වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




කොපෝලාගෙන් යළි ජීවනය ලැබූ ‘ඩ්‍රැකියුලා’
ඩ්‍රැකියුලා චිත්‍රපට පිළිබඳ කතා මාලාව

කොපෝලාගෙන් යළි ජීවනය ලැබූ ‘ඩ්‍රැකියුලා’

‘ඩ්‍රැකියුලා’ නාමය ලෝ පුරා වෙසෙන සිනමා රසිකයින් වන හෝ නොවන කොයි කාටත් නුහුරු නුපුරුදු නාමයක් නොවේ. එය බොහෝ සේ සමාජගත වන්නේ රචිත පොත පතටත් වඩා එනමින් එළි දුටු සිනමා කෘති හේතු කොටගෙනය. අයිරිෂ් ජාතික බ්‍රෑම් ස්ටෝකර් විසින් විරචිත ‘ඩ්‍රැකියුලා’ නවකතාව ඇසුරෙන් ප්‍රථම වරට චිත්‍රපටයක් නිෂ්පාදනය වන්නේ 1922 වසරේ ජර්මනියේදීය. එය ‘නොස්නෙරාටු’ නම් වූ නිහඬ චිත්‍රපටයකි. එම නවකතාවේ චරිත භාවිත කරමින් 1931 වසරේදී යුනිවර්සල් සමාගම වෙනුවෙන් ටොඩ් බ්‍රවුනින් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ඩ්‍රැකියුලා’ නම් වූ චිත්‍රපටය තිරයට ආවේය.

එතැන් පටන් එංගලන්තයේ ‘හැමර්’ සමාගම ප්‍රමුඛ විවිධ රටවල සිනමාකරුවන් විසින් ‘ඩ්‍රැකියුලා’ චිත්‍රපට ගණනාවක් නිපදවන ලද නමුත් ඒවා බොහොමයක් හුදු වාණිජත්වය සහ රසිකයින් බිය ගැන්වීම පමණක් ඉලක්ක කොට ගත් නිර්මාණ බව පෙනී යයි.

ඩ්‍රැකියුලා චිත්‍රපටවල එතෙක් මෙතෙක් අඩංගුව තිබූ භීතිය සහ සංත්‍රාසයට වඩා ශෘංගාරය සහ සෞන්දර්යය විදහා දැක්වෙන දැවැන්ත චිත්‍රපටයක් නිපදවීමේ ව්‍යාපෘතියක් 1992 වසරේදී ආරම්භ විය. එහි අධ්‍යක්ෂවරයා පමණක් නොව සම නිෂ්පාදකවරයා ද වන්නේ ‘ගෝඩ්ෆාදර්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් 1972 වසරේ ‘ඔස්කාර්’ සම්මානය දිනාගත් ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා නම් වූ මහා සිනමාවේදියාය.

බ්‍රෑම් ස්ටෝකර්ගේ මුල් කෘතියට අතිශයින් සමාන ලෙස චිත්‍රපටයේ කතාව විකාශනය කිරීම කොපෝලාගේ මූලික සහ ප්‍රධාන අරමුණ වූයේය. මින් ඉහත තැනූ චිත්‍රපට රාශියක පාදක වූයේ ‘ඩ්‍රැකියුලා’ කෘතියෙන් උපුටා ගත් ඇතැම් කොටස් සහ චරිත, අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරුන් තම අභිමතය පරිදි සකසා ගත් තිර නාටක රචනාය.

