වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




දීඝජන්තු මට මිස් වුණා

දීඝජන්තු මට මිස් වුණා

ශ්‍රීනාත් මද්දුමගේ

මිනුරි චමත්කා ලංකාවට ආවේ මුල් වරට

රංගන ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ ගැන ප්‍රේක්ෂකයෝ දැන් ආයෙමත් කතා කරන්න පටන් අරන්. ඒ මේ දිනවල සාර්ථකව තිරගත වන ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ නිසා.

ඔහු එහි රඟපෑවේ ඇන්ටන් කියන පාතාල නායකයාගේ චරිතය. ශ්‍රීනාත් ගේ රංගනය හරහා ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට වුණා කියලයි ප්‍රේක්ෂකයෝ වැඩි දෙනෙක් කියන්නේ.

පසුගිය දා ශ්‍රීනාත් ඔස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට ආවේ ඒ උණුසුම් රසික ප්‍රතිචාර මැද. හැබැයි ඒ වෙනදා වගේ තනියම නම් නොවෙයි, ඔහුගේ දයාබර බිරිය හා සිඟිති දියණිය එක්ක. ඒ තොරතුරු පස්සට තියලා මම මුලින්ම ශ්‍රීනාත් එක්ක කතාබහ කළේ ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ ගැන.

ඔබේ රංගන දිවියේ සුවිශේෂ වෙනස්ම ආකාරයේ චරිතයක් මේ?

ඔව්, හැබැයි ඉතින් එහි මූලික ගෞරවය හිමි වෙන්න ඕනෑ උදයකාන්ත වර්ණසූරිය මහත්තයාට. ඔහු තමයි මාව මුලින්ම සිනමාවට හඳුන්වලා දුන්නේ. ඒ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ චිත්‍රපටය හරහා. එදා ඉඳන් අප අතරේ ලොකු බැඳීමක් ඇති වෙලා තියෙනවා. ඔහුගේ චිත්‍රපට හය හතකම මම රඟපෑවා. ඒ අතරින් ඇන්ටන් කියන්නේ සුවිශේෂී චරිතයක් තමයි ඇත්තටම.

උදයකාන්ත එකම නළු, නිළි පිරිසකට සීමා වූ අධ්‍යක්ෂවරයෙකු නෙවෙයි. ඒත් ඔහුගේ නිර්මාණ කිහිපයකටම දායක වෙන්න අවස්ථාව සහ භාග්‍ය ඔබට ලැබුණා. මේකත් විශේෂත්වයක්?

ඇත්තටම ඔව්, අසංක ඔයා හරි. ‘ගිනි අවි සහ ගිනි කෙළි’, ‘බහුභාර්යා’, ‘බහු භූතයෝ’, ‘රන් කෙවිට’ ඇතුළු ඔහුගේ චිත්‍රපට හතක මම මේ වෙද්දි රඟපාලා තියෙනවා. ඒක ලොකු භාග්‍යයක්. ඕස්ට්‍රේලියාවේ ඉඳන් මාව දෙපාරක් මෙහෙට ගෙන්නුවා. ගුවන් ටිකට් පත් දීලා, ආටිස්ට් පේමන්ට් දීලා මාව ඔහු එහෙම තමන්ගේ නිර්මාණවලට දායක කර ගැනීම ලොකුª ගෞරවයක් කියලා හිතෙනවා.

‘ඇන්ටන්’ අපි නිතර සිනමාවෙන් දකින චණ්ඩි චරිතවලට වඩා ටිකක් වෙනස්?

‘රන් කෙවිට’ චිත්‍රපටයෙත් මම රඟපෑවේ දාමරික චරිතයක්. හැබැයි ඔහු ගමේ චණ්ඩියෙක්. ඒත් ඇන්ටන් කියන්නේ නාගරික, ටිකක් මොඩිෆයි වුණ චණ්ඩියෙක්. හැබැයි ඒ චණ්ඩියවත් ප්‍රේක්ෂකයෝ පිළිගත්තා. මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මට ලැබුණේ සහ ලැබෙන්නේ ඒ නිසයි.

‘කොස්තාපල් පුඤ්ඤසෝම’ හාස්‍ය කැටි කර ගත් චිත්‍රපටයක් වුණත් ඔබ එහි රඟපාන්නේ ‘සීරියස් විලන්’ කෙනකුගේ චරිතය. මේකත් වෙනස්ම අත්දැකීමක් වෙන්නැති?

