වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඔහු නැතිවෙන විට පුතාට අවුරුදු දොළහයි

ඔහු නැතිවෙන විට පුතාට අවුරුදු දොළහයි

හර්බට් එම්. සෙනෙවිරත්නයන්ගේ සොඳුරු මතක

පෙරදිගින් අරුණළු උදාවත් සමඟ කොස්ගම කහව ප්‍රදේශය ශාන්තවත් සිතිවිලි උපද්දන මනරම් දසුනක් මවා පෑවේය. ඒ 1923 භාග්‍යවන්ත මාසයේ විසි හතර වැනි දිනය. පරිසරයේ ආශිර්වාදයත් සමඟින් පින්වන්ත කුමරෙක්ගේ උපත ද එදින කහව ප්‍රදේශයේදී සිදු විය. ඔහුගේ වේලාපත්කඩය බැලූ ගමේ පන්සලේ ලොකු හාමදුරුවන් පැවැසුවේ හේ කලාවට මෙන්ම සාහිත්‍යයට ද දක්ෂ දරුවකු වන බවයි. එමෙන්ම මෙරට සුපතල කලාකරුවකු වන ලක්ෂණ පෙන්නුම් කෙරෙන බවයි. වයසින් වැඩෙත්ම මේ පින්වන්ත දරුවා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට ඇතුළු වූයේ මූලික අධ්‍යාපනය ලැබීමටයි. සිද්ධාර්ථ විද්‍යාලයේදී හේ චිත්‍ර ශිල්පයට මෙන්ම නිසැඳැස් හා සඳැස් රචනයට ද මහත් රුචියක් දැක් වීය. මූලික අධ්‍යාපනය හොඳින් නිම කළ මේ සුපුන් දරුවා කොළඹ හාවර්ඩ් විද්‍යාලයට ඇතුළු වූයේ උසස් අධ්‍යාපනය උසස් ලෙස නිම කිරීමටය. අනතුරුව කොළඹ මහාබෝධි විද්‍යාලයෙන් තම සාහිත්‍ය දැනුම තව තවත් වර්ධනය කර ගත්තේය.

එකල පුවත්පත්වල ඔහුගේ නිර්මාණ නිතර නිතර දක්නට ලැබිණි. 1945 වසරේදී චිත්‍රා සෝමපාල ගයන පී. එල්. ඒ. සෝමපාලයන් සංගීතවත් කළ ‘ලලිත කලා ඔප කරනා’ ගීයේ රචකයා වෙමින් ගීත රචනයෙන් මුළු රටේම අවධානයට ලක් විය. ඒ බවට ‘හිස් මාස්ටර්ස් වොයිස් ඩබ්. එන්. 110’ තැටිය සාක්ෂි දරයි. මෙවර පිය සටහන් වෙන් වන්නේ මෙරට කීර්තිමත් ගී පද රචකයකු මෙන්ම සිනමා ශිල්පියෙකු වූ හර්බට් එම්. සෙනෙවිරත්නගේ සොඳුරු මතක සඳහාය. ඒ සොඳුරු මතක අර්ථවත් කිරීමට සරසවිය හා තොරතුරු කීමට එක් වූයේ හර්බට් එම්. සෙනෙවිරත්නයන්ගේ ප්‍රිය බිරිඳ ස්වර්ණා ලක්ෂ්මී සෙනෙවිරත්න හා එකම පුත් චින්තන සෙනෙවිරත්නයි.

අමිත් සහ මම ඔවුන්ගේ උඩහමුල්ලේ පිහිටි නිවෙසට යන විටත් හර්බට් එම්. සෙනෙවිරත්නයන් පිළිබඳ එකල සිට පළ වූ පුවත්පත් ලිපි පෙළක් සහ ඡායාරූප විශාල ප්‍රමාණයක් තෝරමින් චින්තන සාලයට වී සිටියේය. අපව ඉහළින්ම පිළිගත් චින්තන තම පියාගේ මතකය සමඟින් අතීතයට දිව ගියේ සිය මවගේ ද සහයෝගය ඇතිවයි.

