|
|
අද ධර්මපාල - හෙට දේවදත්ත
පාලිත සිල්වා
අද අපේ කතා නායකයා හඳුන්වා දෙන්න විශේෂ අටුවා ටීකා අනවශ්‍ය වූවක්. දශක තුනක් පුරාවට අපේ කලාවේ වේදිකාව, පුංචි තිරය සේම රිදී තිරයත් තම හැකියාවෙන් ප්‍රභාවත් කළ ඔහු අද සුවිශේෂ වූ වීර චරිතයකින් ඔබ හමුවට පැමිණ සිටියි. ඔහු පාලිත සිල්වා. සනත් අබේසේකරගේ නවතම සිනමා නිර්මාණය ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ’ චිත්‍රපටයේ අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතයට ඔහු යළි පණ දෙමින් සිටින්නේය. ඒ පිළිබඳව අපි ඔහුත් සමඟ කතා කරමු.
* අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය රංගන ශිල්පියෙකු ලෙසින් ඔබේ ජීවිතයේ ලද විශේෂ චරිතයක්? පසුගිය කාලයේ ආදායම් වාර්තා තැබූ ඉතිහාස කතා රැගත් චිත්‍රපට කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඉන් අනතුරුව මා ලද අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතයත් මගේ රංගන ජීවිතයට ලද සුවිශේෂ චරිතයක්. අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතයට සිනමාවෙන් පණ දෙන්න ලැබීමත් මා ලද මහා පිනක්. මගේ පෙර පිනක් නිසාම එම චරිතය ලද බව විශ්වාසයි. ඒ වගේම මෙවැනි වූ වීර චරිතියක් ලැබීම ඔස්කාර් සම්මානයක් ලැබීම හා සමානවම වටිනා එකක්. මෙරට බිහි වූ චරිත අතරේ ජාත්‍යන්තරය පිළිගත් අතළොස්සක් පුද්ගලයන් අතරේ ඉහළම ස්ථානය හිමි වන්නේ එතුමාටයි. රූගත කිරීම් සඳහා ඉන්දියාවට ගිය පසුව එහි වටිනාකම තව තවත් දැඩිව දැනෙන්න වුණා. එහිදී හමු වූ එක් නේපාල හිමිනමක් පැවසූයේ ධර්මපාලතුමා නොවන්නට අපට බුදු දහම නොමැති වන බවයි. බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ ගෞරවය ඔවුන් අනගාරික ධර්මපාලතුමන් වෙත පුද කරමින් සිටින්නේ. ඒ හා සමාන තවත් අයෙකු වෙනවා නම් ඒ ධර්මාශෝක රජතුමා. ඉතිං එවැනි වූ ශ්‍රේෂ්ඨ චරිතයක් නිරූපණයට ලැබීම මහඟු වාසනාවක්. * එවැනි වූ ශ්‍රේෂ්ඨ වීර චරිතයක් ලෙසින් හැඩ ගැන්වූවාට පසුව මොන වගේ හැඟීමක් ද දැනුණේ? ඇත්තටම මට දැනුණේ පුදුමාකාර දැඩි වගකීමක් මා අතේ තිබෙන බවයි. ඒ වගේම මේ චරිතය කරනවා නම් එය සාර්ථකවම කළ යුතු බවත් දැනුණා. වසර ගණනක් පුරාවට වෘත්තීය රංගන දිවියේ විවිධාකාර වූ චරිත රැසකට සාධාරණයක් කළත් අනගාරික ධර්මපාල නම් වූ ශ්‍රේෂ්ඨ වීර චරිතයට ඉන් එහා ගිය වගකීමක් කළ යුතු බව මට වැටහුණා. ඒ අනුව මේ චරිතය හරියටම කළ යුතුයි වගේම කරනවා කියන තීරණයට එළඹුණා. * ඔබට දැනෙන හැඟෙන පරිද්දෙන් එය සාර්ථක වුණාද? ඇත්තටම එය සාර්ථක වූ බවයි මගේ විශ්වාසය. සාමාන්‍ය චරිතයකට එහා ගිය මෙම සුවිශේෂ චරිතය හැඩගස්වන්න මා තනිව ගත් ප්‍රයත්නයට වඩා සාමුහිකත්වය බල පෑ බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අනගාරික ධර්මපාල චරිතය ඇත්තටම මට පෞද්ගලික නැහැ. එතුමා සිංහල,බෞද්ධ ජනතාවගේ පොදු වස්තුවක්. ඒ නිසා මෙම චරිතය මම පෞද්ගලිකව නිර්මාණය කළ චරිතයක් විදියට මගේ ඔළුවේ නැහැ. මා පිටුපස සිටි කණ්ඩායමෙන් ප්‍රබල දිරිමත් කිරීමක් මට ලැබුණා. අනගාරික ධර්මපාලතුමන් මෙන් වෙස් ගැන්වූවාට පසු මට යම් ප්‍රමාණයකට අධ්‍යාත්මික ශක්තියක් ලැබුණා. මීට වසර පහකට පමණ පෙර සිටම මම මස් මාංශයෙන් වගේම මතින් දුමින් වැළකී සිටින්න පුරුදු වුණා. එයත් චරිතය නිරූපණයට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම අනගාරික ධර්මපාලතුමාණන්ගේ චරිතය අනුකරණයක් කරන්න මට උවමනා වුණේ නැහැ. එතුමාණන්ගේ චරිතය හා එහි ස්වභාවය සජීවි ලෙසින් ඉදිරිපත් කිරීම මිස එතුමා අනුකරණය කිරීම මා කළේ නැහැ. චරිතයේ ස්වරූපය ඉදිරිපත් කිරීමටයි මම හැම විටම උත්සාහ කළේ. එහිදී මා වටා සිටි සියල්ලන්ගෙන්ම ලද සහාය අප්‍රමාණයි. * අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය ඉස්මතු කිරීම වෙනුවෙන් ඔබ කෙසේද එතුමාගේ චරිත ස්වභාවය සොයා ගත්තේ? ඇත්තටම අපට එතුමා ඇසුරු කළ අය වර්තමානයේ සොයා ගන්න හැකියාවක් නැහැනේ. මෙම සිනමා නිර්මාණයට මා යෝජනා කළ කිරම විමලජෝති හිමි ඇතුළුව තවත් බොහෝ දෙනා ඒ සඳහා මට උපකාර කළා. අධ්‍යක්ෂ සනත් අබේසේකර වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා මට මෙහිදී ලොකු සහායක් දුන්නා. කිරම විමලජෝති හිමි ලබා දුන් ධර්මපාලතුමන්ගේ හඬපටය මට මෙහිදී විශාල රුකුලක් වුණා. එතුමාණන්ගේ හඬ පෞරුෂයෙන් චරිතය ඉස්මතු කරන්න මට උපකාර වුණා. ඒ වගේම ඉන්දියාවේ මහාබෝධි සමාගමෙන් එතුමන් ගැන තවත් කරුණු රාශියක් සොයා ගන්නට හැකි වීම භාග්‍යයක්. ගයාන් චාමික විදානපතිරණ වගේම ආනන්ද බාලිකාවේ නියෝජ්‍ය විදුහල්පතිනියත් මට මේ වෙනුවෙන් කරුණු රාශියක් රැස් කර දුන්නා. මහාබෝධි සමාගමේ නා හිමිවරු බොහෝ දේශපාලනික කරුණු පවා මට රැස්කර දීම මෙම චරිතයේ සාර්ථකත්වයට විශාල රුකුලක් වුණා. * ඒ හරහා ඔබ තවත් අත්දැකීම් රැසක් ලබන්නත් ඇති? අනගාරික ධර්මපාලතුමන් හා සම්බන්ධ වූ ඉන්දියාවේ ස්ථාන රැසකදී අපි රූගත කිරීම් සිදු කළා. එදා එතුමාණන්ට පහර දුන් ස්ථානයේ පවා රූගත කිරීම් කළා. එවැනි ස්ථානවල නම් තරමක් බියෙනුයි අපි රූගත කිරීම් කළේ. කෙසේ වෙතත් අපි රූගත කිරීම් සාර්ථකව සිදු කළා. ඉන්දියාව තුළ සංචාරයේදී අනගාරික ධර්මපාලතුමන් සම්බන්ධ තොරතුරු රැසක් අපට දැනගන්න ලැබුණා. ඇත්තටම පූජනීය ලෙසින් එතුමාණන්ට