වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




හැමර් හොරර් ලේ පිපාසිතයින්ගේ නියත මාරයා
ඩ්‍රැකියුලා චිත්‍රපට පිළිබඳ කතා මාලාව

හැමර් හොරර් ලේ පිපාසිතයින්ගේ නියත මාරයා

‘කැප්ටන් ක්‍රෝනෝස්’

නැගෙනහිර යුරෝපයේ එක්තරා සුන්දර ගම් පියසක වෙසෙන ගැමියන් භීතියෙන් ඇලලෙන්නට පටන් ගත්තේ ගමේ යොවුන් තරුණියන් හිටි හැටියේ අභිරහස් ලෙස මිය යන්නට වූ හෙයිනි. එහෙත් පුදුමයට කරුණක් වන්නේ ප්‍රාණය නිරුද්ධවනවාත් හා සමඟම එම සුන්දර මුහුණු හැකිළී රැළි වැටී වියපත් මැහැල්ලන්ගේ ස්වරූපයට එම මළ සිරුරු පත්වීමය. සිරුරේ ලේ වැගිරීම් සිදුව ඇත්තේ මුව තුළින් පමණක් වීම ද විශේෂත්වයකි. මෙම මරණ පිළිබඳ පරීක්ෂණ කරන ගමේ වෛද්‍යවරයා මාකස් නම් වෙයි. යම් කිසි අමනුෂ්‍ය බලවේගයක් නිසා මෙම ක්‍රියාදාමයන් සිදු වන බවට සැක පහළ කළ ඔහු තම පැරැණි මිතුරෙකු වූ කැප්ටන් ක්‍රෝමෝස්ගේ සහාය ලබා ගැනීමට තීරණය කරයි.

කැප්ටන් ක්‍රෝනෝස් සහ ඔහුගේ මිත්‍ර ග්‍රොස්ට් නමැති පුද්ගලයා ගම්මානය වෙත එන අතරමගදී හමුවන ‘කාර්ලා’ නම් රූමත් තරුණිය ද සමඟ ගම්මානය වෙත පැමිණෙයි. මිතුරාගේ පැමිණීමෙන් අස්වැසිල්ලට පත්වන වෛද්‍ය මාකස් කැප්ටන් සහ ලේ උරා බොන්නන් සංහාරය කිරීමේ දක්ෂතා ඇති ‘ග්‍රොස්ට්’ සමඟ සාකච්ඡා කරන්නේ ගම බිලිගන්නා මෙම අමනුෂ්‍ය භීතිය තුරන් කරන ක්‍රමවේදයක් සොයා ගන්නා අටියෙනි.

මේ අතර අසල වන ලැහැබක පෙම් සුව විඳින පෙම් යුවලක් කළු ලෝගුවක් පොරවා ගත් අද්භූත රුවක් දැක බියට පත් වෙයි. පෙම්වතාගෙන් සමුගෙන නික්ම ගිය තරුණිය ඈතින් විලාප දෙන හඬ ඇසී එදෙසට දිව යන තරුණයාට හමු වන්නේ වියපත් මැහැල්ලක් බවට පත්ව මැරී වැටී සිටින සිය පෙම්වතියගේ මළ සිරුරයි.

දිනක් වනය හරහා අසු පිටින් ගමන් ගන්නා වෛද්‍ය මාකස් අඳුරු රුක් සෙවනක තමා දෙස බලා සිටින කළු ලෝගු දරන්නා දැක ඒ වෙත යන්නේ තම සැක දුරු කර ගැනීමේ අටියෙනි. එහෙත් ඔහු ආපසු නිවසට ළඟා වන්නේ අඩ සිහියෙන් යුතු පුද්ගලයෙකු විලසිනි. කැප්ටන් ක්‍රෝනෝස්ට අතරමඟදී මුණ ගැසුණු දැනට ඔවුන් හා වෛද්‍ය මාකස්ගේ නිවසේ නවාතැන්ගෙන සිටින සුරූපී ‘කාර්ලා’ කැප්ටන් හා රහසේ පෙමින් පෙළෙයි. ඔවුන්ගේ පෙම් කැදැල්ල බවට පත් වන්නේ රෑ නිදි යහනයි.

