වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




එක් බටයකින් උණ්ඩයක් තව බටයකින් ස්වරයක්

එක් බටයකින් උණ්ඩයක් තව බටයකින් ස්වරයක්

පනාමුරේ - පනාමුරේ ඇත්රාජා කුංචනාදයට සංගීත නාදය

න ව ර ත් න ග ම ගේ

තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීම අද සමාජයේ ඉතාමත් සුලබ දෙයක් බවට පත්වී හමාරය. ඒ වෙනුවෙන් ඇතැමුන් අරගල හා කැරළි ඇති කිරීමට පවා ඇතැම් විට පෙළඹෙන්නේ කෙසේ හෝ තම අයිතීන් දිනා ගැනීම වෙනුවෙනි. ඒ උසස් මනසක් හිමි මනුෂ්‍යයයන් විසින් කරන්නට යෙදෙන ක්‍රියාවකි. එහෙත් තිරිසන් සත්ව ලෝකය තුළද එවැනි වූ ක්‍රියාකාරකම් අපට දකින්නට අසන්නට ලැබෙන්නේය. පනාමුර හස්ථි රාජයා අපේ රටේ එවැනි නමක් හිමිව ඉතිහාස ගතවූ හස්ථියෙකි. ඈත අතීතයේ දී අලි ඇතුන් අල්ලා ගාල් කිරීම, වෙළෙඳාම සුලබ සිදුවීමක් වූයේය. ඉංගී‍්‍රසි පාලන සමයේ සිටම මෙරට පැවැති මෙම ඇත් ගාල් ක්‍රමය ඉන් අනතුරුවද කි‍්‍රයාත්මක විය. එය අහෝසි කරවීමේ ගෞරවය හිමි වන්නේ පනාමුර හස්ථියාටයි.

වසර 1928 වසරේ පමණ සිට පැවැති,මෙරට ප්‍රථම කථානායකවරයා වූ ෆ්‍රැන්සිස් මොළමුරේ පරපුර සතු වූ ඇඹිලිපිටිය කොළොන්න කෝරළයේ පනාමුරේ ඇත් ගාල මෙරට පැවැති අවසන් ඇත් ගාල ලෙසින් සටහන් වන්නේ එදා පනාමුර හස්ථියා කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසිනි. තිරිසන් සතෙකු වුවත් මේ හස්ථි රාජයා තම වර්ගයාගේ නිදහස වෙනුවෙන් අභීතව සටන් කළේය. එහි ප්‍රතිඵලය දරුණු වූයේය. ඇත්ගාලේ හිමිකරු අවසන් තීරණයට එළැඹිණි.

එවකට මෙරට සිටි දක්ෂතම වෙඩික්කරුවෙකු ලවා මේ හස්ථියාගේ ගමනාන්තය සළකුණු කෙරිණි. දුටුවන්ගේ මෙන්ම ඇසුවන්ගේද හදවත් කම්පිත කරවමින් 1950 වසරේ අගෝස්තු 09 වැනිදා ඒ සද්ධන්තයා පොළවට පතිත වූයේ ය. ඒ යළිත් කිසි දිනෙක යළි නොනැගිටින්නය. එම සිදුවී අදට වසර 63ක් ගතවී හමාරය. නමුත් එදා එල්ල වූ වෙඩි උණ්ඩයේ දෝංකාරය අද ද ඇසෙන්නට වන්නේය. ‘පනාමුර කුංචනාදය’ අපට ඇසෙනා එහි නූතන ස්වරය යි. සංගීතඥ නවරත්න ගමගේ දශක දෙකක් පුරා යෙදෙන සංගීත චාරිකාවේ දැවැන්තම නිර්මාණයක් ලෙසින් එය තිළිණ කරන්නට සුදානම් වී අවසන්ය.

