වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තාගේ ඉල්ලීම් තුනම දරුවො ඉටු කළා
කේ. ඒ. ඩබ්ලිව්.පෙරේරා ගැන පුතු ජයන්ත දාස්ගේ මතකය...

තාත්තාගේ ඉල්ලීම් තුනම දරුවො ඉටු කළා

සතර දෙසින් කොවුල් ගී ඇසෙන රමණීය වසත් සමය උදාවීය. නැන්සි පෙරේරා සහ විල්මට් පෙරේරා යුවළ මේ වසන්ත සමයේ සිටියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනයි. ඒ තමන් ආසාවෙන් බලාසිටි කුලුඳුල් දරු උපත පිළිබඳයි.

කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශය එකල සුන්දර ගම්පියසක සිරි ඉසිලුවේය. මේ 1926 බක් මස පහළොස් වැනිදායි. වසන්ත මාසයේ භාග්‍යවන්ත භාවය දෙගුණ තෙගුණ කරමින් මේ දෙන්නා දෙමහල්ලන්ට ලැබුණේ පුත්‍ර රත්නයකි. හේ නමින් විල්සන් පෙරේරා විය. වයසින් වැඩෙත්ම මේ දඟකාර දරුවා කොළඹ ආනන්ද විද්‍යාලය අනුබද්ධ වැල්ලවත්ත ඕල්කට් විද්‍යාලයට ඇතුළත් කෙරිණි.

සාහිත්‍යයට, සංගීතයට මෙන්ම ක්‍රීඩාවට ද විල්සන් ඉතාමත් දක්‍ෂ දරුවකු විය. පසු කලෙක ඔහු මෙරට ප්‍රචලිත සිනමා ශිල්පියෙක් බවට පත් විය. හේ නමින් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාය.

ඒ නම ඇසූ සැනින් මෙරට ප්‍රචලිත සිනමා කෘති ගණනාවක් ඉදිරියෙන් ඔහු ගේ නම කියැවේ. ජයන්ත දාස් පෙරේරා, කේ. ඒ. ඩබ්ලිව්. ගේ මද්දුම පුත්‍ර රත්නයයි. ඔහු ද මෙරට ප්‍රචලිත රංගන ශිල්පියෙකි. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ජීවන ගමනෙන් සමුගෙන පසුගිය මස විසි වැනිදාට වසර හතක් ගත විය. එම හේතුවෙන් මෙවර පියසටහන් තුළින් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ගේ මතකය ජයන්ත දාස් පෙරේරා විසින් ආවර්ජනය කළේය.

“තාත්තා පාසලින් ඉවත් වුණාට පසුව කැලණිය බියන්විල මහා විද්‍යාලයේ ඉංගී‍්‍රසි ගුරුවරයෙක් විදියට ගුරු සේවයට එක් වුණා. ඒ කාලෙ බොහෝ විට හිටියෙ ද්වි භාෂා උගත්තු. ඉංගී‍්‍රසි සහ සිංහල භාෂාව හැසිරවීමේ හැකියාව හොඳින් තාත්තාට තිබුණා. තාත්තා පාසල් යන කාලෙ ඉඳන් සාහිත්‍යයට පුදුමාකාර දස්කමක් දැක්වූවා.

ඒ නිසාම ඒ කාලෙ ගුවන් විදුලියට කවි, ලිපි රචනා කරලා තියෙනවා. පසු කලෙක ගුරු සේවයෙන් ඉවත් වෙලා ලංකා ගුවන් විදුලියේ (දැන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) පිටපත් රචකයකු සහ වැඩසටහන් සම්පාදකවරයකු ලෙසත් සේවයට එක් වුණා. ඒ කාලෙ ගුවන් විදුලිය අයිති වෙලා තිබුණේ ‘ඩොට්’ කියලා සුදු මහත්තයෙකුට. එවකට එහි සභාපති වුණේ ලිව් විජේමාන්න මහත්මයා.

කරුණාරත්න අබේසේකර, පී. වැලිකල, ධර්ම ශ්‍රී කල්දේරා වැන්නවුන් සමඟ තමයි තාත්තා එකල කල් ගෙවලා තිබුණේ. තාත්තා ගුරු සේවයේ ඉන්න කාලෙම විවාහ වුණා.

