වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




මතක වරායෙන් නොපෙනෙන ඈතට  වැලිබත පාවෙන්නේ
ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

මතක වරායෙන් නොපෙනෙන ඈතට  වැලිබත පාවෙන්නේ

පුණ්‍යා ඒකනායක

මේ සතියේ “මතක ගී පොත” ට අතීත මතකය ගෙනහැර පාන්නේ ගීපද රචකාවකි. ඇය පුණ්‍යා ඒකනායකය. සුභාවිත ගීතයට බෙහෙවින් ආදරය කරන පුණ්‍යා “තුන් හෙළේ උදාර වීර පුතුන්”, “අරුන්දතී මගේ මන්දෝදරී”, “තෝපා වැව් ඉවුරේ”, “මිහිලොල් ගුමු ගුමු”, “සැලෙන සඳ කැන්” යන්න ඈ ලියූ ගේය පද කිහිපයකි. කපිල රත්නායක නම් නවක ගායකයා මේ දවස්වල ගයන “මොනාලිසා” ගීතය ඇය ලියූ නවතම ගේය පද රචනය යි.

අම්මා හා මා අතර වන බැඳීම පිළිබඳ කියන්නට සිංහල කෝෂයෙහි වචන වෙත් දැයි මට නම් සැක සහිතය. එපමණටම මම ඇයට ආදරය කරමි. එමෙන්ම ඒ තරමටම ඇයද මට ආදරය වග මම දනිමි. සහෝදරයන් දෙදෙනාට මැදිව පවුලෙහි එකම දියණිය ලෙස ගෙවූ සොඳුරු ළමාවිය බොහෝ සුන්දර වූයේ අම්මේ, ඔබ නිසාමය. අප්පච්චී තරමක් රළු වූ බව සැබෑය. ඔහුගේ නීති අණ පනත් අතර හැදී වැඩුණු අප තරමක් හෝ අස්වැසිල්ලක් ලද්දේ ඔබ සෙවණේය. ළමා මනස ඒ අයුරෙන්ම හඳුනා ගත් ඔබ අප දඟ වැඩ කළ කලෙක ඉවසුවේ බොරු තරහක් සිතෙහි ආරෝපණය කර ගනිමිනි. අප කොතරම් දඟ දරුවන් වී ද යත්, බොහෝ විට අප කළේ ඔබ දෙපළ එපා කියූ දේමය. උස්බිමක පිහිටි අප නිවෙස පිහිටි ඉඩම අක්කර කිහිපයක් දක්වා විහිදෙයි. මේ ඉඩමෙහි නිවෙසට එක් පසෙකින් පිහිටි යෝධ පැෂන් වැල මට අද මෙන් මතකය.

සපු ගසක ආධාරකයක් ලෙස ගැනීම නිසා ඔංචිල්ලාවක ආකාරයෙන් නිමවුණු මේ පැෂන් වැලට නැඟ ඔංචිලි පදින්නට එකල මම පුරුදුව සිටියෙමි. මගේ මේ කටයුත්ත අසලම සිටි අනෙක් කිහිපදෙනා අතර ලොකු අයියාත්, පොඩි මල්ලීත් මෙන්ම මාමාගේ පුතෙකු වන ධම්මික මල්ලීද සිටි වග නොකියා සිටිය නොහැකිය. මන්ද රැකියාවට ගොස් පැමිණෙන අම්මාට කේළම් පටවන්නට මුල් වන්නේ ධම්මික මල්ලී බැවිනි. එසේ එළිවන වරදට දඬුවම් කිරීමට ඇයටම වෙන්වූ දඬුවම් රටාවක් අම්මා සතු විය. වරදක් කළේ අප තිදෙනාගෙන් එක් අයෙකු වුවද ඇය තිදෙනාටම දඬුවම් කළාය. මේ නිසා අපි කිසිවෙකුත් රණ්ඩු වුවද අම්මාට කියන්නට කිසි විටෙකත් ඉදිරිපත් නොවීමු. අප්පච්චී, අම්මා මෙන් නිතරම දඬුවම් කළ කෙනෙක් නොවීය. සියලු වරදවල් එකතු කර එක්වර දඬුවම් කිරීම ඔහුගේ පුරුද්දකි. එසේ දඬුවම් කළ සිදුවීමක් මගේ මතකයෙහි ලියැවී තිබේ. ඒ වන විට මගේ වයස අවුරුදු දහයකි.

