වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ආදර දෑසක් දර්ශන තලයේ රස තොරතුරු

එක් වී රස ගොඩක් - හැදෙයි ආදර දෑසක්

ආදර දෑසක් දර්ශන තලයේ රස තොරතුරු

උදාරිගේ අයිස් පැකට් සංග්‍රහය

ඩුප්ලිකේට් දත් සෙට් එක මහරගම කුණු බක්කියේ

සඳුන්ට බට්ටො මාරු වෙලා

විශාල පිපිරුමෙන් ඇරැව්වල ගිගුම් දුන්නේය. ‘බුදු අම්මෝ’ එකිනෙකා සී සීකඩ දුවන්නට පටන් ගත්තත් බට්ටන්ගේ පිපිරීමෙන් පිරිස සිනහ පිරුණු මුව සරසා ගත් වනමය. තවත් පිපිරුම් හඬක්. කලබලයෙන් දිව ගිය පිරිසෙහි නළුවන් කිහිප දෙනකු සහ රියදුරන් කිහිප පොළකි.

පිපිරුමෙන් තිගැස්සුණ මමත් ඇරැව්වල ප්‍රධාන දර්ශන තලයේ විශාල අඹ ගහ යට සිට වෙන දේ ගැන බලා සිටියෙමි.

‘බය වෙන්න එපා. අපේ එවුන්ගේ වැඩක්. අඹ ගහ අසලට පැමිණියේ ‘ආදර දෑසක්’ ටෙලි නාට්‍යයේ විධායක නිෂ්පාදක නීල් රුක්මන්ය.

‘මොකද මේ එක පාරට වුණේ?’

ඈතින් පැමිණි සඳුන්ගෙන් මම ඇසුවේ තරමක් කෝපයෙනි.

‘අපේ තියෙනවා වෑන් එකක්. මේකෙ තියෙනවා නියම ටී. වී. එකක්. වැඩ නැති වෙලාවට කට්ටිය එකතු වෙලා ෆිල්ම් බලන්නේ මේ වෑන් එකේ. වැඩිපුරම ටැමිල් ෆිල්ම්, හින්දි ෆිල්ම්, ඉංග්‍රීසි ෆිල්ම් තමයි බලන්නේ. අද බැලුවේ ටැමිල් එකක්. මේකෙ තියෙනවා බෝම්බ පුපුරන දර්ශනයක්. අපේ නළුවො දෙතුන් දෙනකුත් වෑන් එකේ හිටියා. අපේ කට්ටිය කළේ බට්ටො රතිඤ්ඥා දහයක් විතර ගෙනල්ලා ෆිල්ම් එකේ බෝම්බ පුපුරන වෙලාවටම බට්ටො ටිකක් පත්තු වෙන්න සෙට් කළා හරියටම. බෝම්බෙ පත්තු වෙන කොටම බට්ටො පර්සලෙත් පත්තු වුණා. කට්ටිය සී සීකඩ දිව්වේ ඔන්න ඕක නිසා.

සඳුන්ගේ කතාව මට ගෙන ආවේ ද හිනාවකි. ඒ කතාව සමඟම අපගෙ නෙත් යොමු වූයේ ආදර දෑසක් දර්ශන තලය වෙතටය.

‘ආදර දෑසක්’ කලක් රටක් ආදරයෙන් නැල වූ ආත්මීය නවකතාවක ටෙලිවිෂන් රූප සිත්තමකි. සුජීව ප්‍රසන්න ආරච්චි විසින් රචිත මේක ආදර දෑසක් රූපවාහිනියට රචනා කරනු ලබන්නේ අරුණ ප්‍රේමරත්න විසින්. චායා, උතුම් පැතුම් වැනි ප්‍රේමනීය ටෙලි පින්තාරු තිරයට ගෙන ආ සඳුන් රාජකරුණා ‘ආදර දෑසක්’ අධ්‍යක්ෂණය කරනු ලබයි.

