වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී ගෞතම සම්බුද්ධ අපේ රටේ ප්‍රේක්ෂක නෙත් ආකර්ෂණය වෙලා

ශ්‍රී ගෞතම සම්බුද්ධ අපේ රටේ ප්‍රේක්ෂක නෙත් ආකර්ෂණය වෙලා

හඬ කැවීම් අධ්‍යක්ෂිකා රංජීවනී බැද්දෙවිතාන

සිදුහත් කුමරුන්ගේ උත්පත්තිය, ගිහි ජීවිතය පිළිබඳ අප කුඩා කාලයේ සිට ඉතා ආසාවෙන් අසා දැනගත් කතා පුවතක් වේ. පොත පතින් එදා ඒ දැනුම ලබන විටදී අපූරු චිත්‍ර සිතෙහි මැවුණා ඔබට මතක ඇති. සුදු නෙළුමක් හොඩින් ගත් සුදු ඇත් පැටවෙක්, සත් පියුම් මතින් සිදුහත් කුමරු ඇවිද යාම, තරුණ වියේදී ශිල්ප දැක්විම, යශෝදරා දේවිය, රම්‍ය, සුරම්‍ය, සුබ නම් වූ දැවැන්ත මාළිගා පිළිබඳ වූ සුන්දර දසුන් මනඞකල්පිත චිත්‍ර ලෙසින් අප සිත් තුළ සිතුවම් වූවා පමණි.

එහෙත් වසර දෙදහස් පන්සියයකටත් අධික වූ ඒ ඉතිහාසය දැන් සත්‍ය ලෙසින් අප ඉදිරියේ මැවී තිබේ. ඒ ටෙලි සිතුමක් ලෙසිනි. ‘ශ්‍රී ගෞතම සම්බුද්ධ’ ලෙසින් සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම දෙරණ ටීවී නාළිකාව ඔස්සේ එය අපේ ආලින්දයට පැමිණෙයි. කාගේත් භක්ති ආදරයට පත් වූ ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නිර්මාණය ගැන තවත් තොරතුරු සොයන්නට අප හමු වූයේ එහි හඬ කැවීමේ අධ්‍යක්ෂිකා රංජීවනී බැද්දෙවිතානයි.

* ශ්‍රී ගෞතම සම්බුද්ධ අපේ ආලින්දයට පැමිණි ගමන ගැන මුලින්ම සඳහන් කරමු?

අපේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉන්දියාවේ කළ සංචාරයක් අතරතුරදියි මේ නාට්‍යය දැකලා තිබුණේ. ඔවුන්ගේ අදහස වුණේ මෙය අපේ රටෙත් පෙන්විය යුතු කතාවක් බවයි. ඒ අනුව ගත් තීරණය පරිදි මට මේ නාට්‍යය දුටු මුල් දිනයේදීම ඒ පිළිබඳ දැඩි ඇල්මක් ඇති වුණා. අනතුරුව අපේ ගරුතර සංඝරත්නයේ ද ආශිර්වාදය ඇතිව ශ්‍රී ගෞතම සම්බුද්ධ අපි දෙරණ ටී වී නාළිකාව හරහා ප්‍රේක්ෂකයන්ට ගෙන එන්න තීරණය කළා. තවත් විශේෂ කරුණක් සඳහන් කරන්න ඕනෑ. මෙම ටෙලි නාට්‍ය මාලාව අපි ගෙන එන්නේ පරිවර්තනයක් ලෙස නොවෙයි. අපි වෙනමම මේ වෙනුවෙන් පිටපත සකසනවා. නලින්ද සම්පත් විසින් එය රචනා කෙරෙන්නේ.

* එහෙත් අප දන්නා සිදුහත් කතා පුවතට වඩා වෙනස් වූ දේ මෙහි සඳහන් වෙනවා නේද?

මෙහි මුල් නිර්මාණයේ එවැනි වූ වෙනස්කම් කිහිපයක්ම තිබුණා. සිදුහත් කුමරුගේ උත්පත්තිය දන්වන සිහිනයේදී සුදු නෙළුම් මලක් ගත් සුදු ඇත් පැටවෙක් මහමායා දේවියගේ දකුණු ඇලයෙන් කුස තුළට ඇතුල් වෙන කතා පුවතයි අපි අසා තිබෙන්නේ. නමුත් මෙහි නෙළුම් මල පමණක් ඇතුල් වෙන අන්දමෙන් නිර්මාණය කර තිබුණේ. නමුත් පරිගණක සජීවකරණය ඇසුරෙන් අපි දන්නා ආකාරයටම ඒ සිහිනය සකස් කළා. දිනුෂ ලක්ෂාන්ගෙන් ඒ සඳහා විශාල සහයෝගයක් ලැබුණා. තවත් අවස්ථාවක් තිබුණා මහාමායා දේවියට වස දීමට තැත් කිරීමේ සිදුවීමක්. ලාංකික අපි එහෙම කතාවක් කවදාවත් අහලා නැහැ. විනාඩි විස්සකින් පමණ යුතු වු ඒ දර්ශනය දෙවරක් නොසිතාම අපි ඉවත් කළා. ඒ වගේමයි සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්මීම වැලැක්වීමට ශුද්ධෝදන රජු රම්‍ය, සුරම්‍ය, සුබ නමින් මාළිගා තුනක් කරවා කුමරුවා එහි වෙසෙන්නට සැලසූ බව අපේ කතාවල සඳහන් වුණත් මෙහිදී සිදුහත් කුමරු රංග ශාලා වෙත යැවීමට රජු උත්සාහ කරන ආකාරය සඳහන් වුණා. එහිදීත් නොගැළපෙන කොටස් කපා දමා අපි අපේ විදියට මේ නිර්මාණය යළි සකස් කළා.

* මෙහි එන මංගලා නම් චරිතයත් අපට ආගන්තුකයි නේද?

ඇත්තටම මංගලා සිදුහත් කුමරුගේ ජීවිත කතාව තුළ අපි අසා නොමැති චරිතයක්. නමුත් ඉන්දියාවේ කළ මේ නිර්මාණයේ ඒ චරිතය ඉතාම ප්‍රබල එකක්. ඒ වගේමයි එහිදී දේවදත්ත කුමරුගේ මව ලෙසින් තමයි ඇය හැඳින් වූයේ. නමුත් අපේ බෞද්ධ සාහිත්‍යයේ දේවදත්ත කුමරු යශෝදරා කුමරියගේ සොහොයුරු දෙව්දහ නුවර සුප්ප්‍රබුද්ධ රජුගේ පුත් කුමරා ලෙසයි සඳහන් වන්නේ. ඉතිහාස කතා සොයා බැලීමේදි දේවදත්ත කුමරු සිදුහත් කුමරු සමඟින් කිඹුල්වත්පුර මාලිගයේ හැදී වැඩුණු බව දැනගන්න ලැබුණා. ඒ සමඟින් එයට අනුරූප වන පරිදි අපි අපේ පිටපත සකසා ගත්තා. එහිදී අදාළ නොමැති කොටස් කපා දැමුවා. එහිදී මංගලා ප්‍රබල චරිතයක් වුණත් අපේ පිටපත තුළ ඇය තරමක් නිහඬ කරලා තියෙනවා. ඉන්දියාවේදී මේ කතාව ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රිය කරවන්නට එකතු කළ අපිට නොගැළපෙන සියලුම දර්ශන වගකීමකින් යුතුව කපා දමන්න අපි කටයුතු කළා.

* මේ අතරතුර ඔබ කණ්ඩායමට චෝදනා එහෙම නැඟුණේ නැද්ද?

