වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මට ජනප්‍රියත්වය පිනක්

මට ජනප්‍රියත්වය පිනක්

වර්තමානය වන විට නව පරපුර අතර හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් බිහිවීමේ අඩුවක් දක්නට ලැබෙනවා. ප්‍රේමවන්තයාගේ චරිතයට පණ පෙවීමට ඕනෑ තරම් අය සිටියත් හාස්‍යෝත්පාදක නළුවන් දක්නට ලැබෙන්නේ අතලොස්සක්. දෙනුවන සේනාධි ඒ අතරින් කැපී පෙනෙන හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක්. තමන්ටම ආවේණික වූ රංගන ශෛලියක් ඔස්සේ ප්‍රේක්ෂකයන් පිනවන හෙතෙම නාට්‍ය ගණනාවකම ප්‍රේමවන්තයාගේ යහළුවා හැටියට රංගනයේ යෙදුණා. මේ දිනවල පුංචි වලව්ව සහ මුතු යන නාට්‍ය ද්විත්වයේ සහ රන්ජා චිත්‍රපටයේ දෙනුවනගේ හපන්කම් දැක බලා ගත හැකියි. හාස්‍යෝත්පාදක රංගන ශිල්පියාව කැමරාව ඉදිරියෙන් තියලා ඔහු සරසවියට ගොඩ වැදුණේ ටිකක් සීරියස් වෙලා. මෙතැන් සිට කතා කරන්නේ දෙනුවනයි. අහමු ඔහු මොනවද කියන්නේ කියලා.

දෙනුවන ඔබ හාස්‍යෝත්පාදක චරිතවලටම පමණක් සීමා වූ රංගන ශිල්පියකු බවට පත් වෙලා කිව්වොත් මා නිවැරැදිද?

ඔව්. ඒක හරි. මට ලැබෙන්නෙම එවැනි චරිත. කොච්චර හාස්‍යෝත්පාදක චරිත ලැබුණත් මම එපා කියන්නේ නැහැ. හැමෝටම මිනිසුන්ව හිනස්සන්න බැහැ. මට දෙවියන්ගෙන් ලැබිච්ච වරමක් මේක. ඇතැම් අය මාව හඳුන්වනවා විකටයකු හැටියට. විකටයා ඉන්නේ සර්කස්වල. අපි ජෝකර් කියලා හඳුන් වන්නේ අන්න එයාව. මම විකටයෙක් නෙවෙයි. ප්‍රහසන රංගන ශිල්පියෙක්.

ඔබ ඔහොම කතා කරද්දී මට දැනුණ දෙයක් තමයි ඔබ ප්‍රහසන රංගනයෙන් ගැලවීමට ආස නැති බව?

ප්‍රහසන රංගනයෙන් අයින් වෙලා මම මොනවා කරන්නද. ප්‍රහසන රංගනය තමයි මගේ රස්සාව. මගේ ජොබ් එක හරියට කරන්නයි මම උත්සාහ කරන්නේ. ඇත්ත කිව්වොත් මගේ වෘත්තීය මට්ටම හොඳින් පවත්වා ගන්නයි ප්‍රතික්ෂේප නොකර ප්‍රහසන චරිතම කරන්නේ. මම හිතන්නේ ප්‍රහසන රංගනයෙන් ජීවත් වෙන එකම නළුවා මම වෙන්න ඇති.

පුංචි තිරයේ ප්‍රේමවන්තයකු වන්නට කවදාවත් හිතිලා නැද්ද?

අතේ ඇඟිලි එක වගේ නැහැනේ. ඒ වගේ තමා රංගන ශිල්පීනුත් එකිනෙකට වෙනස්. ප්‍රේමවන්තයා වෙන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. අනික ආදරවන්තයෙක් වුණොත් අඬ අඬ තමයි මට රඟපාන්න වෙන්නේ. මම ආස නැහැ ඒකට. අනික මම මේ කරන චරිත නිසා මට විවිධ වයස් මට්ටම්වල රසික රසිකාවන් ඉන්නවා. බාල, මහළු, තරුණ කොයි කාගෙනුත් ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේමවන්තයා වුණා නම් ගැහැනු ළමයි විතරක් මගේ පස්සෙන් ඒවි.

කොහොමද පුංචි වලව්ව,රන්ජා සහ මුතු සඳහා ලැබෙන ප්‍රතිචාර?

