වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




කාන් උළෙලේ හොඳම චිත්‍රපටය වින්ටර් ස්ලීප්

කාන් උළෙලේ හොඳම චිත්‍රපටය වින්ටර් ස්ලීප්

ඉරාන නිළියට කස පහර පනහක් ?

ප්‍රංශයේ කාන් නුවර වාර්ෂිකව පැවැත්වෙන සිනමා වසන්තය “කාන් සිනමා උළෙල” යි. ලොව ප්‍රමුඛ පෙළේ සිනමා උළෙලක් වන කාන් චිත්‍රපට උළෙලේ මෙවර 67 වැනි සම්මාන උළෙල පසුගිය මැයි 14 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්විණි. එහි ඉහළම සම්මානය වන පාම් ඩී ඕර් (ගෝල්ඩන් පාම්) සම්මානය මෙවර හිමිවූයේ ව්‍යපාරික පුවලක් පසුබිම්කර ගත් කතා පුවතකටය. මේ අනුව නූරි බිල්ජ් සීලන් අධ්‍යක්ෂණය කළ Winter Sleep චිත්‍රපටය මෙවර එම සම්මානයෙන් පිදුම් ලැබුවේය. හලුක් බිල්ග්නර්, ඩිමෙට් ඇක්බග් සහ මෙලීසා සුසෙන් එහි ප්‍රධාන චරිත නිරූපණය කළහ.

ගෝන් ෆී‍්‍ර සම්මානය හිමි වූයේ ඇලිස් රෝචර් අධ්‍යක්ෂණය කළ The Wonders චිත්‍රපටය යි. හොඳම් අධ්‍යයක්ෂණයට හිමි සම්මානය Foxcatcher චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ බෙනට් මිලර් දිනා ගත්තේය. මෙවර කාන් චිත්‍රපට උළෙලේ හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූයේ ජුලියන් මෝරේ විසිනි. Maps to the Stars චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය මෙම සම්මනායට පාත්‍ර විය. හොඳම නළුවාට හිමි සම්මානය Mr. Turner චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් තිමොති ස්පෙල් දිනා ගත්තේය.

හොඳම කැමරාකරණයට හිමි සම්මානය Leviathan චිත්‍රපටය වෙනුවෙන් ඇන්ඩෘස් වැගින්ට්සේව් සහ ඔලෙග් නෙගින් හට හිමි විය. ක්ෂේවියර් ඩොලන් අධ්‍යක්ෂණය කළ Mommy චිත්‍රපටය සහ ජීන් - ලුක් ගොඩාර්ඩ් අධ්‍යක්ෂණය කළ Goodbye to Language  ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූහ.මෙවර ජූරියේ සභාපතිවරිය ලෙස කටයුතු කරන ලද්දේ සුපිරි ස්විට්සර්ලන්තයේ සම්මාන ලාභී සිනමා අධ්‍යක්ෂවරියක, නිෂ්පාදිකාවක මෙන්ම තිර රචිකාවියකද වන ජේන් චැම්පියන් විසිනි.

එසේම මෙවර කාන් චිත්‍රපට උළෙලේදී ද කාගේත් අවධානය යොමු වූ සුවිශේෂ සිදුවීම් මෙන්ම ආන්දෝලනාත්මක සිදුවීමක්ද වාර්තා විය. උළෙල වර්ණවත් කිරීමට පැමිණෙන සුපිරි රංගන තරු අතරේ මෙවර කාගේත් කතාබහට ලක් වූයේ ඉන්දීය සුරූපි නිළි අයිශ්වර්යා රායිගේ පැමිණීමයි. ඇය මෙවර කාන් චිත්‍රපට උළෙලට සහභාගි වූයේ රන් පැහැති ඇඳුමකින් සැරසී ගෙනයි. රොබර්ටෝ කාවෙලි නමැති සුප්‍රකට විලාසිතා නිර්මාණකරුවිසින් එම අලංකාර ඇඳුම නිර්මාණය කර තිබුණි.

2014 කාන් සිනමා උළෙලේ ආන්දෝලනයක් ඇති කරන ලද්දේ උළෙලේ සභාපතිවරයා වූ ගිලස් ජේකොබ් විසින් සම්මානනීය ඉරාන රංගන ශිල්පිනියක වන ලයිලා හටාමි හාදුවකින් පිළිගැනීමයි. මේ මගින් ඉරාන කාන්තාවකගේ පාරිශුද්ධත්වයට නින්දාවක් සිදු කළ බව ඉරාන මාධ්‍යය වාර්තා කර තිබුණි. තවද ඇය මෙම සිනමා සම්මාන උළෙලට සහභාගිවීමද එරට ආගමික විශ්වාසයන් උල්ලංඝනය කිරීමක් බවත් ඉරාන බලධාරින් එහිදී චෝදනා කර තිබේ. තවද ඇතැමුන් මේ පිළිබඳ පවසා ඇත්තේ ඇයට කසපහර පනහක් ලබාදිය යුතු බවයි.