සුපර් මෑන්ලට වඩා වීරයෝ අපේ ඉතිහාසයේ ඉන්නවා
සුපර් මෑන්ලට වඩා වීරයෝ
අපේ ඉතිහාසයේ ඉන්නවා
සිසිල් ගුණසේකර
සිසිල් ගුණසේකර වඩාත් ප්‍රකට වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙනි. රැල්ල, රැළිය,
ඔටුණු ආදී නාට්‍ය ගණනාවක්ම වේදිකාවට ගෙනා හෙතෙම ඉන් ඔබ්බට ගොස් නිර්මාණකරණයේ යෙදුණ
බවට නම් අපට මතකයක් නැත. ඔහුගේ වේදිකා නාට්‍ය අතිශය ජනප්‍රිය වීම සහ ඒවා නැරැඹීමට
වෙනමම ප්‍රේක්ෂක කණ්ඩායමක් එකතු වීම නිසා දිගින් දිගටම වේදිකාවේ රැඳී සිටින්නට
සිසිල්ට සිතෙන්නට ඇත. එනමුත් මේ සියල්ල අතහැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන ඔහු
නැවතත් ලංකාවට පැමිණෙන්නේ එක්තරා සිහිනයක් දෝත දරා ගනිමිනි. ඒ චිත්‍රපටයක්
අධ්‍යක්ෂණය කිරීමය. සිසිල් ඊට යොදා ගැනීමට නියමිත වන්නේ හෙළ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ හිමි
නමකගේ චරිතාපදානයකි. මේ වන විට එහි පෙර නිෂ්පාදන කටයුතු සිදු වෙමින් පවතියි.
* සිසිල්, වේදිකාව කියන්නේ ඔබට හරියට ගෙදර වගේ. ඒත් සිනමා මාධ්‍ය ඔබට ආගන්තුකයි?
මිනිස්සු මාව හඳුන ගත්තේ වේදිකාව නිසා. අදටත් මම වේදිකාවට හරිම ආදරෙයි. වේදිකාවේ
නාට්‍යයක් නිර්මාණය කිරීම දුෂ්කර කාර්යයක්. බොහෝ දෙනෙක් වේදිකාව හැර දමා නික්ම ගිය
යුගයකත් මම වේදිකා නාට්‍ය නිර්මාණය කළා. සිනමාවට කිසිදු ඇල්මක් මා සිතෙහි තිබුණේ
නැහැ. ඒත් මම ඕස්ට්‍රේලියාවේදී ඒ පිළිබඳ හදාරන්නට හිතුවා. මම කොහොමත් නොදන්නා
මාධ්‍යන් ගැන ඉගෙන ගන්න ආසයි.
* කොහෙන්ද ඔබ සිනමාකරණය පිළිබඳ හැදෑරුවේ?
ඕස්ට්‍රේලියාවේ නෝර්ත් සිඩ්නි කැම්පස් එකෙන්.
* එතෙන්දිද ඔබට චිත්‍රපටයක් කරන්නට සිතුවිල්ලක් පහළ වන්නේ?
ඔව්. එහිදී නියම වැඩක් වුණා. ඒක මං දැන් කියන්නම්. අපේ වාර අවසානයේදී එසයිමන්ට්
එකක් කරන්න තිබුණා. මම කළේ වෙළෙඳ දැන්වීමක පිටපතක් ලියපු එක. එයට ඉහළම ලකුණු ගණනක්
ලැබුණා. ඒ විතරක් නෙවේ. එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර හොඳම එසයිමන්ට් එක වුණා. අපේ
ගුරුවරයා මට කිව්වා ඔබට හොඳට තිරය වෙනුවෙන් පිටපත් ලියන්න පුළුවන්. චිත්‍රපට
පිටපතක් ලිව්වොත් එය ඉතා නිර්මාණශීලී එකක් වේවි කියලා. ඔහුගේ අදහස හිතේ තියාගෙන මම
චිත්‍රපටයකට පිටපතක් ලිව්වා.
* ඒ කතාවද රූපයට නඟන්න සැරැසෙන්නේ?
නැහැ. එය හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. ඒක දැන්මම නිර්මාණය කරන්නේ නැහැ.
* එතකොට මේ නිර්මාණය කරන්න හදන්නේ?
මගේ දෙවැනි පිටපත. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ජීවිත කතාව ඇසුරෙනුයි එය ලිය
වුණේ.
* දැවැන්ත කාර්යයක්?
සත්තකින්ම. ලෙහෙසි පහසු නැහැ වැඩේ කරන්න.
* ඔබත් ඉතිහාස කතා රැල්ලට එකතු වන්නද මේ හදන්නේ?
රැල්ලට යාම සිසිල් ගුණසේකරගේ සිරිත නෙවෙයි. මම මේ හදන්නේ යුගයේ අවශ්‍යතාවයක් ඉටු
කිරීම පමණයි.
* ඒ කිව්වේ?
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි කියන්නේ එසේ මෙසේ හාමුදුරු නමක් නෙවෙයි. උන්වහන්සේ
නිසා බෞද්ධ පුනරුදය ඇති වූ අන්දම පිළිබඳ කියන්න වචන නැහැ. ඒ හිමියන් ගැන
චිත්‍රපටයකින් හෝ කතා කළොත් අනාගත පරපුර උන්වහන්සේගේ මෙහෙවර දැනගෙන උන්වහන්සේට තවත්
ගෞරව කරාවි. චිත්‍රපට හදන්න හෙළ විරුවෝ ඕනෑ තරම් තව ඉන්නවා. ඒ අයගේ උදාරත්වය අප දූ
පුතුන් හරියාකාරව දන්නේ නැහැ. සුපර් මෑන්ලට වඩා වීරයෝ අප ඉතිහාසයේ ඉන්නවා. ඔවුන්ව
ඉස්මතු වන්නේම නැති තරම්. මට හැකි පරිදි මේ චිත්‍රපටය මඟින් ගුණානන්ද හිමියන් සහ
උන්වහන්සේගේ කාර්යය පහදා දෙනවා.
