වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




බර්ටි මැතිඳු අද තනියම ගඟ මැද්දේ

බර්ටි මැතිඳු අද තනියම ගඟ මැද්දේ

ගුවන් විදුලියේ මුවන් පැලැස්ස කණ්ඩායමත්, විනෝද සමය කණ්ඩායමත් එකට එකතු වෙලා රට පුරා සංදර්ශනවලට ගිය කාලයක් තිබුණා. විනෝදයට බර අපේ කණ්ඩායම් දෙක කොහේ ගියත් සිනාවෙන් කාලය මරන්න හරිම හපන්නු. අපි දෙගොල්ලන්ටම විහිළු කරලා වැරැදුණු තැනුත් අනන්තයි. ඒත් ඒවා අපිට එච්චර ගානක් නැති වුණත් විහිළුව සුන්නන් වෙන්න ගිය තැනුත් නොතිබුණා නෙවෙයි. විහිළු උනත් හැම තිස්සෙම හොඳ ඇති දෙයක් නෙවෙයි. ඒකටත් හොඳ වෙලාවක් කලාවක් තියෙනවා. කොටි ආවෝ කියලා හැම තිස්සෙම කෑගහන මිනිහා ළඟට කොටියා සැබෑවටම ආපු දාට ඒ මිනිහා බේරගන්න කවුරුවත් නෑ. කවුරුත් හිතන්නේ එදත් කෑගහන්නේ බොරුවට කියලා.

ඔන්න ඉතිං දවසක් අපේ කණ්ඩයම් දෙකට ගම්පොල පැත්තේ සංදර්ශනයකට ආරාධනා ලැබුණා. විනෝද බර අපේ කණ්ඩායම කොළඹින් උදෙන්ම පිටත් වෙලා සවස 2.30 දර්ශනය සාර්ථකව නිම කළේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ. ප්‍රේක්ෂකයන්ගේ උනන්දුවත්, අපේ පැමිණීමත් ඒ පළාතට ලොකු දෙයක් නිසාවෙන් සවස 6.30 දර්ශනයත් සංවිධායකයන් පවත්වන්න සියලු කටයුතු සූදානම් කළා. ඒ දර්ශනයට කල් වේලා තිබෙන නිසාම අපේ කට්ටිය යෝජනා කළා මහවැලි ගඟට ගිහින් නාන්න. අපේ කණ්ඩායමේ හිටිය විජේරත්න වරකාගොඩ පීනන්න හොඳ දක්ෂයෙක්. එයා ගං ඉවුරේ ඉඳලා උඩ පිනුම්, බඩ පිනුම් එහෙම ගහලා ගඟේ පීනගෙන ගිහින් ගඟ මැද ගලක් උඩ හිට ගත්තා. ඒ හිටගත්තත් වරකාගොඩගේ කරවටක් වතුර. ඔය අතරෙ අපේ ඇල්ෆ‍්‍රඩ් පෙරේරාත් පීනගෙන ගිහින් අර වරකාගොඩ හිටිය ගල උඩට නැග ගත්තා.

මේ දෙන්නම ගඟ මැද ගල උඩ ඉන්නවා දැක්කම මටත් ආශාවක් ඇති වුණා ඒ ගල උඩට නැග ගන්න. මම ඇඳන් හිටිය සරම කැහැපොට ගහ ගත්තා පීනුවා ගඟ මැදට. මම ගඟ මැද ගලට කිට්ටු කරන කොටම වරකාගොඩ, ඇල්ෆ‍්‍රඩ් දෙන්නම එගොඩ පීනුවා. අනේ ඉතිං මම මොනව කරන්නද මම ගෙඟ් මැද තනි වුණා. මම ඉතිං කොහොම හරි ගල උඩට නැගලා කරවටත් වතුරෙ ඉන්න කොට එගොඩ පීනපු ඇල්ෆ‍්‍රඩ් හෙල්ප් මී කියලා කෑ ගහන්න පටන් ගත්තා.

