වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




‘සඳා’ වාසනාවන්ත චරිතයක්

‘සඳා’ වාසනාවන්ත චරිතයක්

‘රයිගම් ටෙලීස්’ හොඳම නිළිය
නිලුක්ෂි ප්‍රනාන්දු හදවතින් කතා කරයි

අන්ධ චරිතයක් නිරූපණය කරන්න ලෙහෙසි නැහැ. තවත් විදිහකින් කිව්වොත් අන්ධ චරිතයකට පණ පොවන්න ලැබීම රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට එක්තරා ආකාරයක අභියෝගයක්. එවන් වූ චරිතයකට ජීවය දීලා ඒ වෙනුවෙන් සම්මානයක් ලබනවා කියලා කියන්නේ ඔහු හෝ ඇය සැබෑ දක්ෂයකු කියන එකයි.

නිලුක්ෂි ප්‍රනාන්දු අන්න ඒ වගේ හපනියක්. ශාන්ත සොයිසාගේ සඳා ටෙලි සිතුවමේ දෙනෙත් අහිමි සඳා වෙලා ඇය පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලීස්හිදී හොඳම නිළිය ලෙස අභිසෙස් ලැබුවා. ඒ විතරක් නෙවේ, නිලුක්ෂිව වඩාත් ජනප්‍රිය වුණෙත් සඳා නිසයි කියලා කිව්වොත් මං හිතන්නේ ඒකේ කිසිදු වැරැද්දක් නැහැ.

* එහෙම නේද නිලුක්ෂි?

ඇත්තටම ඔව්. මාව හුඟක් ජනප්‍රිය කළේ සඳා. ඒ වගේම මට ටෙලි නාට්‍යවලට ආරාධනා ගලාගෙන ආවේ සඳා රඟපෑවට පස්සේ. සඳා කියන්නේ වාසනාවන්ත චරිතයක්. ඒකනෙ මට සම්මානයකුත් ලැබුණේ.

* හොඳම නිළිය ලෙස ඔබේ නම කියද්දී නිලුක්ෂිට මොකද හිතුණේ?

පොඩි චකිතයක් දැනුණා.

* සතුටක් දැනුණේ නැද්ද?

සතුටුයි. ඒත් මාත් එක්ක දෙන්නෙක් ඒ සම්මානයට නිර්දේශ වෙලා හිටියා. ඒ පබෝධා සංදීීපනී සහ ජයනි සේනානායක. පබෝධා නම් අපේ වයසේ නිසා අවුලක් නැහැ. ඒ වුණාට ජයනි අක්කා මං රඟපාපු පළමු නාට්‍යයේ සිටම මගේ වැඩිහිටි සමීපතමයෙක්. ඇය මට ගොඩක් උදව් කරලා තියෙනවා. මං හින්දා ඇය දෙවැනි වුණා නේද කියලා පොඩි චකිතයක් දැනුණා.

* සම්මානය ඔබ දෝතට ගත් පසු ජයනි මොකද කිව්වේ?

නිලුක්ෂි මේක ඔයාට අයිති විය යුතු සම්මානයක්’ එච්චරයි ඇය කිව්වේ. ඇගේ ඒ නිහතමානීකම මගේ ලැජ්ජාව මකා දැමුවා.

* ඇය ද ඔබට මුලින්ම සුබ පැතුවේ?

නැහැ. මගේ මහත්තයා.

* ඔබ විවාහ වූ අයකු කියලා වැඩි දෙනෙක් දන්නේ නැහැ?

ක්ෂේත්‍රයට ආව මුල්ම කලෙමයි මම විවාහ වුණේ. මගේ මහත්තයා ජනක මාපිටිය. ඔහු වෘත්තීමය කැමරා අධ්‍යක්ෂවරයෙක්. අපිට පුංචි දුවෙක් ඉන්නවා අවුරුදු තුනක. ඇය දුලන්්‍යා මාපිටිය.

* ඔබ නිතර දකින රංගන ශිල්පිනියක් නොවුණේ ඇයි?