* ඕල්කට්තුමා ලංකාවට පැමිණෙන්නේද ගුණානන්ද හිමියන් නිසා කියලා මම අහලා තියෙනවා?
අන්න හරි. ඕල්කට්තුමා උන්වහන්සේගේ අදහස් දැනගෙන ලංකාවට එනවා. ඊට පසුව බෞද්ධ කොඩිය
හැදෙනවා. ඕල්කට්තුමාගේ ප්‍රධානත්වයෙන් මෙරටෙහි බෞද්ධ පාසල් රැසක් ආරම්භ වෙනවා. ඔය
ගුණානන්ද හාමුදුරුවෝ නිසා වෙච්ච මෙහෙවරයන් කිහිපයක් පමණයි. මේවා ඔක්කොම චිත්‍රපටයට
ඇතුළත් වෙනවා.
* කොහෙන්ද ඔබ මේ සඳහා කරණු රැස් කර ගන්නේ?
මම උන්වහන්සේ පිළිබඳ අන්තර්ගත පොතපත කියෙව්වා. අමරපුර මහ නිකායේ දවුල්ලෙන ඥානිස්සර
මහ හිමිපාණන්, අමරපුර සාසනෝදය නිකායේ මහා නායක මහින්දවංශ නා හිමියන්, සුනේත්‍රාදේවි
පරිවෙනාධිපති මැදගොඩ අබේතිස්ස හිමියන්, කැලණිය මහා නායක ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද
සංඝරක්ඛිත හිමියන් මට ගුණානන්ද හාමුදුරුවන් ගැන විස්තර ලබා ජන්නා. ඒ වගේ
උන්වහන්සේලා මගේ පිටපත බලලා අවශ්‍ය තැන් වෙනස් කරන්නත් මැදිහත් වුණා.
* දැනට චිත්‍රපටයට නළු නිළියන් තෝරාගෙන ඉවරද? කවුද ගුණානන්ද හිමියන්ගේ චරිතය
රඟපාන්නේ?
මේ වන විට නළු නිළියන් තෝරමින් සිටිනවා. ගුණානන්ද හිමියන්ගේ චරිතය රඟපාන්නේ ඉතාමත්
ජනපි‍්‍රය යොවුන් දේශපාලඥයෙක්.
* කවදද නිල වශයෙන් චිත්‍රපටය ආරම්භ වන්නේ?
ඉතාම ඉක්මනින් ආරම්භ කරනවා. ගුණානන්ද හිමියන් වැඩ සිටි කොටහේන දීපදුත්තාරාමයේදී
මෙහි මුහුරත් උළෙල පවත්වන්නේ.
* ඔබ කලාවට ඇවිත් දශක දෙකකටත් ආසන්නයි. පමා වැඩි නැද්ද චිත්‍රපට ක්ෂේත්‍රයට එන්න?
නැහැ. මේක තමයි මගේ හොඳ කාලේ චිත්‍රපටයක් කරන්න. සුදුසු කාලෙදියි සුදුසු අදහස් පහළ
වන්නේ.
* ඔබ අතින් නැවතත් වේදිකා නාට්‍යයක් නිර්මාණය නොවේවිද?
චිත්‍රපට මාධ්‍යයට ආවට වේදිකාව කිසිසේත්ම අමතක කරන්න බැහැ මට. මා හැදුවේ වේදිකාව.
මෙයින් අනතුරුව මැන්ඩෙලා නමින් නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව වේදිකාවට ගෙනෙන්නට
සැලසුම් කරනවා. බලමු නේද.
* ටෙලි නාට්‍යයක් කරන්න හිතක් නැද්ද?
දැන් තියෙන්නේ පැය ගණනට ටෙලි නාට්‍ය රූගත කරන තත්ත්වයකනේ. ඕස්ට්‍රේලියාවේ එහෙම
නැහැ. නිෂ්පාදනයක් කරනවා නම් ඒ අය පැය ගණනට වඩා නිර්මාණය ගැනයි හිතන්නේ. අනික ඒ රටේ
නිෂ්පාදන කණ්ඩායමට වෛද්‍යවරයකු පවා ඉන්නවා. එතරම්ම ඔවුන් සැලකලිමත් වෙනවා
නිර්මාණකරුවන් ගැන. එච්චරටම නැති වුණත් මගේ චිත්‍රපටය හදද්දි මගේ කණ්ඩායමට මම හොඳට
සලකනවා. පැය ගණනට වැඩ කරන්න බැරි නිසයි ටෙලි නාට්‍ය නොකරන්නේ.
* ඔබේ දියණි දිල්කා සමන්මලී ජනප්‍රිය මාධ්‍යවේදිනියක්?
මට සතුටුයි ඇය සිටින තැන ගැන. දුව ගායිකාවක් වශයෙන් කලඑළියට එනවා මගේ චිත්‍රපටය
සමඟින්. මේක මම මුල් වතාවටයි පත්තරේකට කිව්වේ. ඒ වගේම මගේ බිරිය විමලේන්ද්‍රා
කුමාරිවත් මතක් කරන්න ඕනෑ.
සටහන – ප්‍රසාද් සමරතුංග
සේයාරූ - සරත් පීරිස්
|