වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




විජය අද ඔබ සිටියා නම්...

විජය අද ඔබ සිටියා නම්...

අද ඔක්තෝම්බර් 09 වැනිදාය . විජය කුමාරතුංගයන් ජීවත්ව සිටියා නම් අදට වයස අවුරුදු 69කි. එහෙත් ඔහුගේ ජීවිත ගමන මෙයින් වසර විසිහයකට එපිට සාහසිකයෙකු විසින් නතර කරනු ලැබූවේය. කිසියම් පුද්ගලයකුගේ හදිසි අභාවයක් මෙරට සිනමා කර්මාන්තයට සෘජු බලපෑමක් කළේ නම් ඒ විජය කුමාරතුංගගේ මරණය පමණි. විජයගේ අවමංගල්‍ය උත්සවයට තරම් අතිවිශාල ජනසහභාගීත්වයක් එතෙක් මෙතෙක් මෙරට කිසිවකු වෙනුවෙන් සිදුවූයේ නැත. මියයන විට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විජය කුමාරතුංගයන් මෙරට ජනප්‍රියම නළුවා විය.

එමෙන්ම විජයගේ ඝාතනයෙන් කම්පාවටපත් වූ රසිකයෙක් ඔහුගේ දේහය තැන්පත් කොට තිබූ කලාභවන ඉදිරිපිට දී දිවි නසා ගත්තේය. විජයගේ ජීවමාන බලපෑම එතරම් දැවැන්ත එකක් විය. ඔහු මියගිය පසු සදහටම චිත්‍රපට නැරඹීම ප්‍රතික්ෂේප කළ රසිකයන්ද එමට විය. විජය ජීවත් වූයේ 43 වසරක් වැනි කෙටිකලක වුවද ඔහු ගොඩනැගූ ප්‍රතිරූපය සියවසක් ජීවත් වූවකුගේ ප්‍රතිරූපය ඉක්මවන්නකි. ඔහු මෙරට ප්‍රේක්ෂකයන් මුල්වරට දැකගනු ලැබූවේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ බන්දු නම් කෙලිලොල් තරුණයාගෙනි.

එයට පෙර ටයිටස් තොටවත්තයන් නිර්මාණය කිරීමට සූදානම් වූ ‘පුරන් අප්පු’ චිත්‍රපටය සඳහා විජය තෝරා ගත් වග ඇතැම් වාර්තාවල සඳහන් වෙයි.

එනේම ඔහු එම චිත්‍රපටයේ අසකු පිට සිටින ඡායාරූපයක්ද පැරණි පුවත්පත්වල මා දැක ඇත. එමෙන්ම ජී.ඩී. එල්. පෙරේරාගේ ‘රෝමියෝ ජූලියට් කතාවක්’ නම් චිත්‍රපටයේ එක් චරිතයක් රඟපෑවේ විජය කුමාරතුංගයන්ය . කෙසේ හෝ වේවා විජය ජීවත්ව සිටින සමයේ ඔහු සිනමාවට හඳුන්වාදීම පිළිබඳ ගෞරවය ලබාදී තිබුණේ සුගතපාල සෙනරත් යාපාට ය. එකල ඒ ගැන විවාදයක් නොවිණ.

ඒ ‘හන්තානේ කතාව’ චිත්‍රපටය සඳහා ඔහු තෝරා ගැනීමෙනි. හැත්තෑව දශකය ආරම්භ වන විට මෙරට සිනමාවේ මෙන්ම දේශපාලනයේද සමාජකතිකාවන්ගේද තරුණයන්ගේ පිබිදීමක් විය. එය මෙරටට පමණක් හුදකලා වූ සංසිද්ධියක් නොවන වග සමකාලීන ලෝකය විමසා බලද්දී පැහැදිලි වෙයි.

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් දශකයකට පමණ පසු ලොව පුරා පැතිරෙන මෙම තරුණයන්ගේ රැල්ල එවකට පැවති ලෝකය හා සිතුවිලි පුපුරවා යවන්නට බෙහෙවින් උපකාර විය. අද මෙන් ලෝකය අපට සමීප නොවුණද එම තරුණ පිබිදීම මෙරටටද ආගන්තුක නොවීය. හැත්තෑව දශකය ආරම්භයේදී සුගතපාල සෙනරත් යාපා මෙන්ම ධර්මසේන පතිරාජ, පියසිරි ගුණරත්න, වසන්ත ඔබේසේකර , සුභයාර් මකීන් වැනි සිනමාකරුවන් බිහිවනුයේ එහි ප්‍රතිඵලයක් හැටියට ය. විජය සිනමාවට පිවිසෙනුයේ මේ තාරුණ්‍යයේ සිනමා ආශ්වාදය ඇති චිත්‍රපටයකිනි.