අපගේ නිවෙස සාදා ඇත්තේ කන්දක් කපා බැවින් එහි සමතලා කරන ලද තරමක් උස කණ්ඩිය හා අපගේ නිවෙසෙහි වූ හුඩ් එකට තිබුණේ තරමක දුරකි. කණ්ඩියෙහි සිට හුඩ් එකට පනින මා එහි එල්ලා ඇති ලනුවෙන් බිමට බැසීම විනෝදාංශයක් විය. මා එය කළේ පුරුද්දක් ලෙසිනි. මගේ මේ ක්‍රියාව පිළිබඳ අප්පච්චී දින කිහිපයක්ම බලා ගෙන සිටි බව මා දුටුවේ නැත. එදිනත් සුපුරුදු ලෙස මම මගේ ක්‍රියාවෙහි නිරත වීමි. එක්වරම මා අල්ලාගත් අප්පච්චී මල් කෝටුවක් කැඩෙන තුරු ගැසුවේය. ඉන් සෑහීමකට පත් නොවූ ඔහු තවත් කෝටුවක් අතට ගත්තේ දඬුවම දිගු කරන්නටය. එවිට අප අතරට පැන්න අම්මා මා බේරා ගත්තාය.

වරක් හදිසියේම අප්පච්චීට කොළොම්පුරවරයට යන්නට සිදු වූයේය. එහි ගොස් ඔහු නිවෙසට පැමිණෙන විට රාත්‍රිය උදාවෙයි. ඒ එනතෙක් සියලුදෙනාම එක්රොක්කර ගන්න අම්මා මිදුලෙහි පැදුරක් එලා අපට කතා කියා දෙන්නීය. කළුවර ගලා හැලෙන , තරු කැට හිනැගෙන රාත්‍රියේ ඇසූ ඒ රසකතා තවමත් මට මතක ඇත. මේ ගීතය අසන මට ඈ හා බැඳුනු ඒ සොඳුරු අතීතයත්, මගේ බාල කාලයත් මට සිහිපත් වෙයි.

අම්මාවරුනේ.................
අම්මාවරුනේ................
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අත පා.............
ඒ කඳුළැලි පිසිනා........
සෙනෙහස වැඩි දා සිතට බොළඳ වී
ලොවම ආදරෙයි කියා සිටී
මායාවක් වී ලොව තනිවූදා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරු නැති දරුවන්ගේ
සම්මා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මා පමණයි
යම් මතු දිනයක බුදුවන්නේ
සංසාරේ මතු බුදුවන්නේ

ගේය පද – ධර්මසිරි ගමගේ

සංගීතය – ප්‍රේමසිරි කේමදාස

ගායනය – විශාරද නන්දා මාලිනී

 

ඔසරියක් හැඳ දිගු වරලස පිට දිගට දමා ඈ යන අපූරු අභිමානවත් ගමන නිතර සිහිපත් කරන මේ ගීතය හා බැඳුනු තවත් සිදුවීම් කිහිපයක් ද මම ඔබට කියමි. කුඩාකල පටන් කවිපද ගොතන්නට මට තිබූ හැකියාව පළමුව වටහා ගත්තේ අම්මාය. අප්පච්චී සමඟ රණ්ඩු වූ විට මා ඔහු සමඟ තිබූ තරහව පිට කළේ කවි පද බිත්තියෙහි ලිවීමෙනි. ඈ ඒ සියල්ල මකා දමනවා වෙනුවට කළේ ඒ ඉදිරියෙන් පින්තූර එල්ලීමය. මා ලියූ පළමු ගීතය රස විඳි ඇය මා ධෛර්යවත් කළාය.