මගේ පළමු ටෙලි නාට්‍යය වුණේ අශෝක ආතවුද හෙට්ටිගේ සද්ගුණාකාරය. ඊට පසුව ගැහැනු ළමයි නාට්‍යයෙහි රඟපෑවා. ඒත් එක්කම මං විවාහ වුණා. ඒ කාලයේදී මං රඟපෑවෙම නැති තරම්. බබා ටිකක් ලොකු වුණායින් පසුයි සඳා රඟපෑවේ. මේ විදිහට බලද්දී මං නාට්‍ය අතළොස්සකයි රඟපාලා තියෙන්නේ. ඒක මං හිතලා කරපු දෙයක් නෙවෙයි. ඇතැම් විට මං විවාහ නොවුණා නම් ඒ කාලයේ සිට මේ දක්වා මං නිතර ටෙලි නාට්‍යවල ඉන්න තිබුණා.

* දැන් ඔබට හිතේ හැටියට රඟපාන්න පුළුවන්ද?

පුළුවන්. නමුත් මං ලැබෙන සෑම චරිතයක්ම බාර ගන්නේ නැහැ.

* ඒ කිව්වේ?

මට රඟපාන්න පුළුවන් චරිත විතරයි මං බාර ගන්නේ.

* ඒ කියන්නේ ඔබට රඟපාන්න නොහැකි චරිතවලටත් ඔබට ආරාධනා ලැබිලා තියෙනවා?

ඔව්.

* දෙක තුනක් කියන්නකෝ බලන්න?

කොල්ලෙක් වගේ ඉන්න ගැහැනු ළමයින්ගේ චරිත, සංකර චරිත මට රඟපාන්න බැහැ.

* ඒ වගේ චරිත රඟපාන්න බයද?

මට හිතෙනවා මං එවන් වූ චරිත රඟපෑවොත් අසාර්ථක වේවි කියලා.

* මං අහලා තියෙන විදිහට නළුවකුට හෝ නිළියකට හැකියාව තිබිය යුතුයි තමන්ට ලැබෙන චරිතවලට හැඩ ගැහිලා රඟපාන්න?

ඒක නම් ඇත්ත. නමුත් මං මට නොහැකි චරිත රඟපාලා ඒ මුළු නිර්මාණයම අසාර්ථක වුණොත් හැමෝම මට දොස් කියාවි. එක හින්දා පුළුවන් චරිත විතරක් මං කරනවා. අර බැරි වැඩ නොකරන් අබරෝ කියලා කතාවකුත් තියෙනවානේ. එක අතකින් මගේ ලොකුª දුර්වලකමක් ඒ වගේ චරිත බාර නොගැනීම.

* හැබැයි ඔබ සඳා චරිතයට මනා සාධාරණයක් ඉටු කළා?

සඳා ටෙලි නාට්‍යයට මාව තෝර ගත්තේ ස්ක්‍රීන් ටෙස්ට් එකකින්. එදා මට එහි පිටපත අතට දුන්නා එක ඩයලොග් පේළියක් බලා ගන්න කියලා. මට හිතුණා පිටපත දිගටම කියවන්න. ඒක එක හුස්මට කියවගෙන යන්න පුළුවන් කතාවක්. එච්චරටම ලස්සනයි. කොහොම හරි ක්‍රම ක්‍රමයෙන් සඳාගේ චරිතයට මට පුදුම විදිහේ ලෝබකමක් ඇති වුණා. ඒ ලෝබකම හිතේ තියාගෙනයි ස්ක්‍රීන් ටෙස්ට් එකට මුහුණ දුන්නේ. එතන හිටපු අය මා සඳාට සුදුසුයි කියලා තීරණය කළා. මුල ඉඳලම මට සඳාව නිරූපණය කරන්න හැකියි කියන මතයෙයි හිටියේ. වෙනින් චරිත වගේ කරන්න බැහැ යන අදහස කොතනකදිවත් මතු වුණේ නැහැ.

* ඔබ විසින්ම ඔබ වාරණය කර ගන්නා චරිත අතර පෙම්වතියගේ චරිතය තිබේද?