කොපෝලාගේ ඩ්‍රැකියුලා චිත්‍රපටය ඇරඹෙන්නේ නැගෙනහිර යුරෝපයේ කැපේතියාවේ පිහිටි තම සුවිසල් මන්දිරයෙන් යුද්ධය සඳහා පිටත්ව යාමට පෙර තම රූබර බිරිඳ එලිසබෙතාගෙන් සමු ගන්නා ඩ්‍රැකියුලා සිටුවරයාගේ සංවේදී දර්ශනයකිනි. යුද්ධය දිනා ආපසු මාලිගයට පැමිණෙන ඩ්‍රැකියුලාට දක්නට ලැබෙන්නේ තමා යුද්ධයෙන් මියගිය බවට වැරැදි පණිවුඩයක් සැලවීමෙන් කම්පාවට පත්ව සිය දිවි හනි කරගත් ‘එලිසබෙතාගේ’ නිසල මළ සිරුරයි. නිරපරාදේ මියගිය තමා පණ මෙන් ආලය කළ සිය දේවියගේ වියෝවෙන් වියරු වැටෙන ඩ්‍රැකියුලා ඇය වෙත පිදූ ආදරයේ නාමයෙන් පළිගන්නා සදාකාලික අමනුෂ්‍ය ආත්මයක් බවට පත් වීම, කොපෝලාගේ සිනමා කෘතිය තුළින් සාධාරණීකරණය කිරීමට ඔහු උත්සාහ දරා ඇත.

ඩ්‍රැකියුලාගේ මන්දිරය වෙත යන තරැණ නීතිවේදියා වන ජොනතන් හාකර්ගේ පෙම්වතිය වන මීනාගේ සේයාරුව දැක එය තම මියගිය බිරිඳගේ රුවට සමාන බැවින් ඇය එලිසබෙතාගේ නැවත ඉපදීම බව විශ්වාස කරන ඩ්‍රැකියුලා, තම මාලිගයේ කුටියක හාකර් සිර ගත කොට මීනා සොයා ලන්ඩනයට යෑමත්, එහිදී මීනා හමු වී ඈ හා පෙමින් බැඳීමත්, මීනාගේ මිතුරිය ‘ලුසී’ තම වසඟයට ගැනීම වැනි ජවනිකා ශෘංගාරය සහ රාගික අවස්ථා ඉස්මතු වන සේ ඉදිරිපත් කිරිමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන ඇත. ඩ්‍රැකියුලාගේ මාලිගයේ යහන් ගැබ තුළ ඔහුගේ සුරතලියන් තිදෙනෙකු සහ හාකර් අතර සිදුවන අඩ නිරුවත් ප්‍රේමාලිංගන ජවනිකාව ද එවැන්නකි. කෙසේ වෙතත් මේ කිසිදු ජවනිකාවක් හරහා හුදු බොළඳ කාමුකත්වය ඉස්මතු නොකිරීමට අධ්‍යක්ෂවරයා ප්‍රවේශම් වී ඇත. මෙම දර්ශන සඳහා යොදාගෙන ඇත්තේ මොනිකා බෙලුසි සහ මිචලා බර්කු වැනි දක්ෂ නිළියන් දෙදෙනකි.

14 වැනි සියවසේ ට්‍රැන්සිල්වේනියාවේ සහ 18 වැනි සියවසේ ලන්ඩනයේ පැවති ගෘහ නිර්මාණ සහ ගෘහ අලංකරණය ද ඇඳුම් ආයිත්තම් සහ විලාසිතාවන් ද පිළිබඳ පූර්ණ අධ්‍යයනයකින් පසු අදාල ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් චිත්‍රපටයට දායක කර ගැනීමට නිෂ්පාදකවරයකු වශයෙන් කොපෝලා නොමසුරු වී ඇති බව පෙනී යන්නේ ඇඳුම් විලාසිතා සඳහා ඉකෝ ඉෂියෝකා සහ කලා අධ්‍යක්ෂණය සඳහා තෝමස් සැන්ඩර්ස් වැනි අයට අදාල වගකීම් පවරා ඇති බැවිනි.

චිත්‍රපටය කැමරාගත කිරීමට පෙර අදාළ සියළු රූප රාමු දක්ෂ චිත්‍ර ශිල්පියෙකු ලවා චිත්‍රනය කිරීමට ඔහු පියවර ගත්තේය. දහසක් පමණ වූ එම රූප රාමු යොදා කුඩා සජීවිකරණ චිත්‍රපටයක් සාදා එයට සංගීතය ද මුසු කොට පිළියෙල කරගත් ‘ඩමිය’ සිය සැලසුම් ශිල්පින් වෙත පෙන්වන ලද්දේ එමඟින් චිත්‍රපටය පිළිබඳ මූලික අවබෝධයක් සැමට ලබාදීමේ අරමුණෙනි..

