Editor's CUT

ඉර මැදියම සහ චන්දන
සිල්වා
මුළු රටටම ඉර පායන්නේ එකම මොහොතේය. එහෙත් එකම ඉරක් යට එකිනෙකට වෙනස් මිනිසුන් මුහුණ
දෙන්නේ එකම ඉරණමකටය. එහෙත් ඔවුන් එකිනෙකා හඳුනන්නේ නැත. කිසි කලෙක මුණ ගැසෙන්නේ ද
නැත. එකම ඉරණමක බැඳුණ ද ඔවුනට එය නොවැටහේ. එකම සාක්කිය ද පොළව ගිනිලන ඉර පමණි.
ඉර මැදියම නම් මාහැඟි සිනමා නිර්මාණය පවසනුයේ අදින් දශක එකහමාරකට පෙර මෙරට සමාජය
මුහුණ දුන් අත්දැකීමකි. ඉර මැදියම එය දැන් තිරගත වී අවසන්ය. කිහිප වතාවක්ම
ටෙලිවිෂනය ඔස්සේ ද විකාශය විය. එබැවින් එය මෙරට බොහෝ දෙනා දැක ඇතුවාට සැක නැත.
සිනමා කෘතියක් සාමාන්‍යයෙන් රස විඳින ප්‍රේක්ෂකයා එහි ඇති භාෂාව හෝ වියරණ පිළිබඳ
දැඩි උනන්දුවක් නොතකාම එය විඳ ගනිති. එහෙත් සිනමා රසාස්වාදනය යනු බෙහෙවින් පුළුල්
විෂයක් වෙයි.
එය විෂයක් කොට හදාරන්නන්ට සිනමා නිර්මාණයක් නැරැඹීමේදී වඩාත් පුළුල් අන්දමින් රස
විඳීමේ අවස්ථාව ලැබේ. එය ඕනෑම කලා නිර්මාණකරණයේදී මෙන්ම රස වින්දනයේදී ද පොදු
කාරණයකි.
මේ කාරණය ලියන්නට මා පෙළඹුණේ පසුගියදා එළිදුටු ‘ඉර මැදියම’ චිත්‍රපටයේ තිර නාටකයත්
සමඟය. මෙරට බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටයක් වන ‘ඉර මැදියම’ අධ්‍යක්ෂණය කළේ ප්‍රසන්න
විතානගේ විසිනි. එය හොඳම චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මාන
රාශියක් දිනාගත් චිත්‍රපටයකි.
එහි තිර රචනය ලියන ලද්දේ බී. බී. සී. ආයතනයේ මාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ විසිනි.
ප්‍රසන්න හැදූ, ප්‍රියත් ලියූ ‘ඉර මැදියම’ තිර රචනය ග්‍රන්ථය සඳහා සුප්‍රකට සිනමා
විචාරක චන්දන සිල්වා විසින් රචනා කරන ලද ‘ඉර මැදියම’ රස වින්දනය පිළිබඳ දීර්ඝ
ලිපියක් එක්කොට ඇත්තේය. චන්දන සිල්වා මෙයින් සත් වසරකට පෙර මෙලොව හැර ගියේය.
මෙරට සිනමා ඉතිහාසය පෝෂණය කළ සිනමා විචාරකයන් අතර සිනමා දැනුම අතින් වඩාත්ම පෝෂණය
වී ලේඛනයේ යෙදුණු සිනමා විචාරකයා චන්දන සිල්වා බව මගේ මතයයි.
සිනමා විචාරයේදී ඔහු විසින් අනුදක්නා වූ රටාව මෙරට සිනමා රසාස්වාදනය ඉගැන්වීමෙහිලා
අත් පොතක් සේ භාවිතය කළ යුතු බව මගේ විශ්වාසයයි.