එමෙන්ම එම තරුණයාට විජය හොඳීන් ගැළපිණ. එහෙත් වඩා වැදගත් ලකුණ වූයේ විජය එම ප්‍රවාහයේ මෙන්ම සම්මත ප්‍රධාන ප්‍රවාහයේ සිනමාවටද එකලෙස පෑහීමය.

යාපා අතින් බිහිවන විජය, ඉතා ඉක්මනින් ලෙනින් මොරායස්ට, නීල් රූපසිංහට පමණක් නොව යසපාලිත නානායක්කාරටද අත්‍යවශ්‍ය සාධකයක් විය. විජය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිට සුනිල් සෝම පීරිස් දක්වා කාටත් අත්‍යවශ්‍ය සිනමාකරුවෙක් විය. ඔහුගේ කඩවසම් සුනම්‍ය සිරුර දක්ෂ සිනමාකරුවන් අත මැටිගුලියක් සේ හැඩවැඩ වී අපූරු රංගන විලාසිතාවක් ඉස්මතු කළේය. එහෙත් ඔහු කිසිවිටෙකත් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා අභිබවා ගිය වගක් පල නොවේ. එය වඩා ඉස්මතු වනුයේ බෙහෙවින් දුබල අධ්‍යක්ෂණයන්හි දී එයින් ගැලවීමට උත්සාහ නොකළ වගක් ඔහුගේ චිත්‍රපට රංගනයේ පෙනෙන බැවිනි.

හැත්තෑව දශකය අගවන විට විජය සිනමාවේ මෙන්ම දේශපාලනයේද කැපී පෙනෙන තාරකාවක් විය. ඔහු මේ ජනප්‍රියත්වය එකී කාර්යයන් දෙකෙහිම වඩා හොඳීන් ඉස්මතු කළ වගක් පෙනේ. කෙතරම් ජනප්‍රිය වුවද තම දේශපාලන ප්‍රතිරූපය සඳහා අවශ්‍ය චරිතවලට පමණක් සීමා වන්නට විජය වෑයම් නොකළ වග පෙනෙන්නේ “කැඩපතක ඡායා” වැනි චිත්‍රපටයේ රංගනය උදෙසා ඔහු දැක්වූ දායකත්වය සලකා බැලීමෙනි. එහෙත් ඔහු ඇතැම් ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපටවල රංගනයේදී එතරම් තම චරිතය උදෙසා කැපවීමක් නොකල වග පෙනෙන්නකි.

ඒ ඇතැමක් දෙස අද හැරීබළන විට ජොබ් එක නිසා කළ වගක් යැයි කිසිවකුට හෝ සිතුණ හොත් එය වරදක් නොවේ. විජය තරම් මාධ්‍ය හරහා දැඩි තහංචිවලට ලක්වූ නළුවකු මෙරට සිටියේ නැත. ජය සිකුරුයි චිත්‍රපටය තිරගත වන විට ඔහුගේ නම විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තහනම් කොට තිබිණ.එවකට මෙරට තිබුණේ රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය පමණක් බැවින් මේ තහනම තදින් කැපී පෙනිණ. එහෙත් චිත්‍රපටය අතිසාර්ථක වූයේය.

චිත්‍රපටය තිරගත වීමට මත්තෙන් විජය මාස ගණනක් දේශපාලන සිරකරුවෙක් වූයේය. එහෙත් ඒ කිසිදු තහංචියක් ඔහුගේ සාර්ථකත්වය උදෙසා බලපෑමක් ඇති කළේ නැත. විජය මියගොස් වසර ගණනාවක් ගත වුණද ඔහුගේ ජනප්‍රියත්වයට සමකල හැකි සිනමා තාරකාවක තවම බිහි වූයේ නැත. එහෙත් ගත වූ වසර ගණන තුළ සිනමාව පිළිබඳ සමාජ ආකල්ප බරපතළ අන්දමින් වෙනස්ව ගියේය.

ඒ ආකල්ප වෙනස් කරන්නට සමත් කිසිවකු සිනමා ක්ෂේත්‍රයේ ඇතිවූයේ නැත. සිනමාවේ බොහෝ දෙනෙකුට මෙම වෙනස්කම් හඳුනාගන්නට හැකියාවක් තිබුණේද නැත. විජය ජීවත්ව සිටි සමයේ සිනමාව සහ ටෙලිවිෂනය යනු පැහැදිලි ඉරකින් බෙදාවෙන්කළ හැකි මාධ්‍ය දෙකක් වූයේය.

