වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනයකි

ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනයකි

සියලු භෝග වස්තු ඉසුරු - හරිති නෙක් දනෝ
සව් සැපදෙන සිතුමිණ වන් - ප්‍රේමය සන්දා

 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න

මනුෂ්‍යයන් දහසක් අතරෙන් සිය මතකයෙහි රැඳුණු විශේෂිත මිනිසුන් කිහිප දෙනෙක් ඔබගේ ජීවිතයට නව අර්ථයක් සැපයූ බවක් ඔබට මතක තිබේද? ඒ පිළිබඳ නැවත නැවතත් ඔබගේ සිහියට නගන්න. එවැනි අය ඉතිරි කර ගිය මතකය අපගේ අනාගත ජීවිතයට අපූර්ව මං සලකුණත් වනු නියතය. ඒ අතීතය පිළිබඳ සිහිපත් කරමින් ‘මතක ගී පොත’ට මෙවර සහභාගි වන්නේ සිංහල සාහිත්‍යයට මනා සේවයක් කළ සාහිත්‍යධරයකු හා ගේය පද රචකයකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයි.

ගඟ දිය හැපී නඟන ස්වරයෙහි ගීතවත් බවට දෙසවන් යොමා සිටි මම මත්ස්‍යයෙක් හඬ නඟා දඟලන්න වූයෙන් එදෙස නෙත් විවර කර බැලීමි. වෙනදා නැති අයුරෙකින් ගං දිය සසල වේ යැයි මට සිතුණේ ඉබේටමය. වැහි අඳුර නිසා අවට වෙනදා නැති අඳුරක් අරක් ගෙන තිබිණි. ගතට සුවය ගෙනෙන මඳ නලෙහි ද වූයේ වෙනදාට වඩා සිසිලසකි. ගුවන් විදුලි යන්ත්‍රයෙන් ඇසෙන සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාට්‍යයෙහි ගීතයෙහි ස්වරයට යළිත් මම සවනත යොමු කළෙමි. ඒ ස්වරය ඔස්සේ මගේ සිතේ ඇඳුණේ සරච්චන්ද්‍රයන්ගේ රූපකායයි. ඒත් සමඟම මා ‘සිංහබාහු’ නැරැඹූ ඒ සොඳුරු දවස මතකයට පිවිසියේ නිතැතිනි. එකල අපි පාසල් ශිෂ්‍යයන් වීමු. මා පාසල් ගියේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයටය.

වේදිකාවට තිබුණා වූ නොතිත් ආශාව අපගේ සිතෙහි වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ලුම්බිණි රඟහලය. අප කොතරම් එකල නාට්‍ය රසිකයන් බවට පත් වී සිටියේ ද යත්, සෑම සැඳෑ කාලයකම වේදිකා නාට්‍යයක් රංග ගත වුවහොත් එය නැරැඹීමට අමතක නොකළ දිනක් නම් මගේ මතකයේ ලියැ වී නොමැත. මේ ආකාරයට සිතෙහි හට ගැණුණු ආශාව නිසා නැරැඹූ වේදිකා නිර්මාණ පසුකාලිනව මා නිර්මාණකරුවෙකු ලෙස ඉස්මතු වීමටත්, මගේ නිර්මාණවලටත් කළ බලපෑම මට අමතක නොවේ. අප නාට්‍ය ප්‍ර‍්‍රවේශ පත්‍ර මිල දී ගත්තේ නිවෙස අසල ඇති ඩබ්ලිව්. ජේ.ගුණවර්ධන සහ පුත්‍රයෝ සාප්පු සංකීර්ණයෙන්ය. මා මෙන්ම සොහොයුරු තිලක් අයියාත් (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා) අපූරු නාට්‍ය රසිකයන් වූ බවත් මෙහිදී මට නොකියා සිටිය නොහැකිය.

වරෙක නාට්‍ය කලාවේ සංදිස්ථානයක් බඳු වූ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නරැඹීමට ඉටා ගත් මමත්, තිලක් අයියාත් ඒ සඳහා සූදානම් වූයේ සති කිහිපයකට පෙරය. එකල ප්‍රවේශ පත්‍රයක මිල රුපියලක් පමණ විය. නාට්‍ය නැරැඹීමට මුදල් නිවෙසෙන් නොලැබුණ හෙයින් ඒ සඳහා මුදල් ඉතිරි කර ගැනීමට සිදුවූයේ අපට එදිනෙදා වියදමට ලැබෙන මුදලෙනි. එසේ අප ඉතිරි කරගත් මුදල ගෙන ‘සිංහබාහු’ වේදිකා ගතවුණු දිනයේ මමත්, අයියාත් බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවට ගියේ රටක් රාජ්ජයක් ලද්දකු ලෙසිනි. ඒ 6.30 දර්ශනය නැරැඹීම සඳහා බව මට අද මෙන් මතකය. ඒ මුදලෙන් හිමිවන පිටුපසම ආසනයට පිවිසෙන අපට වේදිකාව වෙනුවට පෙනෙන්නේ හිස් ගොඩකි.

