වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

විජේරත්න වරකාගොඩ ප්‍රසිද්ධ නළුවෙක්. ඔහු රඟපෑ චිත්‍රපට මොනවාද? ඒ ගැන විස්තර ටිකක් දැන ගැනීමට කැමැත්තමි.

ආර්. ඒ. අමරසිංහ

කැලණිය

ආදරයයි කරුණාවයි, ගොළු හදවත, දෙලොවක් අතර, කදිරා, සුහද දිවි පිදුම, ගම්පෙරළිය, නිධානය, පරසතු මල්, අංජානා, ආරාධනා, අරුණට පෙර, මහමෙර උසට ඇතුළු චිත්‍රපට රාශියක රඟපෑවා.

ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක, ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනියන් වන ශ්‍රියාණි අමරසේන, ස්වර්ණා මල්ලවාරචචි සමඟ මෑත යුගයේ චිත්‍රපටවල රඟපා තිබේද?

මිල්ටන් ප්‍රනාන්දු

උතුරු මූදුකටුව

ඔවුන් තිදෙනා මෑතකදී එකම චිත්‍රපටයක රඟපෑවේ නෑ.

70 දශකයේ හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපටයක් වූ ‘බොබි’ තුළින් ජන ප්‍රසාදයක් අත්කර ගත් ශෛලේන්ද්‍ර සිං නම් ගායකයාගේ ගායන දිවිය තවත් චිත්‍රපට කිහිපයකට සීමා වී අවසන් වුණා. ඔහුගේ වත්මන් තත්ත්වය කුමක්ද?

ජානක ඉලුක්කුඹුර

කඩවත

1989 න් පසු ඔහු ගීත ගායනයේ යෙදුණේ නැහැ. 2008 වසරේදී ඔහුගේ ගීත ඇල්බමයක් එළි දුටුවා. ඔහු බෙංගාලි චිත්‍රපටයකත් රඟපෑවා.

පැනයක් අසමින් සරණක් ලැබ ගන්න
ලණුවක් දෙන්න නිළියකගෙ හද බැඳ ගන්න

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

ලණුවක් මොට ද නිළියකගේ හිත ගන්න

තණ්ගුස් නූල හොඳ වැඩි ගෙල ලා ගන්න

සිනමා ශාලාවල නරඹන්නන්ගේ පැමිණීම වර්ධනය නොවූ විට දර්ශන වාර අවලංගු කරන කාලයක් තිබුණත් දැන් එම තත්ත්වය වෙනස්ව ඇතත් සෙනඟ නොමැති බව පවසමින් ප්‍රේක්ෂකයන් එළවා දමන තැනට ඇද වැටිලා. මෙයට විකල්පයක් නැතිද?

ආර්. එච්. එම්. ප්‍රේමසිරි

ගණේමුල්ල

ප්‍රේක්ෂකයන් එළවා දමන සිනමා ශාලා තියෙනවා නම් කියන්න. හැබැයි හරියට ආදායමක් නැතිව සිනමා ශාලාවල චිත්‍රපට පෙන්නන විට ලයිට් බිල ගෙවන්න තරම්වත් ආදායමක් ඕන වෙනවානේ.

‘කතී පතන්ග්’ හින්දි චිත්‍රපටයේ නමේ තේරුම සහ එම චිත්‍රපටයේ තොරතුරු ටිකක් කියන්නකෝ.

තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල

කෑගල්ල

කතී පතන්ග් යනු කැඩුණු සරුංගලයයි. එහි මාධවී නම් තරුණිය කමල් නැමැති වනජීවී නිලධාරියා සමඟ ඇතිවන පේ‍්‍රමය ගැන කියවෙන කතා පුවතක් ඇතුළත්. රාජේෂ් ඛන්නා සහ ආශා පරේක්, ප්‍රේම් චොප්රා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. අධ්‍යක්ෂණය කළේ ශක්ති සමන්තා.

ගායන ශිල්පී රොමේෂ් සුගතපාලගේ ලිපිනය කුමක්ද

වසන්ත කේ. ප්‍රනාන්දු

කැලණිය

175 බී,

ගම්පොළ පාර,

කඩුගන්නාව.

සිංහල චිත්‍රපට පුංචි තිරයේ ප්‍රදර්ශනය සුදුසු දෙයක් ද අර්ජුන්?

කරු මන්දාවල

නාත්තන්ඩිය

තියෙන තරමක් චිත්‍රපට ටෙලිවිෂනයෙන් පෙන්වනවාට නම් මම කැමැතියි. වැඩි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් රඳවා තබා ගත හැකි මාධ්‍යක් තමයි ටෙලිවිෂනය කියන්නේ. කොහොමටත් මම නම් ටී. වී. එකක් ගත්තේ චිත්‍රපට බලන්න මිසක් වෙන වැඩකට ඇතුව නෙමෙයි.

කාන්තා නමකින් ජනප්‍රිය පැරැණි සිංහල ගීත ගායනා කළ ගායකයා කවුද?

විමල් රණසිංහ

ග්‍රෑන්ඩ්පාස්

කාන්තා හඬකින් ගී ගයන ගායකයා කවුද කියා ඇසුවා නම් මේ කාලයේ උත්තර දෙන්න බැහැ විමල්. නමුත් ඔබ අසන්නේ කාන්ති වක්වැල්ල ගැන විය යුතුයි.

කලාකරුවන්ගේ උපන් දින සොයා දෙන සිරි කහවල මහතාගේ උපන් දිනය කවදාද? හැකි නම් දුරකථන අංකයත් ලබා දෙන්න.

මාලනී ජයසිංහ

ගැටහැත්ත

පෙබරවාරි 16.

0714454251.

බටහිර සිනමා නළුවෙකුª වන සෝන් කොනරි ජීවතුන් අතර සිටිනවාද?

ආර්. එස්. වික්‍රමආරච්චි

විගොඩ

ජීවතුන් අතර සිටිනවා. 1930 වසරේ අගෝස්තු 25 වැනිදා උපන් ඔහු දැන් 83 හැවිරිදිය.

කොළඹ නගරයේ ඉදිකර ඇති අංග සම්පූර්ණ සිනමා ශාලාව කුමක්ද?

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

අංග සම්පූර්ණ සිනමා ශාලා අතරට මැජෙස්ටික් සිනමා ශාලාවල ස්ටන්ඩ් සුපිරියර් හා ප්ලැටිනම් සිනමා ශාලා දෙකත් වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව ඇතුළත් වෙනවා. ඒ අතරිනුත් මා වඩා කැමැත්තක් දක්වන්නේ ප්ලැටිනම් සිනමා ශාලාවටයි. හොඳම ප්‍රක්ෂේපන රූප ලබා දෙන්නේ ප්ලැටිනම් සිනමා ශාලාවෙන් තමයි.

හැටේ දශකයේ අධි වායුසමීකරණය කරන ලද ලිබර්ටි හෝ මැජෙස්ටික් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වූ සොලමන් ඇන්ඩ් ශීබා චිත්‍රපටයේ ඩී. වී. ඩී. අපේ රටේ ඇතැයි ඔබ සිතනවාද? එහි රඟපෑ ප්‍රධාන නළු නිළි යුවළ පිළිබඳ හැඳින්වීමක් කළ හැකිද?

සිරිමල් පීරිස්

මොරටුව

ඩී. වී. ඩී. තිබෙනවා. එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ යූල් බ්‍රයිනර් සහ ජීනා ලොලොබ්‍රිගෙල්ලා විසින්.