“පනාමුර කුංචනාදය සංධ්වනි රංගයක්.තම වර්ගයා වෙනුවෙන් දිවිදුන් අභීත පනාමුර හස්ථියා වටා ගෙතුණු කතා පුවත් පාදක කර ගත් ඊට එහා ගිය මානයක් ගැන කියවෙන නිර්මාණයක්. මීට තුන් වසරකට පමණ පෙරදී පනාමුර හස්ථි රාජ පදනමේ නිර්මාතෘ සමන් රත්නායක මහතාට පදනම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර ගන්නට පැමිණුනා. ඔහු එදා ඒ සිද්ධිය පිළිබඳ සඳහන් කළා වූ දත්ත සමගින් කතා කරනවිට මටත් මේ පිළිබඳ මීට වඩා යමක් කළ යුතුයි කියලා හිතුණා. මොන කාර්යය කළත් මම ඒ අදාළ පළාතට යා යුතු බව ඒ මොහොතේ මගේ හිතට දැණුන කරුණක්.

ඒ වනවිට එහි කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් සහ ඇත් අනුරුවක් නිර්මාණය වෙමින් පැවතුණා. ඒ වෙනුවෙන් නිර්මාණය කරන්නට යෙදුණු තේමා ගීතයෙන් නොනැවතී එතැනින් එහාට මමත් යමක් කළ යුතුය යන අදිටනට පැමිණියා. කොහොම හරි වසරකට ආසන්න කාලයක් මට මේ ප්‍රදේශය සමග ගනුදෙනු කරන්න සිදුවුනා. නිතිර නිතර යන්න එන්න වුණා. එහිදී එම මිනිසුන් සමග කතා බහට වැටුනා. මෙම චාරිකාවලට මගේ හිත ගියා. ඒවා මට විනෝද චාරිකා වුණා. ඒසඳහා වාහනවල ගමන් ගන්නා අතරතුර ඇති වූ විවේක බුද්ධියෙන් හිතට ආවේ කැලයේ වෙසෙන සතෙකුට වදින වෙඩිල්ලක හඬ දෝංකාරය අද දක්වා පැමිණෙන ආකාරය යි. එහි කම්පනය යි. මෙහි පනාමුර සිද්ධිය එක සිද්ධියක්. එය හරියට බැලුවොත් ලෝකයේ සතෙකුට වෙඩි තැබු එකම අවස්ථාව මෙය නොවෙයි. අනන්තවත් එවැනි සිදුවීම් ලොව සිදුවෙලා ඇති. මෙතැන තියෙන්නේ වෙඩි තැබීම සාධාරණීකරණය කර ගැනීම හරි වෙනත් කුමක් හෝ දෙයක් වෙන්න ඇති.”

නමුත් එදා දක්ෂ වෙඩික්කරුවෙකු වූ සෑම් කදිරගාමර් අතින් ඒ තීරණාත්මක වෙඩිල්ල තැබිණි. ජනතාව බේරා ගැනීමටද ඇතැම්විට ගැටුම්වලට මුහුණ දෙන්න සිදු වීම අද ද සාමාන්‍ය දෙයක් බවට පත්වී හමාරය. එදා මෙම හස්ථි රාජයා මිනිසුන් විනාශ කර දමාවි යන හැඟිම සමහරවිට ඔහුගේ හිතටත් දැනෙන්න ඇති.

“ඒ වගේම ඕනැම සිදුවීමන් අපි සාධාරණීකර ගෙන එය ප්‍රතිනිර්මාණය කර ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒක කලාවේ ලක්ෂණයක්. ඉතිහාසය පුරා එවැනි බොහෝ සිදුවීම් වෙලා තියෙනවා. මටත් හිතුණා මේ සිදුවීමට එහා ගිය සිද්ධියකින් මේ අත්දැකීම ගේන්න ඕනි කියලා. ගොඩක් දේ කියන්න පුළුවන් භාෂාවක් තමයි සංගීතය. මෙයින් ඉස්මතු වෙන්නේමේ හස්ථියා වෙඩි ප්‍රහාරයට ලක්වීමට වඩා හස්ථි වර්ගයා තුළ වූ සහාය ගැනයි. එය සංගීත භාෂාවෙන් කියන්නට ගන්නා උත්සාහයක් තමයි මේ පනාමුර කුංචනාදය. මේ ගැන බොහෝ පොත් පත් ලියවිලා තියෙනවා. එදා ආචාර්ය ඇන්. ඇම් පෙරේරා මේ වෙනුවෙන් කතා කරලා තියෙනවා. කවි, ගීත ලියවිලා තියෙනවා.

