|
|
උපේක්ෂා තරම් කාර්යය අවබෝධ කරගත්ත කෙනෙක් මට මුණ ගැහිලා නැහැ
‘ස්නේහා’ තැනූ කැලුම් පාලිත මහීරත්න
‘ඒත් මේක මුල ඉඳලා ඉගෙන ගන්න ඕනෑ’ ඔහු හිතුවේ එහෙමයි. මේ අදහසෙන් රූපවාහිනියට සම්බන්ධ වුණත් ඔහුට ලැබුණු නිෂ්පාදක තනතුර ප්‍රතික්ෂේප කළ මේ තරුණයා නිෂ්පාදනය ගැන මුල ඉඳලා ඉගෙන ගන්නට අත් පොත් තිබ්බා. ඔහුගේ ගුරුතුමා වුණේ ටයි මහත්තයා. එදා ටයි මහත්තයගෙන් ඉගෙන ගත්ත මද්දු පුතා අද කලා ලොවේ දක්ෂයෙක් විදියට නමක් දිනාගෙන හක්කලං කරන්නේ බොහොම අපූරුවට. හැබැයි ඒ මද්දු පුතා විදියට නොවෙයි. කැලුම් පාලිත මහීරත්න යන නාමයෙන්. ‘මම ටයිටස් තොටවත්ත එක්ක අවුරුදු පහක් වැඩ කළා. ඒ කාලයේදි මේ ගනුදෙනුව කරන්නේ කොහොමද, මේ මාධ්‍යයේ ජීවත් වෙන්නේ කොහොමද කියලා වගේම පෞර්ෂය තියාගෙන වැඩ කරන්නේ කොහොමද කියලත් මම ඉගෙන ගත්තේ එතුමාගෙන්. ටයි මහත්තයා ළඟ වැඩ කරන්න අපහසුයි කියලා බොහෝ දෙනා කිව්වත් මට එහෙම වුණේ නැහැ. ඔහුට වැඩය වැඩය විදියට තිබිය යුතුයි. එහෙම නොවුණොත් ප්‍රශ්න ගොඩයි. මේ සෑම කාරණයක් වගේම මා බොහෝ දේ ඔහුගෙන් ඉගෙන ගත්තා. ඔහුගේ ඇසුරෙහි ගොඩ නැඟුණු දේයි අද මා මෙතනට රැගෙන ආවේ. ඒ විදියට ගොඩ නැඟුණු කැලුම් මේ දවස්වල නරඹන්නන් අතරට යන්නේ පුංචි තිරයෙන්. ඒ සෑම සතියේ දිනකම හිරු හරහා රාත්‍රී 7.30 ට විකාශය වන ‘ස්නේහා’ දීර්ඝ ටෙලි නාට්‍ය ඔස්සේ.
‘ස්නේහා’ ට දින සියයක් සපිරිලා. කොහොමද ලැබෙන ප්‍රතිචාර? ‘ඇත්තටම කියන්න සතුටුයි. අතිිශෝක්තියෙන් තොරව කිව්වොත් ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් ඉහළයි. හිරු රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍ය අතර ඉහළම ප්‍රතිචාර ලැබෙන්නේ ‘ස්නේහා’ට බවත් කිව යුතුයි. කිසිදු ගැටලුවකින් තොරව කොටස් සියයක් දක්වා අපට පැමිණීමට හැකි වුණා. ඒක එක්තරා ජයග්‍රහණයක් කියලා මට හිතෙනවා.’ රූපවාහිනි සේවා රැසක් හා ඒ සේවාවල විකාශය වන ටෙලි නාට්‍ය ද බොහෝයි. ඒ සියල්ල අතර නරඹන්නන්ගේ අවධානය දිනා ගන්නට නම් කැලුම්ගේ ටෙලි නාට්‍යයේ යම් විශේෂත්වයක් ඇතුළත් විය යුතු වෙනවා.