අම්මගෙ නම පර්ල් පෙරේරා. එයා තවමත් ඉතාමත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් අපත් සමඟ ජීවත් වෙනවා. එසේ පැවසූ ජයන්ත තම පියාගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් අසලට ගොස් නිහඬ විය. මද වෙලාවකින් හිස එසවූ ජයන්තගේ නෙත් කෙවෙනි අගින් කඳුළක් පිට වුයේ ඔහුටත් නොදැනීමයි. තම පියා පිළිබඳ මතක සයුරේ ගිලී සිටි ජයන්ත බිඳෙන් බිඳ හෙළී කළේය.

“අපේ පවුලේ දරුවෝ තුන්දෙනයි. අයියා නයනානන්ද පෙරේරා, ඊළඟට මම, නංගී තමරා චන්ද්‍රමාලි පෙරේරා. අම්මා ඒ වෙනකොට “නර්සිං ට්‍රේනින් ස්කූල්” එකේ ගුරුවරියක් ලෙස සේවය කළේ.

කොහොම හරි තාත්තා ඒ කාලෙ ගුවන් විදුලියට සම්පාදනය කළ වැඩසටහනක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතමයාට අහන්න ලැබිලා තියෙනවා.

ඊට පසුව 1956 තිරගත වුණ රේඛාව චිත්‍රපටයට දෙබස් ලියන්න කතා කරලා. රේඛාව චිත්‍රපටයෙන් තාත්තා, ටයිටස් තොටවත්ත,විලී බ්ලේක්, මර්සලීන් ජයකොඩි පියතුමා, සුනිල් ශාන්ත, ගාමිණී ෆොන්සේකා ආදීන් එකට එක්වෙලා තියෙන්නෙ.

තාත්තගේ දෙබස් අපේ සිනමාවේ ඒ කාලෙ මහත් ආන්දෝලනයක් වුණා. ඒ නිසාම දෙබස් විතරක් නෙමෙයි. පිටපත් ලියන්නත් තාත්තට ආරාධනා බොහොමයක් ලැබිලා තියෙනවා.

ඒ අතරින්, සංදේශය, ශ්‍රී 296, සාරවිට, ගැටවරයෝ, ඔබ දුටුදා ආදී චිත්‍රපට පහළොවකට එහායින් තාත්තා දෙබස් හා පිටපත් රචනා කරලා තියෙනවා මගේ මතකයේ හැටියට. තාත්තගේ තියෙන විශේෂත්වය තමයි මේ දෙබස් රටා එකින් එකට වෙනස්. ඒ විතරක් නෙමේ සංදේශය චිත්‍රපටයේ දී ලෙස්ටර් මහත්මයාගේ සම අධ්‍යක්‍ෂවරයා විදියටත් වැඩකළා. ‘පිරිමියෙක් නිසා, සුහද සොහොයුරෝ’ ආදී චිත්‍රපටවලත් එතුමන් සම අධ්‍යක්‍ෂවරයා විදියට වැඩ කළා.

1966 වසරෙදී, තාත්තට ආරාධනයක් ලැබෙනවා ‘සැනසුම කොතනද’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්න. එම චිත්‍රපටයෙන්ම තමයි මට මතක හැටියට ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහත්මයත් චිත්‍රපට සංගීතයට පිවිසෙන්නෙ. ඒ වෙනකොට කේමදාස මාස්ටර් නවරැල්ල ගීත නාටකය නිර්මාණය කරලා තරමක් ප්‍රචලිත වෙලා හිටියා කියලා තාත්තා මට කියලා තියෙනවා.

ඒ චිත්‍රපටය අතිශය සාර්ථක වුණා. ඊට පසුව තාත්තගේ අතිජාත මිත්‍රයෙක් වුණ ඊ. ඒ. පී. එදිරිසිංහ මහත්මයා 1966 වසරේදීම ‘කපටිකම’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්න බාර දුන්නා. ඒ චිත්‍රපටයත් අතිශය සාර්ථක ලෙස ජනතාව අතරට ගියා.