මේ දක්වා නම් එවැනි චෝදනා නැගුණේ නැහැ. මේ ටෙලි නාට්‍යය අපට ලැබුණු විටදී කිහිප වරක්ම නරඹා මෙරට ස්වාමීන් වහන්සේලා කිහිප නමකටම නැරැඹීමට සැලැස්සුවා. උන්වහන්සේලාගේ උපදෙස්, අනුශාසනා පරිදි තමයි අපි මේ නිර්මාණ කටයුතු ඉදිරියට ගෙන යන්නේ. ඒ වගේමයි මෙය කිහිපවරක්ම සංස්කරණය කෙරෙනවා. පළමු සංස්කරණයෙන් අනතුරුව ස්වාමීන් වහන්සේලා නැරැඹූ පසු ඇතැම් කොටස් යළිත් සංස්කරණයට ලක් කෙරෙනවා. ඊට පසුව හඬ කැවිමෙන් පසු නැවත සංස්කරණය කර අවසානයේදියි විකාශය සඳහා සූදානම් කෙරෙන්නේ. ඒ නිසා චෝදනා ලැබෙන්න අවස්ථාවක් නම් නැහැ.

හැමෝගෙන්ම මේ ටෙලි නිර්මාණයට ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිචාර. ඒ වගේමයි අද වන විට ඉතා ඉහළ ප්‍රේක්ෂක ජනතාවක් මේ වටා රැස් වෙලා සිටිනවා. රේටින්ස්වලින් ඒ බව ඔප්පු වෙලා තියෙනවා.

* ශ්‍රී ගෞතම සම්බුද්ධ නිර්මාණය සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම ගොස් සම්මා සම්බුද්ධත්වයට පත්වීම දක්වාම දිග හැරෙනවාද?

ඉන්දියාවේදී නම් මෙහි බුදු වීම දක්වාම වූ සිදුවීම් ගෙනහැර දක්වනවා. නමුත් අප රටේදී ඒ දක්වා වූ කොටස් නම් විකාශය කෙරෙන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේලා මේ සඳහා එකඟත්වය ලබා දෙන විටම පැවසූ කාරණයක් තමයි මෙරට විකාශයේදී බුද්ධත්වයෙන් පසු කොටස් විකාශය නොකළ යුතු බව. ඒ නිසා මාර පරාජය සිදුවීමෙන් අනතුරුව අපි මෙය නිමාවට පත් කරන්නට සූදානම්.

ඉන්දියාවේදී මෙය පැයේ දර්ශන කොටස් 52 කින් යුතු වෙනවා. නමුත් අපි විනාඩි 30 කොටස්වලට වෙන් කර යළිත් සංස්කරණය කර පෙන්වන නිසා එය වෙනස් වෙනවා. ඉන්දීය නිර්මාණයේ මාර පරාජය දක්වා කොටස් තිස් දෙකක් හෝ තිස් තුනක් පමණ වෙනවා. එය මෙරටදී කොටස් හැටක් හෝ හැත්තෑවකට ආසන්න විය හැකියි. නමුත් එය තවමත් සංස්කරණය වෙමිනුයි තියෙන්නේ.

* මෙහි අලංකාර කාව්‍ය කොටස්වලින් ද යුතු වෙනවා නේද?

එය නිර්මාණය තවත් අලංකාර කිරීමට යෙදූ එකක්. මෙහි සිටින එක් ගාන්ධර්වයෙක් සතුටට වගේම දුකටත් ගීත ගයන අවස්ථා ඇතුළත්. මෙරටදී ඒ වෙනුවෙන් දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ පැලැඳි පූර්ණ සචින්ත ගීත ගායනයෙන් එක් වෙනවා.

* මේ සඳහා හඬ දායකත්වය සොයා ගැනීමේ අභියෝගය ජය ගත්තේ කොහොමද?