බොහෝ විට සිනමා රසාස්වාදය සම්බන්ධව මෙරට පළ කරන මත බෙහෙවින් යල් පැන ගිය හා
සාම්ප්‍රදායානුකූල ඒවා වේ. එබඳු මතධාරි විචාරකයන් නිසා අමාරුවේ වැටෙනුයේ විචාරකයන්
නොව යමක් කළ හැකි තරුණ සිනමාකරුවන්ය. එය අපේ සිනමා ඉතිහාසයෙහි මුල සිටම කැපී පෙනෙන
වැරැද්දකි. සිනමා විචාරය යනු ඕනෑම ලේඛකයෙකුට කළ හැකි සාමාන්‍ය දෙයක් ලෙස ඔවුන්
විශ්වාස කළා විය යුතුය. ඇතැම් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන් ද ආධුනික පුවත්පත්
කලාවේදියකුගේ පුහුණුව ලෙස සැළකුවේ සිනමාව ගැන ලියන්නටය. එහෙත් සිනමාව හා කලාව යනු
වඩා පටු අර්ථයන්ගෙන් විවරණය කළ නොහැකිය.
අපේ දෙවෙනි කතානාද චිත්‍රපටය වූ ‘අශෝකමාලා’ චිත්‍රපටය සම්බන්ධයෙන් සිදු වූ නිර්දය
විවේචන කෙලෙසද යත් එහි නිර්මාතෘ ශාන්ති කුමාර් සෙනෙවිරත්නට ඉතිහාසයේ නිසි ගෞරවය පවා
අහිමි වූයේය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පවා ‘අශෝකමාලා’ ඉතිහාසය දූෂණය කරන නාටකයක් ලෙස
හැඳින් වූයේ එම චිත්‍රපටයේ සාධනීය ගති ලක්ෂණ සියල්ල අමතක කරලමිනි. එයට හේතුව නම්
වික්‍රමසිංහයන්ගේ විශිෂ්ටත්වය පිළිබඳ කවරාකාරයේ හෝ අවතක්සේරුවක් නොකළ ද සිනමා
විචාරයෙහිලා එතුමා සතු දැනුම අල්ප බව ප්‍රත්‍යක්ෂ කළ හැකි බැවිනි.
එයින් වසර ගණනාවකට පසු සිංහල සිනමාවේ ස්වර්ණ ජයන්තිය සැමරූ 1997 වසරේදී මා
‘අශෝකමාලා’ චිත්‍රපටය නැරැඹූයේ චන්දන සිල්වා සමඟය. ඉතිහාසය විසින් අසාධාරණ ලෙස හෙළා
දමන ලද අශෝකමාලාවන් ගැන චන්දන බෙහෙවින් කම්පාවට පත් වූයේය.
සිනමාව යනු එයටම ආවේණික ස්වාධීන කලාවකි. එය ලෝකයේ සත් වෙනි කලාව යයි අදහනුයේ
එබැවිනි. වාස්තු විද්‍යාව, මූර්ති ශිල්පය, චිත්‍ර, නර්තන, සංගීතය සහ කාව්‍ය සෙසු
කලාවන් ලෙස සලකනු ලබයි. සිනමාව සත් වෙනි කලාව ලෙස හඳුන්වා දෙන ලද්දේ 1911 වසරේදී
‘රිසියටෝ කැනුඩෝ’ නම් සිනමා න්‍යායාචාර්යවරයා විසිනි.
ඉතාලි ජාතිකයෙකු වූ ඔහු ජීවත් වූයේ ප්‍රංශයේය. සිනමාවට ආවේණික වූ විචාර
සම්ප්‍රදායක් ඇති වගත්, එය වෙනම හැදෑරිය යුතු බවත් විශ්වාස කරනුයේ එයින් පසුවය.
චන්දන සිල්වා ‘ඉර මැදියම’ රස වින්දනාත්මක විග්‍රහයේදී එහි මූලික රූප රාමුවේ සිට
අවසානය දක්වාම සිනමාකරුවාගේ සිනමා භාවිතය පිළිබඳ ගැඹුරු විවරණයක යෙදේ. එය
සාමාන්‍යයෙන් මෙරට අප නිතර දකින සිනමා විචාරයක් නොවේ.