එහිදී ගෞරව කෙරෙනවා. එරට වර්ණාසි, බුද්ධගයාව වැනි ප්‍රදේශයන්හි ධර්මපාලතුමා ආරම්භ කළ පාසල්වල සිසුන් හැම දිනකම අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නේ එතුමා සිහි කරමින්. අනගාරික ධර්මපාලතුමන් සිරි දේවමිත්ත ධර්මපාල ලෙසින් පැවිදිව අපවත් වී අදට වසර අසූවක් ගත වුව ද එතුමාණන්ගේ චරිතයට අදටත් තියන්නේ එදා වගේම ගෞරවයක්. එරට ප්‍රධාන ස්වාමීන් වහන්සේලා පවා මෙම කාර්යයට සිය සහයෝගය ලබා දීම ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. * එදා මෙදාතුර දශක තුනක් පුරාවට ඔබ තිස්ස අබේසේකර, හෙලේනා ලෙහ්තිමතී, සුදත් රෝහණ, සුදත් දේවප්‍රිය වැනි අධ්‍යක්ෂවරුන් යටතේ රංගනයේ නිරත වූ ශිල්පියෙක්. අද සනත් අබේසේකර නම් වූ අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණය දකින්නේ කොහොමද? සනත් අබේසේකර පුවත්පත් කලාවේ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් අත්දැකීම් සමඟින් අධ්‍යක්ෂණයට පිවිසි අයෙක්. මම ඔහු දකින්නේ තමන්ට කළ හැකි දේ ඒ හා අදාල සීමාවේ සිට කටයුතු කරන්නා වූ අධ්‍යක්ෂවරයෙක් ලෙසිනුයි. ඒ වගේම සනත් සිය හැකියාවෙන් සිනමාවට ප්‍රවිෂ්ඨ වූ අධ්‍යක්ෂවරයෙක්. ඔහු මා මෑතකදී නිර්මාණය කළ සිනමා නිර්මාණ දෙකක් සඳහා දායක කර ගත්තා. එකක් අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය. අනිත් චරිතය මහරජ අජාසත් චිත්‍රපටයේ දේවදත්තගේ චරිතය. එහිදී ඔහුගේ තෝරා ගැනීම මා සුවිශේෂීව දකිනවා. ඒ වගේමයි ඔහුගේ දැක්ම බෞද්ධ සිනමා සංස්කෘතියක්. අපි කාටවත් එයට චෝදනා කරන්න බැහැනේ. ලෝකයේ විවිධාකාර සිනමා නිර්මාණ තිබෙන්න පුළුවන්. සිනමාව විවිධයි. එහිදී තම තමන්ට රිසි පරිදි නිර්මාණ කළ හැකියි. සමහර විට බෞද්ධ සිනමා නිර්මාණ ලෝක සිනමා උළෙලවලට වැදගත් නොවන්නට පුළුවන්. එහෙත් සනත් අබේසේකර නම් අධ්‍යක්ෂවරයාගේ මේ මෙහෙවර මම සුබවාදීව දකිනවා. * ඔබත් චරිත තෝරා ගැනිමේදී විශේෂයක් දක්වන රංගන ශිල්පියෙක්ද? මම කවදාවත් චරිත තෝරා ගත්තේ ඒ චරිතවලින් මගේ ජීවිතය ආලෝකමත් කර ගන්න නෙවෙයි. මට යමක් කළ හැකි චරිත මම හැමදාම තෝරා ගත්තේ. ඒවා කළු ද සුදු ද කියලා මම බලන්නේ නැහැ. සනත් පවා ඒ දේ අවබෝධ කරගෙන තිබුණා. ඒ නිසා වෙන්න ඇති මට ඔහුගේ නිර්මාණ තුළින් ධර්මපාල චරිතය වගේම දේවදත්ත චරිතයත් ලබා දුන්නේ. දේවදත්ත චරිතය බොහෝ දෙනෙක් අකමැති වන චරිතයක්. අජාසත් චිත්‍රපටයේ දෙව්දත් බුදුන්ට ගල් පෙරළන දර්ශන පවා ඇතුළත් වුණා. ආනන්තරීය පාපකර්මයක් වුණත් මම චිත්‍රපටය තුළ කරන්නේ රඟපෑමක්. මම මගේ රඟපෑමටයි සාධාරණය ඉටු කරන්නේ. * සාජන් නල්ලතම්බි වැනි නාට්‍ය