ඒ නිසා අපි පුටුවෙහි ඇන්ද මතට නැඟ නාට්‍යය නරඹන්නට වීමු. එකල සිංහයාගේ චරිතය රඟපෑවේ මාක් ඇන්ටනීය. නාට්‍ය අවසාන වී සිංහයා දකින ආශාවෙන් පෙළුණ අපි සෙමෙන් වේදිකාව මතට පිවිසීමු. පේ‍්‍රක්ෂකයන් පිරිසක් වට කරගෙන කතාබහ කරමින් සිටි සරච්චන්ද්‍රයන්ව මුල් වරට මා නෙත ගැටුණේ ඒ ඇසිල්ලෙහිය. ඇසිපිය නොසොල්වා මම ඔහු දෙසම බලා සිටියෙමි. ඒ මේ අපූරු නිර්මාණය වේදිකාවට රැගෙන පැමිණි මිනිසා නොවේදැයි යන අදහස පෙරදැරිවය. ආපසු එන්නට පිටත් වූ තැන් පටන් ‘සිංහබාහු’ නාට්‍ය සම්බන්ධයෙන් අප කළ කතාබහ අවසාන වූය් නිවෙස අසලෙනි. එතැන් පටන් ‘සිංහබාහු’ නාට්‍යයට ප්‍රිය කරන්නට වූ මට එහි ගීවල මියුරු ස්වරය හදවත පත්ලෙහිම තැන්පත් වූ බවක් හැඟී ගියේය. එහි එන මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරන්නට වීමි.

සුප්පා දේවී -

ප්‍රේමවන්ත දරුවෙනි මා - හිඳිණු කන් යොමා
කියමි පුවත සැක දුරැරා - අසන නිතියෙනා
මෑණිය නුඹ දෙදෙනගෙ වේ – කුමරියක් මනා
පසිඳු මහගු වංග දේසෙ - නරවරා හට දා

සිංහබාහු -

කිම්ද මෑණියනි ඔබ මේ – පවසන වදනා
ඇස් කන් ඇදහිය නෙහේය – ඇසෙන මෙ අරුමා
ඔබ පා මුල හිඳුවා මා - වැඩෙන වයසෙදි
රාජ කතා කී විසිතුරු - දැන් සිහි වන්නේ
සැප සයනා සුවඳ බොජුන් – තුමුල මාලිගා
ඈ සම්පත් හැරදා ඇයි - මෙලෙස වෙසෙන්නේ

සිංහ සීවලී -

මහාචාර්ය
එදිරිවීර සරච්චන්ද්‍ර

දයානන්ද ගුණවර්ධන

රාජ කුමරියෝ පලඳති – රන්මිණි බරණා
සිනිඳු වස්ත්‍ර හැඳලා රන් – මිරිවැඩි සඟලා
පින් පිඬ වැනි මා මෑණිය – කියනු නොවළහා
ඇයි ද වල්කලා පොරවා - ලෙන තුළ ඉන්නේ

සුප්පා දේවි -

සිනිඳු වස්ත්‍ර මිණි අඹරණ – තුමුළ මාලිගා
සුවඳ බොජුන් සැප සයනා - මිරිවැඩි සඟලා
මේ සියල්ල හැරදා මම – ආවෙමි වලටා
වෙසෙන ලෙසා ඔබ පිය මා - සමිදුන් සමඟා

සිංහබාහු සහ සිංහ සීවලී -

ඇයි ද පියාණන් සමඟා - ලෙනෙහි වෙසෙන්නේ
හැර දමා එ රාජ ඉසුරු - උවදුරු අතරේ
රිසි නොවී ද මා පියාට – වාසෙ මාලිගේ
සියුමැලි ඔබ කැටුව ඉන්ට - මේ වනාන්තරේ

මහාචාර්ය
එදිරිවීර සරච්චන්ද්‍ර

දයානන්ද ගුණවර්ධන

සුප්පා දේවි -

අසිරිමත් වූ දේකි මෙලොව - ප්‍රේමය නමිනා
වැනූ පොරණ කිවිදුන් සොඳ - රස මුසු බසිනා
සියලු භෝග වස්තු ඉසුරු - හරිති නෙක් දනෝ
සව් සැප දෙන සිතුමිණ වන් - ප්‍රේමය සන්දා

(මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාටකයෙනි.)