සිනමා විචාරයෙහිලා චන්දනගේ සුවිශේෂත්වය වූයේ එකී ලක්ෂණයයි. සමහර විට විචාරකයෙකුට
පුවත්පතක ඇති ඉඩකඩ සීමා වීම නිසා එතරම් පුළුල් ලෙස අර්ථ දැක්වීමක් කරන්නට ලැබෙන්නේ
නැත. එහෙත් සිනමා විචාරයෙහි බොහෝ විට අපට කියවන්නට ලැබෙන්නේ එහි ඇති කතාවේ අඩුපාඩු
විනා වෙනත් කරුණු කාරණා නොවේ. සිනමා රස වින්දනය අවශ්‍ය වනුයේ සිනමා හදාරන
විද්‍යාර්ථීන්ට පමණක් නොවේ. සාමාන්‍ය ජනයා ඒ සඳහා උත්සුක නොවූවද නිරන්තර සිනමා
රසිකයකු තුළ සිනමා රස වින්දනය ඉස්මතු වනුයේ කාලයත් සමඟය. ඒ මාධ්‍ය නිබඳ ආශ්වාද
කිරීමේ ප්‍රතිඵලයකි.
එහෙත් සිනමා විචාරකයා යනු සෙසු කලා විචාරකයකු නොවේ. අද බොහෝ විට සිදු වනුයේ අවුරුදු
ගණනකින් පසු චිත්‍රපටයක් දුටුවෙකු චිත්‍රපටයක් ගැන දක්වන අදහස විචාරයක් ලෙස හුවා
දැක්වීමයි.
චන්දන සිල්වාට මා ආදරයට ඇමතුවේ චන්දන අයියා ලෙසය. ඔහු වෘත්තියෙන් සිනමා ක්ෂේත්‍රයට
කිසිසේත් සම්බන්ධ වූවෙකු නොවේ. එහෙත් සිනමාව හැදෑරීමට ඔහුට තිබුණේ දැවැන්ත
උනන්දුවකි. චන්දන සිල්වා යන නම මා මුලින් දැනගත්තේ සිනමාව පිළිබඳ මාගේ ඇල්ම ඇති වූ
පාසල් කාලයේදීය. ඔහු මට මුල් වරට මුණ ගැසුණේ 1990 වසරේදී පමණ ඔහු විසින් නිර්මාණය
කරමින් සිටි ‘සහන් එළිය’ චිත්‍රපටයේ දර්ශන තලයේදීය. එය රූ ගැන්වූයේ පානදුර පළාතේ බව
මට මතකය. ඒ සඳහා ලිපියක් ලිවීමට එවකට සරසවිය කතුවර ඒ. ඩී. රංජිත් කුමාර මහතා මා එහි
පිටත් කර යැව්වේය. සනත් ගුණතිලක, සබීතා පෙරේරා, දයා අල්විස් ආදී නළු නිළියන් රැසක්
රඟපෑ එහි කැමරාව මෙහෙය වූයේ ප්‍රසන්න පරණවිදාන අතිනි. සම්පූර්ණයෙන් රූගත කළත් කවර
හෝ හේතුවක් නිසා එය කිසි කළෙක තිරගත වූයේ නැත. දුක සැප දෙක එක ගැලට සමබර කොට සිතූ
චන්දන අයියා පසු කලෙක එය පිළිබඳ කතා කරන්නට වැඩි අභිරුචියක් දැක්වුූයේ ද නැත. එහෙත්
දර්ශන තලයේදී ඔහු සමඟ ඇති කරගත් මිත්‍රත්වය මිය යන තුරුම මා සමඟ ඉතා සමීපව පැවතිණ.
මගේ සිනමා දැනුම පෝෂණය කරන ලද්දා වූ සුධීන් අතර චන්දන අයියාට ලැබෙන්නේ ඉහළ තැනකි.
අනූව දශකයේදී පමණ එඩ්වින් ආරියදාස, ගාමිණී වේරගම, චන්දන සිල්වා වැනි එවකට නම් දැරු
පිරිසකගේ සිනමා දැනුම මට බෙහෙවින්ම වැදගත් විය. මේ පිරිස අතර සිටි පොඩි එකා වූයේ
මාය. වරෙක මා ඉන්දියානු සිනමා උළෙලට සහභාගි වීම සඳහා තිරුවානන්දපුරම් වෙත ගියේ
චන්දන අයියාත් සමඟය.
එකල ලොව විශිෂ්ටතම චිත්‍රපට නරඹන්නට නම් එබඳු සිනමා උළෙලකටම සහභාගි විය යුතුය. එකල
තැනුණු අලුත් චිත්‍රපටවල එකිනෙකට ඇති වෙනස්කම් පහදා දුන්නේ චන්දන අයියා මට සිනමාව
පිළිබඳ මගේ නිදහස් සිතුවිලි තවත් පුළුල් කරමිනි.
