වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවෘත්ති කියද්දී මාලේ කඩා වැටිලා...

ප්‍රවෘත්ති කියද්දී මාලේ කඩා වැටිලා...

මධුනිකා කරපුටුගල

රූපවාහිනී මහ ගෙදර ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය සමඟ මැවෙන ඇගේ රුව කාගෙත් නෙත් සිත් පැහැර ගන්නේ ආකර්ෂණීය ලෙසනි. ගෙළ පැළැඳි මාලයත්, බෝරිච්චි අත් යෙදූ ඔසරියත් ඇයගේ හැඩ රුව තවත් ඔපවත් කරයි.

සුපුරුදු ලෙසින් මඳහස සිනාවත් සමඟ පුංචි තිරයේ ප්‍රවෘත්ති විකාශය ගෙන එන ඇය මධුනිකා කරපුටුගල.

ඇය මෙවර සරසවියට අප කැඳවාගෙන එන්නේ රූපවාහිනී මහ ගෙදරටත් සුවිශේෂී දිනයකයි. ඒ ස්වාධීන රූපවාහිනියට වසර 35 කි. උත්තරීතර මවු පදවිය ලබන්නටත් අතැඟිලි ගනින මධුනිකා අපේ ඇරැයුම අත් නොහැර පත්තර මහ ගෙදරට පැමිණියේ ලෙන්ගතු නිහතමානීකම හද පුරා රඳවාගෙනයි.

රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් යෝජිත නම් අතරට එන්නට වරම් ලද ඇය තම කාර්යය බහුල දිවියේ අපූර්වතම මතක සිත්තම් පෙළක් අප සමඟ බෙදා ගත්තේ මෙලෙසිනි.

‘මම ප්‍රවෘත්ති කියන දවසක පුදුම සිද්ධියක් වුණා. මට මතක විදිහට ඒ දහවල් ප්‍රවෘත්ති විකාශය. ප්‍රවෘත්ති කියාගෙන ගිහින් ටික වෙලාවකින් පුංචි බ්‍රේක් එකක් ලැබුණු වෙලාවේ මම පොඩ්ඩක් ඇඳුම් හැදුවා. ඒ අතරේ මගේ අත පැටලිලා කරේ තිබුණු මාලේ කැඩිලා ගියා. දැන් මාලේ කැඩිලා මේසේ පුරාම උඩ පැන පැන විසිරිලා යනවා.

ඒ අතරේ ආයෙමත් නිවුස් කියන ස්විච් එක ඔන් වුණා. කරන්න දෙයක් නැහැ. මම කිසිම දෙයක් නොවුණු ගානට ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තා. හැබැයි එතන හිටපු කාර්මික ශිල්පියෝ, කැමරා ශිල්පියෝ වැඩේ දැක්කා. පටන් ගත්තුª ගමන් නවත්තන්න බැහැනේ. මම ප්‍රවෘත්ති කියාගෙනම ගියා. හැබැයි ඒ වෙලාවේ මම ටිකක් බය වුණා. මේ සිද්ධිය ප්‍රේක්ෂකයෝ දකියි කියලා. ඒත් වාසනාවට කවුරුවත් දැකලා නැහැ.’

මේ සිදුවීමෙන් ඇය කලබල වූයේ නම් සියල්ල හමාරය. එහෙත් ඈ සතු දක්ෂතාවය නිසාම කිසිත් නොවූ විලසින් සියල්ල අවසන් විය. එදා එම සිද්ධිය යාන්තමින් දුටු තරුණයෙක් විය. ඔහු ස්වාධීන රූපවාහිනියේම කැමරා ශිල්පියෙක්. මාලයේ ඇට ඇහිදීමට උදව්වට ආ මේ තරුණයා ටික කාලයක් යද්දී මේ නිවේදිකාව ගැන වැඩියෙන් උනන්දු වෙන්න පටන් ගත්තා. එදා මාලය කැඩුණු නිවේදිකාව දැන් කවුරුත් දන්න ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක්. ඒ විතරක් නොවෙයි, ඇය ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක්. කැඩුණු මාලය ඇහිදින්නට උදව්වට ආ තරුණ කැමරා ශිල්පියා අද ඇගේ දයාබර ස්වාමි පුරුෂයා වී ඇත්තේ දෛවයේ අපූර්වතම සිදුවීම් පෙළක් ලෙසිනි.

* ඉතිං මධුනිකා කොහොමද තොරතුරු ඔබ දැන් ප්‍රවෘත්ති කියනවා දකින්නේ අඩුවෙන් . . .?