හරහා අතිශය ජනප්‍ර‍්‍රියත්වයක් හිමි කරගෙන සිටි ඔබ දැන් වේදිකාවෙන් ඈත් වෙලා? මම ‘සර්කස්කාරයෝ’ වේදිකා නාට්‍ය මීට වසර කිහිපයකට පෙර වේදිකා ගත කළා. වේදිකා නාට්‍ය නිර්මාණයක් වෙනුවෙන් මම බොහෝ කැප වෙලා කටයුතු කරන කෙනෙක්. එහි ප්‍රධාන චරිතයට පුහුණුවට විතරක් මම වසර එක හමාරක පමණ කාලයක් ගත කළා. එහි තියෙන රංග ශෛලිය අනුව මනා පුහුණුවක් අවශ්‍ය වෙනවා. මේ වන විට එය වේදිකා ගත කිරීම ටික කාලයකට නතර කරලා තියෙන්නේ. ඒ හැර තවත් අලුත් නිර්මාණ සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන ඉදිරියේදී හිතා බලන්න ඕනෑ. ඒ හැරුණාම රාජ්‍ය මට්ටමින් නාට්‍ය හා රඟපෑම ගැන වැඩමුළු සඳහා දායක වෙනවා. එහිදී මඟ හැරෙන රංගනයට කැමැති වෘත්තිකයන් වැනි අය සඳහා වෙනමම වැඩමුළු පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ නිර්මාණකරණය තුළ තියෙන ප්‍රධානතම ගැටළුව තමයි පුහුණු ශිල්පීන් නොමැති වීම. ඒ ගැටළුවට අප විසින්ම පිළියම් කර ගත යුතු වෙනවා. එහෙම වුණොත් නිසි අවබෝධයකින් කටයුතු කරගත හැකි වෙනවා. * සිනමා ක්ෂේත්‍රය තුළත් ඔබ මීට වඩා බලාපොරොත්තු අපේක්ෂාවන් සමඟ සිට කලාකරුවෙක්? ඔව්. ඇත්තටම මම 2002 වසරේදී චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානමකින් හිටියේ. ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් පුද්ගලයන්ගේ අකමැත්ත නිසා මට ඒ අවස්ථාව අහිමි වුණා. මම ඉන්දියාවට ගිහින් සිනමාකරණය පවා ඉගෙන ගෙන ආවේ මේ විදියට ඉන්න නම් නෙවෙයි. එදා මට චිත්‍රපටයක් නිර්මාණය කරන්න ලැබුණු අවස්ථාව යම් පිරිසක් විසින් වැළැක්වූවා. මම මැරෙන තෙක්ම ඒ දුක නම් හිතේ තියේවි. කලා ක්ෂේත්‍රයේ අපට අවශ්‍ය විදියට චිත්‍රපට හදන්න නොහැකි වීම ගැන කණගාටුයි. ඒ වුණත් අලුත් පරම්පරාව එක්ක නිර්මාණ කටයුතු කරන්න ලොකු ආසාවක් තියෙනවා. අවස්ථාව ලැබුණම පෙන්වන්න පුළුවන් කොහොමද චිත්‍රපට හදන්නේ කියලා. * ඉදිරිය කොහොමද සැළසුම් කරලා තියෙන්නේ? කෙසේ වෙතත් ඉදිරියේදී නිර්මාණකරණයට පිවිසෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. නිර්මාණ කිහිපයක් ගැනම අදහස් මේ දවස්වල ඔළුවේ තියෙනවා. ආවාට ගියාට නිර්මාණ කරන්න බැහැනේ. කල් පවතින වටිනා නිර්මාණ ඉදිරිපත් කිරීමයි මගේ අරමුණ. එය වේදිකාව, පුංචි තිරය හෝ සිනමාව තුළින් සිදු වේවි. දශක තුනක් පුරා දෙස් විදෙස් දක්ෂ අධ්‍යක්ෂවරුන් යටතේ මා ලද අත්දැකීම් සාර්ථක ලෙස අනාගතයට ඉදිරිපත් කරන්නයි මගේ සූදානම. ඒ අනුව කාලය සමඟ එකතු කර ගත් දේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අනිවාර්යයෙන්ම එය කළ යුතු වෙනවා.
|



