වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




වියපත් නොවූ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙක්

වියපත් නොවූ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙක්

සිරිල් වික්‍රමගේ
 

නළුකම කලාවක් කරගත් විශිෂ්ට රංගවේදියා

නළු නිළියන් යනු කලාකරුවන්ද? මේ ප්‍රශ්නය පැන නඟින්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨ වේදිකා නාට්‍ය හා චිත්‍රපට නළුවකු ලෙස සැලකෙන මාලන් බ්‍රැන්ඩෝ කියා ඇති දෙයක් හේතු කොට ගෙනය. ඔහු කියූ දේ වන්නේ නළු නිළියන් කලාකරුවන් නම් පිට්සා කෑම ඔත ඔතා උඩ දමන කෝකියෝත් කලාකරුවන් වන බවය.

බ්‍රැන්ඩෝට වැඩි බ්‍රැන්ඩෝ කෙනෙකු වන්ට මා උත්සාහ නොදරතත් හරි හෝ වැරැදි හෝ නළු නිළියන් යනු කලාකරුවන්ය යන්න මගේ පිළිගැනීමයි. අන් කලාවන් කෙසේ වෙතත් වේදිකාව නළුවන්ගේ මාධ්‍යය බව බ්‍රැන්ඩෝගේම සමකාලීනයකු වන සර් ලෝරන්ස් ඔලිවියර් කියා ඇත.

අපේ රටේ ශ්‍රේෂ්ඨත්වයෙහිලා සැලකිය හැකි නළුවෝ වේදිකාවෙත් සිටිති. සිනමාවෙත් සිටිති. ඇතැම්හු ඒ මාධ්‍ය දෙකේම සිටිති. නූර්ති යුගයේ රොම්ලස් මාස්ටර්ගේ සිට වර්තමානයේ සනත් ගුණතිලක දක්වා තත්ත්වය එබඳුය. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සිනමාවෙන්ම බිහි වූ ශ්‍රේෂ්ඨ නළුවෝ වෙති. ටෝනි රණසිංහ, හෙන්රි ජයසේන, රවීන්ද්‍ර රන්දෙණිය මෙන්ම සිරිල් වික්‍රමගේ ද වේදිකාවෙන් බිහිව ඉනික්බිතිව සිනමාවට ද ප්‍රවිෂ්ටව එම මාධ්‍ය දෙකේම ශක්‍යතා හා සීමා මැනවින් හඳුනාගෙන රංගනයෙන් පෙළහර පෑ ශ්‍රේෂ්ඨ නළුවෝ වෙති.

විකුම් සිරිත 24දා

මෙරට සිනමාවේ විශිෂ්ට නළුවකු වන සිරිල් වික්‍රමගේ ගේ නිර්මාණ දායකත්වය අගයමින් සංවිධානය කළ විකුම් සිරිත අභිනන්දන උළෙල මෙම මස 24 වැනිදා එනම් එන අඟහරුවාදා සවස 6.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

මෙහිදී ආචාර්ය ජයලත් මනේරත්නයන් විසින් කෙටි දෙසුමක් පවත්වන අතර සිරිල් වික්‍රමගේ ගේ සේවය අගයමින් සම්මානය ප්‍රදානයක් ද සිදුවේ. අනතුරුව සිරිල් වික්‍රමගේ පිළිබඳ තැනූ වික්‍රම් සිරිත වාර්තා චිත්‍රපටය සහ ඉන් පසුව සෙයිලම චිත්‍රපටය ද ප්‍රදර්ශනය වේ.

ෆීලික්ස් ප්‍රේමවර්ධනගේ ‘නෝවා’ නාට්‍යයෙන් රංගනයට අත්පොත් තැබුව ද සිරිල් නළුවකු ලෙස කැපී පෙනුණේ ගුණසේන ගලප්පත්ති නිෂ්පාදනය කළ ‘මූදු පුත්තු’ නාට්‍යයෙනි. ඔහු එහි තේගිරිස්ගේ චරිතය රඟපෑවේය. ගලප්පත්ති යනු ඇමෙරිකාවේ නිව්යෝර්ක් ඇක්ටර්ස් ස්ටුඩියෝ නම් වූ ශාස්ත්‍රාලය වෙතින් නාට්‍ය හා රංග කලාව හැදෑරුවෙකි. එහිදී ඔහු ප්‍රගුණ කළේ කොන්ස්ටන්ටීන් ස්ටැනිස්ලවුස්කිගේ තත්විධ රංග ක්‍රමයයි. (METHOD ACTING) මෙය ආසියානු අපට නුහුරු රංග ක්‍රමවේදයක් නොවේ. නළුවා තමා රඟන චරිතයේ භාව කුළු ගැන්වීම මේ රංග ශෛලියේ මුඛ්‍ය ලක්ෂණය වෙයි.

