නාමෙල්ගේ උපන්දිනයට මාලිනීගෙන් තෑග්ගක්
නාමෙල්ගේ උපන්දිනයට මාලිනීගෙන් තෑග්ගක්
“නැට්ටුක්කාරි”
සමඟ පැරණි මතක අතරට යමු
නාමෙල් - මාලිනී වීරමුණි කියන්නේ අපූරු යුවළක්. හරියට ගසයි පොත්තයි වගේ. මේ මාසේ 31
වැනිදා යෙදෙන නාමෙල්ගේ උපන්දිනයට ඈ දෙන්නේ අපූරු තෑග්ගක්. ඒ නාට්‍ය උළෙලක්.
‘නැට්ටුක්කාරි’, ‘කන්දොස්කිරියාව’,‘දීගෙක ඇවිත්’ කියන නාට්‍ය ත්‍රිත්වය මේ වනවිටත්
වේදිකා ගත වීමට සියල්ල සූදානම්. 30 වැනිදා - කන්දොස්කිරියාවත්, දීගෙක ඇවිත්, 29 සහ
31 - නැට්ටුක්කාරිත් වේදිකා ගතවන නාට්‍ය උළෙල නරඹන්න මේ යුවළ හැමෝටම ආරාධනා කරන්නේ
බොහොම ආදරයෙන්.
1970 වසරේ වේදිකා ගතවුණු ‘නැට්ටුක්කාරි’ කියන්නේ දිගු නාට්‍යයක්. ඒ කාලේ ඒ නාට්‍යයට
ලැබුණු ප්‍රතිචාර එමටයි. ඒ අතීතයේ වූ රස මුසු දෑත්, නාට්‍ය ත්‍රිත්වය පිළිබඳත්
තොරතුරු ගෙනහැර පෑමට අප සමඟ එක්වූයේ ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණි.
‘කන්දොස් කිරියාව’ වගේම ‘දීගෙක ඇවිත’ කියන්නේ ඒකාංගික වේදිකා නාට්‍ය ද්විත්වයක්.
‘කන්දොස් කිරියාව’ කියන්නේ සෝමපාල ගුණධීරගේ රචනයක්. ඒ නිර්මාණයේ පළමුව දොරට වඩින්නේ
ගුවන් විදුලි නාට්‍යයක් විදියට. ඒක අපූරු කතාවක් කියලා හිතන නාමෙල් වේදිකාව මතට
ගෙන්නේ ඒ හාස්‍යෝත්පාදක නාට්‍යයක් ලෙසින්. ඒ වගේමයි “දීගෙක ඇවිත්” කියන්නෙත්
හාස්‍යොත්පාදක නාට්‍යයක්.
ඇන්ටන් චෙකොෆ්ගේ ‘ද ප්‍රපෝසල්’ කියන නාට්‍යයේ
අනුවර්තනයක්. මේ නාට්‍යයයේ රඟපාන්නේ අනිල් විජේසිංහ, අනුෂා දිසානායක,ප්‍රභාත්
මනෝහාර. ‘කන් දොස් කිරියාව’ නාට්‍යයේ රඟපාන්නේ විජේරත්න වරකාගොඩ, දයා තෙන්නකෝන්,
මාලිනී වීරමුණි, ග්‍රේස්් ආරියවිමල්, ලලිත් රාජපක්ෂ, සෙනට් දික්කුඹුර. ‘
නැට්ටුක්කාරී’ වේදිකා නාට්‍යය මේ වේදිකා ගතවෙන්නේ තෙවැනි නිෂ්පාදනයක් විදියට. වසර
44 ක් තරම් ඉතිහාසයක් තිබෙන මේ නව නිෂ්පාදනයේ රඟපාන්නේ ගාමිණී හෙට්ටිආරච්චි, දයා
තෙන්නකොන්, මානෙල් වීරමුණි, සුරංගි කෝසලා, රුවන් වික්‍රමසිංහ, මාධව විජේසිංහ,
විශාඛා ජයවීර, සෙනට් දික්කුඹුර, තරිඳු ජයසිංහ, නාමෙල් වන මමත්. එදා සිටිය
නළුනිළියන් අතරෙත් පළමු නිෂ්පාදනයේ ඉදලා අද දක්වාමත් රඟපාන්නේ දයා තෙන්නකෝන්, වගේම
මාලිනී වීරමුණිත්. මේ තරම් අපූරු ඉතිහාසයක් තිබෙන ‘නැට්ටුක්කාරි’ට පණ දුන්න අය අතර
එදා හිටිය රංගන ශිල්පියෝ තවමත් මට හොඳට මතකයි. ඒ සෝමලතා සුබසිංහ, ප්‍රේමා ගනේගොඩ,
උපාලි අත්තනායක, විමල් කුමාර ද කොස්තා, මාලිනී වීරමුණි, දයා තෙන්නකොන්,
ජී.ටී.වික්‍රමසිංහ ආදී පිරිසක්. එදා මේ අය සමඟ ගෙවුණු සොඳුරු මතකවලින් අපේ ජීවිත
පිරිලා.