පසුදා උදෑසන රැවුල බෑමට කැඩපත ඉදිරියට යන වෛද්‍ය මාකස් විමතියට පත්වන්නේ පැහැදිලි වෙනසකට පත්ව ඇති තම මුහුණ දැකීමෙනි. මුව දෙපසින් ඇඳී ඇති සියුම් උල් දත් යුගලය දැකීමෙන් වැඩ වැරැදී ඇති බව වටහා ගන්නා ඔහු වහා කැප්ටන් වෙත දිව යන්නේ සියලු තතු ඔහුට හෙළි කිරීමේ අටියෙනි. අමනුෂ්‍ය ග්‍රහණයට මාකස් අසු වී ඇති බව දැනගත් සැනින් ඔහුව පුටුවකට තබා ගැට ගැසීමට කැප්ටන් සහ ග්‍රොස්ට් පියවර ගන්නේ තවදුරටත් ඔහු තම හිත මිතුරු මාකස් නොව ලේ උරා බොන අමනුෂ්‍යයෙක් බවට පත්ව ඇති තැනැත්තෙකු බැවිනි. වෛද්‍ය මාකස් ද ඔවුන්ගෙන් අයැදින්නේ වහා තමා මරා දමන ලෙසටය.

තම මිතුරා මරා දැමීමට තීරණය කොට හිත හදා ගන්නා ක්‍රෝනෝස් සහ ග්‍රොස්ට් යවුලකින් ඔහුගේ ළය සිදුරු කළ ද ඔහු මිය නොයන අතර යවුල ඉවතට ගත් සැනින් තුවාලය සුව වී යථා තත්ත්වයට පත්වන බව පෙනී යයි. එහෙත් හදිසියේම ඔහු මැරී වැටෙන්නේ ඔහුගේම ගෙල පැළඳි කුරුසය ළයෙහි ඇනීමෙනි. ඒ අනුව මේ සුවිශේෂි ලේ උරා බොන්නන් ඝාතනය කිරීමට වානේ වලින් සෑදූ කුරුසයක් උපයෝගි කරගත යුතු බව ග්‍රොස්ට් වටහා ගනී. ඔහු වහාම වානේ කැබැල්ලක් උණු කොට කුරුස හැඩයට අසිපතක් සෑදීමට පටන් ගන්නේ එබැවිනි.

මේ අතර ගමේ ප්‍රභූවරයෙකු වන පෝල් ඩුවාඩ් සහ ඔහුගේ සොයුරිය වූ සුරූපී සාරා කැප්ටන් ක්‍රෝනෝස් හට මුණ ගැසෙන්නේ සුසාන භූමිය අසලදී අහම්බෙනි. සාරාගේ රූපශ්‍රීයෙන් කැප්ටන් වශී වී ගිය නමුදු දුටු සැනින් ඔහු මඟ හැර ඉවත්ව යාම පිළිබඳව සැකයක් ඔහුගේ සිත තුළ මතුව එයි. ඒ අනුව ඩුවාඩ් මන්දිරය වෙත යෑමට තීරණය කරන කැප්ටන් ක්‍රෝනෝස් සහ ග්‍රොස්ට් උපක්‍රමශීලී ලෙස කාර්ලා මැදුර තුළට යවා සැඟ වී බලා සිටියි. පෝල් සහ සරාගේ අවසරය ලැබ එදා රෑ මැදුරේ නවාතැන් ගැනීමට කාර්ලා සමත් වන අතර මැදියම් රෑ ඈ වෙත පැමිණෙන රූබර කාන්තාවක් දැක ඇය පුදුමයට පත් වෙයි.

ඇගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා සිට ඈ වසඟයට පත්කරන වන්ඩා වෙන්ට් හැම් හෙවත් ඩුවාඩ් ආර්යාව කළු ලෝගුකරුවා එතැනට කැඳවයි. ඔහු අන් කිසිවෙකු නොව ඇය මෙන්ම අමනුෂ්‍යයෙකුª වන හැගන් ඩුවාඩ් නම් ආදිපාදවරයායි. ඔහු සුරූපී කාර්ලා බිලි ගැනීමට සැරසෙත්ම එතැනට කඩා පනින ක්‍රෝනෝස් ඔහු හා දරුණු කඩු සටනකට එළඹෙයි. සටනේදී අඩපණ වන ක්‍රෝනෝස් අතින් කඩුව ගිලිහී වැටෙන විට ඔහු අතට සුවිශේෂී වානේ අසිපත ලබා දෙන්නේ ග්‍රොස්ට් විසිනි. කල් යල් බලා එල්ල කළ පහරකින් ඩුවාඩ් ගේ ගෙල සිඳී යද්දී ඊළඟ අසිපත් පහර ඩුවාඩ් ආර්යාව වෙත එල්ල කිරීමට ක්‍රෝනෝස් සමත් වෙයි. අවසන මන්දිරයේ සාලය මැද ඉතිරි වන්නේ එකා මත එකා වැටුණු මළ සිරුරු දෙකක අළු ගොඩක් පමණකි.