ගලප්පත්ති ඔස්සේ සිරිල් පෝෂණය ලැබුවේ මේ රංගවේදය යැයි කිව හැකිය. වේදිකාවේදී වේවා චිත්‍රපට හෝ ටෙලි නාට්‍යවලදී වේවා සිරිල් එයින් ලද ආනුභාවයෙන් තම රංගනය හසුරුවා ගන්නා ආකාරය අපට පෙනී යයි. මෙය හුදෙක් ස්වභාවිකවාදී රංගනයක් යැයි වරදවා වටහා නොගත යුතුය. රඟපෑම යන ස්වභාවිකත්වය එලෙසම දැකීම නම් ලෝකයේ හොඳම නළුවන් වන්නේ වඳුරන් බව මහා නළු ගාමිණී ෆොන්සේකා වරක් කියූවකි.

ගලප්පත්තිගේම ‘දේ්වතා එළි’, හෙන්රි ජයසේනගේ ‘කුවේණි’, ‘තවත් උදෑසනක්’, ආර්. ආර්. සමරකෝන්ගේ ‘අහසින් වැටුණු මිනිස්සු’, ‘ඉඩම’, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘කදා වළලු’, ‘පබාවතී’, නාමෙල් වීරමුනිගේ ‘නැට්ටුක්කාරි’ ධම්ම ජාගොඩගේ ‘වෙස් මුහුණු’ වැනි නාට්‍යවලත් සිරිල් විවිධාකාර භූමිකා ඉදිරිපත් කළේය.

නළුවන් ද ඇසූ පිරු තැන් ඇති නොඑසේ නම් බහුශ්‍රැතයන් විය යුතුය. මන්ද යත් චරිතයක ගැඹුර, සංකීර්ණතාව මනාව වටහාගන්න පුළුවන්කම ලැබෙන්නේ එවිටය. සිරිල් උගතෙකි. සාහිත්‍ය පිළිබඳ පරිඥානයක් සතු වූවකි. එපමණක් ද නොව නළුකම නමැති වෘත්තිය තුළ කොයි මොහොතක හෝ අවශ්‍ය වෙතැයි සිතිය හැකි නර්තනය, සංගීතය පිළිබඳව ද සැලකිය යුතු දැනුමකින් හේ සන්නද්ධය. සිරිල්, ශ්‍රී ජයනා වෙතින් නැටුම් ද සිරිල් පෙරේරා (මුල්ගම්පළ එම්. ජී. පී. කලායතනය) වෙතින් සංගීතය ද හදාරා ඇත. සංගීතයේදී ගාන්ධර්ය මධ්‍යම විභාගය දක්වා ඉගෙන ගත් හෙතෙම පසුව සදානන්ද පට්ටිආරච්චි වෙතින් ද, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙතින් ද එම විෂය තවදුරටත් ප්‍රගුණ කළේය. ජෝ අබේවික්‍රම, දයා අල්විස් වැනි නළුවන්ට පවා සංගීතය පිළිබඳ ප්‍රමාණික දැනුමක් තිබුණු බව අපි දනිමු.

සිරිල් ‘හඳපාන’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑව ද ප්‍රධාන චරිතයක් වශයෙන් ද, කැපී පෙනෙන රංගනයක් ලෙසින් ද මුලින්ම රඟපෑවේ මහාචාර්ය සිරි ගුණසිංහගේ ‘සත් සමුදුර’ චිත්‍රපටයේය. ඒ රංගනයෙන්ම ඔහු විශිෂ්ට චරිතාංග නළුවකු බව සාක්ෂාත් කර සිටියේය.