කොහොමත් ඇල්ෆ‍්‍රඩ් විහිළුවට බර මිනිහා නිසා අදත් මිනිහ විහිළු කරනවා කියලා මමත් ඒක ගණන් ගත්තේ නෑ. ගොඩ හිටිය අයත් ඒක ගණන් ගත්තේ නැහැ. ඇල්ෆ‍්‍රඩ් කෑගහනවා හෙල්ප් මී කියලා. කොහොම හරි එගොඩ පීනපු වරකාගොඩට ඇල්ෆ‍්‍රඩ්ගේ අමාරුව ඉවෙන් වගේ දැනිල ද කොහෙද වරකාගොඩ ගඟට පැනලා පීනගෙන ඇවිත් ඇල්ෆ‍්‍රඩ්ව උර හිසේ තියාගෙන එගොඩ පීනුවා. ගොඩට ආවට පස්සේ තමයි කාටත් දෙයියෝ සිහි වුණේ. ගඟ මැදදී ඇල්ෆ‍්‍රඩ්ගේ කකුලේ කෙන්ඩ පෙරලිලා පීනන්න බැරි වෙලා. තව පොඩ්ඩෙන් විහිළුවට කියලා කවුරුත් බලා හිටිය නම් ඇල්ෆ‍්‍රඩ් එදා නොයෙන ගමන් යනවා.

මම තවමත් ගඟ මැද්දේ. මාළු පැටවුන්ගෙන් බේරුමක් නැහැ. එහෙන් කොටනවා මෙහෙන් කොටනවා. ඒ අස්සේ කරවටක් වතුර. සරමක් ඇඳල නිසා මාළු කොටන කොට වේදනාවයි කිචියයි හරි හරියට. මම එහෙට ඇඹරෙනවා. මෙහෙට ඇඹරෙනවා. හරියට දඟර නැටුම් නටනවා වගේ වැඩක්.

ඇල්ෆ‍්‍රඩ්ගේ අකරතැබ්බය නිසාම ගොඩ ඉන්න කට්ටිය මට එන්න කියලා හස්ත මුද්‍රාවෙන් සංඥා කරනවා. මම දෑතේ භාෂාවෙන් ඒ අයට කියනවා මට ආයේ පීනලා එන්න බෑ කියලා. මම එහෙම කොච්චර කිව්වත් ඒ අයට මගේ අමාරුව තේරුණේ නෑ. කවුරුත් දැනගෙන හිටියා මට පීනන්න පුලුවන් කියලා. ඒත් මේ වෙලාවේ මට තියෙන අපහසුව දන්නේ මම විතරනේ. මට බැරි බව කියලා දෙන හස්ත මුද්‍රාව ඒ අයට නොඉවසුම් වුණා.

ගොඩ ඉන්න අය එනවා නම් එනවා නැත්නම් අපි යනවා කියලා මට හස්ත මුද්‍රා මඟින් සංඥා කළා. මට එන්න බෑ කියලා වෙන කියන්න විදියකුත් නෑ. අහල පහල ගං ඉවුරේ ගෑනු අයත් බලා ඉන්නවා. සවස 6.30 දර්ශනය පටන් ගන්න කාල වේලාවත් හරියාගෙන එනවා. ගොඩ ඉන්න අයට හොඳටම ජුවල් ගිහිල්ලා අත්වල තියෙන ඔරලෝසු පෙන්න පෙන්නා මට පරක්කුයි කියලා අඟවනවා. ඔය අතරේ ගොඩ හිටිය කට්ටිය එකට එකතු වෙලා මොනවදෝ කුටු කුටු ගානවා මම දැක්කා. මොනවා කිව්වත් මම එන පාටක් නැති තැන මේ අය ගමේ කෙනෙකුට මගේ ඇඳුම් ටික භාර දීලා මට පස්ස දික්කරලා, අත් දික්කර උසුළු විසුළු කර යන්න ගියා. මට දැන් කර කියා ගන්න දෙයක් නැහැ.

බිම කරුවල වැටීගෙන එනවා. ඒ මදිවට මාත් එක්ක ආපු ඔක්කොම මාව දාලා ගිහිල්ලා. ඒ මදිවට කරවටක් වතුරෙ ගඟ මැද. මට බයක් දැනෙන්න පටන් ගත්තා. බය වැඩිකමටත් වතුරේ හුඟ වෙලාවක් සිටි නිසාත් ඇඟ සීතලට ගැහෙන්න වුණා. කර කියා ගන්න දෙයක් නෑ. මට අන්දරේ මතක් වුණා. ඒ එක්කම මට කියවුණා ‘බර්ටි මැතිඳු අද තනියම ගඟ මැද්දේ’ කියලා. අනේ ඉතිං ඔහොම ඉන්න කොට ගඟ හරහා ඔරුවක් යනවා දැක්ක. මම හනික අත්පුඩි ගහලා මගේ අසරණකම කෑගහල කියලා අතිනුත් කියලා ඔරුව ගෙන්වගෙන යන්තම් ගොඩට ආවා.

බර්ටි ගුණතිලකයන් සිනා සාගරයක් රැගෙන සරසවිය පාඨකයන් වෙත පැමිණි බර්ටි කියන රසකතා අදින් නිමාවට පත්වේ.