සකුරා මල් දැක්කම මට මතක් වුණේ ඇහැළ මල්
සකුරා මල් දැක්කම
මට මතක් වුණේ ඇහැළ මල්
- ශ්‍රියාණි අමරසේන
කලාවට හිතැති සොඳුරු මිනිසුන්ගේ සිත් තුළ සනිටුහන් වූ සුන්දරත්වය විමසන්නේ පුදුම
හතයි. අද පුදුම හතට තම සිතැඟි පැවසූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන. එදා
මෙදාතුර කලා නිර්මාණ රැසක් හමුවේ කලා ලොව හැඩ කළ ඇය පුදුම හතෙන් පවසන්නේ තම ජීවන
ගමන තුළ දුටු සොඳුරු ස්ථාන හතක් පිළිබඳ වූ මතක ආවර්ජනයයි.
 පැරිසියේ අයිෆල් කුළුණ
පැරිසියේ අයිෆල් කුළුණ ගැන මම දැන ගත්තේ පුංචි කාලයේදීමයි. මේ කුළුණ නගරය මැද
පිහිටි විශාල කුළුණක් කියලා විතරයි දැනගෙන හිටියේ. කාලයත් සමඟ අයිෆල් කුළුණ පිළිබඳ
තොරතුරු සොයන විටදී මේ කුළුණේ ඉහළට නගින්නට හැකි බවත්, එහි සිට විවිධ රටවලට ඇති දුර
සඳහන් වන බවත් දැනගන්න ලැබුණා. ඒ වගේම මේ තරම් උස කුළුනේ ලිෆ්ට් එක කොහොම ද
තියෙන්නේ වගේ මේ නිර්මාණය පුදුම හතෙන් එකක් වුණේ කොහොමද කියලා දැනගන්නත් මට ලොකු
උවමනාවක් තිබුණා.
කුඩා වියේ ඇති වූ ඒ ආසාව මට ඉටු කරගන්න ලැබුණේ දැනට අවුරුදු පහලොවකට විතර කලින්
ප්‍රංශයට යන්න ලැබුණු අවස්ථාවේදීයි. මමයි මහත්තයයි දරුවො දෙන්නයි සමඟින් සිරිමා සහ
ලසන්ත කියන අපේ පවුලේ හිතවතුන්ද මේ ගමනට එක් වුණා. ළඟට ගියාමයි තේරුණේ දැවැන්ත යකඩ
ගොඩකින් කළ මේ නිර්මාණය ලොව පුරා ජනතාවගේ ආකර්ශනය දිනා ගත්තේ කොහොමද කියලා. අයිෆල්
කුළුණේ ඉහළම තට්ටුවේ බිමට වීදුරුවක් යෙදූ ස්ථානයක් තියෙනවා. එතැනට ගිහින් බිම බලන්න
පුළුවන්. හැබැයි එතැනට ගිහින් අඩිය තියන්න නම් ටිකක් බය හිතුණා.
නයගරා දිය ඇල්ල
නයගරා දිය ඇල්ල කියන්නේ විසිතුරු සිත පිනවන අපූරු දර්ශනයක්. ලංකාවේදීත් අපි ඉතාමත්
අලංකාර ලෙසින් ගලා හැලෙන දිය ඇලි බොහොමයක සිරි විසිතුරු විඳලා තියෙනවා. කැනඩාවේ
නයගරා දිය ඇල්ලත් සුවිශේෂ අන්දමින් මා සිත්ගත් දර්ශන අතරට ඇතුළත් වෙනවා. එය අශ්ව
ලාඩමක හැඩය ගත් අපූරු දිය ඇල්ලක්. එහි අසලටම ගිහින් නරඹන්න අවස්ථාව සලසා තිබීම
සතුටක්. රාත්‍රියට විවිධ වර්ණයන්ගෙන් යුතු වූ විදුලි ආලෝකයෙන් විචිත්‍රවත් වූ
නයගරාව මවන්නේ වෙනස්ම ආකාරයේ සුන් දරත්වයක්. නයගරාවේ ලස්සන මමත් අපේ පුංචි තිරයට
ගෙනෙන්න තීරණය කළා. ඒ අනුව තමයි තුෂාරයේ ඡායා ටෙලි නිර්මාණය කැනඩාවේදී රූගත කරන්න
තීරණය කළේ.
