දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නෙමි
දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නෙමි
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි
ගේයපද රචිකා දයා ද අල්විස්
මෙවර ‘මතක ගී පොත’ විශේෂාංගයට සහභාගි වන්නේ දක්ෂ නිවේදිකාවක් මෙන්ම ගේයපද රචිකාවක්
වන දයා ද අල්විස් ය. මේ වනවිට විවේකී සුවයෙන් සිටින ඇය කලකට පෙර ලියූ ‘නොහඬන්
සූරියකාන්තා’, ‘නෙතින් නෙත බලාලා’, ‘දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට’, මා හිස පිරිමැද’,
‘හිරු වඩින මාවතේ’ රසිකයන් අතර ඉතා ජනප්‍රිය ගීත කිහිපයකි. ඈ සිය අතීත මතකය පිළිබඳ
මෙසේ සඳහනක යෙදෙයි.
සීනීයස් මල්යායේ රෝස පැහැය නෙතට රැගෙන එන්නේ සුවයකි. ඒ සුවය වඩාත් අර්ථවත් කරන බැස
යන සැඳෑ හිරුගේ කිරණ පරිසරයට මුසු කළේ සිත නිවී සනසන ශාන්ත බවකි. ඒ ශාන්ත බවත්,
ගෙමිදුල අවට වූ නිහඬ බවත් මදකට හෝ බිඳෙන්නේ පාරේ යන වාහනයක නැඟෙනා නළා හඬකිනි.
හාන්සි පුටුවෙහි සුවපහසු ලෙස ඈදිගෙන උන් මා හරි බරි ගැසුණේ පෙර විඳි සුවය යළිත්
විඳිනු පිණිසය.
සුදෝ සුදට පිපී දිලෙන ඉද්ද පඳුරේ මල් සුළඟට සෙල වෙන්නේ මට අත
වනන්නාක් මෙනි. කොණ්ඩා කුරුලු ජෝඩුවක් ඉද්ද අත්තක වැසුවේ තම කැදැල්ල සොයා යන
අතරතුරය. පරිසරයෙහි නිහඬ බව වඩාත් තීව්‍ර කරමින් නිවසේ වූ නිහඬ බවද මගේ සිතිවිලි
අතීතය කරා රැගෙන යන්නේ ඉබේමය.
එකල නම් තත්පරයක්වත් නිහඬ බවේ නොගිලුණු නිවෙස සුරංගිගේත්, තරංග පුතුගේත්
දඟකාරකම්වලින් හා සිනහ හෙඬන් පිරී ඉතිරී තිබුණි. ඔවුන් දෙදෙනාව බලා ගත්තේ මගේ
සොහොයුරියයි. අලුයම ගුවන් විදුලිය සොයා යන මා නැවත නිවෙසට පිවසෙන්නේ සැඳෑ අඳුරත්
සමඟ ය. එවැනි දුෂ්කර කාල පරිච්ඡේදයකදී පුතුත්, චූටි දූත් කිසිදු කන්කෙඳිරියක්
නොනගාම මා වටහා ගෙන සිටීම මට අස්වැසිල්ලක් වූවාය. මා ඉඳහිට නිවාඩුවකට නිවෙසට වී
සිටීම ගැන ඒ මොහොතේ ඔවුන් දෙදෙනාට ගෙනෙන සතුට කියන්නට වචන නොමැති බව මම දනිමි.
ගෙවත්තේ වැඩක යෙදෙන මා අසලට වී චූටි කුරුලු පැටික්කියක් නොනවත්වා කිචි බිචි ගාන්නා
සේ කියවන චූටි දුව දෙස වරෙක මා බලා සිටින්නේ පුදුමයෙනි. ඈ අසලට පැමිණෙන තරංග පුතු
ඇගේ කොණ්ඩයෙන් අදියි. ඔහුව හඹා යන චූටි දුවගේ කෑ ගැසිල්ලෙන් මුළු ගෙවත්තම පිරී
යන්නේ සැනෙකිනි. අයියාගේත්, නංගීගේත් රණ්ඩුව පිළිබඳ මට ගතු කියන ඈ ඊළඟ හෝරාවේදී
පුතු සමඟ කිරි පැණි මෙන් මිතුරුව සෙල්ලමක යෙදෙන අයුරු දකින මගේ මුවඟට ඉබේටම සිනා
නැගෙයි. මේ දැනුදු ඔවුන් නිවසෙහි සැරිසරන වග මට හැඟෙයි. අතීතය වර්තමානයට රැගෙන
පැමිණෙන ඒ සිතුවිල්ල මගේ සිතුවිලි දැහැන බිඳ දමයි. එනමුදු යළිත් ඒ සිතුවිල්ල සොයා
ඇදෙන සිත මා අතීතයට රැගෙන යන්නේ නිතැතිනි.