‘තාත්තගේ ප්‍රසිද්ධ වුණ පළමු නිර්මාණය ‘ලලිත කලා’ ගීතය. ඊට පෙර ඔහු ගීත බොහෝමයක් නිර්මාණය කර තිබුණත් ප්‍රථමයෙන් ජනතාව අතර ප්‍රචලිත වුණේ ඒ ගීතය. ඒ කාලෙම වාගේ තාත්තා වේදිකා නාට්‍යවල නළුවෙක් විදිහටත් රඟපෑවා. ඒ දස්කොන් ප්‍රමිලා වේදිකා නාට්‍යයේ. එහි රජ වුයේ තාත්තා ප්‍රමිලා විදිහට රඟපෑවේ ජී. එස්. බී. රාණි පෙරේරා. කපුවා කපෝතියි, සිරිසඟබෝ ආදී වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයක ඒ වකවානුවේ ඔහු රඟපෑවා. ලලිත කලා ගීතයට පසුවත් බොහෝ ජනප්‍රිය ගායක ගායිකාවන්ට සරල ගීත තාත්තා අතින් ලියැවුණා. ඔය කාලෙදි බී. ඒ. ඩබ්. ජයමාන්නයන්ගේ මිනර්වා නාට්‍ය කණ්ඩායමත් සමඟ සමීප ඇසුරක් තාත්තට ඇති වුණා. චින්තන සිය පියාගේ කලා ගමන ගැන එසේ කතා කරන විට ස්වර්ණා ලක්ෂ්මී ඊට සහයෝගය දැක් වූයේ අපමණ සෙනෙහසකිනි.

‘හර්බට් ඒ කාලේ හරිම කඩවසම් තරුණයෙක්. ඕනෑම තරුණියකට දෙපාරක් බලන්න හිතෙනවා. 1951 දී එඩී ජයමාන්නගේ ඉල්ලීම මත එයා උමතු විශ්වාසය චිත්‍රපටයේ රඟපෑවා. එහි පියසේනගේ චරිතය ඔහු රඟපෑවේ. ඊට පසුව දොස්තර, සිරියලතා වගේම අර පෙර වේදිකා නාට්‍යයේදී එයා රඟපාපු දස්කොන් චිත්‍රපටයක් ලෙස නිර්මාණය වුණා. එහි ප්‍රමිලා දේවිය වුණේ රුක්මණී දේවි එයා රජ විදියට රඟපෑවා. එහි ගීත රචනයත් හර්බට්ගෙමයි. ඊට පසුව කැලෑහඳ, අයියයි මල්ලියි ආදී චිත්‍රපටවලත් ඔහු අතින් නිමැවුණ තිරකතා වුණා.

‘අර හඳපාන චිත්‍රපටයේ චාලිගේ චරිතය රඟපාමින් ගයන ‘ආලෝකේ පතුරා’ ගීතය ලිව්වෙත් ඔහුමයි. ඊට පසුව පිදුරු සෙවිකළ, ඈත අහසේ නැඟී, මල් මල් ලස්සන වන මල්, හොඳ හොඳම වේය, මැවිලා පෙනේවි ආදී හරබර ගීත චිත්‍රපටවලට නිර්මාණය වුණේ හර්බට්ගේ නිර්මාණශීලී චින්තනයෙන්. ස්වර්ණා එසේ පැවැසුවේ චින්තන දෙස විමසිලිමත් දෑසින් බලන ගමන්ය.

‘සිරිල් වික්‍රමගේ මහත්මයාව රඟපෑමට සම්බන්ධ කර ගත්තෙත් තාත්තා. ඒ දවස්වල අපේ අම්මා නිතරම තාත්තට ලිපි ලියලා තියනවා. අම්මගේ අකුරු ලස්සනයිනේ. ඒ නිසා ඒ ලිපිවලට තාත්තා පිළිතුරු එවනවාලු. දෙන්නම දන්නේ නැතුව දෙන්නා අතර ආදර සම්බන්ධයක් ආරම්භ වෙලා. 1969 වසරේදී අම්මයි තාත්තයි විවාහ වුණේ. ඒ දවස්වල තාත්තා රටේ ජනප්‍රිය පුද්ගලයෙක් වුණාට දැන් වගේ කලාවෙන් ලොකුවට මුදල් හදල් ඉපයුවේ නැහැ. ඒ නිසා අපේ නෑදෑ ගෙදරක තමයි අම්මයි තාත්තයි නැවතිලා ඉඳලා තියෙන්නේ. චින්තන එසේ පවසා වැහිබර අහස දිහා ඔහේ බලාගෙන සිටියේ තම පියාගේ මතකයන් තුළට තව තවත් කිඳා බසිමිනි.