හරියටම වසර මතක නැතත් මා වරෙක ඕ. සී. අයි. සී ජූරියේ සාමාජිකයකුව සිටියදී මට වඩා
බෙහෙවින් දැනුමැති ජ්‍යෙෂ්ඨ චන්දන අයියා ද එහි සාමාජිකයකුව කටයුතු කළේය.
සිනමා රසාස්වාදනය පිළිබඳ ඔහුගේ අදහස් බොහෝ සමකාලිනයන්ට වඩා වෙනස් වේ. එමෙන්ම සෙසු
පිරිස සමඟ තම ස්වාධීන මතය රැකගෙන එකඟතාවයෙන් කටයුතු කිරීමේ අපූර්ව හා දුර්ලභ
හැකියාවක් ඔහුට තිබිණි. මෙරට සිනමා ජූරීන් කිහිපයකදීම ඔහුගේ මේ කැප වීම හොඳීන්
පෙනිණ. ඇතැම් අවස්ථාවලදී තම මතය වෙනුවෙන් ඔහු සෘජුවම පෙනී සිටියේය.
සිනමා රසාස්වාදනය පිළිබඳව ඔහුගේ මුල්ම ග්‍රන්ථය බිහි වනුයේ 1997 වසරේදීය. ‘සිනමා
වියරණ ව්‍යවහාරය’ ඒ මුල්ම ග්‍රන්ථයයි. ‘සිනමා මායාව සහ යථාර්ථය’, ‘සිනමා රූප
රිද්මය’, ‘සිනමාව හා වාරණය’, ‘සිනමා රස වින්දන ගොළු හදවත’ ඔහුගේ සෙසු කෘතීන් අතර
විය.
2005 වසරේදී එළි දුටු ‘සිනමා රස වින්දන ගොළු හදවත’ ඔහුගේ අවසාන කෘතිය විය. මේ හැම
කෘතියකම මුල් පිටපත් අතරින් එකක් ලැබැඳි අරුණට යැයි සටහනක් සහිතව ඔහු විසින් මට
තිළිණ කරන ලද්දේය. චන්දන අයියා පෞද්ගලිකව කිසි කලෙක ප්‍රසිද්ධියට කැමති වූයේ නැත.
මිනිසුන් මැද හුදකලා වන්නට ඔහුට තිබුණේ පුදුම හැකියාවකි. වරින් වර තිබූ රෝග පීඩාවන්
අනුක්‍රමයෙන් උත්සන්නව තිබුණි. ඔහු රෝහල් ගත වූ බව මා දැනගන්නේ ගාමිණී අයියාගෙනි
(ගාමිණී වේරගම).
කොළඹ පෞද්ගලික රෝහලක සිටි ඔහු සමීපයේ සිටියේ කවදත් ඔහුට මවක මෙන් උපකාර කළ
සොහොයුරිය පමණි. මම ඔහු සමඟ රෝගය පිළිබඳ හැර සිනමාව පිළිබඳ බොහෝ දේ කතා කළෙමි. රෝගය
ගැන කතා කරන්නට මම බිය වීමි.
ඒ මොහොතේ ද ඔහු අසල අඩක් ලියා අවසන් කරන ලද ලිපියක් තිබුණි. ‘මට තව වැඩි කලක් ඉතුරු
වෙලා නැහැ. ඒත් මට ලියන්න දේවල් තව ගොඩක් තියෙනවා’ ඔහු පැවසූයේ සිනාමුසු මුහුණෙනි.
මගේ හදවත පිළිස්සී යන වගක් මට දැනිණ. එහෙත් මරණය හමුවේ ඔහු පළ කළ ධෛර්යවන්තකම මට
මගේ ජීවිත කාලය තුළ අමතක වන්නක් නොවේ.
‘ඉර මැදියම’ රස වින්දනාත්මක විග්‍රහය කියවන මට දැනුණේ ඒ ධෛර්යවන්ත මිනිසාගේ සිනමාව
පිළිබඳ අමරණීය සටහනය. ඉර මැදියම හා රසාස්වාදනය පිළිබඳ තවදුරටත් ලියන්නට ඉඩ තිබෙන
බැවින් මේ ලිපිය මෙතනින් නතර කරන්නට මම තීරණය කළෙමි.
|