වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අදිසි 10 ට වයස පනහයි

අදිසි 10 ට වයස පනහයි

අදිසි මිනිසා සොයා හදිසියේ බලංගොඩ ගියෙමු

නන්පේරියල් වතු වදුල සිප හමන සීත මද නළ ඇඟ හිරිගඬු පුබුදුවන සුන්දර උදෑසනයි මේ. බලංගොඩ තුහින වට බිම් පළස මැද අප මන්දගාමී ගමනේය. අප මෙ ප්‍රවේශම් සහගත ගමනක යෙදෙන්නේ ලන්තෑරුම අත ගත් අද්භූත මිනිසා සොයාය. කළු පැහැ හිම කබායකින් හා කිලිටි වූ කොටු සරම ඇඟලාගත් මේ අද්භූත එකැස් මිනිසා දැන් කුමන මොහොතක හෝ කුමන තැනෙකින් හෝ අප භීතියට පත් කරමින් මතුවනු නියතය.

ශක්තිමත් ප්‍රතාපවත් මෙන්ම ඉපැරැණි වලව් ද්වාරයේ දකුණත පඩි පෙළ කෙළවරෙහි බෝලිද්දා ගස යට මේ මොහොතේ අද්භූත මිනිසා ගිමන් හරින බව අපට කීවේ මඟ හරි හැටි දන්නා ගැමියෙකි. ඒ මඟ නිවැරැදි විය යුතුය. බෑවුම් සහිත කඳුකර දුෂ්කර මාවතේ වමත් බෑවුමෙහි පිහිටි ඉපරැණි වලව් ද්වාරයෙහි කෙළවර ඔහු ගිමන් හරිමින් සිටියි.

බෑවුමේ වලව්වේ බොහෝ පිරිසක් එකාවන්ව වැඩ කටයුතුවලය. මේ අදිසි එකැස් මිනිසා අපට හමුවන්නේ හිරු ටී. වී හි අදිසි 10 පනස් වැනි වැඩසටහන හරහාය. අද අප පැමිණියේ අදිසි 10 පනස් වන කොටස රූගත වන අපූරුව දැක බලා ගනු රිසියෙනි.

සැබෑවටම බිය උපදවන පරිදි වේශ නිරූපණය කළ එකැස් මිනිසා සමඟ අදිසි අදියුරැ පරාක්‍රම ඒකනායක හරබර කතාබහකය. කතාබහ නිමවන තුරු අප බලා උන්නේ දර්ශන තලයට ගොඩවීමට අවසර ලැබෙන තෙක්ය. පරාක්‍රම නැතහොත් අප හිතවත් පරාගේ ආරාධනයෙන් අප දැන් ක්‍රමයෙන් පහළ බෑවුම වෙත පිවිසෙන්නේ ප්‍රතාපවත් වලව්ව වෙතටය. එදවස ඒ ප්‍රදේශය පාලනය කළ රටේ මහත්තයාට අයත් මේ පැරැණි වලව්ව 1918 දී ඉදි කරන ලද්දකි. අද අදිසි දර්ශන තලය මේ සුන්දර නිස්කලංක වලව්වයි. ඒ අවට පරිසරයයි.

නවක නළු නිළියන් පිරිවරකගේ දායකත්වයෙන් රූ ගතවන අදිසි මෙවර හැඩ වන්නේ පළමුවැනි කොටස සඳහා දායක වූ කණ්ඩායමයි. ඉතාමත් සමීප සබඳතා ඇති මෙම නිර්මාණශීලී කණ්ඩායම අලුත් අදහස් දරන්නන්ගේ තෝතැන්නකි. සැබැවින්ම අපට පෙනෙන ලෙසට අදිසි නිර්මාණශීලී බලාපොරොත්තු දල්වාගත් කණ්ඩායමක එකතුවකින් සැදුණු ඵලයකි.

