාදකවරයකු වශයෙන් ඔබට ඇති වුණ බාධක, අභියෝග එහෙමත් ඇති?

චිත්‍රපටය කරගෙන යද්දී මට මූල්‍යමය ගැටලු පැන නැඟුණා. මගේ පියා එක්ක තමයි ඒවාත් සාකච්ඡා කළේ. ඇත්තටම ඔහු මට එවෙලේ සහාය දුන්නා චිත්‍රපටයේ ඉතිරි වැඩ ටික කරගෙන යන්න.

චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවාට වඩා වැඩි මුදලක් වැය වෙනවා එහි ප්‍රචාරක කටයුතුවලට. ඒ අභියෝගය ඔබ ජය ගත්තේ කොහොමද?

ඒක වෙනම අභියෝගයක්. අද කාලේ ගොඩක් මිනිස්සු කාර්ය බහුලයි. ඒ නිසා විනෝදාස්වාදයක් ලබා ගැනීමටත් මතක් කිරීමක් කරන්න ඕනෑ. ඉතින් ඒකට දීර්ඝ ප්‍රචාරණයක් අවශ්‍යයි.

ඔබ ව්‍යාපාරිකයෙක්. සිනමාව වෙනුවෙන් මුදල් යොදවපු එක ගැන මොකද හිතෙන්නේ?

නෑ, ඇත්තටම මම සිනමාවට පිවිසියේ මුදල් සෙවීමේ පරමාර්ථයෙන් නෙවෙයි. දැන් සිරි කුලරත්න වගේ ප්‍රවීණ අධ්‍යක්ෂරයකු වසර එකොළහකට පසුව තමයි මේ ‘රාස්ස කැලේ’ අධ්‍යක්ෂණය කළේ. ඔහු වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියක් කරපු අධ්‍යක්ෂවරයෙක්වත් අද පැත්තකට කරලා. අද පරපුර ඔවුන් ගැන දන්නේ නෑ. නමුත් අපි අමතක කරන්න නරකයි ඔහු හදපු චිත්‍රපටවලිනුත් සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් සිනමාවට ආකර්ෂණය වුණ වග. ඉතින් එවැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වසර එකොළහකට පසුව නැවත සිනමාවට කැඳවා එන්නට ලැබීම මට නම් ලොකු සතුටක්. ඒ සතුට මුදලින් තක්සේරු කරන්න බැහැ.

‘රාස්ස කැලේ’ ළමා චිත්‍රපට ප්‍රවණතාවක නව ප්‍රවේශයක් යැයි සමහරුන් පවසනවා. චිත්‍රපටයේ නිෂ්පාදකවරයා හැටියට ඒ පිළිබඳ ඔබේ මතය?

ළමයින්ට කියා වෙන් වුණ ලෝකයක් තියෙනවානේ. ඇත්තටම එහෙම ලෝකයක් ඔබටත්. මටත්, අපි හැමෝටමත් තිබුණා. ඒ ළමා ලෝකයට අපි නිර්මාණයක් කළ යුත්තේ ළමා මනසට ගැළපෙන ආකාරයටයි. ළමයින්ගේ ලෝකයට අනවශ්‍යය දේවල් අනවශ්‍යයි කියන තැන තමයි මම ඉන්නේ. අධ්‍යාපනික වටිනාකමක් තියෙන ආදර්ශමත් පවුලේ සැමට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් විය යුතුයි. ඒ රාමුව තුළ තමයි ‘රාස්ස කැලේ’ බිහි වෙන්නේ. ළමා මනස හදනවා කියන්නේ අනාගතය හදනවා කියන එකනේ.

‘රාස්ස කැලේ’ වැනි කතා තේමාවක් වත්මන් ළමා පරපුරට ගැළපෙයි, නැතිනම් එය ඔවුන් වැළැඳ ගනියි කියා ඔබ සිතනවාද?

අද ළමයි බුද්ධිමත්. එදාට වඩා අද ලෝකය විවෘතයි. ඒ තුළ සැරිසැරීමේ අවකාශය ඔවුන්ට තිබෙනවා. ඒ නිසා යම් නිර්මාණයක් කරද්දී අපි බලන්න ඕනෑ ළමයින්ට ගැළපෙන ඔවුනට වැටහෙන නිර්මාණයක් කරන්න. ලොකු ගැඹුරකට නොයා සරලව අපි දෙයක් දුන්නොත් ළමයින් ඒකෙන් විනෝදාස්වාදයක් වගේම පණිවිඩයකුත් ලබා ගනියි. ‘රාස්ස කැලේ’ට පාදක වෙල තියෙන්නේ අපේ සම්ප්‍රදායික ගැමි ළමා කතාවක්. ඇත්තටම ලෝකේ තියෙනවානේ ඇඩ්වෙන්චර් ෆිල්ම්ස් කියා දෙයක්. මේකත් ඒ වගේ ළමයින්ගේ වීර චාරිකාවක් වටා ගෙතුන චිත්‍රපටයක්.

ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්න ප්‍රේක්ෂකයො කැමැති වේවි?

මම ප්‍රචාරක කටයුතු පිළිබඳ ආයතනයක් පවත්වාගෙන යනවා. විද්‍යුත් තාක්ෂණය පිළිබඳ පේටන්ට් බලපත්‍ර දෙක තුනකුත් මා සතුයි. ඒ පැත්තෙන් ඉදිරියටම යාම තමයි මගේ බලාපොරොත්තුව. මම විවාහ වෙලා ඉන්නේ බැංකු කළමනාකාරිනියක සමඟ. ඇය උදාරා. පුංචි පුතෙක් ඉන්නවා කෙනුජ කියලා. එයාට අවුරුදු එකහමාරයි. අපි සතුටින් ජීවත් වෙනවා.

ඉදිරියේදිත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවාද?

ඇත්තටම මේ දිනවල ඒ කටයුත්තටත් අත ගහලයි තියෙන්නේ. ඒකත් ගොඩක් දුරට ළමා චිත්‍රපටයක් වෙයි. අපේ සිනමාව නඟා සිටුවන නිෂ්පාදකවරු ඉදිරියේදීත් බිහි වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා. ඒ කියන්නේ මුදල් ඉපයීම එකම පරමාර්ථය කර නොගත් නිෂ්පාදකවරු.

ඒත් කිසිම නිෂ්පාදකවරයෙක් කැමැති නැහැනේ පාඩු ලබන්න. දැන් ඔබ වුණත්. එතකොට ඒ අභියෝගය ජය ගන්නත් තියනවා නේද?

ඔව්. ඇත්ත. ඒ වුණත් මම හිතනවා හොඳ නිර්මාණයක් කරලා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හොඳ වෙන කොට ඒකෙන් ලැබෙන ලාභය ඊට වඩා වැඩියි කියලා. ජීවිත කාලයටම ඒක රැඳිලා තියේවි.