මේ ගැන බලනවිට හස්ථි සංකල්පය තුළ තියෙන ගැඹුර මට තේරුම් ගන්න පුළුවන් වුණා. සිදුහත් උප්පත්තියට සුදු ඇත් පැටවෙක් සම්බන්ධයි. සමන් දිව්යනරාජයා ළඟ ඉන්නේ ඇතෙක්. සක්‍ර දෙවියන්ගේ ඓරාවණ හ්ථියා ගැන ගජගා වන්නමේ අපූරුවට කියවෙනවා. ඡද්දන්ත ජාතකයේ පවා කියවෙන්නේ ඇතෙක් ගැනයි. මෙලෙස හස්ථි සංකල්පය සමග ඈත අතීතයේ පටන්ම සංගීතය සමඟ රූප නිර්මාණය වෙලා තියෙනවා. අපි මෙම සාහිත්‍ය තුළ තියෙන වටිනාකමයි සොයාගෙන ගියේ. එහිදි පනාමුර සිද්ධිය එකක් පමණයි. එය අපි නාට්‍ය ආකාරයෙන් විචිත්‍රවත් ලෙස ගොඩනැගුවා. එදා නිකුත් වූ වෙඩිල්ල විතරක් නෙවෙයි වෙඩිල්ලක තියෙන දිගුව තව කොපමණ දුර යනවාද ? ගිනි බිඳීන බටයකින් උණ්ඩයක් නිකුත්වෙනවා සේම තවත් බටයකින් සංගීත ස්වර නිකුත් වෙනවා. පනාමුර කුංචනාදය එහි සංකේතයක්.”

කැලය කියන්නේ එක්තරා අන්දමක විශ්ව ගොඩනැගීමක්. විවිධාකාර ගස් වැල් එහි ජීවය යි. විවිධාකාරයේ සතුන්ගේ නිජබිමයි. විවිධ වර්ණයන් ශබ්දයන් එහි අඩංගුයි. මිනිසාගේ මුල්ම නිජබම වන්නේත් එයයි. මෙවැනි ශිෂ්ඨාචාරයක ජීවත් වූ මනුෂ්‍යයාට දියුණු වී යළිත් කැලයටම වෙඩිල්ලක් තබන්නට ධෙර්යයක් විය.

“මේ සිදුවීම මගේ මනස තුළ ගැඹුරින්ම තැන්පත් වුණා. මම එවක හොරණ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙසින් කටයුතු කළා. එහි සිසු සිසුවියන් සමග මේ පිළිබඳ තොරතුරු නොකියා වැඩමුළු කරන්නට යෙදුනා. මෙම අධ්‍යයන කටයුතු සමගින් මේ පිළිබඳ යම් තරමක සිතුවමක් මගේ හිත තුළ ඇඳුනා. එලෙස හිතේ ඇඳී විචිත්‍රවත් රූප සහ නාද රටා මම පිටපත් කළා. මම අනෙකුත් සංගීත කටයුතු අතරේදී ඉඩප්‍රස්ථා ලැබෙන ආකාරයෙන් මෙය ගොඩනැගුවා. මේ අතරතුරේදී අවස්ථා දෙකකදී ජෝ සෙනෙවිරත්න මහත්තයා සහ රත්න ශී‍්‍ර විජේසිංහ මහත්මයයි මට හමු වුණා. ආ ගිය තොරතුරු කතා බහ කිරීමේදී මම මගේ හිතේ ගොඩනැගෙමින් තිබු මේ කර්තව්‍ය ගැන විස්තර හෙළි කළා. ඔවුන් සමග තොරතුරු පවසමින් කළ ඒ කතාබහ මගේ හිතේ සතුටක් ඇති කළා. මේ අතරතුර විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ද සමගින් පනාමුර කුංචනාද නිර්මාණ කණ්ඩායමක් මම බිහිකර ගත්තා.

