අපේ සිනමාවේ මාපිය යුවළට දීර්ඝායු වේවා

අපේ සිනමාවේ
මාපිය යුවළට
දීර්ඝායු වේවා
අපේ සිනමාවේ මාපිය යුවළ ඔවුනොවුන් හමුවන්නට ඇත්තේ සංසාරගත ඉරණමක නියායෙන් යැයි මම
විශ්වාස කරමි. ඔවුන්ගේ එකතුව මත හැදී වැඩුණු දූ දරුවන් වූයේ අපේ දේශීය සිනමාවයි. මේ
ආදර්ශමත් මව්පිය යුවළ නම් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස්
(ගුණවර්ධන) යුවළයි. ඔවුහු යුගදිවි සැපත් වූයේ අදින් හරියටම වසර පනහකට පෙරාතුවය.
එනම් 1964 වසරේ ජූනි මස 19 වැනි දිනය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් විදග්ධ
සිනමාකරුවා සුමිත්‍රා ගුණවර්ධන නම් තරුණ රූමත් එමෙන්ම හිතුවක්කාර ගති ඇති යුවතිය
මුණ ගැසෙනුයේ එයින් වසර අටකට පෙර ප්‍රංශයේදීය. ආචාර්ය ලෙස්ටර් පැරීසියට යන්නේ සිය
මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වූ ‘රේඛාව’ කාන් සිනමා උළෙලේ ප්‍රදර්ශනය කරවීමටයි. ඒ
වනවිට සුමිත්‍රා ගුණවර්ධන සිය මෑණියන්ගේ වියෝවෙන් කම්පාවට පත්ව සිය සොහොයුරා සමඟ
විසීමට පැරීසියට පැමිණ සිටියාය.

සිනමාව පිළිබඳ ඇයගේ ඇල්ම විෂයයක් ලෙස වර්ධනය
කරවීමෙහි අභිරුචියක් ආචාර්ය ලෙස්ටර් ඇති කළේ මේ හමුවීමෙන් යැයි මම සිතමි. එහි
ප්‍රතිඵලයක් ලෙස ‘සන්දේශය’ චිත්‍රපටය නිර්මාණය කරන විට ඇය ලංකාවට පැමිණ එහි කාර්මික
අංශයට එකතු වූවාය. සුප්‍රකට බොරළුගොඩ ගුණවර්ධන පවුලේ ඉපදුණු සුමිත්‍රා චිත්‍රපට
කණ්ඩායමත් සමඟ බලංගොඩ පළාතේ කාෂ්ටක දුක් ගැහැට විඳිමින් කටයුතු කිරීම බොහෝ දෙනාගේ
පුදුමයට හේතු විය. මේ දුෂ්කර ක්‍රියා විඳිමින් ඇය අනාගතයේ මහා පුරුෂයකුට භාර්යාව
වූවාය. මෙරට සිනමාවේ මහා සලකුණක් වන ‘ගම්පෙරළිය’ චිත්‍රපටය නිෂ්පාදනයේදී ආචාර්ය
ලෙස්ටර් පසුපස සිටි බොහෝ බහුශ්‍රැතයන් අතර ඔහුට මහා සෙවන දුන්නේ සුමිත්‍රාවන්ය. අද
මේ වනවිට කෝටි ගණනකින් මිල කළ හැකි අවිස්සාවේල්ල නගර ආසන්නයේ තිබුණු ඇය සතු ඉඩමක්
අඩු මිලකට විකුණා දැමුණේ ගම්පෙරළියෙහි බරපැන දරන්නටය. ‘ගම්පෙරළිය’ ආචාර්ය ලෙස්ටර්
මෙහෙයුමෙන් තැනෙද්දී එහි සංස්කරණ කටයුතු හරහා සුමිත්‍රා ගුණවර්ධන නම් අපේ සිනමාවේ
මුල්ම සංස්කරණ ශිල්පිනිය දොරට වැඩියාය.
ඔහු අතෙන් සැදි ඈ අතෙන් වැඩුණු ‘ගම්පෙරළිය’
අවසාන වනවිට මේ යුවළ එක් වහළක් යටට යන්නට තීරණය කර තිබුණි. බොහෝ මිනිසුන් හා
ගැහැනුන් හමුවන්නේ සංසාරයේ ප්‍රාර්ථනා කරගෙන පැමිණි විලාසයට යැයි අපි විශ්වාස කරමු.
මිනිසුන්ගේ අනේක විධ ලැබීම් අතර යහපත් භාර්යාවක් ලැබීම මෙන්ම, යහපත් සැමියකු ලැබීම
ද එකී සංසාර ගත බන්ධනයේ කොටසක්ය. වසර පනහක් ආපසු හැරී බලන ආචාර්ය ලෙස්ටර් හා
සුමිත්‍රාගේ ජීවන බන්ධනය එබඳු සංසාර ගත බන්ධනයක් යැයි සිතීම අරුමයක් නොවේ.
