වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දිවිය අතරමඟකින් - මඟ නතර නොකොට හිනැහෙන්...

මේ දිවිය අතරමඟකින් - මඟ නතර නොකොට හිනැහෙන්...

විපුල් ධර්මපි‍්‍රය ජයසේකර
 

අවසන් දුරකථන ඇමතුම චරිතාට

පිළියන්දල හරහා ගලා බසින බොල්ගොඩ නදිය වෙනදා තරම් සුන්දරව නොතිබුණි. කිව නොහැකි තරමේ මූසල බවක් ගඟ අවටින් දිස්වුණි. උදෑසනම අවදි වූ මේ සුන්දර සුපුල් මිනිසා ගත හිරිවට්ටන සීතලේම නා කියා ගත්තේ පිරිසුදුකම තම ජීවිතයේ අංක එක වූ නිසාවෙන්ය. බිරිඳ දමිතා සාදා දුන් උණුම උණු තේ කෝප්පයේ රස බැලූ හෙතෙම ගුවන් විදුලි සංස්ථාවෙන් පැමිණි රථයට ගොඩ වූයේ උදා වූ දිනයේ වෙළෙඳ සේවයේ කටයුතු ආරම්භ කිරීමටය. වෙනදාට ප්‍රමෝදයෙන් ඇලලුන හාත්පස පරිසරය මෙදින අඳුරු දුක්බර බවක් ඉසුලුවේය. පෙරදිගින් නැඟෙන සූර්්‍යයා ද පරිසරයේ වූ අඳුර නිසා නැෙඟන්නට පමා විය. මුළු පරිසරයම දුක් ගීයක් ගැයීමට සැරැසෙන්නා සේය.

උදෑසන 4.30 කණිසම වන විට මේ හඬ පෞරුෂය හිමි නිර්මාණශීලී මිනිසා ගුවන් විදුලියට පැමිණියේය. 4.55 වන විට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ මැදිරියේ අසුන් ගත්තේය. පෙර දින රාත්‍රියේ සිට ඔහුගේ පපුව ආශ්‍රිත ප්‍රදේශයේ සියුම් රිදුමක් දැනුණත් එය අම්ල පිත්තය නිසාවෙන් බව ඔහුගේ මතය විය.

‘සුන්දර සුවබර උදෑසනකට’ මුළු ලොවට සුබ පැතූ මේ සුන්දර හඬ හිමි කලාකරුවා උදෑසන ගුවන් විදුලියෙන් හරබර දවසක උදාව අසන්නන් හට ලබා දුන්නේය. කෙතරම් සුන්දරව කතා කළත් ඔහුගේ ශාරීරික පීඩාව හෙතෙම පීඩාවට පත් කළේය. ඒ 2014 මැයි මස 25 වැනි ඉරු දිනයි. ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ උදෑසන වැඩ සටහන් සමඟින් සිටි මේ කලාකරුවාගේ පපුව ආශ්‍රිත වේදනාව එන්න එන්නම දැඩි විය.

උදෑසන 7.10 වන විට ඔහු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ටී. ඩී. කේ. ජයන්තට පවසා ගුවන් විදුලිය ඉදිරිපිට ඇති කුඩා කඩයට පියමැන්නේ රෝගය උත්සන්න වූ නිසාවෙනි. ටොරින්ටන් පරිසරයම දැඩි නිහඬ බවක ගිලී තිබිණ. කුඩා කඩයෙන් කිරි වීදුරුවක් බිව් මේ සොඳුරු සුගම නිහතමානී කලාකරුවා තමන්ට ජීවය දුන් මහා වනස්පතියක් වූ ගුවන් විදුලි සංස්ථා පිවිසුම ඉදිරිපිට දී චරිතා පි‍්‍රයදර්ශනීට දුරකතන ඇමතුමක් ගෙන තිබිණි. ඒ කුමකටදැයි කවුරුත් නොදනී. අවාසනාවකට ඕ හට එය මඟ හැරී ගියේය.