මෙම කටයුත්තේදී මම සමගින් මනුබන්ධු විද්‍යාපති, ආරියවංශ ධම්මගේ, සුනිතා පෙරේරා, ජයලත් මනෝරතන, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර,ආචාර්ය සුනිල් විජේවර්ධන, සාලිය ලියනආරච්චි, චන්න දේශපි‍්‍රය වැනි අය වරින් වර මේ පිළිබඳ කතාබහ කරමින් අදහස් හුවමාරු කර ගනිමින් කටයුතු කළා.මේ නිර්මාණයේ හැඩය හොයා ගන්න මම ගොඩක් මහන්සි වුණා. මොළමුරේ මොනවගේ කෙනෙක්ද, මඩුවන්වෙල වලව්ව එදා කෙහොමද, එකල භාෂාව මොනවගේද, ගම පැවතියේ මොන ආකාරයෙන්ද, එදා මේ ශෝචනීය ඉරණම පිළිබඳ ලියවුණු කවි කොළ හොයා ගන්න සිදු වුණා. මේ පිළිබඳ තවත් මුලාශ්‍ර සෙවු අය මුණ ගැසුනා. මට මේ ගමන අතරතුරේදී මෙම සිදුවීම අතිවිඳී දැනට ජීවතුන් අතර සිටිනා එකම එක මිනිසෙක් හමු වෙනවා. ඔහු පැන්ටිස්. පැන්ටිස් කුඩා කාලයේ මේ සිදුවීමට මුහුණ දුන් අයෙක්. ඔහු එදා එම ඇත් ගාලේහි වූ අලි ඇතුන් බලා ගැනීමට වෙහෙස වූවෙක්.

මේ අයුරින් ටිකෙන් ටික ගොඩනැගෙමින් අවසානයේදී විශාල කාර්යයක් බවට පත් වුණා. දෙසියයක්ට අධික සංඛ්‍යාවක් කුඩා කණ්ඩායම් බවට පත් වෙලා මෙය නිෂ්පාදන තත්ත්වයට පැමිණියා. මේ අතරතුර නම් වශයෙන් සඳහන් නොකළත් මෙම කාර්යයට බොහෝ දෙනා උදව් කළා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දෙවැනි ඇරඹුමේදී අපට මෙහි හැඩය පෙන්වන්නට අවස්ථාවක් ලැබුණා. අපි මේ ගැන නිතර කියන නිසාවෙන්ම බන්ධුල ඒකනායක සහ චන්න ප්‍රනාන්දු මහත්වරුන් අපට විනාඩි දහයක කාලයක් ලබා දුන්නා. එහිදි ශිල්පීන් අසූවක් සමග එක්ව අපි මේ වැඩේ කරලා පෙන්නුවා. මේ අයුරින් ගොඩනැගුණු මේ නිර්මාණ කාර්ය උත්සාහයෙන් සහ අධිෂ්ඨානයෙන් නිර්මාණ ශිල්පීන්ගේ කැපවීමෙන් එය ඉදිරියට කෙරීගෙන යනවා.

විවිධ සංගිත ශෙලීන් මෙම නිර්මාණයට අන්තර්ගත වුණා. අපි සෑම විටම විශ්වයත් සමග සම්බන්ධ වෙනවා. අපේ වටපිටාවේ තියෙන පරිසරය ගැන විවිධාකාර ආගාමික දාර්ශනික දේ ගැන අපි කතා වෙනවා. වෙනම සංගීත භාවිතාවන් මේ තුළ රැඳෙනවා කියන දේ පිළිබඳ මම නිතරම සිතු දෙයක්. හරියට කැලයක අතරමං වූවෙකු වගේ මම මේ ගැන සොයන්න පෙළඹුණා. මේ අධ්‍යනයේදී විවිධ සංගීත භාෂාවන් උපයෝගි කරගෙන මෙය ප්‍රේක්ෂකයන්ට කියන්න මට පුළුවන් වුණා. වෙස්සන්තර නාද රටා, ගජගා වන්නමේ නාද රටා, ජන සංගීතය වැනි රිද්ම ගායන, නර්තන ප්‍රකාශන ආලෝක වර්ණ, ශබ්ද වලින් මෙහි විචිත්‍රතත්වය නැංවෙනවා.

මෙය එක්තරා විදියක නාට්‍යයක්. ඒවගේමයි මෙහි ඔපෙරා අංග තියෙනවා. බැලේ අංග තියෙනවා. අපේ සාම්ප්‍රදායික නැටුම් වගේ අංගයන්ගෙන් මෙහි රංග රීතිය සැකසෙනවා. ඒ නිසයි මෙය අපි සංධ්වනියෙන් ගොඩනැගෙන රංගයක් විදියට හඳුන්වන්නේ.