‘මොකක්ද මේ වෙනස?’ ‘කිහිප ආකාරයකින්ම මේ වෙනස ඇති කරන්න අපි උත්සාහ ගත්තා. මුලින්ම අපි කරන්නේ සාම්ප්‍රදායික කතා කලාවෙන් ඈත්වීමයි. ‘ස්නේහා’ කියන කතාවට ආදරය කියන කාරණය පමණක් මූලික වුණේ නැහැ. මිනිස්සුන්ගේ සිත්වල තිබෙන ක්‍රෝධය, වෛරය කියන විවිධ මනෝභාව පිළිබඳත් අප මෙහිදී කතා කළා. කොයි තරම් දීර්ඝ කතාවකින් වුණත් අවසානයේදී සිද්ධ වෙන්නේ පෙම්වතායි පෙම්වතියයි එකතු වෙන එකයි. නමුත් අප ඒ නරඹන්නන් බලාපොරොත්තු වන අදහසෙන් ඈත් වෙලා දැඩි කුතුහලයක් ඔවුන්ගේ සිත්වල නිර්මාණය කරන්න උත්සාහ ගත්තා. ඊළඟට අපි කළේ තාක්ෂණික වශයෙන් ඉහළ වටිනාකමක් ටෙලි නාට්‍යයට රැගෙන ඒමයි. එහිදී යම් අභියෝග එල්ල වුණත් ඒවා ජය ගනිමින් නව තාක්ෂණය මඟින් ටෙලි නාට්‍යය නරඹන්නන් වෙතට රැගෙන ආවා. විශේෂයෙන්ම රූප රාමුවක් ලස්සන පින්තුරයක් බවට පත් කළා. රූප රාමු ලස්සන කිරීමේ ඒ කලාව මට පිහිටන්න ඇත්තේ මම වෙළෙඳ දැන්වීම් කලාවේ නිරත වූ නිසා බවයි මට නම් සිතෙන්නේ’. බොහෝ දීර්ඝ ටෙලි නාට්‍යවලට තිබෙන්නේ ඊට පෙරදා ලියන පිටපතක් බව කිසිවකුට නොරහසක්.
‘සනේහා’ ගියේ ඒ අඩි පාරෙමද?’
ටෙලි නාට්‍යයක් විකාශය වීමේදී ඒ නිර්මාණය නරඹන්නන්ගේ හද බැඳ ගැනීමට මූලික ලෙසම බලපාන්නේ පිටපතයි. ඒ නිසා පිටපත් රචකයාටත් අධ්‍යක්ෂවරයාට තරම්ම වැඩි වගකීමක් පැවරෙන බවත් පැවසිය යුතුයි.
‘ඔබටත් ඔහු ගැන විශ්වාසය තැබිය හැකි වුණාද?’ ‘අසංග සායක්කාර කියන්නේ දක්ෂ පිටපත් රචකයෙක්. ඔහුට ඉලක්කගත නරඹන්නන් පිරිස හඳුනා ගැනීමේ ඉවක් තිබුණා. ඊට අමතරව ඕනෑම පිටපත් රචකයෙකුට අධ්‍යක්ෂවරයාව හඳුනා ගත හැකි විය යුතුයි. ඔහුගේ ස්ටයිල් එක හඳුනා ගත හැකි විය යුතුයි. මම එහෙම කියන්නේ මීට කලින් ටෙලි නාට්‍යයකදී එහෙම නොවුණ නිසයි. ඒ සියල්ල අතරම පිටපත් රචකයා තමන්ගේ පිටපත පෝෂණය කරන කෙනෙක් විය යුතුයි. ඔහු අධ්‍යක්ෂණයට මූලාශ්‍ර දිය යුතුයි. එවිටයි අධ්‍යක්ෂවරයාට එහි පිණුම් ගසා කැටයමක් කැපිය හැකි වන්නේ’.
‘මෙගා ටෙලි නාට්‍ය ගැන ඔබ දරන්නේ කුමන අදහසක්ද?’ ‘මම ඔය කියන මෙගා කියන වචනයට විරැද්ධයි. මම කියන්නේ ඊට දිය යුතු නම වන්නේ දිර්ඝ ටෙලි නාට්‍ය යන්නයි. මේවා ඕනෑ තරම් ලෝකයේ තිබෙනවා. අපේ අය මේකට මෙගා කියන බාල ලේබල් එක් ගහලා වැරැදි තැනක තිබ්බා. ඒවා ව්‍යාපාරිකයන් අතට පත්වීමයි සිදුවුණු අනෙක් වැරැද්ද විදියට මා දකින්නේ. මමත් ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරිකයෙක් විදියට කලා නිර්මාණයට කොයි තරම් මුදලක් දමනවාද, තමන් කොයි තරම් මුදලක් ඉතිරි කර ගන්නවාද කියන කාරණා මතයි නිෂ්පාදනයේ ගුණාත්මකභාවය රැඳෙන්නේ. නිෂ්පාදකවරයෙක් විදියට මම මගේ ලාභය අඩු කරගෙන නිර්මාණයට වැඩි වටිනාකමක් ලබා දෙනවා. එවිට ගුණාත්මකභවෙන් යුතු නිර්මාණ බිහි වෙනවා.