තවත් සුළු මොහොතක් එම ඉරියව්වෙන්ම සිටි මේ නිහතමානී මිනිසා කපා හෙළු කෙසෙල් කඳක් මෙන් මහ පොළොවට පතිත විය. මහී කාන්තාව ද ගැහෙන සිතින් හෙතෙම සදහටම තම ඇකයේ සඟවා ගත්තේය. බොහෝ මිනිසුන් පිරිසක් ඔහු වටා රොක් වූහ. ඒ අතර සිටි ගුවන් විදුලියේ චමින්ද මේ කවුද යන්න හඳුනා ගත්තේය. ඔහු යුහුසුළුව ක්‍රියාත්මක විය. රටක් වටින මේ කලාකරුවා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගියේය. ඒ වන විටත් හඬ පෞරුෂයෙන්, සොඳුරු පද ගෙත්තමෙන් මෙන්ම වේෂ නිරූපණ ශිල්පයෙන් ද දස්කම් රැසක් පෑ ඔහු මෙලොව අතහැර නික්මී ගොස්ය.

අවසන් වරට සිටි ගුවන් විදුලි මැදිරිය

මේ ලොග් සටහන පෙරවරු 7.10 ට වෙළඳ සේවා මැදිරියෙන් විපුල් සමුගෙන යාමත්, අනතුරුව නිවේදිකා ඉනූෂා වීබැද්ද විපුල් ධර්මපි‍්‍රය වියෝවීමේ ප්‍රවෘත්තිය නිවේදනය කළ අයුරු දක්වයි.

විපුල් ධර්මප්‍රිය ජයසේකර නම් වූ සොඳුරු සන්නිවේදකයා එසේ අප හැර ගියේ පසුගිය ඉරු දිනය.

ගේය පද රචකයකු සේම, අර්ථාන්විත සන්නිවේදකයෙකු වූ විපුල්ගේ හදිසි වියෝවීම ගුවන් විදුලියේ සේම ඔහුගේ රසික හිතවතුන්ට දරාගත නොහැකි ශෝකයක් ගෙන ආවේය. වෙනදා ගුවන් විදුලියේ ඇසුණ සාද තෙපුල් කොහේදෝ සැඟ වී තිබිණි. විපුල්ගේ වියෝව සැල වූ සැනින් සුජීව හරිශ්චන්ද්‍ර, ටී. ඩී. කේ. ජයන්ත, ධම්මික පී. රත්නායක මෙන්ම ගුවන් විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ ද ජාතික රෝහල වෙත පැමිණියේ හද ගැහෙනා දුකකිනි.

ටී. ඩී. කේ. ඇතුළු පිරිස දස අතේ කල්පනා කළේ මෙම වියෝ වීම විපුල්ගේ බිරිඳ දමිතා, දියණිය හා පුතු වෙත දන්වන්නේ කෙසේද කියාය. බිරිඳට හා දරුවන්ට අසීමිතව සෙනෙහසක් දැක්වූ විපුල්ට ඔවුන්ගෙන් විනාඩි කිහිපයක් වෙන් වී සිටීම ද වේදනාවක් විය. එහෙව් විපුල්ට තම ජීවිතයේ පනස් එක් වැනි වියේදී තමා ප්‍රිය කළ සියල්ලන්ගෙන්ම නික්මී යන්නට සිදු විය.

දෛවයේ අකීකරු සරදමට ලක් වූ විපුල් ධර්මප්‍රිය ජයසේකර සෞන්දර්යමත් මිනිසාගේ දේහය ‘සරසවිය’ අප යන විට කලා භවනේ තැන්පත් කොට තිබිණ. බිරිඳ දමිතා ජයසේකර නෙතින් ගලා හැලෙන කඳුළින් කිසිත් නොදොඩා වැලපෙන්නීය. දියණිය දිනිතිට කිසිදු සිහියක් නොවීය. ඇගේ මිතුරියන් ඕ වටා සිටිමින් සනහාලන්නට උත්සාහ කළත් ඇගේ ජීවිතයේ වටිනාම දායාද ලබා දුන් සිය පියාගේ වියෝවීම දරා ගත නොහැකිව වැලපෙන්නීය. විපුල්ගේ එකම පුතු වූ සුපුල් සස්මිත හිස් අහස දෙස බලමින් කඳුළු කැට වගුරන්නේ ජීවිත ගමනේ අතරමං වූවා සේය.

විපුල්ගේ කලා ලොවේ මෙන්ම ජීවිතයේ මිතුරන් සියලු දෙනාම කලා භවනට එක් වන්නේ සැබෑම ළෙංගතු නිහතමානී මිතුරෙකුට අවසන් ගෞරව දැක්වීමටය.