මගේ නිර්මාණ ජීවිතය පිළිබඳ සඳහන් කිරීමේදී ඇයගෙන් පසුව මගේ මතකයට නැගෙන තවත් අපූරු මිනිසෙක් වෙයි. ඒ ධර්මසිරි ගමගේ නම් සොඳුරු ගේය පද රචකයාය. ඔහුව මට පළමුව මුණගැසෙන්නේ උසස් පෙළ කරන්නට මා අනුලා විද්‍යාලයට ඇතුළත් වීම සඳහා කොළොම්පුරවරයට පිවිසි අවධියේය. එකල මගේ ඥාති සහෝදරයෙක් වන ලෙනින් අයියා සමඟ අපූරු හිතවත්කමකින් බැඳී සිටි ධර්මසිරි ගමගේ රචකයාණන් හමුවට මා පැමිණෙන්නේ ලෙනින් අයියාගේ හඳුන්වාදීමත් සමගිනි. ඒ වනවිටත් ගී පද ලිවීමට බෙහෙවින් ඇලුම් කළ මම ලියූ ළමා ගී පද කිහිපයක් ඔහු අත තැබීමි. ඒවා කිහිපයක් ඒ අවස්ථාවේම කියැවූ ඔහු කීවේ අපූරු කතාවකි.

“මේකේ හදන්න මොකුත්ම නැහැනේ”

මගේ සිත සතුටෙන් ඉපිලිනි. ඔහු කොපමණ සොඳුරු මිනිසකු වීද යත් මගේ ළමා ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතට පත් කර තිබුණි.

“ඔන්න මම ඒ එක ගීතයක් ගුවන්විදුලි ළමා ගී වැඩසටහනට තෝරා ගත්තා”

පසුදිනයෙහි දුරකථනයෙන් කතා කළ ප්‍රේම කීර්ති ද අල්විස් නම් අනෙක් සොඳුරු පද රචකයා, නිවේදකයා මට කිව්වේ මා නොසිතූ අයුරෙනි. මේ ගීතය අසන සෑමවිටම ඒ අපූරු මිනිසුන් මට සිහිපත් වෙයි. අද මා සුභාවිත ගීතයට ප්‍රේම කරන්නටද හේතුවන්නේ ඔවුන්මය.

දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනී
කාලයේ රියසක මහලු මගෙන් ඔබ
ඈතට ගෙනියන්නේ
බොළඳ මියුරු බස් සවන් නිමාලූ
කැකුළු සිනා රස සිත සනහාලූ
අතීත සිහිනය බොඳ වී දිය වී
ඈතට පාවෙන්නේ
පරපුර වදන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළ වූ පිනවූ සිත
මතක වරායෙන් නොපෙනෙන ඈතට
වැලිබත පාවෙන්නේ

ගේය පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

සංගීතය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව

ගායනය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව

 

 

මේ ගීතය ඇසෙන සෑම මොහොතකම මම සිතෙන් මගේ ළමා වියත්, ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ රුවත් සිහිපත් කරමි. කුඩාකල අනුරාධපුරයෙහි වූ ලොකු අම්මාගේ නිවෙසට යෑමට මා බලාගෙන සිටින්නේ නිවාඩු කාලය පැමිණෙන තුරුය. එහි පිවිසෙන මම අවට වසන ඥාති පවුල්වල සහෝදර සහෝදරියන් සමඟ සෙල්ලම් කරන්නට ආශා කළෙමි. ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ බාලම දියණිය වූ චුනනි චූටි නංගීත් අපගේ සෙල්ලම් අතරට එක් වන්නේ බොහොම කැමැත්තෙනි.