එකල චිත්‍රපට රූපගත කෙරුණේ දල සේයාපට වල පමණි. විජය ජීවත්වන තුරු කිසිදු ටෙලිනාට්‍යයක රඟපෑවේ නැත. තමා රඟපෑ චිත්‍රපට ටෙලිවිෂනයේ විකාශනය වනවාට ඔහු දැඩි විරෝධයක් පළ කළේය. චිත්‍රපට සඳහා ගිවිසුම් අත්සන් කරද්දී තමා රඟපෑ චිත්‍රපට ටෙලිවිෂනයේ ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොලැබෙන ලෙස කොන්දේසියක් දමන වග එකල විජය කිසියම් පුවත්පතක කියා තිබුණි.

එහෙත් වසර ගණනාවකට පසු විජයට හැටනවය වසර පිරෙන අදවන විට අලුත් පරම්පරාව විජය කුමාරතුංගයන් දකින්නේ ටෙලිවිෂනය හරහාය. ඔහු රඟපෑ එක් චිත්‍රපටයක් හෝ දෙකක් හැරුන විට අන් සියල්ල සිනමාහල්වල තිරගතව අවසන්ය.

පසුගිය වසර විසිඅට මුළුල්ලේ අලුතින් උපන් පරම්පරාව සිනමාව දකින්නේ පැරණි සම්ප්‍රදායේ එල්බගෙන නොවේ. තවදුරටත් සිනමා නිර්මාණය යනු මහෝශාක්‍ය කර්තව්‍යයක් සේ ගැනෙන නමුදු එය අද කොලු කෙල්ලන් අත පෑන් පැන්සල් ගානට වැටී ඇති මාධ්‍යකි.

දල සේයා පටය සදහටම අභාවයට ගොසිනි. තරුණයන් චිත්‍රපට නරඹන්නේ අතැති ජංගම දුරකථන වලිනි. විජයගේ ගී දකින්නට අසන්නට කැමැති පිරිස පෙර මෙන් නොව ඒ සියල්ල නරඹනුයේ යූ ටියුබ් වැනි සමාජ වෙබ් අඩවි ඔස්සේය.

වර්තමානයේ බොහෝ දෙනාගේ වීරයන් ආනයනය කල පිරිසකි. මෙම සමාජ විපර්යාසය තුල විජය කුමාරතුංගයන් ජීවත්ව සිටියා නම් ඔහු එයට මුහුණ දෙනු ඇත්තේ කවර ආකාරයෙන් විය හැකිද? මෙම සමාජ පරිවර්තනය අකමැති කියා එය ප්‍රතික්ෂේප කරන්නට අපට නොහැක.

එහි යථාර්ථයට අප මුහුණ දිය යුතුව ඇත. විජය හැත්තෑව අසූව දශකයන්හි තරුණයන්ගේ සිත් තුළ ගෙඩනැගූ ප්‍රතිරූපය අද පරම්පරාවට පහසුවෙන් හඳුන්වාදිය නොහැක. එය කාලානුරූපව යෞවන හැඟීම් සමඟ ඇතිවූ සංකල්පයකි. එයට අපි ඇලුම් කළෙමු.

විජය මෙන් අඳීන්නට ඔහු මෙන් හිස පීරන්නට එකල තරුණයන් නොකළ දෙයක් නැත. අපේ සිනමා තාරකාවන් අතර විජය ඉස්මතු කළ ප්‍රතිරූපය කෙතරම් දයත් විජයගේ හදිසි අභාවයත් සමඟ ඩුප්ලිකේට් විජයලා පැටව් ගසන්නට විය. විජයගේ කන්කළු ගී හඩ අනුකරණය කළ කපුටු ගී ගයන්නන් බහුල විය. එහෙත් මේ කිසිවකුට හෝ විජය ජීවත්ව සිටි සමයේ ගැටවරයන් වූ පිරිස අප හෝ ලද ආශ්වාදය අද පරපුරට කියා දෙන්නට කවරහෝ මාධ්‍යයක් සමත් වෙත්දැයි මට වැටහෙන්නේ නැත. විජය රඟ පෑ චිත්‍රපට ටෙලිවිෂනයේ නරඹන අද පරපුරේ තරුණයෙකුට හෝ තරුණියකට එදා විජය සතු වූ අද්විතීය ජනප්‍රියත්වය කෙබඳු දැයි වටහා දිය හැකිද? විජයට වසර හැටනවයක් පිරෙන අද දවසේ ඔහු සිටියානම්.........?