මේ ශ්‍රී ලංකාවට උත්තේජනයක් අවශ්‍ය මොහොතක්
මේ ශ්‍රී ලංකාවට උත්තේජනයක්
අවශ්‍ය මොහොතක්
සම්මානනීය සිනමාවේදී
ජානු බරුවා
කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නිමා වූයේ, ශ්‍රී ලාංකේය චිත්‍රපට ක්ෂේත්‍රයට සහ
ප්‍රේක්ෂකයනට සොඳුරු අත්දැකීමක් මෙන්ම නැවුම් බලාපොරොත්තු ද ඉතිරි කරලමිනි. මෙහිදී
ප්‍රදර්ශනය වූ ජාත්‍යන්තර චිත්‍රපට, නව මානයන් තුළින් ජීවිතය දැකීමට චිත්‍රපටලෝලීන්
හුරුකර වූ බව නම් නිසැකය. ජාත්‍යන්තර සම්මානලාභී ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ ජානු
බරුවා අධ්‍යක්ෂණය කළ ‘අජේයෙන්’ චිත්‍රපටයට මෙම උළෙලේ දී ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර
හිමි විය. මේ ජානු බරුවා සමඟ කළ විශේෂ සාකච්ඡාවකි.
1952 වසරේදී ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ උපත ලද ජානුගේ මුල්ම චිත්‍රපටය අපරූපා නම්
විය. හලෝ දී චොරායේග් බයොදුන් කායි, මෛයි ගාන්ධි කෝ නහින්මේරා, පොති ඇතුළු චිත්‍රපට
15 ක් ඔහු හින්දි හා ඇසෑම් බසින් නිර්මාණය කරන ලදී.
* ජාත්‍යන්තර චිත්‍රපට උළෙල පිළිබඳව ඔබගේ මතය කුමක්ද? කිසියම් රටක චිත්‍රපට
ක්ෂේත්‍රයට ඉන් ලැබෙන පිටිවහළ කෙබඳුද?
අපිරිසුදු නගරයක් පිරිසුදු කළ විට එය අපට ඇසට පෙනෙනවා. ඒත් දූෂිත වූ මනසක් පිරිපහදු
වූ විට, එය අපට පෙනෙන්නේ නැහැ. ඒත් එය සමාජයේ සුබ සිද්ධියට හේතු වෙනවා. මේ ශ්‍රී
ලංකාවට බොහෝ උත්තේජනයක් අවශ්‍ය මොහොතක්. ජාත්‍යන්තර ප්‍රතිරූපයක් ගොඩ නඟා ගැනීමට
මෙම උත්තේජනයන් ඉතා වැදගත්. මෙවැනි දැවැන්ත කලා කටයුතු තුළින් ඊට අවශ්‍ය ආකල්පමය
වටාපිටාව ජනතාවගේ සිත් තුළ ඇති කළ හැකියි.
* ධර්ම දේශනා ඇසීමෙනුත් දූෂිත මනස් පිරිපහදු වෙනවා?
ඇත්ත. ඒත් සිනමාව කියන්නේ දෘෂ්‍යමය මාධ්‍යයක්. ඒ නිසා ඕනෑම මට්ටමක කෙනෙකුට ඉන්
ලබාදෙන පණිවුඩය පහසුවෙන්ම ග්‍රහණය කරගත හැකියි. බලන්න එකම මොහොතක ලෝකයේ ඉන්නා
ධනවත්ම පුද්ගලයා සහ දිළිඳුම පුද්ගලයා ඔබට තිරයේ දකින්නට ලැබෙනවා. ඉන් පසු ඔබ මේ
චරිත සමඟ ගනුදෙනුව අරඹනවා. මේ හරහා ඔබට විශාල අවබෝධයක් ලැබෙනවා ජීවිතය පිළිබඳව.
* කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉතාම ඉහළයි. සිනමා
සංස්කෘතිය වළපල්ලට ගිය රටක සිදු වූ මේ අරුමය කුමක්ද?