ඔහු මෙහි රඟපෑ ගුණදාසගේ චරිතය ජීවිතයේ බරක් පතළක් නොමැති කෙළිලොල් තරුණයෙකි. එහෙත් පවුලේ ගැටුම් හේතුවෙන් එය කෙමෙන් සංකීර්ණ චරිතයක් බවට පත් වෙයි. ඔහු ප්‍රේමයෙන් පරාජිත වෙයි. එකම සොහොයුරාගේ විවාහයෙන් පසු නිවෙසේ වගකීම් ඔහු පිට පැටවෙයි. රෝගී මහලු මවට උවටැන් කරන්ට සිදු වෙයි. සිරිල් මේ ජීවන අවස්ථා දෙකම නිරූපණය කරන්නේ එම චරිතයේ ගති ස්වභාවය පිළිබඳ මනෝඥභාවයකින් යුතුවය. මෙහිදී සිරිල් අත් දුටු තත්විධ රංග ක්‍රමය ඔහුට බෙහෙවින් මහෝපකාරී වූවාට සැකයක් නැත.

1968 වසරේ අපි දුටු විශිෂ්ටතම සිනමා රංගනය සිරිල්ගේ මේ රඟපෑමයි. ඒ වසරේ පැවති සම්මාන උත්සවවලදී (විශේෂයෙන් ‘සරසවිය’ සම්මාන උළෙලේදී) සිරිල් හොඳම නළුවා නොවූයේ මන්දැයි යන්න අදටත් මට විමතිය ගෙන එන ප්‍රශ්නයකි.

‘සත් සමුදුරෙන්’ පසු සිරිල් ‘බිනරමලී’, ‘පාරාවළලු’, ‘නිම්වළල්ල’ යන චිත්‍රපට තුනේ ද රඟපෑවේය’. කෙසේ වෙතත් ‘සත් සමුදුරෙන්’ අනතුරුව ඔහුගේ කැපී පෙනෙන රංගනයක් දක්නට ලැබුණේ ‘වෙස්ගත්තෝ’ චිත්‍රපටයේය. එය සොරුන් තිදෙනෙකුගේ වටා ගෙතුණු කතා පුවතකින් යුක්ත වූවේය. සිරිල් රඟපෑවේ ඉන් එක් සොරකු ලෙසය. (සෝමසිරි දෙහිපිටිය හා නාමෙල් වීරමුනි සෙසු සොරු දෙදෙනා ලෙස රඟපෑහ( මේ තිදෙනාම හිරෙන් පනිති). එහිදී ඔවුන්ට අත්දකින්ට ලැබෙන්නේ හිර ගෙදරටත් වඩා හොරුන් සමාජයේ වෙසෙන බවය. එහෙත් වෙනස ඔවුන් නීතියේ රැහැනට අසු නොවීමයි. ‘වෙස් ගත්තෝ ‘ ප්‍රහසනාත්මක සිනමාපටයකි. එබඳු චිත්‍රපටයකට උචිත විකාරරූපී රංග ශෛලියක් සිරිල් මෙහිදී ප්‍රකට කළේය.

‘මොකද වුණේ’ සිරිල් රඟපෑ තවත් චිත්‍රපටයකි. ඔහු එහි රඟපෑවේ ගණිකා වෘත්තියට වැටෙන ගැහැනියකට දයානුකම්පාව දක්වන පාල නම් වූ ටැක්සි රියැදුරෙකුගේ චරිතයකි.

‘වල්මත් වූවෝ’ චිත්‍රපටයේ ද සිරිල්ගේ මාහැඟි රංගනයක් ඇතුළත්ව තිබිණි. ඔහු එහි රඟපෑවේ සමන් නමැති උපාධිධාරී ගැමි තරුණයකුගේ භූමිකාවකි. උගත්කමට සරිලන රැකියාවක් නොමැතිවීමේ විපාක පල වශයෙන් එක් පැත්තකින් ඔහුගේ පෙමවතියත්, තවත් පැත්තකින් ඔහුගේ පියාත් ඔහුට අහිමි වෙයි. (පියා සියල්ල විඳ දරා ගත නොහැකිව දිවි’ තොර කර ගනී) සමාජ ක්‍රමයේ වරද නිසා අතරමං වන තරුණ පරපුරේ ඛේදවාචකය සමන්ගේ චරිතයෙන් මූර්තිමත් කෙරේ.

‘සත් සමුදුර’ හැරුණු කොට සිරිල්ගේ සම්මානනීය රඟපෑම් දක්නට ලැබෙන්නේ වම් ඉවුරේ සිනමාකරුවන් ලෙස සැලකෙන වසන්ත, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක වැනි අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවලය.

