වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඇල්ෆ‍්‍රඩ් ඔය මුල්ලේ මොකද කරන්නේ

ඇල්ෆ‍්‍රඩ් ඔය මුල්ලේ මොකද කරන්නේ

ඒ කාලයේ ගුවන් විදුලියේ නිවේදන කටයුතු කිරීමේදී සාමාන්‍ය සම්ප්‍රදාය වුණේ ටයිප් කර තිබෙන වචන පමණක් නිවේදනය කිරීමයි.

දවසක් මා ඔබ කැමැති ගී වැඩසටහන මෙහෙයවමින් සිටියා. ගීතයේ නම, ගායනා කරන පුද්ගලයාගේ නම ගීතයට අදාළව කිව යුතු දේ සියල්ලම ටයිප් කළ කොලයක සටහන් කොට මගේ අතට පත් වුණා. ඒ සියලු දේ නිවේදනය කරලා ගීතය වාදනය කළා. මා . . .ලා, මා . . .ලා කියලා ගීතය අවසන් වෙනකං වාදනය වුණා. කීප සැරයක් තැටිය දැම්මත් මා . . .ලා කියනවා විතරයි. ගීතය නවතිනවා. තනියම මටත් හිනා ගියා. කළ යුතුª දෙයක් නැති තැන මම මගේ භාෂාවෙන් ශ්‍රාවකයන් අමතමින් ගී තැටියේ අනෙක් පැත්ත මාරු කිරීමට කාර්මික ශිල්පියාට උපදෙස් දුන්නා. එහෙම තැටිය මාරු කළාට පස්සේ හරි අපූරුවට මුල සිටම ගීතය වාදනය වුණා.

මේ වැඩ සටහන නිමා වෙනවාත් සමඟම මට එච්. එම්. ගුණසේකර මහතාගෙන් පණිවිඩයක් ලැබුණා. මා ඔහු හමුවට ගියා. මා හිතුවේ බැනුම් අහන්නට වෙයි කියලයි. අවස්ථාව අනුව වචන හැසිරවීම ගැන එතුමන් මට ප්‍රශංසා කළා. ඊට පස්සේ අනෙක් නිවේදකයන්ටත් අවස්ථාව අනුව වචන හැසිරවීමට අවසර ලැබුණා.

ඔන්න මට තවත් දවසක ප්‍රවෘත්ති කියමින් ඉන්න කොට හදිසියේම ගුවන් විදුලියේ ප්‍රවෘත්ති මැදිරියේ කාර්මික දෝෂයක් ඇති වුණා. පසුව මා හනික ප්‍රවෘත්ති කීම සඳහා සාමාන්‍ය මැදිරියකට ගියා. එතන ප්‍රවෘත්ති කියන තැනකුත් නෙමේ. කාටවත් එතැන ප්‍රවෘත්ති කියනවද කියලවත් හිතන්න බෑ. ඔහොම සජීවීව ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටින විට එවක ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස කටයුතු කළ ඇග්නස් තිසේරා එතැනට කොහේ දෝ සිට දුවගෙන ආවා.

ඊළඟට කිසිම ඇහිල්ලකින් තොරව ‘අනේ ඇල්ෆ‍්‍රඩ් මම ඔයාව හැම තැනම හොය හොයා හිටියේ. ඔයා ඔතන මුල්ලේ මොනවද අනේ කරන්නේ’ කියලා මහ හයියෙන් මගෙන් ඇහැව්වා. මොන දෙයියන්ට කියන්නද? ඇග්නස්ගේ වචන සෙට් එකත් විකාශය වුණා. මට ප්‍රවෘත්ති කියනවට වඩා දෙලෝ රත් වුණේ ඇග්නස්ගේ කතාව මුළු රටටම ඇහුන නිසා. ඒ දවස්වල මම විවාහ වෙලා හිටියේ නැති නිසා ප්‍රශ්නයක් වුණේ නැතත් මම විවාහ වෙලා හිටිය නම් මට විඳින්න වෙන ප්‍රශ්න වැල කොච්චර ද කියලා මට හිතුණා. කෙසේ හෝ මම මේ සිදුවීම පිළිබඳ ශ්‍රාවකයාව දැනුවත් කර ඒ සැමගෙන් සමාව ඉල්ලා සිටියා.

විනෝද සමය නිවේදනය කරමින්

ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදන තනතුරේ වැඩ කරන කාලයේ බොහෝ විට කරුණාරත්න අබේසේකරත් මමත් රාත්‍රී ප්‍රවෘත්ති නිවේදන කටයුතු සිදු කළා. නතර වීමට අපට වෙනම කාමරයක් ද තිබුණා. එක දවසක් මම මගේ කාමරයේ තිබුණ කොට්ටයක් බඩේ බැඳගෙන ඇඳේ තිබුණ ඇතිරිලි ටික හොඳට පොරව ගත්තා. දැන් මම බබෙක් ලැබෙන්න ඉන්න ගැහැනියක් වගේ හෙමින් හෙමින් අමාරුවෙන් අපේ කට්ටිය ඉන්න තැනට ගිහින් ‘මහත්තයෝ කාසල් එක කොහෙද තියෙන්නේ’ කියලා ගැහැනු කට හඬකින් ඇහුවා.

ඇන්ඩ් කොම්පැණි ටෙලි නාට්‍යයේ ජෝතිරත්නට රඟන ඇල්ෆ්‍රඩ්

එක පාරට කට්ටියට හඳුන ගන්න බැරි වුණත් පසුව කොහොම හරි මාව හඳුනාගෙන යකෝ මේ ඇල්පියානේ (එදා කවුරුත් මගේ හිතවතුන් මට කතා කලේ ඔය නමින්) කියලා මගේ ඇඳුම් සියල්ලම බලෙන්ම ගැලෙව්වා. දැන් මට කරගන්න දෙයක් නෑ. හෙමිහිට මගේ කාමරයට පැන ගත්තා. පහුවදා උදේ ප්‍රවෘත්ති කියන්නත් තිබුණේ මට. දැන් ඉතිං මට ප්‍රවෘත්ති මැදිරියට යන්න විදියක් නෑ. ඇඳුම් නැතුව කොහොම හරි එදා රෑ එළිවෙනකන් මම ඇඳ රෙදිත් නැතිව මදුරුවො තල තලා නිදා ගත්තා. හරි හමන් නින්දකුත් නෑ. කොහොම හරි මම අසරණ වෙලා ඉන්න කොට පහුවෙනිදා උදේ යාළුවෝ ටික එදා උදේ ප්‍රවෘත්ති කියන්න තියනවා කියලා දැනගෙන ඇදුම් ටික එව්වේ ගෑනු ළමයෙක් අතේ.