චිත්‍රපටයේ බහුලව ඇති දෘශ්‍ය ප්‍රයෝග සඳහා විශේෂ ශිල්පීන් කණ්ඩායමක් කැඳ වූ අතර ඔවුන් එවකට භාවිතයේ පැවතුණු පරිඝණක සජීවිකරණ ක්‍රම උපයෝගි කර ගැනීම අත්‍යවශ්‍ය බව පැවසූ හෙයින් ඔවුන් වහා පිටත් කර යවා, සම්ප්‍රදායික නොව එහෙත් නවීන නිර්මාණශීලී කැමරා උපක්‍රම පමණක් යොදා ගැනීම අනිවාර්යය බව අවධාරණය කළ ඔහු තමාගේ පුත් රොමැන් කොපෝලා වෙත එම කටයුත්ත පවරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස කැමරාව සහ දර්ශන තලය පමණක් භාවිත කරමින් සියළුම දෘශ්‍ය ප්‍රයෝග සැලසුම් කරන ලද්දේ ඔහු විසිනි. පර්යාලෝකනය සහ ක්ෂුද්‍ර පසුතල නිර්මාණ හෙවත් ‘මිනියේචර්’ මඟින් සහ ඇතැම් විට කැමරාව යටිකුරුව තබා ගනිමින් ද, අසම්මත කැමරා කෝණ භාවිත කරමින් ද අවශ්‍ය රූගත කිරීම් සිදු කරන ලදී. කෙසේ වෙතත් කිසිදු අතීත ඩ්‍රැකියුලා චිත්‍රපටයක ආකෘතියකට හාත්පසින්ම වෙනස් වූ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂක විසින් ගත් වෙහෙස බෙහෙවින් පළ දරා ඇත.

නළු නිළියන් තේරා ගැනීමේදී එවකට වැඩි කාන්තා ආකර්ශනයක් දිනා සිටි නළු කීනු රීව්ස් ප්‍රධාන චරිතයක් වූ ජොනතන් හාපර් ලෙස යොදා ගැනීමෙනුත් ගෝඩ් ෆාදර් 3 චිත්‍රපටයෙන් ඉවත්වීමෙන් ඇති කරගත් නොහොඳ නෝක්කාඩු අමතක කොට සුරූපී නිළි විනෝනා රයිඩර් මීනාගේ චරිතයට දායක කර ගැනීමෙනුත් නළු නිළියන්ගේ කුසලතා පිළිබඳ ඔහු සතු සහජ ඉව මොනවට ප්‍රකට වෙයි. විනෝනාගේ ලාබාල පෙනුමත් නැවුම් සුරූපී බවත් මීනාගේ චරිතයට මනා සේ ගැළපුණි. විනෝනා සහ සෑඩි ගේ සරාගී දර්ශන සඳහා උපදෙස් දීම තමා වැන්නෙකුට නොහොබිනා බව පවසින් ග්‍රේටා සිකැට් නම් පුහුණුකාරියක් ඒ සඳහා යොදා ගන්නා ලදී.