සිරිල්, පතිරාජගේ චිත්‍රපට කීපයකම රඟපෑවේය. ඒ අතරින් අති විශිෂ්ට රංගනයක් ඇතුළත් වන්නේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේය. ඔහු එහි සිරිල් නම් වූ ධීවර තරුණයාය. ඔහු චිත්‍රපටයේ පෙම්වතාය. ඔහු හෙලන්ට (මාලිනී ෆොන්සේකා) ප්‍රේම කරයි. මෙහි දුෂ්ටයා වික්ටර් බේබි මහත්තයා (විජය කුමාරතුංග). සාමාන්‍ය ප්‍රේක්ෂකයන් මෙහි පෙම්වතා ලෙස පරිකල්පනය කළේ බේබි මහත්තයාවය. ඊට හේතු වූයේ විජය එතෙක් ජනප්‍රිය සිනමාවේ සිහින කුමරකු වශයෙන් ගොඩ නඟා ගෙන තිබූ ප්‍රතිරූපයයි. සිනමා ලෝලයන් විජය දුෂ්ටයකු සේ පිළිගන්න කැමැති නොවුණා සේය. තුන් කොන් හඹයක ප්‍රතිඵල වශයෙන් සිරිල් මිය යයි. බේබි මහත්තයා ඔහු මරා දැමුවා ද, නොඑසේ නම් සිරිල් දිවි නසා ගත්තා ද යන්න අවිනිශ්චිතය. කෙසේ වෙතත් මේ මරණය වික්ටර් බේබි මහත්තයා නියෝජනය කරන්නා වූ නව ධනේශ්වර පන්ති පැවැත්මේ අනිටු ඵලයක් නොවන්නේ ද?

තම චරිතයේ බාහිර හා අභ්‍යන්තර මනෝභාව මනසින් වටහාගෙන සිරිල් මේ චරිතය ගැඹුරින් නිරූපණය කරයි. ඔහුගේ මරණයෙන් ප්‍රේක්ෂකයා තුළ බලවත් කම්පනයක් හටගන්වෙන්නේ ඒ නිසාය.

සිරිල්ට අත දිගහැර දක්ෂතා එකට කැටිකරගෙන රඟපෑමට අවස්ථාවක් ලැබුණේ නම් ඒ ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේය. එහි ඔහුගේ චරිතාංග නිරූපණය අද්විතීයය. ඔහු එහි රොමියෙල් නම් වූ වෘත්තීය මිනීමරුවාය. එසේ වුවත් එය තනිකරම කළු චරිතයක් සේ දිස් නොවේ. ඔහු හිරෙන් නිදහස් වන්නේ යහපත් ජීවිතයක් ගත කිරීමේ අදිටනිනි. චරිතයේ සංකීර්ණත්වය ගැඹුරින් විවරණය වන්නා වූ එක් අවස්ථාවක් මට සිහිපත් වෙයි. ඒ ඔහු පීටර්ට වෙඩි තබන දර්ශනයයි. ඒ වෙඩි තැබීමෙන් පීටර් මිය නොයයි. එවිට ආරච්චිල කරන්නේ ඔහුගේ ගෙල මිරිකා ඉතිරි හුස්ම පොදත් යවන්ටය. එහෙත් රොමියෙල් ඊට විරුද්ධ වෙයි. ඔහු කුලී මිනීමරුවකු වුවත් රොමියෙල් තුළ නිසඟයෙන් පිහිටි මනුෂ්‍යත්වය විශද කර වන්නකි. චරිතයේ මේ සංකීර්ණතාව බුද්ධිමත්ව ග්‍රහණය කර ගනිමින් සිරිල් ඒ චරිතය ජීවමාන කරයි. මා පෙර සඳහන් කළ උගත්කම, බුද්ධිමත්කම වැදගත් වන්නේ මෙබඳු චරිත නිරූපණයකදීය. භාරතීය ‘රසවාදී’ වාග් කෝෂයෙන් කතා කළහොත් ඊට ව්‍යුත්පත්ති ඥානය යැයි කිව හැකිය. තමාගේ විශිෂ්ටතම රංගනය ඇතුළත්ව ඇත්තේ ‘සුද්දලාගේ කතාවේ’ යැයි සිරිල් වරක් සඳහන් කර තිබුණා මට මතකය.

‘සිරිමැදුර’ චිත්‍රපටයේ ද සිරිල්ගේ අනගි රංගනයක් අපට දක්නට ලැබිණි. ‘පාලම යට, ‘අඹු සැමියෝ’, ‘ස්ත්‍රී’, ’කුල ගෙය’, ‘මී හරකා’, ‘තුන්වැනි ඇහැ’ සිරිල් රඟපෑ තවත් චිත්‍රපට කීපයකි.