උදයකාන්තට ඕනෑ වුණා ඒ විදිහේ චරිතයක්. ඔහු මේ චරිතය කරද්දී මට උපදෙස් දුන්නේ ‘විලනුත් කොමඩි කරන්න ඕනෑ නෑ, විලන් සීරියස් ප්ලේ කළාම කොමඩි එක ඉබේ මතු වෙයි’ කියලා. ඉතින් ඒක තමා වෙලා තියෙන්නේ. චරිතයට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා මට හිතෙනවා. ඒකට හොඳ උදාහරණයකුත් කියන්න පුළුවන්.

කියමුද?

මේ ළඟදී දවසක මම දෙල්කඳ හන්දියේ ඉන්න කොට කාර් එකක් ඇවිත් මගේ ඉස්සරහින් නැවැත්තුවා. දැන් මනුස්සයෙක් බැහැලා මා දිහාට එනවා. ඇවිත් මාව බදාගෙන ඉම්බා. මට සුබ පැතුවා. ඔහු අපේ ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සු. ඔහු සිනමාවේ, වේදිකාවේ, පුංචි තිරයේ විවිධ චරිත රඟපෑ සම්මානනීය නළුවෙක්. කාරෙකෙන් බැහැලා ඇවිත් අපොන්සු මාව වැළඳගෙන සුබ පතන කොට මට දැනුණේ හරියට සම්මානයක් ලැබුණා වගේ හැඟීමක්. අනෙක අපේ සමහර කලාකරුවෝ ළඟ නැති නිහතමානී ගුණයක් මම ඔහුගෙන් දැක්කා.

අපි කතා කළා වගේ ඇන්ටන් වෙනස්ම විදිහේ චණ්ඩියෙක්නේ. එහෙම චණ්ඩියෙක් ඔබට සැබෑ ජීවිතේ මුණ ගැසී තියෙනවාද?

මේ චරිතය බාහිර ස්වරූපයෙන් පවා වෙනස්. උදයකාන්තට අවශ්‍ය පරිදි තමයි එය සකස් වුණේ. දිග කොණ්ඩයක් මම භාවිතා කළා. ඒ මේකප් කළේ වසන්ත විට්ටච්චි. ඇත්තටම ගොඩක් වෙලාවට මේ වගේ චණ්ඩි මම දැකලා තියෙන්නේ බටහිර චිත්‍රපටවල. ඉතින් ඒ ගැන්ග්ස්ටර් කෙනෙක් තමයි මෙතන නිරූපණය වෙන්නේ. ඒ චණ්ඩියා 70, 80 දසකවල අපේ සිනමාවේ දැකපු චණ්ඩින්ට වඩා වෙනස්.

චිත්‍රපට නැරැඹීමෙන් ඔබ රංගන ජීවිතයට කිසියම් උත්තේජනයක්. පෙරහුරුවක් එහෙම නැතිනම් ආභාෂයක් ලබා ගන්නවාද?

එහෙම නොවෙනවා, නොකරනවා කිව්වොත් ඒක බොරුවක්. හැබැයි ඒක අනුකරණයක් නෙවේ. අපි චිත්‍රපට නැරැඹිය යුතුයි. නැතුව අපට සිනමාව හදාරන්න රංග පාසලක් තිබුණේ නැහැනේ. එතනදී මට තියෙන වාසිය තමයි අසීමිතව චිත්‍රපට නැරැඹීමට ලැබෙන අවස්ථාව.

ඔබේ නිවසේම සිනමාහලක් තිබෙනවා?

ඔව්, ඉතින්, හැබැයි එහෙ හෝම් තියටර්ස් කියන්නේ ඒ තරම් ලොකු දේවල් නෙවෙයි. හැම ගේකම තියෙනවා. මගේ ගෙදරත් පුංචි තියටර් රූම් එකක් තියෙනවා. සවුන්ඩ්ස් එහෙම පොඩ්ඩක් වැඩි කරලා මම ඒක හදා ගත්තා. බ්ලූරේ වගේ නවීන තාක්ෂණය සහිතව නිවසේදීම චිත්‍රපට නරඹන්න අපට පුළුවන්. විදෙස් රටවල වෙසෙන හැම ශ්‍රී ලාංකිකයකුම වගේ එහෙම කරනවා.