මට මේ කතාව බලන විට එක වරම සුද්ධෝදන රජුගේ හඬ වෙනුවෙන් මතකයට ආවේ කමල් දේශප්‍රිය මහතා. ඒ හඬ සුද්ධෝදන රජු වෙනුවෙන් මනාව ගැළපුණා. අනෙකුත් චරිත වෙනුවෙන් අපි සම්මුඛ පරීක්ෂණ පවත්වා ශිල්පීන් තෝරා ගන්න කටයුතුª කළා. ඊළඟ අභියෝගය වුණේ සිදුහත් කුමාර චරිතයට හඬ සෙවීමයි. ඒ වෙනුවෙන් විතරක් ප්‍රසිද්ධ ශිල්පීන් දහසය දෙනෙක් අපි පරීක්ෂණයට ලක් කළා. ඒ හඬ සෙවීමෙන් අපි සාර්ථක වුණා කිව්වොත් නිවැරැදියි. ඒ හැම දෙනාම ඉතාම කැපවීමෙන් මේ කටයුත්තට දායක වෙනවා. මේ සඳහා දායක වූ අපේ දෙරණ ටී වී කණ්ඩායම වගේම හඬ කැවීමේ ශිල්පීන් පවා මස් මාංශ අනුභවයෙන් වැළකිලා ඉන්නේ. කවුරුවත් කියලා නම් නොවෙයි. හැමෝම පුදුමාකාර භක්තියකින් මේ කටයුත්තට දායක වෙන්නේ.

* ජනතාවගේ භක්ති ආදරයට පාත්‍ර වූ මෙවැනි වැඩසටහනක් ගෙන එන්න ලැබීම පිළිබඳ ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?

මෙහිදී පළමුවෙන්ම අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට ස්තුතිවන්ත විය යුතුයි. මෙවැනි අගනා නිර්මාණයක් මෙරට විකාශයට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් මම ස්තුති කර සිටිනවා. මේ වෙනුවෙන් මම ඇතුළු අප කණ්ඩායම වෙනමම හැදෑරීමක් කළා. එහිදී අපට අවබෝධ වුණේ බුද්ධ චරිතය පිළිබඳ අප දැනගෙන සිටින්නේ ඉතාම කෙටි ප්‍රමාණයක් බව. මේ වෙනුවෙන් අපි ත්‍රිපිටකය ඇතුළුව විවිධ බෞද්ධ ග්‍රන්ථ පරිශීලනය කළා. ස්වාමින් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගත්තා. මේ දක්වා පැමිණි දුර දෙස බලන විට අපි සාර්ථක වෙලා තියෙනවා. එය ඉදිරියටත් පවත්වා ගනිමින් සිදුහත් කුමරුගේ කතා පුවත ඉදිරියටත් ඔබේ ආලින්දයට ගෙන එන්න අපි සූදානම්.

ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍ය මාලාව ඉන්දියාවේ විකාශය කෙරෙන්නේ ඕභඤඤඩච නමිනි. බී. කේ. මෝදි නිෂ්පාදනය කළ එහි හිමන්සු සෝනි සිද්ධාර්ථ කුමරු ලෙසින් ද 2008 වසරේ ලෝක රූ රැජන තරඟය නියෝජනය කළ කාජල් ජේන් යශෝදරා කුමරිය ලෙසින්ද රඟති. සමීර් ධර්මාධිකාරි සුද්ධෝදන රජු ලෙසත්, ගුනුගුන් උපාරි ප්‍රජාපති දේවිය ලෙසත් දේව්යන්ග් තපුරි දේවදත්ත කුමරු ලෙසත් සහ නිගාර් ඛාන් මංගලා ලෙසත් රංගන දායකත්වය ලබා දෙති.

ශ්‍රී ගෞතම සම්බුද්ධ හඬ දායකත්වය

කමල් දේශප්‍රිය - සුද්ධෝදන රජු

ශ්‍රී - සිද්ධාර්ථ කුමරු

පබෝධා සංදීපනි – යශෝධරා කුමරිය

ෆර්නි රෝෂිණි – ප්‍රජාපතී දේවිය

අනුර ජයන්ත - දේවදත්ත කුමරු

සමීර බණ්ඩාර - චන්න