1992 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු ලෙස ටී. ඩී. කේ. ජයන්ත, ඉදුනිල් දිසානායක, සේනක උභයසිංහ, කැළුම් විජේසූරිය සමඟ එක් වූ විපුල් ගුවන් විදුලියේ ආභාෂයෙන් පන්නර ලැබීය. ගුවන් විදුලියට එක්වීමට පෙර හෙතෙම කුමරි හා එදවස තිබූ ජාතික පුවත්පත් ඛ්හිපයකටම නිර්මාණශීලී ලිපි සපයන්නෙකුගේ කාර්යභාරය මනාව ඉටු කළ මාධ්‍යවේදියෙකි. වරක් විපුල්ට හමු වූ ශාලිත අබේවික්‍රමට ගීතයක් ලියා දුන්නේය. ඒ ඔහුගේ සොඳුරු පාසල් කාලය ගීතයට නැඟීමකි.

එය ලංකාවේ කා අතරත් ජනප්‍රිය ‘සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා’ යන ගීතයයි. ඊට පෙර කවි නිර්මාණ කිහිපයක් ලියා තිබුණත් විපුල්ගේ ප්‍රථම සරල ගී පද රචනය එය විය. ඉන් පසු චරිතා ප්‍රියදර්ශනී ගයන ‘අහස් ගැබේ තරු කැට ගානේ’ ගීතය ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රිය ආදර ගීතයක් විය. ‘සඟවන්න එපා හසරැල්’ ගීතය ද ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රිය ගීතයකි. ‘බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ’ ගීතය ද විපුල්ගේ සුන්දර සාහිත්‍යමය අගය වැඩියෙන් දැනෙනා ඔහු අතින් රචනා වූ ගීතයකි.

බිරිය දමිතා

එකින් එක ඔහු ගැන මතකය අවදි වන විට කලා භවනට පැමිණි ටී. ඩී. කේ. ජයන්ත විපුල් ගැන මතකය අවදි කළේ හද පිරි ශෝකයෙන් යුතුවයි.

‘1992 දී අප දෙන්නම ගුවන් විදුලියට පැමිණෙන්නේ සහන නිවේදකයෝ හැටියට. ඒ වන විට විපුල් පුවත්පත් හරහා ජනප්‍රිය ලේඛකයෙක් වෙලා හිටියේ. විපුල්ට හරිම සාහිත්‍යාත්මක දැනුමක් තිබුණා. එයා කතා කළ වචනවලත් ගැඹුරු සාහිත්‍යාත්මක බවක් තිබුණා. බලන්න එයා ලියපු ගී පදවල මොන තරම් ආදරණීය බවක් ද තියෙන්නේ. ගිය ඉරිදා උදෑසන 4.55 ට විපුල් බීම් එකට (මැදිරිය) ඇවිත් උදෑසන වැඩසටහන කරලා හතයි දහයට විතර මට කතා කරලා කිව්වා ගෑස් වැඩි වෙලා වගේ මොනවා හරි එළියට ගිහින් බීලා එන්නම් කියලා.

එයා අවසානයට ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ මයික්‍රෆෝනය ළගට වෙලා කිව්ව වචන ටික තමයි ‘වේලාව පෙ. ව. 7.10 යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවයයි’ කියන එක. ඊට පස්සේ මැදිරි පොතේ ලොග් සටහනක් දැම්මා. ඒ ඔහුගේ අවසාන ලියවිල්ල ගුවන් විදුලියෙන් එළියට ගිය විපුල් ආයේ අපට දකින්නට ලැබුණේ ප්‍රාණය නිරුද්ධ කෙනෙක් විදියට. හැමෝටම අව්‍යාජව සලකපු, කතා කරපු විපුල් හැමෝටම නොකියා යන්න ගියා. එයා එයාගේ දරුවන්ටයි, බිරිඳටයි අසීමිතව ආදරය කළ පුද්ගලයෙක්. ගුවන් විදුලියට ආවත්, වෙන කොහේ හරි ගියත් බිරිඳ දරුවන් ගැන අවදියෙන් ඉන්නේ. මේ වියෝවීම නිසා ලොකු පීඩනයකට පත් වෙන්නේ විපුල්ගේ බිරිඳයි දරුවනුයි. කියූ ටී. ඩී. කේ. ගේ නෙතින් ගලා හැළුණ කදුළු කැටයක් කලා භවනේ සිමෙන්ති පොළොව මතට පතිත වූවේය.