නමුත් ඔබ දක්ෂ රංගන ශිල්පියෙක්. ඔබ කරන්නේ කිසියම් හැදෑරීමක් විනා කවුරුත් කරන දේ කිරීමක් නෙවෙයි නේ?

ඔව්. ඉතින් මම සිනමාවට ආසයිනේ. මට ලොකු කලෙක්ෂන් එකක් තිියෙනවා. දැනටමත් මම චිත්‍රපට දාහතක් විතර එකතු කරලා තියෙනවා. ලෝකයේ විවිධ චිත්‍රපට, ඒවායින් අපේ රංගන ජීවිතයට යම් යම් දේවල් ලබාගත හැකියි කියා මා විශ්වාස කරනවා. ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටයේ මම රඟපෑ චරිතයටත් මේක ඉවහල් වෙන්නට ඇති. නමුත් ඉතින් ඊටත් වඩා අධ්‍යක්ෂවරයා ඉල්ලපු දේ මට දෙන්න පුළුවන් වුණා කියන විශ්වාසය මා තුළ තිබෙනවා.

ඔබ අධ්‍යක්ෂවරයා ඉල්ලන දේ දෙන නළුවෙක් වගේම ඉන් එහාට ගිහින් චරිතයට යම්. යම් දේවල් එකතුª කරන, ඒ චරිත නිරූපණය උදෙසා බොහෝ කැප වෙන නළුවෙක් ලෙස ප්‍රකටයි?

එහෙම නැතුව වැඩක් නෑනේ. කොස්ටියුම් එක ගැන පවා අපි හිතන්න ඕනෑ. දැන් විදෙස් චිත්‍රපටවල කොස්ටියුම්ස් ගැන හරියට සැළකිලිමත් වෙනවා. අපිත් නළු නිළියෝ හැටියට ඒ ගැන හිතන්න ඕනෑ. සමහර වෙලාවට ඇඟට හිර ඇඳුමක් අපට ලැබෙන්න පුළුවන්. එහෙම ඇඳගෙන ෆයිට් කරන්න බෑනේ. ඉතින් ඒ වගේ වෙලාවල්වලට අපි දැනගන්න ඕනෑ අපට අවශ්‍ය දේ කියලා කරවා ගන්න. එවැනි පරිබාහිර සාධකත් හොඳ චරිතයක් නිරූපණය කරන්නට අවශ්‍යයි.

ශ්‍රීනාත්, මේ පාර ලංකාවට ආවේ වෙනදා වගේ තනියම නෙවෙයි?

මගේ දුව මිනුරි චමත්කා ඉපදිලා දැන් අවුරුදු තුනයි. එයා ලංකාවට එක්කරගෙන එන ප්‍රථම අවස්ථාව මේක. මගේ නෑදෑයෝ කවුරුත් එයා දැකලා නෑ. ඒ එක්කම මගේ මෝනත් අවුරුදු හතරකින් විතර ලංකාවට ඇවිත් නෑ. අපි දෙන්නටම එකට නිවාඩු ලැබුණා. ඉතින් ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ත් මේ කාලයේම ප්‍රදර්ශනය වෙන නිසා අපි කල්පනා කළා පොඩි චේන්ජ් එකකටත් එක්ක මෙහෙට එන්න.

ඔය අතරේ චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා නේද?

ඔව්. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ චරිතයක් හම්බ වුණා. ඉතිං ඒකත් රඟපාලා යනවා. ඒ එක්කම කැළුම් පාලිත මහීරත්න ‘හිරු ටී. වී.’ එකට කරන ‘ස්නේහා’ ටෙලි නාට්‍යයට එහෙ ඉන්න කොටම මට ආරාධනා කර තිබුණා. එහි රංගන කටයුතුවලටත් දායක වෙනවා.

ඒ එක්කම ඔබට චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කරන්නත් සිද්ධ වුණා?