පීසාහි ඇලවෙන කුළුණ
ඉතාලියේ පීසාහි ඇලවෙන කුළුණත් ඉතාම පැරැණි පුදුම සහගත නිර්මාණයක්. මෙය නිර්මාණය
කිරීමට යෙදූ අත්තිවාරම් කිහිපයක්ම පොළව යටට කිඳා බැස්සත් උත්සාහය අත නොහැර ඉදි කළ
කුළුණ අවසානයේදී අංශක ගණනකින් ඇල වුණේ ලොව පුරා නරඹන්නන් රාශියකගේ ආකර්ශනය දිනා
ගනිමින්. අවසානයේදී එය කෞතුක ස්ථානයක් බවට පත්ව සංචාරකයන් ගෙන්වා ගන්නා ස්ථානයක්
ලෙසින් ලොව පුදුම හතට ඇතුළත් වුණා. ඇල වුණු කුළුණ නරඹන්න යන සංචාරකයන් ගොන්නට
ඇතුළත් වෙන්න ලැබීමත් මා ලද සුවිශේෂ අවස් ථාවක්. කිරි ගරුඬවලින් නිම වූ මේ කුළුණේ
අසිරිය මා දෙවරක් විඳ ගැනීමට වාසනාවන්ත වුණා. මගේ ‘හිම කැට වැටෙන සීතලේ’ ටෙලි
නිර්මාණයට පසුබිම් වුණෙත් ඉතාලිය. ඒ ගමනත් මම මගේ සංචාරයන් අතරේ සුවිශේෂ වූ එකක්.
එංගලන්තයේ ශේක්ෂ්පියර් ගම්මානය
විලියම් ශේක්ෂ්පියර් ගැන මම පාසලේදී ඉගෙන ගත්තේ හරිම ආසාවෙන්. ඔහුගේ නිර්මාණ
ඇසුරින් නිර්මාණය වූ නාට්‍යවලට දායක වෙන්න ලැබීමත් මට වාසනාවක්. මම ඒ නාට්‍යවල
රඟපෑවේ හරිම භක්තියෙන්.
දැනට වසර ගණනකට ඉහත දී මට ශේක්ෂ්පියර් ගම්මානයට යන්න ලැබුණු
අවස්ථාවත් ඒ නිසා විශේෂයි. එහි ශේක්ෂ්පියර්ගේ නිවසේ ඔහු ලියූ මේසය පුටුව වගේම පෑන,
පැන්සල පවා මහජනතාවට දැකගන්නට තැන්පත් කර තියෙනවා. එය පිහිටා තියෙන්නේ ඉතාම සුන්දර
ගැමි ප්‍රදේශයකයි. ඒ වගේමයි ඔහුගේ මල් වත්තත් ඉතාම රමණීයයි.
සිඩ්නි ඔපෙරා හවුස්
මම කුඩා අවධියේ පටන්ම වේදිකාව ප්‍රිය කළ කෙනෙක්. එවැනි පුද්ගලයෙක් විදියට
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ඔපෙරා හවුස් නරඹන්න ලැබීමත් වාසනාවක්. එහි ගිය
ප්‍රථම වතාවේ මට හිතුණේ අපේ නාට්‍යයකුත් මෙහි වේදිකා ගත කිරීමට අවස්ථාව ලැබෙනවා නම්
කියලයි. එහෙම අවස්ථාවක් නොලැබුණත් එවැනි ස්ථානයක් නරඹන්න ලැබීමත් සතුටක්. ඒ වගේම
මගේ පෙරළිය ටෙලි නාට්‍යයේ දර්ශන සඳහා සිඩ්නි ඔපෙරා හවුස් ආශ්‍රිත ප්‍රදේශය යොදා
ගන්න මට අවස්ථාව ලැබීමත් ඒ සතුටේ එක කොටසක්.