මිනිසුන්ගේ හිත්වල තවමත් සිනමාව නොමැරී පවතින බවට මෙය හොඳ ඉඟියක්. දැන් ඔබගේ සිනමා
කර්මාන්තයේ රික්තකයක් පවතිනවා. එය පිරැවිය යුතුයි වහාම. දැන් සිනමාව පිළිබඳව
කතිකාවක් ඇරඹීමට හොඳම කාලයයි. වසරකට එක් චිත්‍රපට උළෙලක් තිබුණාට මදි. සිනමා සමාජ,
සිනමා පුවත්පත්, කුඩා චිත්‍රපට උළෙලවල්, සිනමා විචාර තුළින් මේ සංවාදය ගොඩ නැඟිය
හැකියි. චිත්‍රපට පිළිබඳ ‘අනුරාගය’ ඇති විය යුත්තේ පේ‍්‍රක්ෂකයන්ගේ හිත් තුළයි
මූලිකවම. ඒ වගේම වගකිවයුත්තන්ට ‘බලපෑම් කරන කණ්ඩායම්’ ඇති කළ යුතුයි මේ ක්ෂේත්‍රය
තුළ.
* ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් පැවැත්වීමට ශ්‍රී ලංකාව කෙතරම් සුදුසුද?
ශ්‍රී ලංකාව, විශේෂයෙන් කොළඹ කියන්නේ මේ සඳහා තෝතැන්නක්. ආචාර්ය ලෙස්ටර් ජේම්ස්
පීරිස් ඔබට සිටින ජාත්‍යන්තර තලයේ දැවැන්තයා. ඔහුට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම ඉතා
ඉහළයි. එතුමා කේන්ද්‍ර කරගෙන ඔබට පුළුවන් බොහී දේ සාක්ෂාත් කරගන්ට. ඈෂ්ලි
රත්නවිභූෂණ, ප්‍රසන්න විතානගේ වැන්නවුන් හට තිබෙන ජාත්‍යන්තර සබඳතාත් බොහොමයි.
* ‘අජේයෙන්’ ඔබගේ පහළොස් වැනි සිනමාවයි. අජේයෙන් කථාව, සමාජවාදී දර්ශනය ඉස්මතු
කරන්නක්. එය බෞද්ධ දර්ශනයටත් ඉතා සමීපයි. නවකතාවක් ඇසුරින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය
කරන්නට ඔබ යොමු වුණේ ඇයි?
පොදු ජනතාවගේ ජීවිත පිළිබඳව මා බොහෝ සංවේදියි. මා එන්නේ නැගෙනහිර ඉන්දියාවේ ඇසෑම්
ප්‍රාන්තයේ සිටයි. ඒත් මගේ මුතුන්මිත්තන් උන්නේ තායිලන්තයේ. මේ පේන්නේ නැද්ද මගේ
මොන්ගොලොයිඩ් මුහුණ. (සිනාසෙයි). මිනිස් වර්ගයා සතු විය යුතු උතුම් වස්තුව
මනුෂ්‍යත්වයයි. මේ පොතෙන් මනුෂ්‍යත්වය ඉස්මතු වන නිසා මා එයට ඇලුම් කළා. අදටත්
ආසියාතික රටවල විශේෂයෙන් ඉන්දියාවේ මිනිසුන් කුªල භේදය වපුරනවා. වංශ කබල් ගානවා. ඒ
වුණත් මේ කාලය පරිවර්තන යුගයක්. මා මේ චිත්‍රපටයෙන් මනුෂ්‍යත්වයේ අගය පෙන්වන්න
උත්සාහයක යෙදුණා.
දැන් ගෞතම බුදුපියාණන් පිරිනිවන් පා වසර 2600 ක් ගෙවී අවසන්. දැන් පවතින්නේ දරුණු
චක්‍රයක ඇරඹුමක්. දැන් ඉන්දියාවේ බොහෝ අකටයුතුකම් සිදු වන්නේ බුදුන් වැඩසිටි උත්තර
ප්‍රදේශයේ හා බිහාරයේමයි. මේ චක්‍රය ආපසු හැරවීමට අපි අපගේ ශක්ති ප්‍රමාණයෙන්
දායකත්වය සැපයිය යුතුයි. බුදුන්ගේ දර්ශනය මිනිසුන්ගේ සිත්වලට නැවත කාවදන්නටයි අපි
උත්සාහ කළ යුත්තේ. නැතිනම් මේ ලෝකය අපායක් වේවි.
* කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ තිරගත වුණ ඉන්දිය සහ ශ්‍රී ලාංකික චිත්‍රපට බොහෝ
විදේශිකයන්ගේ පවා පැසසුමට ලක් වුණා. ඔවුන් ඒවා ගැන ඉහළින් කතා කළා.
