|
|
රන්වල බලකායත් එක්ක මගේ අමනාපයක් නැහැ
සඳසාවි සමග කරළියට පැමිණි වසන්තාගේ අලුත් ප්‍රසංගය සඳසාවි මා හෙට විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී
සඳමඩලේ පාලුවේ මෙදා බඹරගලින් රූටාලා සඳ නිවුනිද කියාපන් මයෙ මලයා . . . ජන නාද මාලා ඇසුරෙන් නිර්මාණය වූ මෙම ගීතය ගායනා කරන්නේ වසන්තා මධුරංගනී. නැසීගිය ලයනල් රන්වල සූරීන්ගේ ශිෂ්‍යාවක වන ඇය වැඩි වශයෙන්ම අපට හමු වුණේ රන්වල බලකායේ ප්‍රසංග සමඟිනි. මේ වන විට පූර්ණකාලීනව ඔවුන් හා එක් නොවී වසන්තා තමන්ගේම පරපුරක් ඔස්සේ වෙනමම ගමනක් යන්නට පටන්ගෙන තිබේ. එහි පළමු පියවර වශයෙන් ඇය හෙට දිනයේදී අමුතුම අන්දමේ ප්‍රසංගයක් පවත්වනු ඇත. ‘සඳසාවී ජන ගී සූවිසි හෝරාව’ යනුවෙන් නම් තබා ඇති එහි ඇති සුවිශේෂීභාවය වනුයේ පුරා පැය විසි හතරක් නොකඩවා එය දිග හැරීමයි. * වසන්තා ඇයි මේ වගේ ප්‍රසංගයක් පවත්වන්න හිතුවේ? මං ජන ගී හදාරන්න පටන් ගත්තේ 1990 අවුරුද්දේ. මේ වන විට පුරා අවුරුදු විසි හතරක් ඒ ජන ගී සමඟ ජීවත් වුණා. අවුරුදු විසි පහ ලැබීම නිමිති කර ගනිමින් මට මීට පෙර කවුරුවත් නොකරපු විදිහේ වැඩක් කරන්න වුවමනාව තිබුණා. ඒ වෙනුවෙනුයි මෙම ප්‍රසංගය පවත්වන්නේ. මෙය අතරතුරදී මගේ සංගීත දිවියට අවුරුදු විසි පහ ලබනවා. කොළඹ විහාර මහ දේවි එළිමහන් රංග පීඨයේදී තමයි සඳසාවී ජන ගී සූවිසි හෝරාව පැවැත් වෙන්නේ. * ප්‍රසංගයේ අන්තර්ගතය කොහොමද? මෙහි කොටස් කිහිපයක් තියෙනවා. උදෑසන නවයට ආරම්භ වී සවස දෙක තුන වෙනකම් පාසල් ළමුන්ට විවෘතයි. එහිදී ජන ගී පිළිබඳ දේශන එහෙමත් පැවැත්වෙනවා. සවස් යාමය අනෙක් තරුණ, මහළු කණ්ඩායම්වලට. හැබැයි මේ කාලයත් අනිවාර්යයෙන්ම මේ මේ අයට කියලා වෙන් කරලා නැහැ. අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවක ප්‍රසංගය රස විඳින්නට එක් වන්නට පුළුවන්. * මැදියම් රැය උදාවෙද්දී ප්‍රසංගයට ප්‍රේක්ෂකයන් සිටීවිද? මම හිතන්නේ නැහැ රෑ දොළහට විතර මහ ලොකු ජනකායක් ඉඳීවි කියලා. නමුත් ප්‍රසංගය පැවැත්වෙනවා. මධ්‍යම රාත්‍රියෙන් පස්සේ තමයි ශාන්ති කර්ම ආදිය පටන් ගන්නේ. අපි ඒවා ඉතාමත් විචිත්‍රවත් අන්දමින් ලස්සනට කරන්න බලාපොරොත්තු වෙනවා. * මේ සියල්ලම ඉදිරිපත් කරන්නේ ඔබේ ගෝල බාලයින්? ඔව්. * ඔබ රන්වල බලකායෙන් තරමක් දුරස් වුණේ ඇයි? රන්වල සර් තමයි මට මේ උනන්දුව ඇති කළේ. වසර ගණනාවක් එතුමා ළඟ ඉඳලා මා ඉගෙන ගත් දේ අපමණයි. කාලයත් සමඟ මට තේරුම් ගියා ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ ජන නාද මාලා ගැන පර්යේෂණ කරන්න ඕනෑ කියලා. ඒත් එක්කම හොයා ගත්ත දේවල් මගේම පිරිසකට බෙදා දෙන්න හිතුවා. ඒ හේතුවෙන් මං රන්වල බලකායෙන් ඈත් වුණා. නමුත් ඉවත් වුණේ නැහැ. * ඔබ ඔවුන්ගේ ප්‍රසංගවලට සහභාගී වෙනවාද? මම ඒවාට සහභාගි වෙලා සඳසාවි ගීතය ඇතුළු ගීත ගයනවා. අපි අතර තවම හිතවත්කම තියෙනවා කියලා පෙන්වන්න ඕනෑ හින්දා රන්වල සර්ගේ ගීත දෙකක් මගේ ප්‍රසංගයටත් එකතු කර ගත්තා. * ඔබ ඔහොම කිව්වට පස්සේ ‘සඳසාවි ජන ගී සූවිසි හෝරාවේ’ රන්වල බලකායේ තවත් ප්‍රසංගයක් කියලා හිතෙන්න පුළුවනි? නැහැ. කොහෙත්ම නැහැ. මම මගේ කණ්ඩායමට අපේම ගීත කිහිපයක්ම නිර්මාණය කර ගත්තා. මෙහි අපූර්වත්වය මෙහෙම කියන්න බැහැ. ඇවිත්ම බලන්න.එතකොට දැනේවි මෙය වෙනමම දෙයක් කියලා. * ඔබ වඩාත් සංගීත ලෝලීන්ට සමීප වුණේ සඳසාවි ගීතය හරහා. එහි ඉතිහාසයත් මතක් කළොත්? 1997 වසරේදී තමයි මං සඳසාවි මුලින්ම ගැයුවේ. සිසිර දිසානායකගේ පද මාලාවකට රන්වල සර් සංගීතය යෙදුවා. ගැයුව කාලවකවානුවේ ඉඳලා අද දක්වා ගීතය ජනප්‍රියයි. රියැලිටි තරගවලදීද මෙය ගයනවා. අපේ ප්‍රසංගවලදි මං මෙය ගයපුවාම පුදුම විදිහට ප්‍රතිචාර ලැබෙනවා. * ඔබේ ප්‍රසංගයේ කී වාරයක් සඳසාවි ගයනවාද? මං හිතන්නේ මේ ගීතය අසන්නම ඇතැම් දෙනා ඒවි. ඒ හින්දා හතර පාරකට වඩා මෙය ගයනවා. * අද වන විට මෙරට ජන සංගීතය ඇත්තේ කොතැනද? ජන සංගීතය කියන දේ කවදාවත් යටපත් වෙන්නේ නැහැ. මේ වගේ කොහෙන් කොහෙන් හරි මතු වෙනවා. හැබැයි මං මේ විදිහේ අඩුපාඩුවක් නම් දකිනවා. අපේ ජන ගීය ලේඛන ගතවෙලා නැහැ. ඒක ලොකු අඩුවක්. මේ වෑයමෙන් පස්සේ මම හරි ඒක කරනවා. * ඔබේ ප්‍රසංගය නරඹන අයට එමඟින් ලබා දෙන්න හිතාගෙන ඉන්නේ මොනවාද? අප රටේ ජන සංගීතය ගැන කියලා දෙන්න මේ පැය විසි හතර මදි. හැකිතාක් අන්දමින් අපේ දේ අපේකම ගැනද දැනුවත් කරනවා. විශේෂයෙන්ම තරුණියන්ට මේ සඳහා ආරාධනා කරනවා. * තරුණියන්ට? අපේ මුල් ගායිකාව අපේ අම්මා. ඇය කියූ නැළවිලි ගීතත් එක්කයි අපි ජිවිතය පටන් ගත්තේ. අද ඉන්න තරුණ අම්මලා නැළවිලි ගීයක් කියන්න දන්නේ නැහැ. ඔක්කෝටම කලින් දරුවකු නළවන්න උගන්වන්න ඕනෑ එයාලට. අපේකම ඇති නැළවිලි ගීයක් ඇහුණොත් ළමුන් පුංචි කාලයේ ඉඳලා අපේ රට ගැනවත් හිතන්න පටන් ගනීවි. * මෙම ප්‍රසංගය සඳහා කවුද ඔබට උදවු කරන පිරිස? ඇත්තම කිව්වොත් මගේ පිටුපසින් මහා ලොකු පිරිසක් නැහැ. අනුග්‍රාහක ආයතන කිහිපයක් හැර අතුරුලියේ රතන හාමුදුරුවෝ ඉන්නවා. මගේ මහත්තයත් ශක්තියක්. තනිකරම මගේ වෑයමක් ලෙසිනුයි මෙය එළි දකින්නේ. * එහෙව් තත්ත්වයක් මත ඔබට මේ ප්‍රසංගය නොමිලේ පැවැත්වීම පාඩුවක් නොවේද? හිත මිතුරන් මගෙන් කෙලින්ම අහනවා උඹට පිස්සුද කියලා. පිස්සුවක් නැතිනම් මේ දේවල් කරයිද. මිනිස්සු ඇවිල්ලා මෙය රස විඳලා දෙන පිනම ඇති මගේ ඊළඟ වැඩ කටයුත්තට අත ගසන්න. කෙසේ නමුත් ළඟඳීම අපේ ගෙදර ලයිට්, වතුර කපනවා. මොකද ඒ සඳහා ගෙවන මුදල පවා ද මේ ප්‍රසංගයට වැය කර තිබෙන නිසා.
|



සඳසාවි මා