විපුල් අවසාන වශයෙන් ලොග් සටහන් ලියූ පොත බැලීමට මමත්, සරසවියේ මාලන්, අසංක හා ප්‍රසාද් කැටිව ටී. ඩී. කේ. ජයන්ත වෙළෙඳ සේවා මැදිරියට පැමිණියේ සහෘද මිත්‍රයෙකුගේ යුතුකමක් සේ සලකාය. අප එහි යන විට ද වාදනය වූයේ විපුල් අතින් ලියැවුණ ‘සඟවන්න එපා හසරැල්’ ගීතයයි. මැදිරියේ සිටියේ සම්පත් සල්පිටි කෝරාළයි. ඔහු විපුල්ගේ පන්හිඳෙන් ලියැවුණ අවසන් වදන් අප හට පෙන් වූයේ හදෙහි උපන් දුක ද සඟවා ගනිමිනි.

දියණිය දිනිති

පුතු සුපුල්

මේ සටහන ලියන අවස්ථාව වන විට ද වැල නොකැඩී කලා භවන වෙත සෙනඟ ඇදී එන්නේ විපුල්ගේ හිත හොඳ නිහතමානී සුන්දර මිනිසත්කම නිසාවෙනි. විපුල්ගේ නිර්මාණශීලී දිවියේ උරුමය දියණිය දිනිතිට ද නොඅඩුව පිහිටා තිබෙන්නේ දෛවයේ හාස්කමකිනි. දෙරණ නාළිකවේ විකාශය වන ඩ්‍රීම් ස්ටාර් හඬ පෞරුෂය ද විපුල්ගේය. එමෙන්ම මෙරට නිර්මාණය වන බොහෝ වෙළෙඳ දැන්වීම් හි හඬ මුසුව ද විපුල්ගෙන් වූ අතර පිටපත් රචනයට ද හේ මහත් දස්කමක් දැක් වීය.

පිළියන්දල විශ්ව කලා ගම්මානයේ ජීවත් වූ විපුල්, බිරිඳ දමිතා, දියණිය දිනිති හා පුතු සුපුල් සමඟ ඉතාම දැහැමි චාම් දිවි පෙවෙතක් ගෙවූ නිහතමානී මිනිසෙකු විය. සුන්දර වදන් කවි බසට හරවා ගීතවත් ලෙස රචනා කිරීමට විපුල්ට තිබුණේ නිසඟ හැකියාවකි. එය ඔහු ලියූ ගී වලින් මනාව පිළිබිඹු වේ. ‘නොවෙනස්ව එනවාද මා එක්ක දුර යන්න ගිරිදුර්ග දිවි මාවතේ’ ගීතය ඔහු අතින් ලියැවුණ තවත් සොඳුරු පද වැලකි.

මිනිසා සිනාවෙන් හෝ කතාවෙන් හඳුනා ගන්නට බැරි යුගයක ඔබ වන් මිනිසුන් ඉතා දුර්ලභය. සියල්ලන්ටම සෙනෙහස දක්වන නිරහංකාරකමේ උපරිමය පෙන්වන ඔබ යළිඳු අප අතරම ඉපදේවා.

‘සඳ එළිය වගේ ඇවිදින් – හද නොපැතු දිනෙක රහසින් - මේ දිවිය අතර මඟකින් – මඟ නතර නොකොට හිනැහෙන්’ යනුවෙන් ඔබ අතින් ලියැවුණේ මෙලෙස අප සියල්ල අතහැර යන වග දැනගෙනද? දයාබර මිතුර ඔබ උපනූපන් ජාති ජාතිත් අප අතර ඉපැදී – ජන මන දොල පිනවන නිර්මාණකරුවකුම වේවායි ‘සරසවිය’ ප්‍රාර්ථනා කරයි.

ඔබට නිවන් සුව!

 

විශේෂ ස්තුතිය -

ටී. ඩී. කේ. ජයන්ත, ධම්මික පී. රත්නායක, සුජීව හරිශ්චන්ද්‍ර
සංජය, හිමානන්ද රාජපක්ෂ
සම්පත් සල්පිටි කෝරාල, නලින් පෙරේරා, ප්‍රියන්ති යහම්පත්, ඉනුෂා වීබැද්ද