සුනාමි ව්‍යසනයේදී රෝගාතුරව රෝහල් ගත වූ නම නොදන්නා තරුණියක වටා මෙම කතාන්දරය දිවේ. භූමිකා ලෙස රෝහල් වෛද්‍යවරයා විසින් හඳුන්වනු ලබන මෙම තරුණියට අතීතයේ කිසිවකුත් මතක නැති බැවින් රෝහලේම රැඳේ.

වෛද්‍යවරයා හදිසියේ විදේශ ගතවීමත් සමඟ භූමිකා සුජාතා නම් තම මිතුරියගේ නිවෙසේ නවතා යයි.

සුජාතාගේ පුතු මහේල සමඟ භූමිකා පෙම් සබඳතාවයක් ගොඩ නගා ගත් කතාව මෙසේ දිවෙන්නේ ප්‍රේක්ෂකයා නොසිතන නොපතන අන්තයක් කරාය.

ප්‍රේක්ෂකයා නොසිතන දේ සිදුවන ‘ආදර දෑසක්’ හි දර්ශන තලය තුළ ද සිදු වන්නේ කිසිවකුත් නොසිතන නොපතන දේය.

මේ අංජලි දෝණිගෙ දත් ටික නැතිලු. කලා අධ්‍යක්ෂ සිසිර කුමාර වහාම පැමිණියේ සඳුන් සහ මා උන් ගස් සෙවණ දෙසටය.

නිෂ්පාදක
ආචාර්ය උපුල් ජයසිංහ

නවකතාවේ රචක
සුජීව ප්‍රසන්නආරච්චි

‘මොකද වෙලා තියෙන්නෙ’

‘නෑ දැන් ටිකකට ඉස්සෙල්ලා පොලේනෙ ෂූටිං තිබුණෙ. දුවගේ දත් ටික අම්මගෙ අතට දුන්නා. එයා පොලේ කුණු බක්කියට දාල අමතක වෙලා.

සඳුන්ගේ මුවෙහි ඇදුණේ කෝපාවිෂ්ට සිනාවකි.

‘මාර වැඩේ අපේ අංජලී බබාගේ දත් හැලිලනේ තියෙන්නේ. ඒකට දත් සෙට් එකක් හැදෙව්වා. අම්මට කිව්වා දත් ටික අතට දීලා ප්‍රවේශම් කරගන්න කියලා.

අම්ම මතක නැතුව මහරගම පොළේ කුණු බක්කියට දාල පේපර් සර්වියට් එකත් එක්ක.

ඉතිං පොළේ හෙව්වෙ නැද්ද?

පැනය මගෙනි.

මේ කට්ටිය පොළ පෙරලල කුණු බක්කි ඇදල හොයලා. ඒත් හම්බ වෙන්නේ නැතිම තැන තමයි මට කිව්වේ. මං බලල ඉක්මනට එන්නං.

අධ්‍යක්ෂක
සඳුන් රාජකරුණා

සඳුන් නැගිටගත් වනම මා සිටි තැනට ආවේ කාර්මික අංශයේ සහෝදරයෙකි. ඔය බට්ටො කතාවක් කිව්ව නේද අධ්‍යක්ෂතුමා. ඒ කතාවේ මාර කතාවක් වුණා. කට්ටිය වැඩේ ප්ලෑන් කරල ඇවිත් කිව්වා බට්ටො ගේන්න ඕනේ කියලා. සඳුන් කියනවා බට්ටො ගේන්න වැවක් ගාවට යන්න ඕනැයි කියලා. හැමෝම හිනා වුණා. එයා හිතුවේ බට්ටො කියලා මාළු ජාතියක් තියෙනවානේ, ඒක ගෙන්න අපි යන්න හදනවා කියලා. මොකද බට්ටො ගේන්න යන්න ගිය කෙනා කිව්වේ හවස වැඩේට බට්ටො ටික අරන් එන්නං කියලා. අධ්‍යක්ෂතුමා හිතුවේ හවස පාටියට බට්ටො මාළු ගේන්න වෙලා යන්න හදනව කියලයි.

මෙවැනි රස කතා ආදර දෑසක් හි දර්ශන තලයේ බහුලය. ඒ අතර උදාරිගේ අයිස් පැකට් කතාවට හිමිවන්නේ විශේෂිත වූ තැනකි.

