වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සීයා නැත්නම් සිංදු කියනවා සීයා හිටියොත් සෙල්ලම් කරනවා

සීයා නැත්නම් සිංදු කියනවා සීයා හිටියොත් සෙල්ලම් කරනවා

විනුජ තරුෂ්ක

මේ වික්ටර් රත්නායක මුණුබුරාගේ දොරට වැඩීමයි

පැණි මොර මල් 02 වැනිදා

ළමා ගායන ශිල්පී විනුජ තරුෂ්ක ගුණසේකරගේ ‘පැණි මොර මල්’ ළමා ගී සංයුක්ත තැටිය ලබන සැප්තැම්බර් 02 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා රංග ශාලාවේදී දොරට වඩී. කලා ලොවට පිදෙන මේ ළමා මල් කැකුල ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් දියණිය චාන්දනී රත්නායකගේ පුත්‍රයායි. මේ සුවිශේෂ අවස්ථාවේදී සරසවිය විනුජ පුතා සමඟ කතා කරන්නත් තීරණය කළා.

සීයා වගේ සංගීත ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙන විනුජ සරසවියට ආවේ අම්මා චාන්දනී රත්නායක සහ අප්පච්චි ජගත් ගුණසේකර එක්ක.

ඉතිං විනුජ අපට කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක්?

මම ඉගෙන ගන්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ හත වසර පංතියේ. අපේ පවුලේ අම්මයි තාත්තයි මමයි අක්කයි. අක්කා චේතනි වන්දනා.

පුතා කැමතිම විෂය සංගීතය ද?

ඔව්. මම සංගීතයට ගොඩක් කැමැතියි. විද්‍යාවටත් ආසයි. ඊට අමතරව මම කැරම් ක්‍රීඩාවට ගොඩක් කැමැතියි. තරඟවලින් ජයග්‍රහණත් ලබා ගෙන තියෙනවා. තව මම නර්තනයත් හදාරනවා.

විනුජට පුංචි කාලේදීම සීයා සංගීතය උගන්වන්න ඇති?

සීයා සිංදු කියනවා, සර්පිනාව වාදනය කරනවා මම අහලා දැකලා තියෙනවා. සීයා තමයි මට මුලින්ම සංගීතය ඉගැන්නුවේ. ජයන්ත මාමා වගේම ලෙලුම් මාමාත් මට ගොඩක් උදව් කරනවා. සීයා මට සර්පිනාව වාදනය කරන්න ඉගැන්නුවා. මම වාදනය කරන්නෙත් සීයාගෙ සර්පිනාවම තමයි.

විනුජ වැඩිපුර කැමැති ගායනයට ද වාදනයට ද?

ගායනයට වගේම වාදනයටත් ගොඩක් කැමැතියි. සර්පිනාවට අමතරව ඩ්‍රම් සෙට් එක වගේම බෙර වාදනයත් පුළුවන්. 2005 වසරේ උපන් දිනයට අප්පච්චි මට ඩ්‍රම් සෙට් එකක් ගෙනත් දුන්නා. වීඩියෝ බලලා තමයි ඒක වාදනය කරන්න පුරුදු වුණේ. අප්පච්චිටත් ඩ්‍රම්ස් වාදනය කරන්න පුළුවන්. චූටි මාමාත් කියලා දුන්නා.

එතකොට විනුජගේ විනෝදාංශය?

පවුලේ හැමෝම එකතු වුණාම සෙල්ලම් කරනවා. සීයා ගෙදර නැති වෙලාවට ජයන්ත මාමාගේ ලෙලුම් මාමාගේ සහ මංජු පුංචිගෙයි දරුවෝ හැමෝම එකතු වුණාම හරිම ෂෝක්. සීයා නැත්නම් අපි සිංදු කියනවා. සීයා ඉන්නවා නම් සෙල්ලම් කරනවා.

‘ඒ වගේම මෙයා කාලෙන් කාලෙට එක එක චරිත රඟ දක්වනවා’. එහෙම කිව්වේ විනුජගේ අප්පච්චි. ‘කාලයක් සුපර් මෑන් වෙලා හිටියා. ඊට පස්සේ බෙන්ටෙන්. මේ දවස්වල ඇරෝ නාට්‍ය බලලා දුන්නක් හදාගෙන සෙල්ලම් කරනවා.’

‘පැණි මොර මල්’ ළමා ගී තැටිය ගැනත් විස්තර කියමුද?

පැණි මොර මල් ගීත එකතුවේ ගී 12 ක් ඇතුළත් වෙනවා. එයින් ගීත හයකම සංගීතය සීයාගේ. ජයන්ත මාමා, සෝමපාල රත්නායක බාප්පා සීයා, ආචාර්ය රෝහණ වීරසිංහ, මහින්ද බණ්ඩාර සහ ලක්ෂ්මන් විජේසේකර සංගීතඥයන් විසින් අනෙකුත් ගීත සංගීතවත් වුණා. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි ඇතුළුව මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ, ආචාර්ය අජන්තා රණසිංහ, බණ්ඩාර ඇහැළියගොඩ, කුලරත්න ආරියවංශ, සෝමරත්න දිසානායක, අද්මිරාල් සෝමතිලක දිසානායක, වසන්ත කුමාර කොබවක, බන්දුල නානායක්කාරවසම් සහ ගීතනාත් කුඩලිගම මහත්වරුන් අතින් මෙහි ගීත රචනා වුණා. ප්‍රසංගයේ සංගීතය මෙහෙය වන්නේ ජයන්ත මාමා විසින්.

විනුජ ඔයාගේ අනාගත බලාපොරොත්තු ගැනත් අපට කියන්නකෝ?

ඉගෙනීම් කටයුතු සාර්ථකව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ලොකු වුණාම සීයා වගේ සංගීතඥයෙක් වෙන්න ආසයි.

පුංචි විනුජගේ බලාපොරොත්තු සාර්ථක වේවායි ‘සරසවිය’ අපි සුභ ප්‍රාර්ථනා කරමු!