නිමක් නැහැ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ සෑහෙන්න අය දුවගෙන ළඟට ඇවිත් කතා කරනවා. සමහර අය නාට්‍යවල දෙබස් කියන්න කියනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි කොර වෙන්නේ.

ප්‍රහසන නළුවෙකු වීම නිසා අපහසුතාවයට පත් වූ අවස්ථාත් ඇති?

මම දන්නවා ඔබ ඔය ප්‍රශ්නෙන් අදහස් කළේ මොකක් ද කියලා. ඇත්තම කිව්වොත් ප්‍රහසන නළුවෝ වුණාට අපිටත් සැබෑ ජීවිතයේ යම් යම් ප්‍රශ්න තියෙනවා. ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නවා ප්‍රහසන නළුවෝ සැබෑ ජීවිතයෙත් හරිම විනෝදකාමියෝ කියලා. එහෙම නැහැ. මොනවා හරි ප්‍රශ්නයකට මැදි වෙච්ච වෙලාවක රසිකයෙක් ඇවිත් විහිළුවෙන් ප්‍රශ්න කරන කොට තමයි ඇඬෙන්නේ.

ඒ වගේ වෙලාවට මොකද කරන්නේ?

කොහොම හරි දරාගෙන ඉන්නවා. කොච්චර අවුලක හිටියත් කවට හිනාවක් දානවා.

මම ඊළඟට අහන්නේ ඔබ නිසා අපහසුතාවයට පත් වූ අනෙක් අය ගැන?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මම ජෝක් එකක් දාද්දී මාත් එක්ක රඟපාන නළුවාට හිනා යනවාමයි. එක පාරක් මේනක රාජපක්ෂට හත් පාරක් හිනා ගියා මාත් එක්ක රඟපාලා.

ජනප්‍රියත්වය කරදරයක්ද?

අපෝ නැහැ. මට නම් ජනප්‍රියත්වය පිනක්. පින් සහිත ආභරණයක්.

මම අහලා තියෙනවා ඔබ ජනප්‍රිය වුණාට ගැහැනු ළමයෙක් එක්ක ප්‍රසිද්ධියේ ඇවිදිනවා කියලා?

ඔව්. ඇයගේ සහ මගේ සම්බන්ධයට වසර තුනක්. අපි ප්‍රසිද්ධ තැන්වල හම්බ වෙනවා. ඒ වෙලාවට ඒක නාට්‍යයක දර්ශනයක් කියලා හිතාගෙන මිනිස්සු ළඟට එන්නේ නැහැ.

හැමදාම එකම විහිළු කරලා මිනිස්සුන්ව හිනස්සවන්න බැහැ. අලුත් විහිළු, අංග චලන හොයා ගන්න ඕනෑ?

ඇත්ත. පරණ විහිළු කතා කියලා රසිකයන්ව හිනස්සන්න බැහැ තමයි. මම ඒකට කරන්නේ අලුත් අලුත් දේවල් හොයන එකයි. ප්‍රහසන රංගනයේ සියුම් තැන් අධ්‍යනය කරන්න මම විදෙස් චිත්‍රපට නරඹනවා. ඒවාහි තියෙනවා අලුත් දේවල්. ඒවා අපේ රටට ගලපගෙන රංගනයේ යෙදෙන්න ඕනෑ.

ප්‍රහසන නළුවකුට සම්මාන ලැබෙන්න තියෙන අවස්ථා අඩුයි?

ඒක අපේ රටේනෙ. වෙනත් රටවල එහෙම නැහැ. මම වරක් චන්දන ධර්මප්‍රියගේ සපුමලී නාට්‍යයේ නිර්මාල්ගේ චරිතය වෙනුවෙන් 2011 රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ ජූරියේ විශේෂ සම්මානයක් ලැබුවා. මම කවදා හරි ප්‍රහසන රංගනයෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානය ගන්නවා. ඒක තමයි මගේ ඉලක්කය.

කවුද මේ ගමන එන්න ඔබට අත හිත දුන් උදවිය?

මහේෂ් රත්සර මද්දුමආරච්චි. ඔහු තමයි මාව රංගනයට ගත්තේ. එතකොට ජී. නන්දසේන, ඉරේෂ් ලොකු බණ්ඩාර, සාරංග මෙන්ඩිස්, සනත් අබේසේකර යන මහත්වරුන් මට ගොඩක් උදව් කළා.