ළඟදීම මහත්තයාට වෙන්නේ පරලොව යන්න
ළඟදීම මහත්තයාට වෙන්නේ පරලොව යන්න
ළඟදී තිරගත වන චිත්‍රපට කතා ඇසුරෙන් සරසවිය සතිපතා ගෙන එන ඒකාංගික කතා මාලාවක
ආරම්භය.
බැලූ බැලූ අත ඇත්තේ ස්වේත වර්ණ වූ දුහුල් වලාකඩය. හිම පැහැයෙන් යුත් ඒ වලාපෙළ පාව
ගියේ පුළුන් පොදක සැහැල්ලුව සිහිපත් කරමිනි.
වරෙක දුහුල් වලා පිහිරා ඇදෙන අහස් යානය
තවත වරෙක ඒ වලා පෙළම පැමිණ වසා ගන්නේ යැයි නාලකට සිතිණි. ඇහිපිල්ලමක්වත් නොගසා අහස්
යානයේ කවුළුව අතරෙන් අහස් තලය සමඟ ගනුදෙනුවක යෙදුණු ඔහු සිය අතෙහි බැඳි අත්
ඔරලෝසුවට නෙත් යොමු කළේය.
පෙ. ව. 10.00.
නාලක මිමිණුවේය. ඔහු තම උරිස්සට හේත්තු වී සිටින ලොරේන්ගේ උවන දෙස බැලුවේ අනතුරුවය.
ඈ පසු වන්නේ සුව නින්දකය. සිය මව් රටට පා තබන්නට ඇත්තේ තවත් හෝරාවක පමණ කාලයකි. මාස
කිහිපයක දිගු නිවාඩුව ඔහුව යළිත් තිරිහන් කළා යැයි නාලකට සිතුණේ ඉබේමය.
ඒ ඈ නිසා
නොවේදෝ යන සිතුවිල්ල තම සිතට නැඟුණු බැවින් නාලක තවත් වරක් ලොරේන් දෙස බැලුවේය. තම
සිතැඟි නැඟුණු සොඳුරු සිතුවිලි ඇයට පැවසීම ඇත්නම් යැයි සිතුණු නිසා ඔහු සිය උවන
ලෝරේන්ගේ උවනට ළං කළේය. නාලකගේ පහස ලබා නිදන ඇයට ඒ සිප ගැනීම ගැන වගේ වගක් නැත.
තවත් වරක් නාලක සැරැසුණේ ඇගේ උවන සිඹින්නටය. එක්වරම ලොරේන්ගේ රුව අභිබවා ඔහුගේ
සිතට පිවිසියේ ඉවෝන්ගේ රුවය.
නාලක සපුමල් බණ්ඩාර ඉවෝන්ගේ අත ගත්තේ දහසකුත් එකක් බලාපොරොත්තු පෙරදැරිවය. ඔහු
වඩාත්ම ඇයට කැමැති වූයේ ඇගේ වලව්වෙහි වූ දේශපාලන පසුබිම කන වැකී තිබූ හෙයිනි. මන්ද
නාලක ප්‍රිය කළේ දේශපාලනය ඔස්සේ දිගු ගමනක නිරතවීමටය. ඒ වන විටත් ඔහු සිටියේ ඊට
අවශ්‍ය පසුබිමට පිවිසය. සිදුවූයේ අනෙකකි.
‘මම නම් කොහෙත්ම කැමැති නැහැ ඔයාගේ ඔය දේශපාලන වැඩවලට. පේන් නැද්ද අපේ අයියට වුණ
දේ’
ඉවෝන් නාලකගේ සිතුවිලි ඉවෙන් මෙන් දැනගත් දිනෙක කෑ ගැසුවාය. දේශපාලනය යන වචනයට ද ඇය
වෛර කළාය. යසට උන් අයියා හොරු රැගෙන ගියා සේ සදහටම ඉවෝන්ගේ පවුල අතහැර ගිය පාඩුව
පිරිමසන්නට කිසිවකුටත් නොහැකි විය. ඒ අයුරෙන් තම සැමියා ද අහිමි වුවහොත් යන අනියත
බිය ඇය පෙලීය.
‘ඒක මගේ කාලයක ඉඳලා තිබුණු හීනයක්’
නාලක පැවසුවේ සිය බිරියගේ සිතුවිලි ගණනකට නොගෙනය. ඇය බිරාන්ත වූ එකියක මෙන් ඔහු දෙස
බලා සිටි අයුරු නාලකට අද මෙන් මතකය.
‘ඉවෝන්ට අමුතු උමතු ගතියක් අවේ ඒ ගැනම හිතලද කියලත් හිතෙනවා’
පියවි ලොවට පැමිණි නාලක පැවසුවේ තමාටමය. ඔහුගේ අසුනට පෙනෙන අනෙක් පැත්තේ අසුනෙහි
උන්නේ වයසක ජෝඩුවකි.
ඔහු බලා සිටියේ ඔවුන් පුවත්පත කියවන අපූරුවය. හෝරා කිහිපයකට
පෙර බොහෝ ආදරණීය ලෙස අත්වැල් පටලා ගත් ඔවුහු ගුවන් යානයට ගොඩවුණු අයුරු නාලක
ලොරේන්ට ද පෙන් වූයේය.