දැන් නම් මම ටිකක් ප්‍රවෘත්ති කීම අඩු කරල තමයි තියෙන්නේ. අම්මා කෙනෙකු වීමට බලාපොරොත්තුවෙන් ඉන්න නිසා වැඩිපුරම නිෂ්පාදන පැත්තට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. ඒ නිසයි වැඩිපුර මාව ප්‍රවෘත්ති විකාශයේදී දකින්න නැත්තේ.

* දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ඔබ දැන් දිගු කාලයක් ස්වාධීන රූපවාහිනියේ කටයුතු කරනවා. කොහොමද මේ ක්ෂේත්‍රයට යොමු වුණේ?

මම මේ ක්ෂේත්‍රයට යොමු වුණේ අහම්බෙන්. හේමමාලී බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලේ දවසක් අපේ නැන්දා කෙනෙක් ඇවිත් තාත්තාට කියලා තියනවා අලුතෙන් ප්‍රවෘත්ති නිවේදිකාවෝ ගන්නවා කියලා. අපි පිංතූරෙත් එක්ක දාමු කියලා. ඒ නැන්දාම තමයි ඇප්ලිකේෂන් දැම්මේ. ඉන් පස්සේ ඉන්ටවීව් කෝල් කළා. මම ඉන්ටවීව් ආපු දවසේ තුන්සියයක් විතර ඇවිත් හිටියා. ස්ක්‍රෑන් ටෙස්ට් එකක් තිබුණා. මාව තේරෙයි කියලා හිතුවේ නැහැ. මාස තුනක් විතර ගියා. මෙහෙම ඉන්න කොට දෙවැනි වටයේ පරීක්ෂණයට කැඳෙව්වා. කාලයක් ගත වෙලා ඒ අදහස අතඇරලා ගෙදර ඉන්න කොට දවසක් මාව තෝරා ගත්තා කියලා දැනුම් දුන්නා. මුලින්ම ගිය කාලේ ප්‍රවෘත්ති කියන්න ලැබුණේ හරිම අඩුවෙන්. පැයෙන් පැය පුවත්, කාලගුණ පුවත් වගේ දේවල් තමයි ලැබුණේ. ඒ විදිහට කාලයක් යද්දී මම ලක්හඬ සේවයට සම්බන්ධ වුණා. අවුරුදු තුනක් විතර එහි සේවය කළා. එතන ඇත්තටම මේ ක්ෂේත්‍රයේ මහ ගෙදර වගේ. හුඟක් ප්‍රවීණ අය හඳුනා ගන්න, ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මෙහෙම කාලයක් ගත වෙද්දී මට හොඳ අත්දැකීම් සම්භාරයක් හිමි වුණා.

* මධු ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ස්වාධින රූපවාහිනියට එක් වෙලා ලැබුණු අත්දැකීම් ඇතිනේ?

අනන්තවත් තියෙනවා. ඇතැම් දේ හරිම සංවේදීයි. ඒ වගේම රටේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් හොඳ අත්දැකීමක් වගේම ක්ෂේත්‍රයේ චාරිකා කරන්නටත් අවස්ථාව ලැබුණා. දැන් මම ප්‍රවෘත්ති විකාශයට පත් වෙලා අවුරුදු නවයයි. මට මතකයි මුලින්ම ප්‍රවෘත්ති කියපු දවස. එදා තමයි රජයේ මුද්‍රණාලය ගිනි ගත්තේ. හරිම තැතිගැම්මක් එක්ක මට බ්රේකින් නිව්ස් එක කියන්න වුණා. කිසිම අත්දැකීමක් නැතිව එක පාරටම මේ වගේ ලොකු දෙයක් කරන්න වුණු එක ගැන එදා තිබුණේ හරිම බයක්. ඒ වගේම හිතේ ගැස්මක්.

එවැනිම සිද්ධියකට මට මුහුණ දෙන්න වුණේ මම විවාහ වෙලා වැඩට ආපු මුල්ම දවස. එදත් මට ලැබුණු බ්රේකිං නිව්ස් එක කවදාත් අමතක වෙන්නේ නැහැ. එදා තමයි පුනරීන්වලට ගහපු දවස. ඒ සිද්ධිය තවමත් මගේ මතකයේ තියෙන සිද්ධියක්.

* ඔය සිද්ධි අතර සංවේදී ප්‍රවෘත්ති විකාශය කරන්නත් ලැබෙන්න ඇතිනේ?