එකල ගුවන් විදුලියට බෙහෙවින් පෙම් කළ මම ඉන් ඇසෙන සමහර ගීතවලට දැක් වූයේ ඉමහත්
කැමැත්තකි. ඒ ගීත අතරට ගැනෙන ‘සුදු හාමිනේ’ ගීතය ඇසෙන මොහොතක මම කුමන කටයුත්තක නිරත
වී සිටියත්, කොතැනක සිටියත් ගුවන් විදුලිය අසලට පැමිණෙන්නට අමතක නොකරමි.
‘ඕක ඉතිං අම්මාගේ තේමා ගීතය නේ’
එවැනි වරෙක සුරංගි කියන්නේ මගේ ප්‍රියතම ගීතය පිළිබඳ දන්නා බැවිනි. ඈ කවදාත් ඒ ගීතය
හඳුන්වා දුන්නේ තේමා ගීතය නමිනි. නන්දා මාලිනියන් මියුරු ස්වරයෙන් ගයන මේ ගීතයේ පද
බැඳ ඇත්තේ සුනිල් ආරියරත්නයන්ය. ඒ ගීතයට සංගීතය මුසු වූ කළ නැගෙන අපූර්ව බවට මම අද
ද ප්‍රිය කරමි.
වසර විස්සක් තරම් වයස් සීමාවේ උන් කාලයේ පටන් මේ ගීතයට ප්‍රිය කළ මට එහි අරුත නියම
අයුරෙන් පසක් වන්නේ දැන්ය. ඒ අතීතය හා සැරිසරන මට ගීතයෙහි කියැවෙන සත්‍ය අත්
දකින්නට සිදු වී තිබේ. වරෙක එය දුක්ඛදායක හැඟීමක් ලෙස සිත පෙරළි කරන වග සැබෑය.
එහෙත් පුතු තරංගගේත්, දුව සුරංගිගේත් සොඳුරු ජීවිත පිළිබඳව සිතා මම සොම්නසට පත්
වන්නෙමි.
නිරතුරුව සෑම දිනෙකම ලැබෙන සුරංගිගේ දුරකථන ඇමතුම පැමිණෙනතුරු මා බලා
සිටින්නේ දවසේ කළ යුතුම රාජකාරියක නිරත වන අයුරෙනි. ඉඳහිට මගේ සුවදුක් සොයන්නට
පැමිණෙන ඇගේ සෙනෙහස මට මහමෙරකි. මා අසලම වෙසෙන පුතුගේ සෙනෙහස ද දියණියට දෙවැනි
නොවේ. නිතරම මා සමඟ කාලය ගත කරන මිනිබිරිය හසලා මට සිහිපත් කරන්නේ සුරංගිගේ ළමා
කාලයයි. මේ සියලු සිදුවීම් අතර නිවෙසෙහි කටයුතු සමඟ කාර්යබහුල වන මට දවස ගෙවී යනු
නොදැනෙයි. ඉඳහිට ලැබෙන විවේකයකදී මෙලෙස ඉඳ සිටින මම මේ ගීතය දහස් වර සිතෙන්
මුමුණමි.
සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේළිය කැටුව මගේ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ
නුඹලගේ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මම ඉන්නවා නෙතු කඳුළැලි දරාගෙන
දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නෙමි
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි
මරණයෙ දොරකඩටම සපැමිණ සිටින්නෙමි
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමි
ගේය පද – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - විශාරද නන්දා මාලිනී
ගායනය – විශාරද නන්දා මාලිනී
මවකගේ හැඟීම් පිළිබඳ කියැවෙන මේ ගීතය ඇසෙන සෑම මොහොතකම මම දියණියගේත්, පුතුගේත්,
බාලවිය පමණක් නොව මගේ බාල වියද, යොවුන් විය ද සිහිපත් කරමි. කුඩාකල විසූ අපගේ මහ
ගෙදර නිවෙසත්, ඒ අවට පරිසරයත් මගේ සිතේ ඇති කළේ සොඳුරු හැඟීම් ය. කුඩා ළදැරියක් කල
අප්පච්චීටත්, අම්මාටත් මම බෙහෙවින් ආදරය කළෙමි.
අප්පච්චීට මම කෙතරම් ආදරය කළේ ද යත්
ඔහු නිවෙසෙන් බැහැර ගිය පසුව පැමිණෙන තුරු මඟ බලා සිටින්නට පුරුදු වූයෙමි. අපේ ගමට
තිබුණු බසය ආගිය වෙලාවල් මට හොඳට පුරුදුය. එලෙස අප්පච්චී දුර ගමනක් ගිය දිනෙක සවස්
යාමයේ වැහි කඩා හැලෙන්නට පටන් ගත්තේය. කුඩාකල පටන්ම මම වැස්සට බිය වීමි. සීරුවට
වැටෙන වැහි පොද මගේ සිතේ ඇති කළේ ශෝකයකි. ඒ අහස හඬන විට වැටෙන කඳුළු යැයි මට
සිතෙයි. එවිට ශෝකය දරාගනු නොහැකිව මා හඬා වැටුණු අයුරු මට අද ද සිහිපත් වෙයි.