‘ගම්පෙරළිය’ චිත්‍රපටය දේශීය හා ජාත්‍යන්තරව මහත් කීර්තියට හා සම්භාවනාවට පත්ව ගියේ
මේ යුවළගේ සරණ බන්ධනයෙන් පසුවය. එතැන් පටන් මේ දෙදෙනාම ස්වකීය වෘත්තීය ජීවිතවල
ඉමහත් කීර්තියට පත් වූ වග අමුතුවෙන් කිවයුතු නොවේ. එබඳු යුවළකට සාමාන්‍යයෙන් එකම
වෘත්තියක නියැළී එක නිවසක ජීවත්ව අග්‍රඵල බවට පත්වන්නට ඉඩ ලැබුණු අවස්ථා ලෝකයේ
අතිශය විරලය. එයට හේතුව එකිනෙකා කෙරෙහි ඇතිවන මානයත්, ක්‍රෝධයත් හරහා මමත්වය නමැති
භයංකර සිතුවිල්ල පහළවීම ය. සංසාරගත සිදුවීම්වලදී එසේ වන්නේ නැත. ඒ නිසා ලෙස්ටර් -
සුමිත්‍රා දෙදෙනාම එකිනෙකාට අප්‍රමාණ ලෙස ගෞරව කළහ. එබැවින් එකම වහළක් යටදී
අග්‍රගණ්‍ය සිනමාකරුවන් යුවළක් පනස් වසක් මුළුල්ලේ ජීවත් වනු දැකීමේ වාසනාව අපට
ලැබිණ.
සාමාන්‍යයෙන් මිනිස් ජීවිතවල සිද්ධ වන අප්‍රමාණ හැලහැප්පීම් හා කට කතාවලින් තොරව මේ
යුවළ ගෞරවණීය ආකාරයෙන් පසුගිය කාලයේ සමාජයට මුහුණ දුන්හ. ඔහුගේ ගෞරවයෙන් ඇය හෝ ඇයගේ
ගෞරවයෙන් ඔහු හෝ එකිනෙකා පරයා යන්නට ඔවුන් කටයුතු කළේ නැත. එහෙත් දුකත් සැපත් සම
සිතින් විඳ ගැනීමේ අප්‍රමාණ ශක්තියක් මේ යුවළට තිබිණි. කීර්තිය විනා ඔවුහු වෙනත් යස
ඉසුරු ප්‍රාර්ථනා නොකළහ. වසර පනහ පුරාම සිනමාව සම්බන්ධයෙන් ඔවුහු තරුණ යුවළක් වූහ.
‘ගම්පෙරළියෙන්’ ඇරැඹි මේ සිනමා ගමනෙහි ‘අම්මාවරුනේ’ දක්වා දෙදෙනා තම තමන්ගේ නිර්මාණ
වෙන් වෙන් වශයෙන් බිහි කළහ. එකම නිවෙසක ජීවත් වුව ද සිනමා නිර්මාණයන්ගෙන් ඔවුන්
දෙදෙනාගේ ශෛලීන් එකිනෙකට වෙනස් විය. මේ දෙදෙනා සම අධ්‍යක්ෂණය කළේ එකම චිත්‍රපටයකි.
ඒ් ‘අම්මාවරුනේ’ චිත්‍රපටය පමණය. ඇතැම් විට තමන්ගේ චිත්‍රපටය රූගත කරන අතරතුර අනෙකා
ද එම දර්ශන තලයේ රැඳී සිටිය ද කිසි විටෙකත් අනෙකාගේ නිර්මාණයට ඇඟිලි නොගැසීමට තරම්
ඔවුන් දෙදෙනා අතර ස්වාධීනත්වය පවත්වා ගත්හ. එමෙන්ම සිනමාව සම්බන්ධ යම් ජාතික
ගැටලුවකදී ලෙස්ටර් හා සුමිත්‍රා යන දෙදෙනාම නිර්භයව එකම මතයක් දැරූහ. ඒ මතය
වෙනුවෙන් නොබියව පෙනී සිටියහ. අපේ තරුණ සිනමාකරුවන්ගේ චිත්‍රපට සඳහා පමණක් නොව
සිනමා මතවාද වෙනුවෙන් පෙනී සිටීමේදී ද ඔවුන් දෙදෙනා අතර එකඟතාවයක් පැවතිණි. ආචාර්ය
ලෙස්ටර්ගේ අනූපස් වැනි උපන් දිනය වෙනුවෙන් ‘සරසවිය’ නිකුත් කළ විශේෂ කලාපයේදී
සුමිත්‍රා පීරිස් මැතිනිය අපගේ අසංක දේවමිත්‍ර පෙරේරා සමඟ කළ සංවාදයකදී අපූරු
හෙළිදරව්වක් කර තිබිණි. ඒ ඔවුන් ආගමෙන් මෙන්ම පවුල් පසුබිමෙන් ද වෙනස් බවය. ඇය
විවාහ දිවියට ඇතුළත් වන්නේ වයස අවුරුදු 24 දීය. ඔහු ඇයට වඩා 16 වසරක් වැඩිමල්ය.