ලෙනින්ගේ දේහය
රුසියාවේ තැන්පත් කර තිබෙන ලෙනින්ගේ දේහයත් මා සිත පුදුම කර වූ දේ අතරින් එකක්.
විරාගය චිත්‍රපටය මොස්කව් චිත්‍රපට උළෙල සඳහා තේරුන අවස්ථාවේදී මට එතැනට යන්නත්
අවස්ථාව ලැබුණා. එහිදී රුසියාවේ විවිධ ස්ථාන රැසක් නරඹන්න මම ඇතුළු ශ්‍රී ලාංකික
කණ්ඩායමට අවස්ථාව ලැබුණා. පාසල් කාලයේදී ඉගෙන ගත් ඒ ජන නායකයා හැබැහින් දුටුවා වගේ
හැඟීමක් ඒ අවස්ථාවේ දී ඇති වුණේ. එම මළ සිරුර එතරම්ම සජීවී බවකින් මම දුටුවා. එහි
යන විට මුලින්ම හිතේ තිබුණේ ලොකු කුතුහලයක්. බිං ගෙයකින් ඇතුළු වී ඊට පසුව විශාල
ශාලාවක මැද ලෙනින්ගේ දේහය තැන්පත් කර තිබුණා. ලාංකික අපට එය නුහුරු නුපුරුදු
අත්දකීමක්. එවැනි අවස්ථාවක් ලැබීමත් මගේ ජීවිතයේ සුවිශේෂයි.
සකුරා මල
ජපානයේ සකුරා මල ප්‍රිය උපදවන ඉතා අලංකාර මලක්. පුංචි කාලේ මම හිතාගෙන හිටියේ සකුරා
මල කියන්නේ පෙති ගොඩක් තියෙන ලොකු මලක් කියලයි. ඒත් ජපානයේදී සකුරා මල හැබැහින්
දකින විටදී මේ තරම් සුන්දරත්වයක් ගෙන එන්නේ මේ පුංචි මල ද කියලත් හිතුණා. සුදු සහ
රෝස පැහැය මිශ්‍ර වූ සකුරා මලින් පිරි ගස් මවන්නේ පුදුමාකාර සොඳුරු බවක්. ඒ වෙලාවේ
මට මතක් වුණේ අපේ රටේ ඇහැළ මල්. ඇහැළ මලින් පිරි ඇසළ ගසත් අපේ රටට ගෙන එන්නේ එවැනිම
සුන්දරත්වයක්. ජපානයේ සංචාරය කිරීමත් මම ගොඩක් ආසාවෙන් හිටිය දෙයක්. ඒ අවස්ථාව මට
ලැබෙන විටදී ජපානයේ සකුරා මල් පිපෙන කාලය එළැඹිලා තිබුණා. සකුරා මල් ඇතිරුණු පාරවල්
දිගේ ඇවිදගෙන යන විට හිතට දැනුණේ හරිම ප්‍රබෝධයක්. සකුරා මල් පිපෙන කාලය එරට
වැසියන් ඉතාම උත්සවශ්‍රියෙන් සමරනවා. එයත් අපට තරමක් නුහුරු නුපුරුදු දෙයක්. එවැනි
අවස්ථාවක් විඳ ගැනීමට ලැබීමත් මගේ ජීවිතයේ සුවිශේෂයි.
මම ගොඩක් රටවල විවිධ ප්‍රදේශ නරඹන්න ගොඩක් ආසා කරන කෙනෙක්. ඉතින් මම තනිවම ඒ
සුන්දරත්වය අත් නොවිඳ ආදරණීය රසික ඔබටත් ඒ අත්දැකීම් බෙදා හදා ගන්න උත්සාහ කරනවා.
ඉදිරියේදීත් මා දුටු ඒ සුන්දර ස්ථාන රැසක් සමඟින් ටෙලි නිර්මාණ කිහිපයක්ම ඔබට තිළිණ
කරන්නත් බලාපොරොත්තුª වෙනවා.
යතේජා ඥානරත්න
ඡායාරූපය -
ටෙනිසන් එදිරිසිංහ
|