මා එය පිළිගන්නවා. අපගේ සංස්කෘතීන් තුළ සම්ප්‍රදායට හිමි වන්නේ උසස් තැනක්. අප
හරපද්ධතීන් අගය කරනවා. ජීවිතය ගැන වෙනස් අයුරින් හිතනවා. උදාහරණයක් විදියට අපි
‘මරණය’ සළකන්නේ ජීවිතයේ කොටසක් හැටියටයි. ඒත් බටහිර ලෝකයේ වැසියන් මරණයට බයයි. අප
හිතුවත් බටහිර ලෝකය දියුණුයි කියා, ආධ්‍යාත්මික දියුණුව තිබෙන්නේ අප සතුවයි. ඒ නිසා
මානව සබඳතා ගැන අපට පුළුවන් ඔවුන්ට වඩා ගැඹුරින් විශ්ලේෂණය කර කතා කරන්නට.
* අපගේ පණිවුඩය සිනමාව තුළින් ජාත්‍යන්තර තලයට ගෙන යන උත්සාහයේදී කුඩම්මාගේ සැලකිලි
ලැබෙනවාය කීවොත්?
‘ගාන්ධි’ චිත්‍රපටය ඔය කියන ජාත්‍යන්තර තලය ආක්‍රමණය කළා. එහි රහසක් තිබෙනවා.
ගාන්ධි චිත්‍රපටය ජාත්‍යන්තර සහයෝගීතාවේ (ඛ්ධතතචඡධපචබඪධද) ප්‍රතිඵලයක්. එමඟින්
‘අහිංසා’ සංකල්පය ලොවටම ගෙන ගියා. ජාතත්‍යන්තර තලයට යෑමේදී මෙවැනි ක්‍රමෝපායන් අපි
භාවිත කළ යුතුයි. තවත් දෙයක් අපගේ ශක්තීන් අප තේරුම් ගත යුතුයි. දැන් බලන්න බෞද්ධ
දර්ශනය කියන්නේ අපගේ ඉහළම ශක්තිය. මෙම දර්ශනය අපගේ සිනමාකරුවන්ට බොහෝ කතා නිර්මාණය
කිරීමට උපකාර වේවි. අපි හැම විටම බටහිර චිත්‍රපට අනුකරණය කරන්නට ගියෝතින් අපගේ
අන්‍යතාවයක් (උඉර්‍ථ) ගොඩ නඟා ගන්නට නොහැකි වේවි.
* ඩිජිටල් සිනමාව පිළිබඳව ඔබගේ දැක්ම කෙබඳුද? කාලොස් රෙගදාස් පැවසුවා ඔහුගේ
‘අඳුරින් ආලෝකයට’ (Light After Darkness) චිත්‍රපටය සඳහා සෙලියුලොයිඩ් පට භාවිත
කළ බව. ඔහු පැවසුවේ ඩිජිටල් තාක්ෂණය තුළින් ඔහුගේ චිත්‍රපටයට අවශ්‍ය ‘ජීව ගුණය’
ගතහැකි නොවූ බවයි.
ඕනෑම චිත්‍රපටයකට වැදගත් වන්නේ එහි අවසන් නිමාවයි. මමත් සෙලියුලොයිඩ් පටයට තවමත්
ආසයි. ඒත් මං ‘අජේයෙන්’ රූපගත කළේ ඩිජිටල් තාක්ෂණයෙන්. ඒත් චිත්‍රපටය නැරඹූ බොහෝ අය
මගෙන් අසා සිටියා මං ඒක කළේ සෙලියුලොයිඩ් පටයෙන් ද කියා.
මං ඩිජිටල් තාක්ෂණය හැදෑරුවා. යාවත්කාලින වුණා. දැන් මට පුළුවන් ඩිජිටල් තාක්ෂණය
තුළින් මට අවැසි දේ ලබා ගන්නට. ඉතින් මං කියන්නේ අපි තාක්ෂණයට බිය විය යුතු නැහැ.
අපි එය අතැඹුලක් බවට පත්කර ගත යුතුයි. තාක්ෂණය ඇවිත් යාවි. තවත් තාක්ෂණයන් ඉන් පසු
ඒවි.
