වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




 ඇඳුමට ගැළපෙන වෙරළේ පැහැය

 ඇඳුමට ගැළපෙන වෙරළේ පැහැය

සම්මතවලින් බැඳුණු භාරතයේ බොලිවුඩයට නම් කිසිදු තහංචියක් නැත. හාදුවෙන්, බිකිනියෙන් ඔවුන් සියලු සාම්ප්‍රදායයන් බිඳ දැමුවේ කලකට පෙරය. එය එසේ වුවත් තවමත් බිකිනියක් ඇඳීම යම් තරමක අභියෝගයකි. නව පරපුරේ සෝනක්ෂි සිංහ වැනි නිළියන් තමන් කිසි කලෙක බිකිනි අඳින්නේ නැති බව පවසන්නේ එනිසාය. කළු සුදු සිනමාව රජයන කාලයේ ‘ආවාරා’ සිනමාපටයේ නාර්ගිස් බිකිනියකින් සැරසී සිටි රූප රාමුව කෙතරම් සුන්දර වුවත් එයින් ඇතිවුණු කම්පනය සුන්දරත්වයට යටපත් කළ නොහැකි විය.

වසර ගණනක් ගත වෙද්දී ප්‍රංශයේ දකුණු සහ ඉතාලි වෙරළ ගැහැනුන් සහ පිරිමින් බිකිනි ඇඳගෙන විවේකය ලබන නිදහස් භූමියක් විය. තිහේ දශකයේ නාන ඇඳුම ජනප්‍රිය වීමට පෙර ජනප්‍රිය වූයේ කබානායි. ලෝක යුද්ධ කාලයේදී ගැහැනු, පිරිමි අතර එකම මෝස්තරයේ නාන ඇඳුම ජනප්‍රිය විය. අප දැන් දකින නාන ඇඳුම් නිර්මාණය වූයේ පනහ දශකයේදීය.

නූතන තාරකාවන් ක්ෂේත්‍රයේ ඉණි මඟ බවට බිකිනිය පත්කර ගෙන තිබුණ ද ජනප්‍රියත්වයේ හිනි පෙත්තේම සිටි අතීත තාරකාවෝ ද බිකිනියෙන් සැරසුණාහ. සයිරාබානු, මුම්ටාස් පමණක් නොව කරීනාගේ නැන්දණිය ෂර්මිලා තාගෝර් ද බිකිනියකින් සැරසී රඟපෑහ. ඔවුනගේ බිකිනි ඇඳි රුව රැගත් කවර සහිත සඟරා උණු කැවුම් මෙන් අලෙවි විය.

ෂර්මිලා තාගෝර් බිකිනියකින් සැරසී පෙනී සිටිි සඟරාව ඉන්දීය පාර්ලිමේන්තුවේ පැය ගණනක් කතාබහට ලක් වූ මාතෘකාවකි. සත්‍යජිත් රායිගේ සිනමාපටවලින් සාම්ප්‍රදායික ඉන්දීය කාන්තාවකගේ ප්‍රතිරූපය ගොඩ නඟා ගත්, රබීන්ද්‍රනාත් තාගෝර්ගේ මී මිනිබිරියක් වූ ඇය ‘ඇන් ඊවිනිං ඉන් පැරිස්’ වර්ණ සිනමාපටයේ බිකිනියක් ඇඳ රඟපෑම මතවාදීන්ගේ මතභේදයට තුඩු දුන්නත්, රසිකයන් නම් එය වැළඳ ගත්තේ උමතුවෙනි.

නිළි කාජල්ගේ ලොකු අම්මා, නූටාන් භාරත සිනමාවේ තවත් සාම්ප්‍රදායික චරිතයකි. එහෙත් ඇය ‘දිල්ලි කා තග්’ සිනමාපටයේ නාන ඇඳුකින් සැරසී රඟපා ඇත. භාරතයේ කඳු‍්‍රළු බිඳුව, මීනා කුමාරි ‘ෆුට්පාත්’ සිනමාපටයේ බිකිනියක් ඇඳ රඟපෑවේ ‘සුදෝ සුදු’ චරිතයක් ලෙස නම් දරා තිබියදීය.