එම පුහුණුවෙන් පසු සෑඩි ෆ්රොස්ට් රඟපෑ එක් රාගික දර්ශනයක් දුටු නළු ගේරි ඕල්ඩ්මන් වරෙක ප්‍රකාශ කළේ එය ඉතා ප්‍රශස්ත මට්ටමක පැවතුන බවයි. ඩ්‍රැකියුලා ලෙස රඟපෑ ගේරි ඕල්ඩ්මන් මෙන්ම වැන් හෙල්සින් ලෙස චරිත නිරූපණය කළ ඇන්තනි හොප්කින්ස් ද ඔස්කාර් සම්මානලාභීන් වීම ද විශේෂත්වයකි. වෙනත් ඩ්‍රැකියුලා චිත්‍රපටවලදී මෙන් නොව ගිනිගෙන දැවෙන මාලිගය තුළදී ඩ්‍රැකියුලාගේ හදවත යවුලකින් පසාරු කරන්නේත් ඔහු අවසානයේදී හිස් ගැසුම් කන්නේත් පෙම්වත් මීනා අතිනි. බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා කෘතිය තිර රචනයට පෙරළුණේ ජේම්ස් වී. හාට් අතිනි. කැමරාව මයිකල් බැලෝස්, සංස්කරණය නිකලස් ස්මිත් සහ ග්ලෙන් ස්කැන්ටල්බරි ගෙනි. ෆ්රැන්සිස් ෆෝඩ් කොපෝලා සහ සම නිෂ්පාදනය කළේ ෆ්‍රෙඩ් ෆූච්ස් විසිනි. ඇමෙරිකා සොයෙට්‍රොප් චිත්‍රාගාරයේ රෑගත කෙරැණු චිත්‍රපටය බෙදා හැරීම කොලොම්බියා පික්චර්ස් සමාගමෙනි. 1992 නොවැම්බර් 13 දා ප්‍රථම තිරගත වීම සිදු විය.

ඇ. ඩොලරල් මිලියන 40 ක පිරිවැයකින් නිපද වූ චිත්‍රපටය වසරේ වැඩි ආදායම්ලාභී සිනමා දර්ශකයේ 9 වෙනි ස්ථානයට පත්වෙමින් ලබාගත් බොක්ස් ඔෆිස් ආදායම ඇ. ඩොලර් මිලියන 215,862,692 කි.

ඇනී ලොනොක්ස් විසින් ගායනා කරන ලද ‘ලව්සෝන්ග් ෆොර් අ වැම්පයර්’ නම් තේමා ගීතය ඇමෙරිකානු ගීත දර්ශකයේ ප්‍රමුඛ ස්ථානයක් දිනා ගැනීමට සමත් විය. 1993 වසරේදී කුඩා මිනී පෙට්ටියක හැඩයට සැකසූ අසුරනයකින් චිත්‍රපටයේ වී. එච්. එස්. පටයක් වෙළඳපොලට නිකුත් කරන ලදී. ඩ්‍රැකියුලා ඩී. වී. ඩී. තැටි 1999 දී සහ 2001 වසරවලදී නිකුත් වූ අතර කොපෝලාගේ සම්මුඛ සකච්ඡා සහ ඉවත් කරන ලද දර්ශන ද ඇතුළත් බ්ලු රේ පිටපතක් 2007 වසරේදී එළි දක්වන ලදී.

ඩ්‍රැකියුලා චිත්‍රපටය එම වසරේ හොඳම ඇඳුම් නිර්මාණය (ඉකෝ ඉෂියෝකා) හොඳම ශබ්ද පරිපාලනය (ටොම් සී. මැකාති, ඩේවිඩ් ඊ ස්ටෝන්) හොඳම වෙස් ගැන්වීම (මයිකල් බර්ක්, මැතිව් මුන්ගල්) යන අංශ සඳහා ‘ඔස්කාර්’ සම්මානයෙන් පිදුම් ලද්දේය. හොඳම කලා අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය සඳහා තෝමස් සැන්ඩර්ස් සහ ගැරට් ලුවිස් නිර්දේශිත නාම අතරට එක් විය. ‘සැටර්න්’ සම්මාන උළෙලේ සම්මාන 4 ක් දිනාගත් අතර හොඳම අධ්‍යක්ෂණයට ෆෝඩ් කොපෝලා සහ හොඳම නළුවා ලෙස ගේරි ඕල්ඩ්මන් ද සම්මානයට පාත්‍ර විය.

ලබන සතියේ

භීෂණ සිනමාවේ නවරැල්ල ‘එක්සෝසිස්ට්’