වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




T o p T e n

T o p T e n

22 Jump Street

 පිම්මෙන් ඉදිරියට

අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ මෙම සතියේ පෙරමුණ ගෙන සිටින්නේ ක්‍රියාදාම ජවනිකා මෙන්ම හාස්‍යද ගෙන කතාපුවතක් ඇතුළත් වූ 22 Jump Street  චිත්‍රපටය යි. පසුගිය ජුනි 13 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ එය පසුගිය සති අන්තය වනවිටදී ඩොලර් මිලියන 60ක ආදායමක් උපයා තිබුණි. ෆිල්ලෝඩ් සහ ක්‍රිස්ටෝපර් මිලර් අධ්‍යක්ෂණය කළ 22 Jump Street හි චානින් ටැටුම්, ජොනා හිල්, අයිස් කියුබ්, ඇම්බර් ස්ටීවන්ස්, පීටර් ස්ටෝර්මර් ප්‍රධාන චරිත වෙනුවෙන් රංගන දායකත්වය ලබාදෙති.

බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ මේ සතියේ දෙවැනි ස්ථානය හිමිවන්නේ පසුගිය ජුනි 13 වැනිදා සිට ප්‍රදර්ශනය ඇරඹු පරිගණක සජීවකරණ ක්‍රියාදාම චිත්‍රපටයක් වන How to Train Your Dragon 2 චිත්‍රපටය යි. පසුගිය සතිඅන්තය වන විටදී එය ඉපැයූ ආදායම ඩොලර් මිලියන 50කි. ජෝයි බෲෂෙල්, කේට් බ්ලාන්ෂේ, ජෙරාඩ් බට්ලර් ඇතුළු පිරිසක් මෙහි හඬ දායකත්වය ලබා දෙති. How to Train Your Dragon 2 අධ්‍යක්ෂණය ඩීන් ඩිබ්ලොයිස් විසිනි. තෙවැනි ස්ථානය හිමිවෙන්නේ ක්‍රියාදාම ජවනිකා රැගත් පවුලේ චිත්‍රපටයක් වන Maleficent  චිත්‍රපටය යි. රොබට් ස්ට්‍රොම්බර්ග් අධ්‍යක්ෂණය කළ එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 19ක් ලබාගත්තේය. ඩොලර් මිලියන 16.2ක සති අන්ත ආදායමක් ලද Edge of Tomorrow සිව්වැනි ස්ථානයට පැමිණ සිටියි. ඩග් ලීමන් අධ්‍යක්ෂණය කළ විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ටොම් කෲස්, එමිලි බ්ලන්ට්, බිල් පැක්ස්ටන්, ජොනාස් ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

ජෝෂ් බූන් අධ්‍යක්ෂණය කළ ප්‍රේමණීය කතා පුවතක් ගෙන එන The Fault in Our Stars චිත්‍රපටයට පස්වැනි ස්ථානය හිමි වී ඇත. පසුගිය සති අන්තයේදී එය ලද ආදායම ඩොලර් මිලියන 15.7ක්. ඩොලර් මිලියන 9.5ක ආදායමක් ලද X – Men : Days of Future Past  චිත්‍රපටයට හිමි වෙන්නේ හයවැනි ස්ථානය යි. ත්‍රාසජනක, විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Godzilla  සිටින්නේ හත්වැනි ස්ථානයේ ය. ග්‍රේත් එඩ්වර්ඩ් අධ්‍යක්ෂණය කළ එය අමෙරිකානු ප්‍රදර්ශනයේ ගත කරන්නේ පස්වැනි සතියයි. හාස්‍යමය කතා තේමාවක් ගෙන එන A Million Ways to Die in the West චිත්‍රපටයට අටවැනි ස්ථානය හිමිවී ඇත. නිකොලස් ස්ටෝලර් අධ්‍යක්ෂණය කළ Neighbors චිත්‍රපටය නමවැනි ස්ථානයටත් ජෝන් ෆෙව්රේ අධ්‍යක්ෂණය කළ හාස්‍යමය චිත්‍රපටයක් වන Chef  දස වැනි ස්ථානයටත් පැමිණ තිබේ.