එකල ඔංචිලි පැදීම අප කාගේත් සිත්ගත් ක්‍රීඩාවක් විය. අප එකිනෙකා තරගයට ඔංචිලි පැද්දද චූටි නංගී ඔංචිලි පදින්නට දැක්වූයේ ඉමහත් බියකි. ඒ ගැන එතරම් නොසැලකූ මා ඇයව ඇදගෙන ගොස් ඔංචිල්ලාවේ වාඩි කළේ එය හයියෙන් අල්ලා ගන්නට යැයි කියමිනි. ඉන්පසු මා ඊට තල්ලුවක්ද දැම්මාය. ඔංචිල්ලාව වේගයෙන් උඩ ගියා පමණක් නොව ඊට බියවූ චූටි නංගී ඈ අල්ලාගෙන සිටි කඹදෙක අත හැරියාය. විසිවී ගොස් වැටුණු ඇය අසලට ගිය අපට දකින්නට ලැබුණේ ඇගේ පිට තුවාල වූ බවකි. මගේ මතකයට නැඟුණේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ය. කුඩාකල පටන් අපි ඔහුට දැක්වූයේ දැඩි බියකි. (ඔහුට බියක් දැක්වීමට හේතුවක් මට අද වනතුරුත් මතක නැත.) ඒ බිය නිසාම මා සැවොම අතරෙන් කිසිවකුටත් නොකියා පලා ගියාය. අද ද ඇගේ පිටෙහි ඒ සලකුණ ඒ අයුරෙන්ම තිබෙන බව ඇය පසුගිය දිනෙක පැවසුවේ ඒ අතීත සිදුවීමද මතකයට නඟමිනි.

ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් පිළිබඳ මගේ මතකය අවදි වන අනෙක් කාරණය වන්නේ මගේ නමය.

“ඔය ළමයාගේ නමේ තේරුම දන්නවාද”

ඔහුගේ නිවසෙහි සිටි එක් දිනෙක දඟ වැඩක් කළ මගෙන් හේ විමසීය.

“ඔව්. අර පන්සලේ පින් කැටවලත් තියෙන්නේ”

ඊට මම පිළිතුරු බැන්ඳෙමි. එවිටම ඔහුගේ මුවඟෙහි නැඟී සොඳුරු සිනහව මට තවමත් මතකය. ඊට අමතරව මාමාට අපූරු අත් ගුණයක් තිබිණි. ඒ රසවත් ලෙස අලුවා සෑදීමටය. ඔහු සෑදූ අලුවා කෑමට කුඩා අපි බෙහෙවින් ප්‍රිය කළෙමු. එමෙන්ම ඔහු අලුවා සෑදුවොත් ඒ සියල්ලම ද කා අවසන් කළ යුතුය. ඔහුගේ නියමය එයය. එපමණක් නොව මේ ගීතය ඔහුගේ සුරතෙන් පද බැඳීම හා සම්බන්ධ අපූරු කතාවක් ඇත.

ඔහු සිය දියණියවරුන්ට හා එකම පුතුට පණමෙන් ආදරය කළේය. දියණිවරුන්ට කොතරම් ඔහු ආදරය කළේද යනු වැඩිමහල් දියණිය වැඩිවියට පත් වූ පසුව ඇතිවූ හුදකලාව ඔහුට දරාගත නොහැකි වූයේය. ඒ තමා තුරුල්ලෙහි දැවටෙමින් සිටි ඈ එක්වරම ඔහුගෙන් ඈත්වීම නිසාය. ඒ නිමිතිකර ගනිමින් තම සිතෙහි හටගත් දුක ගීතයකට පද බැඳිනි. ඔහු එය අමරදේවයන්ගේ අත තැබීය. මේ කාරණයටම අමරදේවයන්ටද මුහුණදෙන්නට සිදු වී තිබුණි. ඔහුද ඒ හැඟීමෙන් නිතර පීඩා වින්දේය. ඒ නිසා අමරදේවයන්ගේ ද දුකටපත් වූ සිත සනසා ගැනීමට තරම් වන මේ අපූරු ගී පද රචනාවට ඔහු සංගීතය මුසු කළේය. සිය මියුරු සරය මුසු කළේය.