වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සම්මාන උළෙලේදී ජනතා පැතුම ඉටු වේවි

මේ සම්මාන උළෙලේදී ජනතා පැතුම ඉටු වේවි

බොලිවුඩ් තරු පහක් ලංකාවට

ගැන විරාජ් වැලිවත්ත කතා කරයි

හිරු මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරනු ලබන Hiru Golden Film Awards ඔක්තෝබර් මස 25 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. මීට පෙර පැවැති සම්මාන උළෙලවලට සාපේක්ෂව වෙනස්ම මුහුණුවරකින් හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ් පැවැත්වීමට ඒ. බී. සී. මාධ්‍ය ජාලයේ කළමනාකාරිත්වය තීරණය කොට තිබේ. ඒ අනුව ඉතිහාසයේ ස්වර්ණමය සම්මාන උළෙලක ඉමිහිරියාව විඳ දරා ගැනීමට ලාංකේය සිනමා රසික රසිකාවන්ට දුලබ වාසනා ගුණයක් හිමි වෙයි. මේ Hiru Golden Film Awards පිළිබඳත් ඒ හා සමගාමීව සිදුවන ක්‍රියාවලිය පිළිබඳත් හිරු ටී වී හි වැඩසටහන් අධ්‍යක්ෂ හා මෙම උළෙලේ ක්‍රියාකාරී සාමාජිකයකු වන විරාජ් වැලිවත්ත සමඟ කළ කතාබහකි මේ.

විරාජ් මේ සම්මාන උළෙලේ සංකල්පය ඇති වෙන්නේ කොහොමද?

ඇත්තටම අපේ සිනමාවේ සිරි අසිරිමත් යුගය නැවත ඇති කිරීම තමයි මේ සිනමා සම්මාන උළෙලේ අරමුණ වුණේ. අපෙන් වියැකී යන සිනමාවේ විචිත්‍රවත් බව නැවත ඇති කිරීම තමයි මෙම සිනමා උළෙලේ මුඛ්‍ය පරමාර්ථය. ඉතිං ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය නාළිකාවක් විදියට අපි උත්කර්ෂවත්, ප්‍රතාපවත් සම්මාන උළෙලක් පවත්වන්නට තීරණය කළා. ඇත්තටම මේ සම්මාන උළෙල උත්කෘෂ්ට මට්ටමින් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වන්නට අපි සංවිධානය කළා.

මෙම අදහස පැමිණි මොහොතේ සිටම අපි මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගැනීම පිළිබඳ විශේෂ සොයා බැලීමක් වගේම අධ්‍යයනයකුත් කළා. ඒ අනුව මේ 25 වැනිදා සවස 5.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී දිග හැරෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නවීනතම මෙන්ම නිර්මාණශීලීම සිනමා සම්මාන උළෙළක්.

හරි මේ සිනමා උළෙලේදී මොන කාණ්ඩ යටතේ ද සම්මාන පිරිනැමෙන්නේ?

හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන කාණ්ඩ 40 ක් යටතේ මෙම උළෙලේදී සම්මාන පිරිනමනු ලබනවා. මෙහිදී ඉතාමත් මැදිහත් විනිශ්චයක් අනුව සම්මාන පිරිනැමීමට අප වග බලාගෙන තිබෙනවා.

කවුද මේ උළෙලේ විනිශ්චය මණ්ඩලය?

සම්මාන ප්‍රධානය තෙක් සම්මාන උළෙලේ ජූරිය ප්‍රකාශයට පත් නොකිරීමට අප තීරණය කොට තිබෙනවා. නමුත් මේ ජූරිය ඉතාමත් වගකීම් සහගත මෙන්ම සියලු සුදුසුකම් සහිත ජූරියක් බවට අප සහතික විය හැකියි. සිනමා ක්ෂේත්‍රයට සෘජුවම සම්බන්ධතා තිබෙන ඒ ක්ෂේත්‍රය පිළිබඳ පෘථුුල දැනුමක් සහිත පිරිසක් තමයි මෙම උළෙලේ ජූරිය ලෙස කටයුතු කරන්නේ. ඒ ප්‍රමිතිකරණ ක්‍රියාවලිය ඉතාමත් විනිවිදව මෙන්ම වගකීම් සහගතව පවත්වාගෙන යාමට අප වග බලා ගත් බව ප්‍රකාශ කරන්නේ වගකීමෙන්.

මේ උළෙලේදී මැදහත් විනිශ්චයක් ලැබෙන වග හෘද සාක්ෂියට අනුව විශ්වාසද?