ඔව්. ඒ ගැන මම හරිම කනගාටු වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘දුටුගැමුණු’ චිත්‍රපටයට මට ආරාධනා ලැබුණා. ඒක මට ලොකු ගෞරවයක්. මම අශ්වයෝ පදින්න පවා එහෙදි පුරුදු වුණා මේ චරිතය වෙනුවෙන්. දැන් මට ටිකක් හොඳට අශ්වයෝ පදින්න පුළුවන්. ඒක මට වාසියක් වුණා. නමුත් මට ඒ රූගත කිරීම් සිදුවන දවස්වලට නිවාඩු ලබා ගැනීමේ අපහසුතාවක් තිබුණා. මේ චරිතය මගේ උස ගැන හිතලම මාව තෝරා ගත්ත චරිතයක්. ඒත් ඒ අවස්ථා නොලැබීම ගැන දුකයි.

මොකක්ද ඒ චරිතය?

දීඝජන්තු. ඇත්තටම අසංක ඔය වෙලාවට තමයි හිතෙන්නේ ලංකාවේ හිටියා නම් හොඳයි කියලා.

ඔබ ලංකාවේ හිටියා නම් මීට වඩා වැඩි නිර්මාණ සංඛ්‍යාවකට දායක වූ ජනප්‍රිය නළුවකු වෙන්න ඉඩ තිබුණා?

ඇත්තටම. ඒත් ලංකාවේ නොහිටිය එක ගැන මට වැඩියෙන්ම දුක හිතෙන්නේ සිනමාවට, ටෙලි නාට්‍යයට වඩා වේදිකාව මිස් වුණ නිසයි. අපි දැන් වයසට යනවානේ. මේ ජවයත් නැතුව යනවානේ එතකොට. 1995 දී මට හොඳම සහාය නළුවාට හිමි සම්මානය ලැබුණා ‘වරෙන්තු’ නාට්‍යයට. 2005 වසරේ ‘දෙපත් නයි’ හොඳම සහාය නළුවා වුණා. ඉතින් ඔය සම්මාන දෙකත් අරගෙන තමයි මම ඕස්ට්‍රේලියාවට යන්නේ. ඉතින් 2005 ඉඳන් අද දක්වා වූ අවුරුදු නවයක කාලය වේදිකාව මිස් වුණ එක ගැන මට හරිම දුකයි.

ඒ කියන්නේ ඔබ තාමත් වඩා කැමැති වේදිකාවට?

අපි වේදිකාවෙන් උපන් මිනිස්සුනේ. දැන් මේ යුද්දෙන් පස්සේ නැවත වේදිකා නාට්‍යය නිර්මාණය වෙන ප්‍රවණතාවක් තියෙනවා . අපේ තාරුණ්‍යය ගෙවිලා ගියේ යුද්දෙත් එක්කනේ. ඒත් ඒක දැන් බොහෝ දෙනාට අමතකයි. අසංකටම කියලා තිබුණා සොමී රත්නායක හොඳ කතාවක්. ‘යුද්ධයක් අපේ රටේ තිබුණ කියලා අපි අමතක කරන්න හොද නෑ’ කියන කාරණය. එහෙ ඉන්න ලාංකිකයෝ තවම ඒ අතීතය අමතක කරලා නෑ. ඒත් මෙහෙ ඉන්න අයට දැන් ඒ අඳුරු යුගය අමතක වෙමින් පවතින බවකුයි පෙනෙන්න තියෙන්නේ.

නැවතත් වේදිකාවට සම්බන්ධ වෙන්න ඔබට පුළුවන් නේ?

ඔව්. ඇත්තටම මම මේ අවුරුද්දේ දී නාට්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මගේ රංගන ජීවිතයට අවුරුදු තිහක්. ඉතිං ඒක සමරලා වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. එහෙට අවශ්‍ය ‘මධුර ජවනිකා’, ‘ආනන්ද ජවනිකා’ වගේ වේදිකා නාට්‍ය නිර්මාණයක්. මොකද ඒ වගේ නිර්මාණයක් තමයි ගොඩක් වෙලාවකට එහෙට වටින්නේ කියලා මම හිතනවා. අපේ කලාව, සංස්කෘතිය සමඟම නාට්‍යමය ගුණාංග සහිත නිර්මාණයක්. ඒක අද තියෙන හුදු හාස්‍ය රසයෙන් ඔබ්බට ගිය වේදිකා නාට්‍ය නිර්මාණයක් වෙයි.