ක්‍රමයෙන් පතිත වන ශීතල නැත්තටම නැතිව ගියේ දර්ශන කලයේදී ලද උණුසුම් කෝපි වීදුරුවෙනි. ළහි ළහියේ තමන්ගේ කටයුතුවල යෙදෙන පිරිස උද්යෝගශීලීව තම තමන්ගේ කටයුතුවලය. කලක සිට මිත්‍රයන් වන මෙම නිර්මාණ කණ්ඩායම සමඟ කාලය ගෙවීම විනෝදජනකය. අදිසි දහය අංග රචනා ශිල්පී ජනක බණ්ඩාර අත නිරතුරුවම රැඳි තුත්තිරි මල් කෙමිය ඉඳ හිට කෙනෙකුගේ කනට ළං වෙයි. හෝ හපුටුවකු මැස්සකු හෝ කුරැමිණියකු යයි සිතා ඒ පුද්ගලයා කණට සැරෙන් පාරක් එල්ල කරයි. නමුදු කරදරය නිමවන පාටක් නැත. ඒ නිසාම ඒ පුද්ගලයා හැරී බැලූ විට පිටුපස සිටින්නේ ජනකය.

මසුරන් කියුම් මෙන්ම නිර්මාණය ද සාර්ථකව ඉදිරියට කරගෙන යන මෙම කණ්ඩායමේ නායකයා පරාය. කලබලයෙන් තොරව නිදහසේ නිර්මාණය බිහි කරනු ලබන හෙතෙම පිරිසට ක්ෂේත්‍රය පිළිබඳ ලබා දෙන්නේ කදිම අවබෝධයකි.

ආධුනිකයන් හා ප්‍රවීණයන් එක්ව නිමවන අදිසි 10 පස් වැනි කොටස දැන් ක්‍රමයෙන් නිමාවෙමින් පවතියි. දිනයේ අවසන සටහන් කරමින් වියපත් හිරු මඬල ගිරිහිස අගින් නික්ම යන්නට ළඟය. සහාය අධ්‍යක්ෂ ලසිත ගුණසේකරගෙන් පිරිසට තදින් කැඳවීමකි. සියල්ලෝම රැස්ව බලා උන්න ද කිසිවක් නොදත් පරා දුරකතන ඇමතුමකය. දුරකතනය විසන්ධි කොට පරා පැමිණිමේදී කිසිවකුªත් පෙනෙන්නට නැත. සියල්ලෝ වලව්වේ මැද සාලයේ මේසයක් වටකොට ගනිමිනි.

මේසයේ අලංකාර කේක් ගෙඩියකි. එය අදිසි 50 ලෙස සටහන්ව ඇත. එය දුටු පරාක්‍රමට නැඟුණේ මුවට සුවදායක හිනා රැල්ලකි. සැවොම එක්ව සහෝදරත්වයෙන් කේක් කපා සතුටට පත්ව රාත්‍රී දර්ශන ඇරඹිමේ සූදානමිනි.

ලන්තෑරුම අත ගත් මිනිසා තමාට රිසි ලෙස වතු පිටි වටා සැරිසරයි. ජීනා ඒ මිනිසාට සැබෑවටම බය වී ඇති සෙයකි. කණ්ඩායමේ කාන්තා පාර්ශවය නිරතුරැවම පසු වන්නේ දැඩි අවධානයකිනි. කවර හෝ මොහොතක අනපේක්ෂිත බිය වැද්දීමක් ඔවුන් බලාපොරොත්තු වන්නේ කණ්ඩායමේ සාමාජිකයකුගෙනි.

නළු නිළියන් සියල්ල ආධුනික වුව ද ඔවුන්ගේ රඟපෑම දියුණු තත්ත්වයකට ගත හැකි මට්ටමක තිබීම අනාගතයට සුබදායි බලාපොරොත්තුවකි.

නන්පේරියල් වතුයායේ සීතල නැවත නැවතත් සිරුර වෙත එබෙන සීතල රාත්‍රියයි මේ. තවමත් අදිසි 10 නිම නැත. ලන්තෑරුම අත ගත් මිනිසා කවුරුන්දැයි තවමත් කිසිවකු දන්නේ නැත.