ඇත්තටම ඔව්. මෙම සම්මාන සඳහා චිත්‍රපට තෝරා ගැනීමේදී අප සෑම චිත්‍රපටයක්ම මි. මී. 35 ප්‍රමාණයේ තිරයේ ජූරියට නරඹන්නට අවස්ථාව උදාකර දුන්නා. මැජෙස්ටික් සිටි හි ගෝල්ඩ් සිනමා ශාලාවේ සියලුම පසුකම් සහිතව තමයි ජූරිය මෙම චිත්‍රපට නැරඹුවේ. කිසිම මොහොතක කිසිම චිත්‍රපටයකට තාක්ෂණිකව හෝ අසාධාරණයක් නොවන්නට අපි වග බලා ගත්තා. මේක තමයි අපේ ප්‍රමිතිය. මේක තමයි අපේ වගකීම සහ සාධාරණය. ඉතිං මේ සියලුම සම්මාන ඉතා සාධාරණව යුක්තිසහගතව බෙදීයාවි කියලා අපට නොබියව ප්‍රකාශ කරන්න පුළුවන්.

ඔබ නිතරම අප කියන බහු වචනයෙන් තමයි පිළිතුරු දෙන්නේ?

ඔව්. මේක මගේ තනි කටයුත්තක් නොවේ. එකිනෙකාගේ වගකීම් සමුදාය එක් තැනකට ගොනු වූ විට තමයි මේ සම්මාන උළෙල බිහි වෙන්නේ. ඉතිං මේක ඒ. බී. සී. මාධ්‍ය ජාලයේ අපේ කටයුත්තක්. ඒ. බී. සී. මාධ්‍ය ජාලයේ ප්‍රධානී රේනෝ ද සිල්වා මහතා ප්‍රමුඛ සෑම දෙනාම මේ කටයුත්තේ දායකාරකාදීන් වෙනවා.

මෙම සම්මාන උළෙලට බොලිවුඩ් තරු රැසක් පැමිණීමට නියමිතයි. මීට පෙර සරසවිය සම්මාන උළෙල තමයි මේ සම්ප්‍රදාය ඇරැඹුවේ?

ඇත්තටම අපි දිනෙන් දින අලුත් විය යුතුය කියලා මං හිතනවා. සියලුම සම්මාන උළෙලවල අංග තවත් ඉදිරියට ගෙන යාමක් තමයි මේ සම්මාන උළෙලේදී වෙන්නේ.

මේ සම්මාන උළෙළ සඳහා අනිල් කපූර්, සුනිල් ෂෙට්ටි, බිපාෂා බාසු, විවේක් ඔබ්රෝයි, අල්කා යාග්නිත් සහභාගිවීමට නියමිතයි. ඇත්තටම මෙම සම්මාන උළෙලේ ආකෘතිය පිළිබඳ ඔවුන් ඉතාමත් පැහැදීමට පත් වෙලයි ඉන්නේ.

ඒ වගේම ලංකාවේ නළු නිළියන් සහ ඉන්දියාවේ නළු නිළියන් එක්ව කරනු ලබන නර්තන අංග මෙම උළෙලට අන්තර්ගතයි. මෙය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය ජය ගැනීමට අපි සූදානම්.

මෙම උළෙලේ විශේෂතා මොනවාද?

ගෝල්ඩ් කාර්පට් නැතහොත් රන් පලස මතින් තමයි ප්‍රවිෂ්ටය සිදු වන්නේ. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තමයි මෙම උළෙලේ සියලුම නෘත්‍ය අංග නිර්මාණය වී තිබෙන්නේ.

විශේෂ සම්මාන මොනවාද පිරිනැමෙන්නේ?

නිර්මාණාත්මක මෙන්ම තාක්ෂණික පාර්ශවය අගයමින් සම්මාන පිදෙන අතර ලාංකීය සිනමාව නව මානයකට එක් කළ ශිල්පීන් උදෙසා Hiru Trend Setler Award සම්මාන පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම කෙටි චිත්‍රපට සඳහාත් සම්මාන පිරිනැමීමට තීරණය කොට තිබෙනවා. ඒ වගේම ජනතා පරමාධිපත්‍යයෙන් ජනප්‍රියම නළුවා, නිළිය, ජනප්‍රියම ගීතය, ජනප්‍රියම චිත්‍රපටය තේරීමට කටයුතු යොදා තිබෙනවා.

‘ජනතා පරමාධිපත්‍ය’ මේක පොදු වචනයක්. නමුත් ඔබට වගකීමෙන් කියන්න පුළුවන් ද ජනතා පරමාධිපත්‍යය ඉටු වේවි කියලා?

අනිවාර්යෙන්ම www.hirugoldenfilmawards.lk  වෙබ් අඩවිය හරහා ඒ විනිවිදභාවය දකින්නට පුළුවන්. මෙම උළෙලේදී ජනතාවගේ පැතුම ඉටුවනු නියතයි.

මේ උළෙලේ අරමුණ ඔබේ මාධ්‍ය ජාලයට හොඳ ප්‍රචාරයක් ලබා දීමද?

නැහැ. කවුරුන් හෝ එහෙම හිතනවා නම් ඒක වැරදියි. මේක සත්භාවයෙන් හා ලංකාවේ සිනමාවට ආදරයෙන් කරන කටයුත්තක්.