‘නැට්ටුක්කාරි’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයට ඒ කාලේ මා ආරධනා කළේ අපේ නිළි
රැජනට. ඒ කියන්නේ ඩේසි අක්කට. ඈ ඒකට බොහොම කැමැති වුණා විතරක් නොවෙයි සති දෙකක් වගේ
පුහුණුවීම්වලටත් ආවා. මීගමුවේ ඉඳලා ආව ඈට දිනකට රු 40ක අඩුම මුදලක් වෙන් කරන්න මට
සිදුවුණා. ඒත් ආර්ථික අතෙන් පහළ මට්ටමක සිටිය මට ඒක ලෙහෙයි පහසු වුණේ නැහැ. මේ
නිසාම දෝ ඩේසි අක්කා මට මෙහෙම කිව්වා.
“නාමෙල් මට තේරෙනවා ඔයාට මේ මුදල ගෙවන්න බැහැ කියලා. ඒ නිසා මංගල දර්ශනය දවසට මම
රඟපාන්නම්. ඒ වනතුරු වෙන කෙනෙක් දමලා මේ චරිතය පුහුණු කරන්න”
ඈ කිව්වේ හැමෝගෙම හොඳට. ඊට පස්සේ ඒ චරිතයට අපි කතා කළේ සෝමලතා සුබසිංහට.
‘නැට්ටුක්කාරි’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දවසේ ඩේසිත් ආවා. ඒ එඩීත් එක්ක.
නාට්‍යය නරඹලා අවසානයේ ඈ අපූරු කතාවක් කිව්වා.
“නාමෙල් මට මේ චරිතය කවදහරි කරන්න ඕන. මේක මගේ ජීවිතය”
ඈ කිව්වේ බොහොම හැගීම්බරව.
මේ සිදුවීම වුණේ ‘නැට්ටුක්කාරිත්’ අරගෙන හලාවත ගිය දර්ශනයකදි. දර්ශන කිහිපයම වේදිකා
ගත කරලා අවසානයේ හැමෝම හොඳට කෑවා. පිරිමි ටික මත්පැන් බිව්වා. කොච්චර බිව්වද
කිව්වොත් කිහිප දෙනෙකුටම හොඳටම වෙරි. මේ අතර එක්තරා සිද්ධියකට එක්තරා නළුවෙක් මමත්
සමඟ පුංචි ආරෝවක් ඇති කර ගත්තා. ඔහුට කොයිතරම් වෙරි ද කිව්වොත් සියල්ල අමතක වුණා.
කොහේදෝ තිබුණ පිහියක් අරගෙන ආවේ මට අනින්ට. අන්තිමට හැමෝම එකතු වෙලා ඒ පිහිය
ඔහුගෙන් උදුර ගත්තා.
මේ සිද්ධිය සිද්ධ වුණේ කුරැණෑගලදී කියලා මට මතකයි. මම නළුවන්ට මත්පැන් බීම තහනම්
කරලා තිබුණේ. බොනවා නම් දර්ශන සියල්ල අවසාන විය යුතු බවත් මා පැවසුවා. ඒත් ඒ ගැන
නාහෙට නාහන කිහිපදෙනෙකුත් සිටියා. මේ සිද්ධියට මුල්වුණු ඔහු කලක් ලේක්හවුස් එකේ
වගේම කලක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වෙලත් සේවය කළා. ඒ වගේම දක්ෂ නළුවෙක්. ඔහුත් එහි
රඟපෑවා. ‘නැට්ටුක්කාරි’වේදිකා ගත වෙන අතරතුර මම ඩ්‍රෙසින් රූම් එකට ගියේ මොකක්දෝ
වැඩකට. ඒ අතර මඟදි මට මුණ ගැසුණේ මේ අපූරු පුද්ගලයාව. ඔහුගේ අතේ තිබුණේ තේ බොන
පිරිසි කෝප්පයක්.
“බොනවා නේද”

මා විමසුවේ ඔහුගෙන්.
“මෙන්න දෙවියනේ දැන් අපට තේ ටිකක්වත් බොන්න බෑ.”
ඔහු කිව්ව දෙබසට නම් මගේ මුහුණට නැඟුණේ හිනාවක්. ඇත්තටම ඔහුගේ අතේ තිබුණ කෝප්පේ
තිබුණේ මත්පැන්. එහෙමයි ඔවුන් මට හොරා නාට්‍යය අතරතුර බ්ව්වේ.
දවසක් බොරැල්ලේ වයි.එම්.බී. ශාලාවේ දින දෙකක් ‘නැට්ටුක්කාරි’වේදිකා ගතවුණේ එක දිගට.
ප්‍රධාන චරිතය රඟපෑවා ප්‍රේමා ගනේගොඩට ගෙව්වේ රු75ක්. ප්‍රධාන චරිතය කළ උපාලි
අත්තනායකට ගෙව්වේ රු70 ක්. මේකට ටිකක් උපාලිට තරහ ගියා.