එමෙන්ම එකල සිදු වූ තවත් අපූරු සිදුවීමක් මගේ මතකයට නැගෙයි. ඒ එකල මම කුරුල්ලන්ට
කෑම දමන්නට පුරුදු වී සිටියෙමි. ඒ කෑම කන්නට කපුටන් එක් රැස් වන්නේ තරගයටය. දිනෙක
එසේ කෑම දමමින් සිටින මොහොතක එක් කොණකින් මතු වූයේ බූල් සහිත අළු පැහැති සුනඛයෙකි.
ඌගේ මුළු ශරීරය වසාගෙන තිබණේ බුල්වලිනි. මේ සුනඛයා මා දෙස බලා සිටි අයුරෙන්ම මගේ
සිතේ ඌ පිළිබඳ ඇති වූයේ ආදරයකි.
‘මේ කපුටෝ ටික එළවලා දැම්මොත් මම ඔයාට රොටි කෑල්ලක් දෙනවා’
සුනඛයා සමඟ කතා කරන අටියෙන් මම ඌට පැවසුවෙමි. පුදුමයකි, ඌ කපුටන්ව එලෙව්වේ මා පැවසූ
දෙය තේරුම් ගත්තා සේය. මම ඌට රොටි දුනිමි. ඌ මා හා යහළු වූයේ ඉබේමය. නිරතුරු පොතපත
කියවන්නට පුරුදු වූ මම දිනපතා පුවත්පත කියැවීම පුරුද්දක් කරගෙන සිටියෙමි. අපේ නිවසේ
සිට කඩයට තිබුණේ තරමක දුරකි. මේ දුර ප්‍රමාණයෙහි ඇවිද යන සුරතල් සුනඛයා මට පත්තරය
ගෙනැත් දීමට පුරුදු වූයේ මේ අතරය. ඒ අතීතය ඒ තරමටම සොඳුරු විය.
අමරදේවයන් ගයන මේ ගීතය ද මගේ සිත සොරා ගන්නේ ඉබේමය.
වසන්තයේ මල් කැකුළක් සේ
හිනැහී...... හිනැහී
ඔබ සිටියා.........
වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මග බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
අහස පොළොව ගිනියම් අව්වේ
ගහ කොළ මැලවෙන ගිම්හානේ
අහස පොළොව ගිනියම් අව්වේ
ගහ කොළ මැලවෙන ගිම්හානේ
අවසානේ....... ඔබ ආවා
ඔබ අතැ වූ මල් එකිනෙක පර වී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ හද මා දුටුවා
ගේය පද – මහගමසේකර
සංගීතය - විශාරද ඩබ්. ඩී. අමරදේව
ගායනය – විශාරද ඩබ්. ඩී. අමරදේව
නිතරම අසන්නට ප්‍රිය කරන මේ ගීතය මගේ සිත දැහැන් ගත කරයි. අමරදේවයන්ගේ ගීතවත් ස්වරය
අසන මගේ සිත විවිධ වූ රූප රචනා මවයි. එවිට වසන්තයේ මල් පිපී සුවඳ හමන අයුරු මම
දකිමි. ඒ සොඳුරුතමයා මේ සොඳුරු කාලයේ පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් සිටින මිහිරාවිය
පැමිණෙනතුරු දෑස් දල්වා මඟ බලා සිටින අයුරු තම සිත නමැති රූප රචනාවේ මම මවමි.
වසන්තය ගෙවී යන තුරු ද ඈ නොපැමිණෙයි. එහෙත් ඈ සපැමිණෙයි. ඒ වසන්තය ගෙවී කර්කෂ වූ
සමයෙහිය. මල් පියලි සැලී ගැල වී යන පුෂ්ප අතැතිව පැමිණෙන ඈ මගේ නෙතු අතර දඟ කරන
අයුරු මට මැවි මැවී පෙනෙයි. ඒ අතරෙන් ඇගේ හදවත දුටු වගට ඔහු පවසන අරුත මා සිත්
ගනියි. ගීතයේ සිහිනයෙන් මම ඈත් වෙමි. එවිට කොතරම් අපූරු අරුතක් ගැබ් වී ඇත්දැයි මම
සිතමි. ජීවිතයේ ශූන්‍යභාවය කියන අපූරු ගීතයක යැයි ද වරෙක මට සිතෙයි. මෙකල මේ ගීතය
අසන විට බණ පදයක් අසන්නේ යයි යන හැඟීම ද මා සිත උපදියි.
තිලානි ශානිකා විතානාච්චි
සේයාරුව - මාලන් කරුණාරත්න
|