අපෝ නැහැ. බැඳල හිටියත් කැමරාව ඉස්සරහ පෙම්වතියක් වෙන්න මං බොහොම ප්‍රියයි. මට පෙම්වතියගේ චරිතය හොඳට නිරූපණය කරන්න පුළුවන්.

* මහත්තයා කියලා නැද්ද දැන් රඟපෑවා ඇති, ගෙදරට වෙලා ඉන්න කියලා?

අපි විවාහ වෙලා මං රඟ නොපා ඉන්න හදද්දි ඔහු තමයි මාව රඟපාන්න යැව්වේ. ජනක නිතරම කියන්නේ දක්ෂතාවයන් අපතේ යවන්න එපා කියලා.

* නිලුක්ෂි ගැන කටකතා හැදුනේම නැති තරම්. කොහොමද මෙවන් වූ ක්ෂේත්‍රයක් තුළ ඒ විදිහට ජීවිතය ගෙවන්න හැකි වුණේ?

මට අම්මයි තාත්තයි පොඩි කාලේ ඉඳලා ගැහැනු ළමයකු විදිහට ඕනෑම තැනක සංවරව ඉන්න කියලා දීලා තියෙනවා. පවුලේ වැඩිමල් කෙනා හැටියට මම මගේ බාල සහෝදරියන්ට ආදර්ශවත් විය යුතුයි. ඉතින් මං මේ හැම වගකීමක්ම හිතේ දරාගෙනයි රංගනයේ යෙදෙන්නේ. එතකොට කවුරුවත් කටකතා හදන්නෙත් නැහැ, හැදෙන්නෙත් නැහැ.

* අද කාලේ සමහර නිළියො කියනවා ජනප්‍රිය වෙන්න කටකතා හැදෙන්න ඕනෑ කියලා?

ඒක බොරුවක්. ලෝකෙ ජනප්‍රිය වුණු හැමෝම කටකතා හදාගත්තු අය නෙවෙයිනේ. තමන්ගේ ජනප්‍රියත්වය අඩු වෙද්දි ඇතැම් අය කටකතා හදා ගන්නවා. ඒත් ඒවා බොරු කතා කියලා දැනගත්තම රසික රසිකාවෝ ඔවුන්ව ඉබේම ප්‍රතික්ෂේප කරලා දානවා.

* මේ ක්ෂේත්‍රය හොඳයිද?

මට නම් හොඳයි. ගොඩක් අය හිතාගෙන ඉන්නවා කලා ලෝකය අමු නරකාදියක් කියලා. ඒත් මේක සුරලොවක් වගේ තැනක්. දෙතුන් දෙනෙක් හින්දයි මෙතැනට කළු පැල්ලම් එන්නේ.

* ටෙලි නාට්‍ය තුළින්ම කලාව ඇතුළේ සිදුවන වැරැදි පෙන්වීම ගැන නිලුක්ෂිගේ අදහස මොකක්ද?

අන්තිම නරක වැඩක්. මං මේ ප්‍රශ්නය ගැන කතා කරන්න තරම් ලොකු අවබෝධයක් නැහැ. ඒ වුණත් කියන්න ඕනෑ අපේ අය විසින් අපි හම්බු කරගෙන කන තැනට ගහනවා. ඒක නම් එච්චර ඇඟට ගුණ කාර්යයක් නෙවෙයි.

* නිලුක්ෂි දැන් සම්මානනීය නිළියක්. තව දෙතුන් දවසකින් ඔබත් සම්මාන නිසා වෙනස් වුණු නිළියන් ගොන්නට වැටේවිද?

මිනිස්සු මට කතා කරන්නේ ඇත්ත නමට වඩා සඳා කියන අකුරු දෙකෙන්. ඒක නිසා මං ඒ නමින්ම ඔය ප්‍රශ්නයට උත්තරයක් දෙන්නම්. මේ සඳා අදත් මේ වගේ, හෙටත් මේ වගේ, මතුවටත් මේ වගේ. සඳා හැමදාමත් එක වගෙයි. සම්මාන ලැබුණට මේ සඳා කවදාවත් වෙනස් වන්නේ නැහැ.