මම වඩාත් සංවේදී වුණු සිද්ධිය තමයි ආබාධිත දරුවකුගේ මවකට ඇගේ දරුවා බලන්න වීසා නොදීම පිළිබඳ කළ වාර්තාමය ප්‍රවෘත්තිය. ඒ කාලේ අනුර එදිරිසිංහ මහත්තයා ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ. පැලවත්තේ පදිංචි ඒ අම්මාගේ ආබාධිත දරුවා අමෙරිකාවේ හිටියේ. දරුවාව දකින්න බලන්න යන්න අමෙරිකාවෙන් වීසා ලබා දුන්නේ නැතිවීම ගැන ඉතාම සංවේදී ප්‍රවෘත්ති වැඩසටහනක් කළා. ඒ ගැන විකාශය වූ නිසාම ඇයට වීසා ලබා දීම තවත් ප්‍රමාද වුණා. නමුත් එයට විශාල ප්‍රතිචාර හිමිවුණු වැඩසටහනක්. තවත් මෙවැනි සිද්ධි විශාල ප්‍රමාණයක් තියෙනවා. මට යන්න ලැබුණා අනාථ අසරණ වුණු පුංචි දරුවන්ගේ නිවාසයක වැඩසටහනකට. එය මගේ ඇස් කඳුළින් තෙත් කරපු දවසක්. පුංචි මල් වගේ පැටව්. කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ දරුවොත් එක්ක කළ ඒ වැඩසටහන මගේ ජීවිතයට පින් රාශියක් පිරෙව්වා කියලා හිතෙනවා.

* කාර්යය බහුල දින චරියාවක් තිබෙන ඔබගේ පවුල් ජීවිතය කොහොමද?

මම විවාහ වුණේ අපේම ආයතනයේ කැමරා ශිල්පියකු වන රංග ජයසිංහ සමඟ. ඒ නිසා මගේ රාජකාරිය ගැන එයාට හොඳ අවබෝධයක් තියෙනවා. අපි ප්‍රවෘත්ති අංශයේ වැඩ කරනකොට ඕනෑම අවස්ථාවක සේවයට පැමිණිය යුතුයි. ඕනෑම තැනකට යන්න සූදානමින් සිටිය යුතුයි. මේ ගැන රංග හොඳින්ම දන්නවා.

* ඔබට රංග හමු වුණේ?

මම ස්වාධීන රූපවාහිනියට ආපු කාලේ යෝජනා කිහිපයක්ම තිබුණා. නමුත් ඒ කිසිම එකකට මම කැමැති වුණේ නැහැ. රංග මට යෝජනා කරපු වෙලාවේ හිතේ පුංචි තිගැස්මක් තිබුණා. කාලයක් එයාව ඇසුරු කරන කොට මට ගැළපෙනවා කියලා හිතුණ නිසා කැමැති වුණා.

* මධුනිකා කරපුටුගල කියපුවාම ප්‍රවෘත්ති නිවේදිකාවක් බව රටම දන්නවා. මෙවැනි පසුබිමක් ඔබ ගොඩ නඟා ගන්නේ කොහොද?

මම ප්‍රවෘත්ති කීමේදීී ඒ සඳහා හොඳින් සූදානම් වෙනවා. ඒ වගේම මම ප්‍රවෘත්ති විකාශය නරඹන ප්‍රේක්ෂිකාවක් ලෙස මගේ අඩුපාඩු ගැන විකාශය කිරීමේ විලාශය ගැන පසුවිපරමක් කරනවා. ලැබෙන සෑම විවේකී අවස්ථාවක විදේශීය ප්‍රවෘත්ති ගැන, පොත්පත් අධ්‍යයනය කරනවා. ඒ නිසා වෙන්න ඇති මගේ ප්‍රවෘත්ති කීමේ වෙනසක් තිබෙන්නේ.

* ඔබට මෙම ක්ෂේත්‍රයෙන් මාධ්‍ය කලාවේ වෙනත් ඉසව්වක් කරා යන්න අදහසක් එහෙම නැද්ද?

කොහෙත්ම නැහැ. ඇත්තටම අපිට ආදරය කරන, අපේ හඬට ආකර්ෂණය වූ පිරිසක් සිටිනවා. ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ඒ අනන්‍යතාවය නැති කර ගන්න මම කැමැති නැහැ. මම හිතන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස අපිට තිබෙන පිළිගැනීම, ගෞරවය වෙනත් මාධ්‍යයක් හරහා ලබාගන්න බැහැ. ඒ නිසා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස හදාගෙන තිබෙන නම පලුදු කර ගන්න මම කැමැති නැහැ.

* ඔබට ආදරය කරන ඔබේ ප්‍රවෘත්ති විකාශය කිරීමේ කලාව ගැන අදහස් දැක්විමට ඔබේ විද්‍යුත් තැපැල් අංකය සඳහන් කරන්න බැරිද?

ඔව් . . . [email protected]  මගේ අංකයයි.