|
|
අහස් ගව්ව රඟපාන කොට මට තිබුණෙ එක කලිසමයි, කමිසයයි
කලං පුදුමයට පත් කළ චරිත හතක්
පුදුම හතෙන් තම හිතේ සුවිශේෂ ලෙසින් සටහන් වූ දේ අද පවසන්නේ අපේ සිනමාවේ ප්‍රතිභාපූර්ණ ජ්‍යෙෂ්ඨ නළුවෙකි. තාත්වික රංගනය තුළින් සිනමා අඹර ආලෝකමත් කළ ඔහු 1983 වසරේ ඩී. බී. නිහාල්සිංහයන් ගේ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයේ ජයසේන නම් වූ තරුණයා ගේ චරිතය නිරූපණය කළේ මෙරට ප්‍රථම ප්‍රාසංගික ටෙලි නාට්‍යයේ රංගන ශිල්පියා බවට ද පත් වෙමිනි. ඔහු සම්මානනීය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය යි. කලං යන ආදර නාමයෙන් හඳුන්වන මේ විශිෂ්ට රංගන ශිල්පියා සිය සිනමා ගමනේ සිත් ගත් චරිත ගැන කතා කළේ මේ අයුරිනි.
රැකියා විරහිත තරුණයන් තිදෙනකු වටා ගෙතුණු කතා පුවතක් ගෙන එන ‘අහස් ගව්ව’ චිත්‍රපටය අපේ සිනමාව වෙනස් කළ චිත්‍රපටයක්. එහි විජේ නම් වූ තරුණයාගෙන් පිළිබිඹු කළේ පීඩිත පන්තියේ තරුණයාගේ ප්‍රතිරූපය යි. තරුණ සමාජයේ ප්‍රශ්න ගැන කතා කළ ‘අහස් ගව්ව’ සිංහල සිනමාවේ සංධිස්ථානයක්. 1974 වසරේදියි ‘අහස් ගව්ව’ තිරගත වුණේ. එදා අපි සල්ලිවලට නෙවෙයි රඟපෑවේ. අහස් ගව්වේ රඟපානකොට මට තිබුණේ එක කමිසයකුයි එක කලිසමකුයි විතරයි. චිත්‍රපටය සිනමාවට සුවිශේෂ වුණා වගේම විජේ නම් වූ චරිතය මට විශේෂ වුණා. එය විචාරක ප්‍රසාදයට ලක් වී මා සම්මානයට පාත්‍ර කළ චරිතයක්. 1975 වසරේි හත් වැනි විචාරක සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙසින් මා සම්මානනීය කළේ අහස් ගව්වේ විජය යි.
ගාමිණී ෆොන්සේකා අධ්‍යක්‍ෂණය කළ 1981 වසරේ දී තිරගත වූ ‘සාගරයක් මැද’ චිත්‍රපටයේ චරිතයත් මා ලද චරිත අතරේ මා කැමතිම චරිතයක්. ගාමිණී සමඟින් වීණා ජයකොඩි, ටෝනි රණසිංහ, අයිරාංගනී සේරසිංහ වැනි රංග ශිල්පීන්, ශිල්පිනියන් පිරිසක් මෙහි රංගනයට එක් වුණා. දේශපාලනය ගැන කියවෙන කතා තේමාවක් ඔස්සේ ගෙතුණු කතාවක් එහි ඇතුළත් වුණේ. පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයකුගේ චරිතයක් නිරූපණය කළ මට ඒ චරිතය විශාල බලපෑමක් වුණා. ඒ නිසාම අදටත් එම ශිෂ්‍ය චරිතය මගේ හිතේ සුවිශේෂ අයුරින් සටහන්ව තිබෙනවා.
ධර්මසිරි ගමගේ අධ්‍යක්‍ෂණය කළ පූජා චිත්‍රපටයේ අලුගෝසුවාගේ පුතාගේ චරිතයත් මගේ රංගන ජීවිතයේ මට ලැබුණු වටිනාම චරිතයක්. එහි අලුගෝසුවා ලෙසින් මගේ පියාගේ චරිතය නිරූපණය කළේ ජෝ අබේවික්‍රමයන්. එය ප්‍රේක්‍ෂකයන්ගේ සිත් තුළ සේම මගේ මතකය තුළත් නොමැකෙන මතක සටහනක් ඇඳි චරිතයක් ලෙස මා නම් කරන්න කැමැතියි. එහි පෝරකයට නියම වූ මා එල්ලුම් ගසට යවන්නට සිදු වුණේ අලුගෝසුවා වූ මගේ පියා ලෙසින් රඟපෑ ජෝ මහත්තයාටයි. එය ඉතාම සංවේදී අවස්ථාවක්. මගේ රංගන දිවියේ සංවේදී අවස්ථාවන් කොතෙක් තිබුණත් මේ තරම් හැඟුම්බර අවස්ථාවක් මගේ සිතේ තැන්පත්ව නැහැ. එම දර්ශනය රූගත කළෙත් වැලිකඩ බන්ධනාගාරයේ සැබෑ පෝරකයේදීමයි. ඒ වගේම එම රංගනය වෙනුවෙන් මා ‘සරසවිය’ සහ ‘ජනාධිපති’ සම්මාන උළෙලයන් හි හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමත් අමතක නොවන සිදුවීමක්.