“මොකද ප්‍රේමාට 75ක් ඒ වුණාට මට හැත්තෑවක්. මටත් ඕනෑ හැත්තෑපහක්”
ඔහු කිව්වේ නෝක්කාඩුවෙන්. ටික වෙලාවකින් පුංචි ආරවුලක්.
‘උඹට බැරිනම් ඇඳුම් ටික තියලා පලයන්’
මම කිව්වේ එකපාරටම. ඇත්තටම උපාලි ගියා. ඊළඟ දවස ජූලියන්ගේ චරිතේ කරන්නේ කවුද?
හැමෝගෙම හිතේ පැන නැඟුණේ ඒවගේ ප්‍රශ්නයක්. ඊළඟ දවසේ අන්තිම තත්පරය වනතුරු හැමෝම
බලාගෙන සිටියා. ප්‍රේක්ෂකාගාරය කට කපලා. අවසානයට මම ජූලියන් වුණා. ඒත් ටික දවසකට
පස්සේ උපාලි ආයෙත් ආවා. අර තරහ මරහ ඔක්කොම අමතක කරලා.
ඊළඟට නාට්‍යය දර්ශනයක් වේදිකා ගත කළේ ගාල්ලේ. ඒ ගමන බොහොම සුන්දරයි. බස් එකට නැග්ග
වෙලේ ඉඳලා සිංදු, නැටුම්වල ඉවරයක් නෑ. ඒ අතර වාද්දූවේ බස් එක නැවැත්තුවේ රා බොන්න.
එතැනදි අපිත් එක්ක විදේශිකයෙක් එකතු වුණේ ගාල්ලට යන්න. ඔහුත් හොඳටම බීලා. කොහොම
වුණත් ටික වෙලාවක් ගියාම පස්සේ හැමෝම නටන්න ගත්තා. විදේශිකයක් ඒකට එකතු වුණා. ටික
වේලාවයි ගියේ. ඩබල් බේස් සංගීත භාණ්ඩය දමලා තිබුණු ආසනය අතරෙන් විදේශිකයා පනින්න
තැත්කළා. ඒත් දිග සංගීත භාණ්ඩයක් වුණු ඩබල් බේස් එක උඩින් පනින එක ඔහුට ලේසි වුණේ
නැහැ. ඔහුව එහි කොණකට ඇඳගෙන වැටුණේ ඒත් එක්කම. ඩබල් බේස් එක කඩලා ගියා. එදා ඒක
නැතුව නාට්‍යය කළා. පසුව අපි බේස් එක හදලා දුන්නත්, ඒ විදේශිකයා පනින්න ගිහින්
වැටුණු විදිය මතක් වනවිට මට තවමත් හිනා.
එදා තිබුණේ ගාල්ලේ ටවුන් හොල් එකේ දර්ශනයක් වුණත් ඒ හැබැයි ‘ගොළුබිරිද’ නාට්‍යය, ඒ
වගේම ‘නරිබැණා’ නාට්‍යයත් වේදිකා ගත කළා. 3.30 දර්ශනය වේදිකාගත කරන්න සියල්ල
සූදානම්. ඒක පාසල් දර්ශනයක් නිසා මුළු ප්‍රේක්ෂකාගාරයම කට කපලා පාසල් ශිෂ්‍ය
ශිෂ්‍යාවෝ. පුදුම කෑ ගැහිල්ලක්. පළමු සීනුව නාද වුණා. දෙවන සීනුව නාද වුණත් ඒ කෑ
ගැහිල්ල නෙවෙයි නැවතුණේ. තුන්වන සීනුවත් සමඟ තිරය විවෘත වුණත් ඔවුන්ගේ කෑගැහිල්ල
එහෙමමයි. ටික වෙලාවක් ගියා. නාට්‍යය කරගෙන යන්නත් බැරිතරම්. නාට්‍යය කරගෙන යන අතරේ
මම වේදිකාවෙන් ප්‍රේක්ෂාගාරයට බැස්සා. ගිහින් ඉස්සරහම හිටිය කොල්ලෙක්ව අල්ලගෙන හොඳ
කම්මුල් පාරක් දුන්නා.
‘කෑ ගහන්නෙපා යකෝ’
ඒත් එක්කම මම හයියෙන් කෑ ගැහුවා. මුළු ශාලාවම නිශ්ශබ්ද වුණේ මීයට බිම්බ වගේ. ඒත්
ඉතිං ඊට පස්සේ ‘ගොළු බිරිඳ’ නාට්‍යයේ හිනා වෙන්න ඕනෑ තැන්වලදි වුණත් ඔවුන් හිනා
වුණේ නැහැ.
මේ වගේ අපුරු සිදුවිම් මැද දිගු කාලයක් ඇතුළත වේදිකා ගතවුණු මේ නාට්‍ය මගේ ජීවිතය
වගේ. නාමෙල් වීරමුණි කියන ප්‍රවීණ නාට්‍ය ශිල්පියා කිව්වේ අවසාන වතාවට.
තිලානි ශානිකා විතානාච්චි
සේයාරූ - අමිත් එස්. සේනාරත්න
|