‘හර්බට් හරිම විනෝදශීලීයි. හැම වෙලාවකම විහිලුවෙන් තමයි කාලය ගත කළේ. 1975 වසරේදී පුතාව ලැබුණා. එදා එයාගේ ඇස්වල තිබුණේ ජීවිතේ කවදාවත් නොවිඳපු සතුටක්. ඒ වගේම සෙනෙහසක්. ඒ කාලේ එයා ගායක ගායිකාවන් බොහොමයකට ගීත ලියලා හරිම ජනප්‍රියයි. ගීත 1500 ක් 2000 ක් විතර එයා අතින් ලියැවිලා තියෙනවා. රුක්මණී දේවී ගැයූ ගීතවලින් සීයට අනූවක්ම එයා ලියපු ගීත. එයා සරසවිය සම්මාන උළෙලේදී හොඳම නළුවා විදිහට සම්මානත් අරන් තියෙනවා.

චන්ද්‍රා මේ රෑ පායා ආවා, ඈත අහසේ නැගී දිනිදු පායා, සාදු සිරීපා, දෙවියනි ඔබ මැව්, මායා, මං මුලා වෙලා, අද අපි ඉන්නේ, සීතා රාමා ආදී ගීත එයා ලිව්ව ජනප්‍රිය වූ ඒවා අතරින් කිහිපයක්.

1987 වසරේ ජූනි මාසයේදී එයා හදිසි හෘදයාබාධයකට ගොදුරු වුණා. දවස් කිහිපයක් රෝහලේ හිටියා. හරියටම ජූනි පළමුවැනිදා ඔහුව ඇඩ්මිට් කළේ. පුතාට එතකොට අවුරුදු දොළහයි. හරියටම ඊට දවස් හතකට පස්සේ අපි හැමෝම දාලා එයා යන්න ගියා. ස්වර්ණා වහලයේ යන කළු කූඹින් දෙස හිස් බැල්මකින් බලමින් පැවැසුවේ සිතේ මෝදු වූ දුක සඟවා ගනිමිනි.

‘මට ඒ වෙන කොට තාත්තාව හිතට දැනීගෙන ආපු කාලේ. මට වයස අවුරුදු විස්සක් විතර වෙන කොට තාත්තාගේ අඩුව හොඳටම දැනුණා. එයා මේ රටට, රස වින්දනයෙන් කොපමණ සේවයක් කළා ද කියලා දැනුණේ තරුණ වියට ආවට පස්සේ. තාත්තා ලියපු ගීත බොහෝ අය රිගිං ටෝන්වලට විකුණලා. ඒ වගේම සමහර අය ඒවා විකෘති කරලා. මේ වෙනුවෙන් නඩු කටයුත්තකුත් තියෙනවා. ඒ වගේම තාත්තා ලියපු ගීත එකතු කරලා ලොකු ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. එයා කරපු සේවය වෙනුවෙන් හර්බට් එම්. සෙනෙවිරත්නගේ සියලු තොරතුරු අඩංගු වෙබ් පිටුවකුත් ළඟදී අන්තර් ජාලයට මුදා හරිනවා. මේ කටයුතුª සඳහා අරුණ පත්තිනිගේ, අමරදාස අබේවික්‍රම, ප්‍රගීත් වික්‍රමසිංහ, මධුර, ගුණතිලක, අයි. පී. බන්දු ඇතුළු බොහෝ පිරිසක් උපකාර කරනවා. ඒ වගේම රනිල් සමරසුරිය, මාධව විජය ශ්‍රී වර්ධන, මුදිතා යන නීතීඥ මහත්ම මහත්මීන් වත් සිහි කරනවා.

හර්බට් එම්. සෙනෙවිරත්න නිර්මාණ සමීක්ෂණ පදනම විදියට ඔහු වෙනුවෙන් අනාගත පරපුුරට ඔහු පිළිබඳ දැනුම බෙදා දෙන්න ලැබීම භාග්‍යයක්. 0714281680 අංකයට ඕනෑම කෙනෙකුට කතා කරලා මේ සඳහා දායක වෙන්නත් පුළුවන්.

මේ කරුණත් කියන්නම ඕනෑ. අම්මයි මමයි තවමත් ඉන්නේ කුලී ගෙදරක. ඒකයි ඇත්තම තත්ත්වේ.

චින්තක එසේ පැවැසුවේ කිසිදු කහටක් සිතේ සිර නොකර ගනිමිනි.