සිංහ සීවලී, සිංහබාහු හා සුප්පා දේවි අතර සංවාදයක් ලෙසින් ඇරැඹෙන මේ ගීතය මගේ හදවත සොරා ගත්තේ එක්වරමය. මේ නාට්‍ය ඔස්සේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය කවීත්වය මැනවින් ඔප් නැංවී පෙනේ. ඒ නිසා අද වෙනතුරු ඔහුගේ කවීත්වයට ළංවීමට කිසිවකුටත් නොහැකි වී තිබෙන වග මා පවසන්නේ ස්ථිරසාර වදනෙනි. කවියෙන් පමණක් නොව ඔහු අග්‍රගණ්‍ය ගීත රචකයකු ද වන්නේ යැයි මම පවසමි. ඔහු වේදිකාවට ගෙන පැමිණි නාට්‍ය දෙක තුනක හැරෙන්නට අන් සියලු නිර්මාණවලම ගීත අන්තර්ගත වූ බව අප අමතක නොකළ යුතු කාරණයකි. කවීත්වයේදී ඔහු තරම් ශ්‍රේෂ්ඨයෙක් මෙතෙක් මට හමු නොවුණු තරම්ය. අන් කෙනෙකුට නොලැබුණු අපූරු භාග්‍යයක් එකල මා සොයා අවේය. ඒ සරච්චන්ද්‍රයන් නම් වූ ශ්‍රේෂ්ඨ කවියා ඇසුරු කිරීමේ ඉඩහසරය. එය උදා වන්නේ ‘යෙර්මා’ නමැති නාට්‍ය පිටපත පරිවර්තනය කිරීමේ කාර්යයට ඔහු මාව ද හවුල් කර ගැනීමෙනි. ඒ අවුරුද්දේ පැවතුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලෙහිදී අප දෙදෙනාටම හොඳම පරිවර්තන කෘතියට හිමි සම්මානය ද හිමි වූ වග මගේ මතකයේ කොණක රැඳී තිබේ.

දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක්මහ දීගේ’ චිත්‍රපටයේ එන මේ ගීතයට ද මම බෙහෙවින් ප්‍රිය කරමි.

මලකින් මලකට ගොස් පැණි බොන්නද
මා හිමි බඹරුනි ඔබ සැරැසෙන්නේ
කළුවර මහ රෑ කෙලෙසද හිමියන්
මල්වල හැඩ රුව හඳුනා ගන්නේ

අලුත් මලක් යැයි අමතක වී ඔබ
පැණි බිව් මලටම වැරැදී න්නේ
ඒ ආ විට මම පෙති හකුලා ගෙන
නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ
 

ගේය පද - දයානන්ද ගුණවර්ධන

සංගීතය - සෝමදාස ඇල්විටිගල

ගායනය - විශාරද නන්දා මාලිනී

කලකට පෙර එක්තරා සිනමා පුවත්පතකින් මා කැමැතිම ගීතය කුමක්දැයි ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් අවස්ථාවේ මා එහිදී තෝරා ගනු ලැබුවේ ද මේ ගීතයමය. ඒ නිසා මේ ගීතය අසන විට, දයානන්ද ගුණවර්ධනයන් එක් වරෙක මුණ ගැසුණු අවස්ථාවක් මට සිහියට නැෙඟ්. ඒ චිත්‍රපට සංස්ථාවේදීය.

‘ඔබට බොහොම ස්තුතියි’

ඔහු මා අමතා පැවසූ ඒ වදන මට කිසි දිනෙක අමතක නොවේ. මා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.

‘ඔබ කැමැතිම ගීතය වෙනුවට මගේ ගීතය තේරුවට’

ඔහු පැවසුවේ සිනාමුසුවය.

එමෙන්ම මා වේදිකා නාට්‍යයක් නැරැඹූ ප්‍රථම අවස්ථාව පිළිබඳව ද මේ සමඟම මට සිහිපත් වෙයි. ඒ දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරි බෑණා’ වේදිකා නාට්‍යයයි. ‘නරිබෑණා’ ගුරු අභ්‍යාස විද්‍යාල වේදිකාවේ එකල වේදිකා ගතවූයේ දෙවැනි හෝ තෙවැනි දැක්ම ලෙස බව වන මතකයක් මා සතු වෙයි. ඒ මෙන්ම ඒ නාට්‍ය නැරැඹීම මගේ මතකයෙහි ලියැ වී තිබෙන්නේ විශේෂ වූ හේතුවක් නිසාත් බව ද කිව යුතුමය. ඒ එකල වේදිකා පරිපාලකයකු වූ පී.බී. කුමාර පතිරණ නම් වූ තැනැත්තා හා මා ඇසුරයි. මාව ‘නරිබෑණා’ නාට්‍යය නරඹන්නට රැගෙන ගියේ ඔහු ය. ඒ මට එකල නාට්‍ය පිළිබඳව වැළඳී තිබුණු නාට්‍ය උණ ගැන මනා අවබෝධයක් ඔහුට වූ නිසාමය. .