ඒ කාලෙ වනවිට තාත්තා අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කළා. ඒ වගේම මොන තරම් කාර්යබහුල වුණත් අලුත් පරම්පරාවකට ක්ෂේත්‍රයට පැමිණීමට අතහිත දුන්නා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ‘පරණ කෝට්’ ගීතය රචනා කරන්නට ලබා දෙමින් චිත්‍රපට ගීත රචනයට අවස්ථාව ලබා දුන්නේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා. ඒ වගේම උපාලි අත්තනායක, විජය නන්දසිරි රංගන ශිල්පීන්ව චිත්‍රපට රංගනයටත්, ග්‍රේෂන් ආනන්දව චිත්‍රපට සංගීතයටත් අවස්ථාව සලසා දුන්නේ තාත්තා. ජයන්ත දාස් පෙරේරාව නළුවෙක් කළෙත් ‘ජනක සහ මංජු’ හරහා තාත්තා. ඒ වගේ විශාල පිරිසකට සිනමා ක්ෂේත්‍රයේ විවිධ අංග සඳහා හඳුන්වා දීමේ ගෞරවය තාත්තාට හිමි වෙනවා.

ඒ වගේම අද සිටින දෙබස් රචකයන්ට සාපේක්‍ෂව එතුමන් දෙබස් රචනා කළ විදිහ හරිම නිර්මාණශීලීයි. ඒකට හොඳම උදාහරණය තමයි හිඟන කොල්ලා නවකතාව චිත්‍රපටයකට නගද්දී එහි ඇති දෙබස් රටාව. ඒ වගේම තාත්තා මොන තරම් කාර්යබහුල වුණත් ගෙදර ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්න තරම් විවේකයක් ගත්තා. දරුවන්ට ඇහෙන්න කිසිම දවසක අම්මයි තාත්තයි රණ්ඩු වෙලා නෑ. අනෙක් කාරණය තමයි දවස් ගණන් අපේ පවුලේ උදවිය සමඟ ඒ කාලේ විනෝද සවාරි යනවා. ඒ තාත්තා ජීවිත කාලෙම පාවිච්චි කළ 4 ශ්‍රී 3112 කාර් එකෙන්.

ඒ වගේම සිනමා ක්ෂේත්‍රයේ දීත් හොඳම විදියට ජීවත් වුණේ. කිසිම විටෙක කාගෙවත් හිත රිදවන්න උත්සාහ ගත්තේ නෑ. නිහතමානීකම උපරිමයෙන් තිබුණ මනුස්සයෙක්. ඒ වගේම තමයි මනුසත් කමත්. අපිට හැමවෙළේම කිව්වෙ නිහතමානී නිර්මාණ ශිල්පියෙක් දක්‍ෂ විදිහට නිර්මාණ කරනවා කියලා.

තාත්තා මිය යන්න පෙර අපෙන් අන්තිම කැමැත්ත විදියට ඉල්ලීම් තුනක් කළා. එයින් එක තමයි එයාගේ දේහය ගෙනයන හර්ස් එක ළඟින්ම එයාගේ 4 ශ්‍රී 3112 කාර් එක ගෙනයන්න කියන එක. දෙවැනි ඉල්ලීම දේහය කලා භවනට ගෙනියන්න එපා කියන ඉල්ලීම. තුන්වැනි ඉල්ලීම තමයි චිතකයට ගිනි තියන වෙලාවට එයාගේ චිත්‍රපටයට අමරදේව සූරීන් ගැයූ ‘සසර ගමනේ තන්හා ආශා’ කියන ගීතය වාදනය කරන්න කියන එක.

2006 වසරේ අගෝස්තු විසිවැනිදා තාත්තා ජීවිත ගමනෙන් සමුගත්තා. ඒ මොහොතේ තාත්තාගේ අවසාන ඉල්ලීම් තුනම දරුවෝ හැටියට අපි තුන්දෙනා ඉටු කළා.

මේ වගේ උතුම් ගුණ තියෙන පීතෘ රත්නයක් ලැබීමට අපි පින් කරලා තියෙනවා. ඉපදෙන ආත්මයක් පාසා ඔබ මගේම පියතුමන් වෙන්න කියලා මම පතනවා” කියූ ජයන්ත සිය පියාගේ ඡායාරූපය දෙස බලමින් හිස බිමට නැඹුරු කර ගත්තේය.

ලාංකේය සිනමාවට අමරණීය මෙහෙයක් ඉටු කළ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා හෙවත්, කොත්දුල් ආරච්චිගේ විල්සන් පෙරේරා සූරීන්ගේ මතකය අතරින් මම ඔහුගේ නිවෙසින් සරසවිය වෙත පියමැන්නෙමි.