එහෙත් ඔවුන්ගේ සනාතන ආදරයට ඒ කිසිවකින් බලපෑමක් තිබුණේ නැත. ඔවුනට ජීවිතය පිළිබඳ
අති විශාල සැලසුමක් තිබුණේ නැත. එහෙත් ජ ීවිතය යනු සැලසුම් කරන ලද න්‍යාය පත්‍රයක්
යැයි විශ්වාස කරන්නට හේතුවක් ද නැත. රටට ඇහෙන්නට මඟුල් බෙර ගසා, අලි ඇතුන් සමඟ
විවාහ වී මධුසමය ගෙවන්නටත් පෙර වෙන්ව යන ලෝකයක මේ විවාපත් යුවළ අවුරුදු පනහක්
එකිනෙකාට ප්‍රේම කළහ. මේ ප්‍රේමය කෙතරම්දැයි දන්නා බොහෝ පිරිස අතර එක් සාක්කිකරුවකු
හැටියට මට ද වසර ගණනාවක අත්දැකීම් ඇත.
ලෝකයේ තැනෙන අලුත් සිනමාකරුවන්ගේ සිනමා කෘති නිරන්තරයෙන් ආශ්වාද කළ මේ යුවළ තමන්ගේ
දරු පරම්පරාව ලෙස සැලකූවේ අපේ රටේ සිනමාකරුවන්ය. තරුණ සිනමාකරුවන්ට මේ යුවළ ආදරය
කළේ ඔවුන් වැදූ මව්පියන්ටත් වඩා ස්නේහයෙන් යුතුවය. ඔවුන් නිසි මඟ යන අයුරු, ලොව
දිනන අයුරු දැක මේ මාපිය යුවළ මහත් සේ උදම් වූහ.
මේ ලිපිය නිමා කිරීමට මත්තෙන් මෙසේ පෞද්ගලික සටහනක් එයට එක් කිරීමට මම කැමැත්තෙමි.
මා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හඳුනා ගත්තේ මින් වසර විසි දෙකකට පමණ එපිට ය. එකල
මා එතුමන් මුල්වරට හමුවන්නට ගියේ ‘සරසවිය’ පුවත්පත වෙනුවෙන් සංවාදයක යෙදෙන්නටය. ඒ
එවකට ‘සරසවිය’ කතුවර ඒ. ඩී. රන්ජිත් කුමාර මහතාගේ නියමය පරිදිය. එවර ආචාර්ය ලෙස්ටර්
කාන් සිනමා උළෙලේ ජූරි සභාවේ සාමාජිකත්වය උසුලා තිබිණි. එබඳු ගෞරවණීය අවස්ථාවක්
පිළිබඳ ලියන්නට එවකට ආධුනික තරුණයකු වූ මා පැමිණීම පිළිබඳ මේ මහා සිනමාකරුවාගේ
සිතෙහි කවර හැඟීමක් මුලින් ඇති වුණේදැයි මා දන්නේ නැත. එහෙත් එම ජූරි සභාවේ එතුමන්
සමඟ කටයුතු කළ ස්පාඤ්ඤ සිනමාකරු පෙද්‍රෝ අල්මදෝවාගේ චිත්‍රපට මා දැක ඇතැයි පැවසීමත්
සමඟ අපේ සංවාදය ඉතාම ආදරණීය ස්වරූපයක් ගත් අයුරුත් මට අද මෙන් මතකය. එදින සුමිත්‍රා
පීරිස් මැතිනිය නිවසේ සිටියේ නැත. ඒ හේතුවෙන් ඇය මට මුණ ගැසෙන්නට වසරකට ආසන්න
කාලයක් ගත විය. මට එතුමියව හඳුනා දුන්නේ ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහය. නම පැවසූ
සැනෙන් ඇය මා අතෙන් අල්ලා ගෙන පැවසූයේ එක් දෙයකි.
‘මට ඔබ ගැන පැවසුවේ ලෙස්ටර්. ඒ අල්මදෝවාගේ චිත්‍රපට බැලුව කෙනෙක් කියලා.’
ඒ ඇසුර එදා පටන් නිරන්තරයෙන් ලබන්නට මා පින් කර තිබුණි. එබැවින් එතැන් පටන් මගේ
ජීවිතයේ වැදගත් බොහෝ තැන්වල මේ යුවළ ද සිටියහ. එය මට මහත් දිරියක් ද, ආශිර්වාදයක් ද
විණි. ඒ ඇසුර සසර පුරා ලැබේවා යැයි අදද මගේ ප්‍රාර්ථනාවයි.
යුග දිවියෙහි පනස් වන වසර සපුරන මේ යුවළට නිරන්තර චිර ජීවනය ලැබේවා යැයි මම
ප්‍රාර්ථනා කරමි. ‘සරසවිය’ පුවත්පතේ මෙන්ම මෙරට සිනමාලෝලී සියල්ලන්ගේම ඒකායන
ප්‍රාර්ථනය ද එයයි.
|