මේ සිදුවීමෙන් එදා ජනතාව දැඩි කම්පනයකට ලක්වෙලා තියෙනවා. සෑම් කදිරගාමර් පවා එදා ඒ සිදුවීමට මුහුණ දෙන්න හිටියේ නැහැ. සතෙක් මරනවා කියන එක නොවෙයි මෙතන තියෙන කතාව. එදා ඇත්ගාල තුළ හැසිරීමෙන් මේ හස්ථියා වළැක්වීම තමයි එකම අරමුණ වෙලා තියෙන්නේ. නමුත් එදා ඒ සිදුවීම වුණා. එහිදි ඇත්ගාලට තිබූ විරෝධය ප්‍රධානයි. මහ කැලය අයිති උන්ටයි. අපි එතැනට ගිහින් උන් කොටුකරගෙන වෙළඳාමට සූදානම්වීම ගත්තොත් එතැන ඒ පිළිබඳ අරගලයක් තියෙනවා. මේ මානව සමාජයේ අපි ඒ අරගලය තේරුම් ගත යුතුයි. කවුද හරි කවුද වැරදි කියන එක නෙවෙයි. අරගලය ඔස්සේ තමයි එය ඉදිරියට යන්නේ. ඒ සිදුවීමේදිත් එදා ඒ දිවිපිදුම අනුව ඇත් ගාල තහනම් වුණා.

සතෙක් තම වර්ගයා වෙනුවෙන් කළ අරගලය ගැන මිනිසුන් කතා කළා. මෙය එයට ප්‍රති ගෞරවයක් විදියට මම දකිනවා. සුගතපාල මලලසේකර ගායනා කළ ‘පනාමුරේ පනාමුරේ’ගීතය එයට ලොකුම ගෞරවය එකතු කළා. ඒ ගීතය ලංකාව පුරාම රැව්දුන්නා. අපටත් ඒක බලපානවා. ඒ තේමාව ඔස්සේ යන මේ සංධ්වනි රංගයත් එහි කොටසක්. මෛති‍්‍රය කරුණාවෙන් යුතුව එකිනෙකට සම්බන්ධ වූ මිනිස් සමාජයකට ඇරඹුක්ද මේ කියලත් ඇතැම් විටෙක හිතෙනවා. ඒ වගේම මේ අන්තර් සම්බන්ධතාව අපි කඩාගන්නේ ඇයිද කියන එක ප්‍රශ්නයක් වෙනවා. මිනිසුන් විසින් කැලය කපා විනාශ කරනවා. අපි ස්වභාවධර්මය ජය ගන්නවා කියන්නේ ලස්සන විනාශකර ගන්න එක නෙවෙයි. මේ තේමාවෙන් පවා කියන්නේ සතුන් අපි සියල්ලම එකට සිටිය යුතුයි නේද කියන එකයි.

මේ සඳහා වසර දෙක හමාරක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. එතරම් දීර්ඝ කාලයක් ගත වෙන්න මූලික කාරුණය වුණේ විවේක බුද්ධිය සොයා ගැනීම අපහසුවීම. ජීවත්වීමේ තැන මූලිකයි. එක පැත්තකින් ඒ වෙනුවෙන් අරගල කළ යුතු වෙනවා. තවත් පැත්තකින් අපටම ප්‍රශ්න කර ගන්න වෙනවා අපි ලබා ඇති අත්දැකීම් තුළින් යම්කිසි දෙයක් නොකරන්නේ ඇයි කියලා. මේ තත්ත්වය මත මේ කාර්යය ඉස්සර වුණා. අමාරුවෙන් හරි කරන්න ආසාවක් මා තුළ ඇති වුණා. අවසානයේ එය සාර්ථක වුණා. හෙට දිනයේ එය වේදිකාගත වීම ආරම්භ කරනවා.”

ඓතිහාසික පනාමුර හස්ථි රාජයාගේ අභීත ජීවිත පිදුම ඇසුරෙන් නිර්මාණය වූ ‘පනාමුර කුංචනාදය’ හෙට(30) අනිද්දා(31)සහ ජූනි 01 දිනවල නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගශාලාවේ දී රංගගත කිරීමට ද කටයුතු යොදා ඇත.