අධ්‍යක්ෂවරයා කියන භූමිකාවේදී ඔබ ටෙලි නාට්‍යයේ රූප රාමු තිබ්බා ගැහුවා කියන සීමාවලින් ඈත් වූණාද? ‘ඔව් මට එහෙම කරන්න පුළුවන් වුණේ මගේ නිර්මාණවල නිෂ්පාදකවරයාත් මමම වුණු නිසා. ඒ වගේ අවස්ථාවල උත්තර බැඳිය යුතු වුණෙත් මටමයි. අවුරුදු 30 ක මා සතු අත්දැකීම් රාශිය නිසා මම දන්නවා වැඩි බරක් දෙන්න ඕනෑ කුමකට ද කියා. ඒ නිසා ඒ කටයුතු සියල්ල සමාන ලෙස ඉදිරියට අරගෙන යන්නට මට පුළුවන් වුණා. ඒකයි මගේ නිර්මාණවල ඔය කියන සීමා නැත්තේ.’
‘නැවතත් රිදී තිරයට පැමිණෙන්න අදහසක් තිබෙනවාද?’ මට තියෙන්නේ තවත් චිත්‍රපට දෙකක් කරන බලාපොරොත්තුවක්. එකකට නම් මේ දවස්වල පුංචි සූදානමක් තිබෙනවා.’ ටෙලිවිෂනයේදී කාලයක් හක්කලං පෑ කැලුම් ඇරැඹූ ‘මුල් පිටුව’, ‘හත්දින්නත් තරු’ වැඩසටහන් තවමත් නරඹන්නන් අතර ජනප්‍රිය වැඩසටහන්.
‘නැවතත් ඒ වගේ වැඩක් කරන්න හිතක් නැද්ද?’ ‘මුල් පිටුව වගේ වැඩසටහනක් මඟින් මා බොහෝ දේ කළ බව ඇත්තයි. ඒ සඳහා ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහත්තයාගෙන් මට ලැබුණු සහයෝගයත් මා මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනෑ. ඔහු තරම් තම වෘත්තිය වෙනුවෙන් කැපවුණු වෙනත් මාධ්‍යවේදියෙක් මේ වනතුරු මගේ ජීවිතයේදී මම දැකලා නැහැ. කොහොම වුණත් මේ සෑම දෙයක්ම ඒ ඒ අවස්ථාවල මා කළ දේ බව ඇත්තයි. ඒත් මම දැන් මගේම කියලා වැඩ කටයුතුත් එක්ක ගමනක් යනවා.’
‘නව පරපුර ගැන මොකද සිතෙන්නේ?’ ‘ඔවුන්ගෙන් සමහර අය ගැන නම් කියලා වැඩක් නැහැ. ඔවුන් ඔවුන්ගේ වටිනාකම පිළිබඳව තවම හඳුනාගෙන නැහැ. මොකද ඔවුන් හිතාගෙන ඉන්නේ අත්‍යවශ්‍ය පුද්ගලයන් වන්නේ ඔවුන්ම පමණක් බවයි. ඒත් අද මේ ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය පුද්ගලයන් ඇත්තේ නැහැ. ඒ ඔවුන් වෙනුවෙන් විකල්ප අය ඕනෑ තරම් අද ඉන්න නිසයි. මම මේ කියන්නේ හැමෝ ගැනම නෙමෙයි. ඒ අලුත් පරම්පරාවේ උපේක්ෂා ස්වර්ණමාලි ගැනත් විශේෂයෙන් සඳහනක යෙදිය යුතුයි. ඈ මගේ නිර්මාණයට රඟපාන්න ගන්න විට විවිධ අය විවිධ අදහස් පළ කළා. ඒත් ඈ තරම් වැදගත් විදියට තම කාර්යය අවබෝධ කර ගත්ත කෙනෙක් මට තවමත් මුණ ගැසිලා නැහැ. ඇගේ වෘත්තිය ගරුත්වය ඉතා ඉහළයි.’