වෙනස් ආකාරයක ‘වැම්පයර්’ කතා පුවතක් තේමා කොට ගෙන 1972 දී හැමර් චිත්‍රපට සමාගම විසින් නිපැයූ ‘කැප්ටන් ක්‍රෝනෝස් - වැම්පයර් ඛ්න්ටර්’ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කළේ බ්‍රයන් ක්ලෙමන්ස් විසිනි. කැප්ටන් ක්‍රෝනෝස් නමින් චිත්‍රපට මාලාවක් නිෂ්පාදනය කිරීමේ අටියෙන් මෙය නිෂ්පාදනය කෙරුණ ද ඒ අදහස මල්පල ගැන්වුණේ නැත. හැමර් චිත්‍රාගාරය විසින් නිපැයූ අවසන් චිත්‍රපටවලින් එකක් වන මෙය තිරගත වන අවධිය වන විට ආර්ථික අවපාතයට ලක් වූ චිත්‍රාගාරය වසා දැමීමට පියවර ගෙන තිබුණි.

කැප්ටන් ක්‍රෝනෝස් ලෙස හෝස්ට් ජැන්සන් චරිත නිරූපණය කළ අතර වෛද්‍ය මාකස් ලෙස රඟපෑවේ ජෝන් කාසන්ය. ලේඩි ඩුවාඩ් හෙවත් වන්ඩා වෙන්ට්හැම් ලෙස ‘වැම්පයර් ලවර්ස්’ හි ප්‍රධාන නිළි ඉන්ග්‍රිඩ් පිට් යෝජනා කළ නමුදු ඇය එය ප්‍රතික්ෂේප කළාය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට නිළියක් ලෙස ප්‍රසිද්ධ වූ සුරූපී කැරොලින් මුන්රෝ කාර්ලාගේ චරිතය නිරූපණය කළ අතර බොහෝ රසිකයින්ගේ පැසසුමට ලක් වූයේ ඇයයි.

පෝල් ඩුවාඩ් ලෙස ෂේන් බ්‍රාන්ට් ද සාරා ඩුවාඩ් ලෙස සුරූපී නිළි ලොයිස් ඩේන් ද රංගනයට එක් විය. ග්‍රොස්ට් ගේ චරිතය ජෝන් කාටර් රඟපෑ අතර චිත්‍රපටයේ සංගීතය ලෝරි ජොන්සන්ගෙනි. ඉතා සුන්දර පරිසරයක සිදු කරන ලද කැමරාකරණය ඉයන් විල්සන්ගේ දක්ෂතා පිළිබිඹු කරන්නකි. බෝහැම්වුඩ් හි පිහිටි එල්ස්ට්‍රී චිත්‍රාගාරය තුළ සංස්කරණ කටයුතු සිදු කරන ලද්දේ ජේම්ස් නීඩ්ස් විසිනි. හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් බ්‍රයන් ක්ලෙමන්ස් සහ ඇල්බට් ෆෙනෙල් විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටය බෙදා හැරියේ පැරමවුන්ට් පික්චර්ස් සමාගම විසිනි.

1972 වසරේ නිෂ්පාදනය කෙරුණු චිත්‍රපටය තිරගත වූයේ 1974 අප්‍රේල් 7 වෙනිදාය. චිත්‍රපටය ලද බොක්ස් ඔෆිස් ආදායම ඇමෙරිකන් ඩොලර් 26,9904 ක් ලෙස වාර්තා වෙයි.

ලබන සතියේ ‘කාමිලා’ හෙවත් ලේ පිපාසිත රැජන ආපසු එයි.