කෙසේ වුණත් සෙලියුලොයිඩ් පටය ඉක්මනින්ම අභාවයට යාවි. ඔබ ඔබගේ තාක්ෂණය හඳුනනවා නම්
සෙලියුලොයිඩ් තුළින් ලබාගන්නා මට සිලිටු බව, හැඟීම් උද්දීපනය කෙරෙන සොබාව ඔබට
ඩිජිටල් තාක්ෂණයෙනුත් ලබාගත හැකි වෙනවා. ඒ නිසා අප එක් එක් තාක්ෂණ විධි ක්‍රම ගැන
හැඟීම්බර විය යුතු නැහැ. ඒත් යාවත්කාලීන විය යුතුයි.
* ශ්‍රී ලාංකික සිනමාව මේ මොහොතේදී සම්පූරණයෙන්ම මිමි. 35 බැහැර කොට ඩිජිටල්
තාක්ෂණය වැළඳ ගත යුතුයි කියන බොහෝ සිනමාකරුවන් පවසනවා. ඔබගේ අදහස?
මේ ගෙවී යන්නේ ඔබගේ සිනමාවේ පරිවර්තන යුගයක්. වර්තමාන තත්ත්වය ගැන සිතා බැලුවොත් මට
කියන්නට පිළිවන් ඔබ මේ තාක්ෂණයන් දෙකින්ම ප්‍රයෝජන ගත යුතුයි කියා.
එත්, තවත් වසර 2 ක් පමණ තුළදී තත්ත්වය මීට හාත්පසින් වෙනස් මුහුණුවරක් ගනීවි. ඒ වන
විට සෙලියුලොයිඩ් පටය වෙළඳපොලෙන් බැහැර වී තියේවි. ඒ නිසා මං යෝජනා කරන්නේ ඔබ වහාම
මේ මොහාතේම ඩිජිටල් තාක්ෂණය හා අනුගත වී ඒ පිළිබඳ දැනුවත් විය යුතු බවයි. සිනමා
ශාලාත් ඊට සරිලන ලෙස සකස් විය යුතුයි.
* ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කළ ‘28’ චිත්‍රපටය උළෙලේ අවසාන දිනයේ තරංගනී ශාලාවේදී
ප්‍රදර්ශනය කරනු ලැබුවා. ඔබ එය නැරඹුවාද?
ඔව්. මම එය බොහෝ උනන්දුවෙන් නැරඹුවා. එය වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්. මං ප්‍රසන්නගේ
චිත්‍රපටකරණයට කැමැතියි. සෑම චිත්‍රපටකරුවකු හටම ඔහුටම ආවේණික වූ ශෛලියක් තිබෙනවා.
මෙය චිත්‍රපටකරුවෙකු සතු ශක්තියක්. මේ නිසා චිත්‍රපටකරුවෙකු ලෝකයාට අවශ්‍ය දේ දිය
යුතුම නැහැ. ඔහු කළ යුත්තේ ඔහුට අවශ්‍ය දෙය, ඔහුට අවශ්‍ය ආකාරයට ලබාදීමයි.
ප්‍රසන්නත් එය හරි අපූරුවට කර තිබෙනවා. මං හැම විටම උත්සාහ කරන්නේ කිසියම්
චිත්‍රපටයක් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ ඇසින් නරඹන්නටයි. ඒ මමත් අධ්‍යක්ෂවරයෙකු
නිසා වෙන්නැති. ශ්‍රී ලංකික චිත්‍රපටකරුවන් සහ නළු නිළියන් සතු හැකියාව, ශක්තිය
හරිම ඉහළයි. අපට පුළුවන් ඉදිරි කාලය්දී නිර්මාණ සඳහා සහයෝගයෙන් කටයුතු කරන්නට. මේ
තුළින් අපගේ ශක්තීන් ලෝකයට ගෙන යන්න පිළිවන් වේවි. මේ ‘සහයෝගීතා නිර්මාණ’
(Collaborations) කියන වචනය මා බොහෝ අමන්දානන්දයට පත් කරන්නක්. ඇත්තෙන්ම කියනවා
නම් අද උදෑසනත් මා මගේ බිරිඳත් සමඟ මේ ගැන කතා කළා. මගේ ඉදිරි නිර්මාණයන් එවැනි ඒවා
වේවි.
චන්න බණ්ඩාර විජේකෝන්
[email protected]
ඡායාරූප - සරත් පීරිස්
|