‘ඉදිරි කටයුතු පෙළ ගැසෙන්නේ කොහොමද?’ ‘ඓතිහාසික ටෙලි නාට්‍යයක් කිරීම සඳහා ආරාධනාවක් තිබෙනවා. ඒ සුගලා දේවිය පිළිබඳයි. යම් යම් වෙනස්කම් රාශියක් සමඟ ඒ නිර්මාණය කළ යුතුය කියන මතයේ මා ඉන්නවා. තවත් මාස කිහිපයකින් එය ආරම්භ කිරීමටත් මා අදහස් කරනවා. වෙළෙඳ දැන්වීම් කරමින් මේ සියලු කටයුතු සමඟ මම මගේ නිර්මාණ දිවිය ඉදිරියට රැගෙන යනවා.’ කැලුම් පවසන්නේ ස්ථිරසාර වූ ස්වරයෙන්. ඒ ස්ථිරසාර බව ඔහුගේ හඬේ විතරක් නෙවෙයි, ක්‍රියාවෙත් තිබෙන වග අපට විශ්වාසයි.
|



ඒ කාලයේ ඉඳලා මද්දුම පුතාගේ ආශාව තිබුණේ බයිස්කෝප් නරඹන්න. බයිස්කෝප් නැරැඹිල්ලට
මද්දුම පුතා කොයි තරම් ඇබ්බැහි වෙලා ද තිබුණේ කිව්වොත් ගෙදර අඟ හිඟකම් ඔහු ඒකට
ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. මේ නිසා බයිස්කෝප් නරඹන්න මද්දු සල්ලි හොයා ගත්තේ
හික්කඩුව ඉරිදා පොළේ පොල් විකුණලා. පොල් ගෙඩි දහයක් විකුණලා ලැබෙන ලාභයෙන් ඔහු
හික්කඩුවේ ටකරන් මඩුවේ පෙන්නුව බයිස්කෝප් නැරැඹුවා. මේ නිසාම දෝ කොහෙද ඔහුට රඟපාන්න
උණක් හිතේ උපන්නා. ඒ ලෙවල් කරන්න පුංචි අම්මාත් එක්ක කොළොම් පුරවරයට එන විටත් ඔහුගේ
හිතේ නළුවෙක් වෙන උණ හැංගිලා තිබුණා. පරාක්‍රම නිරිඇල්ල ළඟ අභ්‍යාස කරලා චූටි චූටි
චරිතවලට පණ පෙව්වත් රඟපාන එක ලේසි නෑ කියලා ඔහුට හිතුණේ ඉබේමයි. ඒ නිසාම ඔහු
අධ්‍යක්ෂණය කියන අංශය ප්‍රිය කළා.
‘මට මේ කතාවේ සංකල්පය දුන්නේ හිරු රූපවාහිනියේ සභාපතිතුමා. ඔහුත්, ධම්මික
තෙන්නකෝන්, විරාජ් වැලිවත්ත කියන මහත්වරුත් සමඟ කළ සාකච්ඡාවකින් පස්සේ මම ටෙලි
නාට්‍යය භාර ගත්තා. මේ කතාව ආරම්භයේ පටන්ම අපට මූලික සැලැස්මක් තිබුණා. පිටපත
ලියන්න භාර දුන්නේ අසංක සායක්කාරට. ඒ වන විටත් කොටස් දෙසීයකින් යුක්ත ‘ස්නේහා’ ට
මුලක්, මැදක්, අගක් තීරණය වී තිබුණා. ඒ අනුවයි කතාව විකාශය වුණේ. මේ නිසා බොහෝ
දිර්ඝ ටෙලි නාට්‍යවලට තිබුණු ගැටලුවලට අපට මුහුණ නොදෙන්න ඒ සැලැස්ම මූලික වුණා
කිව්වොත් නිවැරැදියි.
පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයේද තම නම රැන්දූ කැලුම් පසුගිය කාලයේ අප දුටුවේ පුංචි
තිරයෙන්ම පමණයි.