රංගනයට සාහිත්‍යයක් ඇතැයි මම නොසිතමි. එහිදී සියයට සියයක්ම ප්‍රකාශන මාධ්‍යය වන්නේ නළුවාගේ සකලවිධ ශරීරයයි. මෙය කුණු කයක් වූවාට නළුවන්ට එය ඉතා වැදගත් දෙයකි. ඔවුන්ට ශරීරයෙන් වඩා සුවිශේෂ වන්නේ මුහුණයි. ‘පැෂන් ඔෆ් ජෝන් ඔෆ් ආර්ක්’ වැනි චිත්‍රපටයක එහි නිළියගේ රංගනයට මුහුණින් පමණක් නොව දෑත්වලින් පවා සියුම්ව ඉදිරිපත් වන ආකාරය විස්මයජනකය. ප්‍රංශ නව රැල්ලට අයත් ගොඩාගෙ ‘බ්‍රෙත්ලස්’ චිත්‍රපටයේ බෙල්මෙන්ඩෝගේ විශිෂ්ටතම රංගනය ඉදිරිපත් කරන්නේ මුහුණෙන් පාන කිසියම් ඉංගිති කීපයක් මඟිනි. එය කවර කලාවකින් වුව ඉදිරිපත් කළ නොහැක්කකි. තව උදාහරණ ඕනෑ තරම් ගත හැකිය. ‘ද ගෝඩ් ෆාදර්’ චිත්‍රපටයේ බ්‍රැන්ඩෝගේ රංගනය ද එපරිදිමය.

මා මේ පණ්ඩිත අදහස් ටික මෙසේ ගොනු කළේ සිරිල් සම්බන්ධයෙන් ද එය අදාල වන බැවිනි. ‘වෙස් ගත්තෝ’, ‘සුද්දිලාගේ කතාව‘ වැනි සිනමාපටවල ඔහු මුහුණින් විශේෂයෙන් සිනාවෙන් ඉදිරිපත් කරන රංගනය ඔහුටම අනන්‍ය වූ ප්‍රකාශන විලාසයකි. වචන දහසකට කිව නොහැකි දේ ඔහු එක සිනාවක් පෑමෙන් කියයි.

සිරිල් වැනි අග්‍රගණ්‍ය නළුවකු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි මහා සිනමාකරුවකුගේ චිත්‍රපටයක රඟනොපෑවේ ඇයි ද යන්න මට ගැටලුවකි. ඒ ගැන කල්පනා කිරීමේදී මට සිහිපත් වූයේ ස්වර්ණා මල්ලවආරච්චි ද ආචාර්ය පීරිස්ගේ කිසිදු චිත්‍රපටයක රඟ නොපා ඇති බවකි. ඉතිං එතැනින් එහාට ඒ ගැන සිතිය යුතු නැත.

සිරිල් නළුවකු වුවත්, ප්‍රේක්ෂක ආදරය නිරන්තරව හිමි වුවත් ඔහු කිසිදා ‘තරුවක්’ වූයේ නැත. ඔහු වාණිජ යැයි සම්මත චිත්‍රපටවල රඟ නොපෑ තරම්ය. සිරිල් වැනි වෘත්තියෙන් ගුරුවරයකු වන නළුවකුට ‘තරු’ ප්‍රතිරූපයක් මවාගෙන එය දිගින් දිගටම කළමනාකරණය කළ හැකි වන්නේ නැත. කරන්ට අවශ්‍ය වූයේ ද නැත. හෙන්රි වැනි හෝ ධර්මසිරි බණ්ඩාරනායක වැනි හෝ වෘත්තීයෙන් කන්තෝරුකාරයන් වූ නළුවන්ට සිදු වූයේ ද එවැන්නකි.

සිරිල්ට අපේ සිනමාවෙන් අවකාශ නොලද එක් අඩුපාඩුවක් සේ මා දකින්නේ ඔහු හා කරට කර රඟපෑමෙන් දක්ෂතා වඩාත් තීව්‍ර කරවන්ට සමත් වූ සුවිශේෂ රංගන අවස්ථා හිමි නොවීමයි. මෙයින් මා කියන්නේ ‘වැලිකතරේ’ ගාමිණී හා ජෝ වැනි නළුවන්ට ලැබුණු අවස්ථා සාපේක්ෂා වශයෙන් ගත් කල්හි සිරිල්ට නොලැබුණ බවයි. ඇත්තටම රංගනය යනු කොට්ට පොර තරගයක් වැන්න. මෙය වඩාත් ශාස්ත්‍රීයව කිවහොත් ‘ඔතෙලෝ’ වැනි නාට්‍යයක ඔතෙලෝගේ රංගනය වඩාත් සාර්ථකවන්ට නම් ප්‍රතිපක්ෂ ඉයාගෝ ගේ චරිතය ද සාර්ථක රංගනයක් සේ දැක්වුවමනාය. නැතිනම් වන්නේ රංගනය ඒක පුද්ගල සංදර්ශනයක් වීම පමණි.

