වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




එතුමයි මෙතුමයි සමඟ ආ සුරේන්ද්‍ර

එතුමයි මෙතුමයි සමඟ ආ සුරේන්ද්‍ර

අපේ ගමේ පොඩි හාමුදුරුවෝ මට එයාව හඳුන්වා දුන්නේ නැත්නම් මං අද මෙතැන නැහැ. එදා තමයි මගේ ජීවිතය තීරණය වුණේ. මං ජීවත් වුණේ කලාව ඇතුළේ. එතුමා මගේ හීනය සැබෑ කළා.

මේ කතාව පටන්ගන්නේ එතැනින්. කතානායකයා සුරේන්ද්‍ර ගාමිණී ප්‍රතාපගේ. අංශ තුනක දස්කම් පාන මේ අපූරු තරුණයා Behind The Scene වෙත ඇස ගැටුනේ මයි නේම් ඉස් බන්දු චිත්‍රපටයේ දර්ශන තලයේදී.

මේ සුරේන්ද්‍ර සහ Behind The Scene හමු වූ මොහොතයි.

ඉතින් සුරේන්ද්‍ර අපි කතාව කියමු?

මම ඇඹිලිපිටියේ. වලල්ගොඩ විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු අවසන්කරලා ගෙදර ඉන්න කාලේ කාර්මික ශිල්පය හැදෑරුවා. ඊට පස්සේ ජේසිබී පුහුණුවෙලා වැඩ කළා. මෙහෙම රැකියාවන් කිහිපයක් කළත් මගේ පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාව තමයි කලාවට සම්බන්ධව වැඩකරන්න. එහෙත් අපි වගේ ගමේ ඉපදුනු අයට ඒක හීනයක්. මෙහෙම කාලය ගතවෙනකොට මට දැනගන්න ලැබුණා අපේ ගමේ පන්සලේ මනීරතන පොඩි හාමුදුරුවෝ හඳුනන කලා අධ්‍යක්ෂකවරයෙක් ඉන්න බව. පොඩි හාමුදුරුවන්ගෙන් කළ ඉල්ලීම අනුව උන් වහන්සේ මට රෝහණ හේවා විතාරණ මහත්තයව හදුන්වා දුන්නා. අපේ පොඩි හාමුදුරුවොයි ,මෙතුමයි නිසා තමයි අද මම කලා ක්ෂේත්‍රයේ නියැළී ඉන්නේ.මෙන්න මෙහෙම තමයි මගේ හීනය සැබෑ කරගන්නට පාර හදා ගත්තේ.

ඉතින් ඊට පස්සේ මොකද වුණේ?

2006 වසරෙදි රෝහණ මහත්තයගෙ ගෙදර නැවතිලා ඔහුගෙ වැඩවලට උදව් වෙන අතරෙ කලා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය හැමදේම මුලසිට ඉගෙනගත්තා. ඉගෙනගන්න කාලෙ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයයේ පසුතල නිර්මාණය සඳහා එතුමා සමඟ වැඩ කළා. ඊට පස්සෙ කැලණි පාලම, අහසින්වැටුනු මිනිස්සු, කකුල් හතරෙ ඉලන්දාරිය, රූකඩ සාජ්ජේ, වැනි වේදිකා නාට්‍ය 23 ක වැඩකරලා තියෙනවා. පළමු ටෙලිය තමයි චරිතයකට පාට දෙන්න,ඇඳුම් නිර්මාණය කළ පළමු ටෙලිය වුණේ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ අල්ලපු ගෙදර,මේ හැමදේකදිම ගුරුහරුකම් දුන්නේ රෝහණ මහත්තයා.

ඊට පස්සේ මට අවස්ථාවක් ලැබුණා සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කළ රන්තලිය වලව්ව ටෙලියෙ ඇඳුම් නිර්මාණය කරන්න. මෙහි කලා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ චිත්‍රසේන ද සිල්වා මහතායි. 2009 වර්ෂයේදී නිල්වලා ආයතනයට බැඳුණා. බොඳමීදුම්, ඉතින් ඊට පස්සෙ, වගේ ටෙලි 15 ක ඇඳුම් නිර්මාණය කළා. ඇඳුම් නිර්මාණයෙන් දායක වුණු පළමු චිත්‍රපටය එතුමයි මෙතුමයි.මේ ආයතනයෙන් අයින්වෙලා සුරංග අල්විස් මහතා සමඟ මේදිනවල වැඩ කරනවා. එතුමා අධ්‍යක්ෂණය කළ රජ හොරු චිත්‍රපටයෙ ඇඳුම් නිර්මාණයෙන් දායක වුණා. මේ දිනවල සුරංග මහතා සමඟ මයි නේම් ඉස් බන්දු චිත්‍රපටයෙ වැඩ කරමින් සිටිනවා.මම දැන් චිත්‍රපටවල ඇදුම් නිර්මාණය කිරීමත්, ටෙලිවල කලා අධ්‍යක්ෂණයත්, වේදිකා නාට්‍යයවල පසුතල නිර්මාණය කිරීම සඳහාත් නියැළෙනවා.මොනදේ කළත් රොහණ මහත්තයගේ වැඩක්නම් ඒකට ප්‍රමුකත්වය දෙනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තුව කුමක්ද?

ඇඳුම් නිර්මාණයෙන් හා කලා අධ්‍යක්ෂණයෙන් ඉදිරියට යන්න.

මේ වසර අට තුළ සිදුවු අමතක නොවන සිදුවීම් බොහොමයක් ඇති නේද?

ඔව්,රන්තලිය වලව්ව ටෙලියෙ වැඩ කටයුතු කළේ කුරුණෑගල පැත්තේ.එකපාරක් මගේ ඇඟිල්ල කැපිල දවස් තුනක් රොහල් ගත වුණා. ඊට දින කිහිපයකට පස්සෙ වතුර විෂවෙලා ඇඟේ පලු දාල මේව පුපුරල ලේ ගලන්න ගත්තා.මේක පරම්පරා තුනක් ගැන කියවෙන කතාවක් , බාරගත්ත වැඩේ මගදි දාල එන්නත් බැහැ. කොහොම හරි මේ අසනීප නිසා බොහොම අමාරුවෙන් තමයි වැඩ කළේ.

අධ්‍යක්ෂකවරු කීදෙනෙක් යටතේ වැඩ කර තිබෙනවාද? කා සමඟ වැඩ කරන්නද වඩා පහසු?

අධ්‍යක්ෂකවරු දහදෙනෙක් සමඟ වැඩකර තිබෙනවා. හැමෝම සමඟ වැඩකරන්න කැමතියි. ඒ අතරින් වැඩකරන්න පහසු සුරංග අල්විස්, නාලක විතානගේ, චන්දික විජේසිංහ යන මහත්වරුන් සමඟයි.

අපේ කතාබහ අවසන් කරන්නට. ඔබට නන්අයුරින් උදව් කළ සැම සිහිකරමු?

මනීරතන පොඩි හාමුදුරුවෝ, රෝහණ හේවා විතාරණ, මගේ මාමා සරත් චන්ද්‍ර ජයවීර, චිත්‍රසේන ද සිල්වා, රසික තෙන්නකොන්, අධ්‍යක්ෂකවරු හා කලා අධ්‍යක්ෂකවරු, මගේ මවුපියන්, මා සමඟ වැඩ කරන සැමට ස්තූති කරන්නට මා මේය අවස්ථාවක් කරගන්නට කැමතියි.