ඉවෝන්ගේ සමුගැනීමත් සමඟ වලව්වෙහි දැනුණු හුදකලා බව නාලක දරා ගත්තේ රට බීම බෝතලයට
පින්සිදු වන්නටය. දේශපාලන කටයුතු මදක් නතර වූ මේ විරාමයේ දැනුණු හුදකලාවට තිත
තබන්නට ඔහු තීරණය කළේ ලොරේන්ගේ දසුනය.
ඇගේ රත් පැහැති දොතොලත්, ඝනව පිහිටි බැම
සඟලත්, සුන්දර වූ උවනත්, උස්ව පිහිටි ළැම හා පිරිපුන් සිරුරෙහි වූ මොකක්දෝ
ආකර්ෂණයකට තමා නතු වන්නේ යැයි නාලකට සිතිණි.
ඇගේ රුවෙන් නෙත අහකට ගත්ත ද යළි යළිත්
තම නෙත මේ සොඳුරු රුවම සොයන බව නාලකට රහසක් නොවේ. ඇගේත් තමාගේත් නෙත් ගැටුණේ ඒ එක්
නිමේෂයක නොවේද? ඈ දසන් පා සිනාසුණේ ළඟන්නා අයුරෙනි. නාලක තමා අසල උන් ඇගේ උවන දෙස
බැලුවේ ඒ සිනහව තවමත් ලොරේන් කෙරෙහි වෙත්දැයි සැකහැර දැනගනු රිසියෙනි. ඈ තවමත් සුව
නින්දේය. ඇගේ අත හා අත්වැල් පටලා සිටින ඔහුගේ අතක් ඇගේ තුරුල්ලෙහිය.
නොසිතූ මොහොතක සිදු වූ වකුගඩුවක් අහිමිවීම නාලකට දැනුණේ ඔහුගේ හදවතට ගැසූ මරු පහරක්
සේය. ඒ නිසා ඇති වූ සිත් වේදනාව බොහෝ දුරට තුනී වූයේ තම දෙවැනි බිරිය වූ ලොරේන්ගේ
ආදර පහසෙනි.
ඔහුට වකුගඩුවක් ප්‍රදානය කළ හිමි නමට කුමක් හෝ ආධාරයක් කළ යුතුවෙයි. ඒ
පිළිබඳ ඔහු ලොරේන් සමඟ ද කතාබහ කළේය.
කරන ලද සැත්කමත් සමඟ ලන්ඩනයේ ගෙවුණු නිවාඩුව
නාලකට දැනුණේ ඔවුන් දෙදෙනා තවත් සමීප කළ බවකි. ඒ හැඟීමෙන් පිබිදුණු නාලක ඇඳෙහි
අනෙක් පසට හැරුණේ ලොරේන් තවමත් එහි සිටිනවා යන ආකල්පයෙනි. එහෙත් එහි ඈ නොවීය.
තම මව්බිමට පැමිණි දින කිහිපයක් ගෙවී ගිය ද ඔහු සිටියේ අතීත සිතුවිලිවල සැරිසරමිනි.
ඇඳෙන් නැගිට ගත් හේ වලව්වේ ගෙමිදුලෙහි වූ සුවිසල් රුක් ගොමුවෙහි සක්මනක යෙදුණේ සීතල
සුළඟේ පහස විඳිමිනි. ඉන් නොනැවතුණු ඔහු එහි පිහිටි අසුන මත හිඳ ගත්තේ ලොරේන් කොහේ
ඇත්දැයි විමසමිනි.
මාස කිහිපයක් ඔවුන් වලව්වෙහි නොසිටිය ද වලව්ව නියම ලෙස නඩත්තු වී
ඇතැයි නාලකට සිතුණි. තම සියලු කටයුතු සොයා බලන අයුරෙන්ම ස්ටැන්ලි වලව් වත්ත පිළිබඳ
ද සෙයා බලා තිබීම ඔහුගේ සිතට රැගෙන ආවේ අස්වැසිල්ලකි. එහෙත් ඒ අස්වැසිල්ල ඇති වූයේ
මොහොතකට පමණි. ඒ ලොරේන් තම හිතවතකු හමුවන්නට ගොස් හෝරා කිහිපයකට පසුව ආ දුරකථන
ඇමතුම නාලකට සිහි වූ බැවිනි.
‘මහත්තයාගේ නෝනා ස්ටැන්ලිත් එක්ක තිබෙන ඇයි හොඳයිය දන්නවද? ළඟදීම මහත්තයට වෙන්නේ
පරලොව යන්න’
ඔහුගේ සම්ච්චල් සහගත සිනහව තවමත් නාලකට ඇසෙන්නේ කනට යොවුලකින් අනින්නාක් මෙනි. උදේ
තේ ජෝගුව අතැතිව ඔහු අසලට පැමිණි ලොරේන්ගේ උවන දෙස නාලක හෙළුවේ විමසුම් සහගත
බැල්මකි.
‘ඔයාට ඊයේ ස්ටැන්ලිව මුණ ගැහුණාද?’
ලොරේන්ගේ පුදුම සහගත බැල්ම නාලක අවුලෙන් අවුලට පත් කළේය.
‘ලොරේන්ගේ හා ස්ටැන්ලිගේ අනියම් ඇසුර නාලක දැන ගනීද?’
ඒ ගැන දැන ගැනීමට නම් ඔබ කළ යුත්තේ ඉදිරියේදී තිරගතවීමට නියමිත‘ඉර සේවය’ චිත්‍රපටය
නැරැඹීමය.
තිලානි ශානිකා විතානාච්චි
|