අපේක්‍ෂා චිත්‍රපටයේ පෙට්‍රල් ෂෙඩ් එකක රැකියාවේ නිරත තරුණයාගේ චරිතයත් මා බෙහෙවින් පි‍්‍රය කරන්නා වූ තවත් චරිතයක්. 1978 වසරේදී එච්. ඩී. ප්‍රේමරත්න අධ්‍යක්‍ෂණය කළ අපේක්‍ෂා චිත්‍රපටයේ මමයි මාලිනී ෆොන්සේකයි පෙම්වතුන් වුණා. එනිසා එයත් මගේ සිනමා දිවියේ විශේෂත්වයක් එක් කළ චිත්‍රපටයක්. අපේක්‍ෂා එදා වගේම අදටත් බෙහෙවින් ජනපි‍්‍රයයි. එහි ක්ලැරන්ස් විජේවර්ධන ගයන ‘සැණකෙළියේ සඳ එළියේ’ ගීතයත් මිල්ටන් මල්ලවාරච්චි සහ ඇන්ජලීන් ගුණතිලක ගයන ‘සඳ තනිවෙලා අහසේ’ ගීතයත් අදටත් මිහිරියි වගේම ජනපි‍්‍රයයි. එහි රන්ජන් මෙන්ඩිස් සමඟ තිබුණු සටන් ජවනිකාවත් මට කිසිදා අමතක වන්නේ නැහැ. ඒ මතකයට මා හැමදාමත් පි‍්‍රය කරනවා. නිමල්ගේ චරිතය වෙනුවෙනුත් මට එදා ‘සරසවිය’ සම්මාන හිමි වීම එහි අගය තව තවත් වැඩි කරනවා.
පරිත්‍යාගය චිත්‍රපටයේත් මම නිරූපණය කළේ නිර්දන පන්තියේ පීඩා විඳින තරුණයකුගේ චරිතයක්. සහෝදරිය විවාහ කරදීම වෙනුවෙන් වෙහෙසෙන්නා වූ පරිත්‍යාගශීලී සහෝදරයකු වූ ඒ චරිතය මගේ ජීවිතයටත් විශාල බලපෑමක් වුණා. මමත් ඒ විදියට සැබෑ ජීවිතයේදී දුක් කම්කටුලු වලට මුහුණ දුන් අයෙක්. එනිසා එවැනි චරිතයක් නිරූපණය කරන්න ලැබීමත් මගේ සිතේ තියෙන්නෙ පුදුම සතුටක්. එච්. ඩී. ප්‍රේමරත්න අධ්‍යක්‍ෂණය කර 1980 වසරේ තිරගත වූ එහි ධනප්‍රේමගේ චරිතය වෙනුවෙන් ජනාධිපති සහ සිග්නිස් උත්තමාචාර සම්මානත් හිමි වුණා.
නිශාන්ත ද අල්විස් අධ්‍යක්‍ෂණය කළ පොඩි විජේ චිත්‍රපටයේ මා නිරූපණය කළ චරිතය වෙනස්ම එකක්. එය සත්‍ය චරිතයක් ඇසුරෙන් නිර්මාණය වූවක්. පොඩි විජේ කියන මේ චරිතය එක පැත්තකින් අසත්පුරුෂ චරිතයක්. එ වැනි චරිතයක් රඟපාන්නට ලැබීම ගැන කනගාටුවකුත් මා සිතේ තියෙනවා. නමුත් මම පොඩි විජේ චරිතයට උසස් රංගනයක් ඉදිරිපත් කළා. ඒ වුණත් මිනීමරුවෙක් විදියට රඟපාන්න ලැබීම ගැන නම් තියෙන්නෙ දුකක්. පොඩි විජේ සමාජ ක්‍රමය හේතුවෙන් දරුණු පුද්ගලයෙක් බවට පත් වුණු පුද්ගලයෙක්. කෙසේ වෙතත් පොඩි විජේ කියන්නෙත් මගේ සිනමා ජීවිතය තුළ සුවිශේෂ මතක රැසක් ඉතිරි කළ රංගනයක්.
මාලිනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ගෝතමී පතිරාජ, විජය නන්දසිරි සමඟින් රඟ පෑ යස ඉසුරු චිත්‍රපටයේ සුරාජ් ගේ චරිතයත් මා ලද චරිත අතර බෙහෙවින් පි‍්‍රය වූවක්. එහිදීත් අසරණ නැගණිය වෙනුවෙන් නැගී සිටින ආදරණීය සහෝදරයකුගේ චරිතයක් තමයි නිරූපණය කිරීමට සිදු වුණේ. 1982 වසරේදී තිරගත වූ යස ඉසුරු ධර්මසිරි ගමගේ ගේ සිනමා නිර්මානයක්. එහිදී මම කරාටේ ක්‍රීඩාවේ යෙදෙන තරුණයකුගේ චරිතයකට පණ දුන්නේ. ඒ චරිතය මම කළේ මගේ අම්මා වෙනුවෙන්. ඇත්තටම ඒක මට ලොකු දෙයක්. අම්මාගේ ආදරය රිසි සේ විඳින්න නොහැකි වූ මට මේ චිත්‍රපටයට දායක නේන ලැබීම ගැන තියෙන්නෙ පුුදුම සතුටක්. එහි ඇතුළත් නන්දා මාලිනී ගයන ‘අම්මාවරුනේ’ ගීතයටත් මගේ තියෙන්නේ පුදුමාකාර ඇල්මක්. ඒ වගේම සුරාජ් ගේ චරිතය වෙනුවෙන් මට සරසවිය සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා සම්මානය ලැබීම ඒ සතුට තව තවත් වැඩි කරනවා.
|




අහස් ගව්ව -
විජේ
සාගරයක් මැද
පූජා -
අලුගෝසුවාගේ පුතා
අපේක්‍ෂා -
නිමල්
පරිත්‍යාගය –
ධනප්‍රේම
පොඩි
විජේ
යස ඉසුරු -
සුරාජ්