එදින මා වේදිකා නාට්‍ය නැරැඹූයේ ප්‍රේක්ෂාගාරයෙහි සිට නොව වේදිකාවේ පැති තිරය අසල සිටිමිනි. මේ නිසා මට දයානන්ද ගුණවර්ධන යන ඒ අපූරු නාට්‍යවේදියා පළමුවරට දැක ගැනීමේ ඉඩහසර පෑදුණේ එහිදීය. ඔහු වේදිකාවේ තිරය පිටුපස සිට වේදිකා නාට්‍ය වේදිකා ගත වී අවසාන වනතුරුත් බොහෝ ආතතියක් සිතෙහි රඳවමින් එහාටත් මෙහාටත් දුව පැන ඇවිදින අයුරු මට දැක ගත හැකි විය. ඔහු පිළිබඳ දන්නා නාට්‍යවේදින්ට නම් ඒ දසුන අරුමයක් නොවෙනු ඇත. මට ඔහු ළඟින් ඇසුරු කිරීමට හැකිවූයේ මගේ ආචාර්ය උපාධිය සඳහා ‘මධුර ජවනිකා’ වේදිකා නාට්‍ය පිළිබඳ කරනු ලැබූ පර්යේෂණ මාතෘකාව හේතුවෙනි. කෞතුකාගාර පුස්තකාලය ඇතුළත මාසයක් පමණ දෛනිකව මුණ ගැසුණු ඒ සොඳුරු ඇසුර මගේ මතකයෙන් කිසිදු දිනෙක ගිලිහී නොයනු ඇත.

ඒ ඇසුරෙන් පසු කාලයේ දී මේ ගීතය ඇසෙන සෑම මොහොතේම ඒ අතීතතය මා සොය පැමිණෙන අයුරු මම සෑම දිනෙකම අත් විඳිමි. ‘බක්මහ අකුණු’ වේදිකා නාට්‍යය නම් අනුවර්තනය පසුකාලීනව ‘බක් මහ දීගේ’ නමින් චිත්‍රපටයක් බවට පරිවර්තනය වන අතර වේදිකා නාට්‍යයේ එන ගීත දෙකක් හෝ තුනක් හැරෙන්නට අනෙක් ගීත සියල්ලක්ම චිත්‍රපටයට යොදගෙන තිබීම ද විශේෂත්වයකි. වේදිකා නාට්‍යයේ ගීත ගැයු ශිල්පීන් හා ශිල්පිනියන් චිත්‍රපටයට නොයොදා ගැනීමටත් දයානන්ද ගුණවර්ධනයන් පරෙස්සම් වී තිබීම ඥානාන්විත ක්‍රියාවක් ලෙස මම දකිමි. සෝමදාස ඇල්විටිගලගේ සංගීතයත්, නන්දා මාලිනීගේ මියුරු ස්වරයත් ඒ ගීතයට මනා අර්ථයක් සපයනු ඇත. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට නොදෙවෙනි වූ ප්‍රතිභාවක් පෙන්නූ දයානන්ද ගුණවර්ධනයන් ද ගීත රචකයන්ගේ නාමාවලියට ඇතුළත් නොවන්නේ බොහෝ කේවල ගීත රචනා නොකළ බැවින් යැයි මගේ සිත පවසයි.

කේවල ගීත කිහිපයක් සරච්චන්ද්‍රයන් ලියා තිබුණ ද ඒවා ජනප්‍රිය ගීත රචනා නොවූ අතර, නාට්‍ය ගීවලට අමතරව දයානන්ද ගුණවර්ධනයන් ලියුවේ ගුවන් විදුලි ගීත ලෙස ප්‍රකට ‘සොඳුරිය ඔබගේ උවන මලක් නම්’ ගීතය පමණක් බව මගේ දැනුවත් බවේ හැටියට මම හෙළි කරමි. ඒ නිසාදෝ මෙම ශ්‍රේෂ්ඨ කවියන් දෙදෙනාම ගීත රචකයන් ලෙස අප අතරට නොපැමිණෙයි. එනමුදු මේ නාට්‍යවේදීන් දෙදෙනාගේම ගීත සෑම දිනෙකම මගේ හදවත ඇඳ බැඳ තබනු නියතය.