ඒ කතාව මෙසේය.

අමිල, කාවිංග, චන්දික වගේ අය දර්ශන තලයට එනකොට අයිස් ක්‍රීම්, මාළු බනිස් වගේ දේවල් නිතරම අරන් එනවලු. දවසක් උදාරි මේක බලාගෙන ඉඳලා තවත් කෙනෙකුට කිව්වලු මමත් හෙට මොනව හරි කන්න අරං එන්නං කියලා. ඊළඟ දවසේ උදාරි මල්ලක දාගෙන යාළුවන්ට කන්න දෙයක් ගෙනල්ල. මේ මල්ල පුරෝල තිබිල තියෙන්නේ රුපියල් දෙකේ අයිස් පැකට්. කිසිම කෙනෙක් කන්න තියා මේ අයිස් පැකට් දිහා බලලවත් නැහැ. උදාරි දවසෙම මූණ එල්ලගෙන බංකුවක් උඩට වෙලා හිටිය කියලා තමයි කතාවේ කියැවෙන්නේ. හවස යද්දී උදාරි බීම පැකට් ගණං කරල බැලුවලු. එයා කාපු එක ඇරෙන්න කවුරුවත් අරන් තිබුණේ නෑ කියලා තමයි අපට කතාව කිව්ව කෙනා ප්‍රකාශ කළේ. මේ කතාව පත්තරේ දැකලා උදාරි රෝල්ස්, පැටිස්, කට්ලිස් ගෙනල්ල සංග්‍රහයක් කරන්නත් බැරි නෑ කියලා ඒ කියන කෙනා තවදුරටත් ප්‍රකාශ කළා.

සහෝදරත්වය, ආදරය වගේම එකමුතුකම මේ දර්ශන තලය පුරා පැතිරී ඇති වග නම් ඒකාන්තයි. ඒ ශක්තිය අතරේ විනෝදයට පොඩි මඩක් ගහන්නටත් කවුරුත් අමතක කරන්නේ නැහැ. ඒත් බට්ටො පත්තු කළ කතාවයි, බට්ටො හෙව්ව කතාවයි, දත් ඇන්දේ කතාවයි, උදාරිගෙ බීම පැකට් කතාවයි ඔප්පු කරන්න සාක්ෂි නම් ඕනෑ තරම් තිබුණා. තව කතා අහන්න වෙලාව නොතිබුණු නිසා අපි හැන්දෑවට කලින් දර්ශන තලයෙන් නික්මුණේ සතුට හිතේ පුරෝගෙන.

නළු නිළි පිරිවර -

උදාරි වර්ණකුලසූරිය, අමිල අබේසේකර, කාවිංග පෙරේරා, අමීෂා කාවින්දි, මීනා කුමාරි, ප්‍රියන්ත සෙනෙවිරත්න, චන්දික නානායක්කාර, අංජලි ලියනගේ, ප්‍රියන්ත ලලිත්, නිල්මිණි කෝට්ටේගොඩ, චරිත් සේනානායක, මනීෂා ශ්‍යාමලී, නිශාන්ත ජයවික්‍රමආරච්චි
අධ්‍යක්ෂණය - සඳුන් රාජකරුණා
නිෂ්පාදනය – ආචාර්ය උපුල් ජයසිංහ
කතාව - සුජීව ප්‍රසන්න ආරච්චි
විධායක නිෂ්පාදනය – නීල් රුක්මන්, ලලිත් වසන්ත
රූපවාහිනි රචනය – අරුණ ප්‍රේමරත්න
සංස්කරණය - සමන්ත වික්‍රමසිංහ
කැමරා අධ්‍යක්ෂණය – මංජුල රොෂාන්
සංගීතය - ශාන්ත ජයලත් තිසේරා
අංග රචනය - සුපුන් සුමුදු, ධනුෂ්ක හුලංගමුව
කලා අධ්‍යක්ෂණය - සිසිර කුමාර වන්නිනායක
තේමා ගී රචනය – චන්න ජයනාත්
ගීත ගායනා - වෛද්‍ය ඒලියන්ත වයිට්, අමිලා නදීෂානි, ජයන්ත දිසානායක