සිරිල් සිනමා රංගනය උදසෙ ලබාගෙන ඇත්තේ සම්මාන දෙකක් පමණක් විය යුතුය. ඒ ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේ හා ‘සෙයිලම’ චිත්‍රපටයේ හොඳම සහාය නළුවා සඳහා වන ‘සරසවිය’ සම්මාන දෙකය.

සිරිල් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ද වෙයි. ‘සිහින ලොවක්’, ‘කරදිය වළල්ල’ ඔහු නිර්මාණය කළ චිත්‍රපට දෙකකි. එහෙත් එය ඔහුගේ මාධ්‍යය නොවන බව පෙනේ.

සිරිල් ටෙලි නාට්‍ය නළුවෙක් ද වන්නේය. සිනමාවෙන් සතු කර නොගත් රසික පිරිසක් ඔහු රෑපවාහිනි මාධ්‍යයෙන් ඇතිකර ගත්තේය. එය ඔහුගේ ජනප්‍රියභාවයට ද හේතු භූත වූයේය. ‘පළිඟු මැණිකේ’, ‘අඳුකොළ’, ‘මිහිකතගේ දරුවෝ’, ‘ඇල්ල ළඟ වලව්ව්, ‘ගව්වෙන් ගව්ව‘ ඔහු රඟපෑ ටෙලි නාට්‍ය අතර වෙයි.

සිරිල් අද වයසින් වියපත් නළුවෙකි. එසේ වුවත් නළු නිළියන් යනු කැලැන්ඩර්වලින් වයසට නොයනා පිරිසකි. එක්තරා කබුකි නාට්‍යයක අවුරුදු 19 ක තරුණ පෙම්වතා ලෙස රඟපෑවේ අවුරුදු 79 ක නළුවකු බව සමන් අතාවුදහෙට්ටි ජපානයට අදාළව ලියූ පොතක සටහන්ව තිබුණා මට මතකය. නළුවාගේ ප්‍රකාශන භාණ්ඩය ශරීරය නම් එය නිරන්තර සුසර කළ යුතුය. පසුගිය සියවසේ බිහි වූ ශ්‍රේෂ්ඨතම වේදික නාට්‍ය හා සිනමා නළුවකු වූ සර් ලෝරන්ස් ඔලිවියර් මෙය ඉතා අපූරු ලෙස දක්වා ඇත. ඔහු කියන්නේ ශරීරය හොඳින් සුසර කර නිරතුරුව වාදනය කළ යුතු සංගීත භාණ්ඩයක් බවය. මෙය සතතාභ්‍යාසයට සම්බන්ධ ක්‍රියාවලියකි. භාරතීය විශිෂ්ට සංගීතවේදීන් දිනකට පැය ගණන් තම භාණ්ඩ ප්‍රගුණ කළ ආකාරයක් අපට අසන්ට ලැබේ. මෙය නළුවකුට බලපාන්නේ කෙසේදැයි මම නොදනිමි. කෙසේ වෙතත් රංගනය යනු මහා සාගරය තරම් වූ අප්‍රමාණ විෂය ක්ෂේත්‍රයක් බව ඥානනය කරගෙන සිටින සිරිල් පොතපතින් විශ්ව සම්භාවය චිත්‍රපට වෙතින් බොහෝ දේ ඉගෙනගෙන ඉන් තම දැනුම යාවත්කාලීන කරගනී. ඒ අනුව සිරිල් ද ගාමිණී ෆොන්සේකා සම්ප්‍රදායයේ රංගවේදියෙකි. තවදුරටත් අවස්ථා ලැබුණොත් සිරිල්ගේ හොඳම රඟපෑම් ඉදිරියේදී අපට දැකගත හැකිවනු ඇතැයි සිතමි. එතෙක් ඔහු අවදියෙන් බලා සිටී.