බිකිනිය ‘සරාගී බෝම්බය’ (සෙක්ස් බෝම්බ්) ලෙසින් නම් කෙරුණේ හැටේ දශකයේදීය. අමෙරිකානුවන් මුහුදේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් සමඟම මේ නව මෝස්තර ලෝකයේ ආකර්ෂණය දිනා ගත්තේය. සීනත් ආමන් ‘සරාගී බෝම්බය’ යන වචනයට පූර්ණ සාධාරණත්වයක් ඉටු කළාය. ඇය තිරයේ සරාගී දේව දූතිකාවක වූවාය. අයිශ්වර්යා රායිගේ ආකර්ෂණීයම බිකිනි දර්ශනය ඇතුළත් වූයේ ‘ඩූම් ‘ සිනමාපටයේයි. සමහර තාරකාවන්ගේ ගත සැකසී ඇත්තේම බිකිනි අඳින්නට සුදුසු පරිදිය.

එව්ලින් ෂර්මා, ප්‍රියංකා චොප්රා ඒ අතරින් සුවිශේෂීය. අනුෂ්කා ෂර්මා, ඊශා ඩියෝල්, සෝනම් කපූර්ගේ බිකිනි දර්ශන නරඹන්නනගේ දෙනෙත්වලට රසඳුනක්ම විය. යට ඇඳුම් කර්මාන්තයේ දියුණුවට ද තරු සහ තාරකාවන් ස්තුතිවන්ත විය යුතුය. ගැහැනු පිරිමි දෙපිරිසේම පපු පෙදෙස පිරී, එසවෙන ලෙස තබන්නට මෙවැනි උපක්‍රම උපකාරී වෙයි. ‘ස්පෑන්ක්ස්’ පිරිමියකුගේ මාංසපේශී සහ කාන්තාවකගේ පිරුණු ළැම පෙදෙස සහ පපු පෙදෙස මොනවට පෙන්වන ඇඟට කිටි කිටියේ සිරවෙන යට ඇඳුම් විශේෂය අද තරු අතර ඉතා ජනප්‍රියය.

ජෝන් ඒබ්‍රහම් වැනි කඩවසම් නළුවන්ට කිසිදු ගැටලුවක් නැතිව කඩවසම් බව තිරයේ ප්‍රදර්ශනය කළ හැකිය. හොලිවුඩ් නළුවන් පවා සිය කඩවසම් පුරුෂ දේහය ප්‍රදර්ශනය කිරීමට නොගන්නා උත්සාහයක් නැත. බොන්ඩ් තරුව, ඩැනියල් ක්‍රේග් සයුරේ ගිලෙන ජවනිකාවක් නිරූපනය කිරීමට සතියක් ඉතා තදින්ම පෝෂණ උපදේශකයකුගේ උපදෙස් අනුව ආහාර ගෙන තිබේ. මෙතරම් වෙහෙසක් ඔහු දරා ඇත්තේ මිනිත්තුවක ජවනිකාවක පෙනී සිටීමටය.

තරුවලටත් වඩා බිකිනි දර්ශනවලට බොලිවුඩ් තාරකාවන් දක්ෂය. ‘බ්ලූ’ සිනමාපටයේ ලාරා දත්තා ද, බිපාෂා බාසු ද සිය සිරුරු මඟින් නාන ඇඳුම කෙතරම් හැඩකාර කර ඇත්දැයි බලන්න.

වීනස් දෙවඟන පරදන බොලිවුඩ් තාරකා රතු, කළු, ඇසිඩ් කොළ, දීප්තිමත් කහ වැනි වෙරළට වඩාත් ගැළපෙන දීප්තිමත් වර්ණයන්ගෙන් සැරසී වෙරළේ සුන්දර ජවනිකා මවන විට කෙතරම් අපූරුද?

සිනෙබ්ලිට්ස් ඇසුරිනි