වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




කාගෙත් ආදරය දිනූ ‘ප්‍රේම්’ට දැන් සුවයි

කාගෙත් ආදරය දිනූ ‘ප්‍රේම්’ට දැන් සුවයි

ප්‍රේමදාස විතානගේ නම පැවසූ සැනින් සියල්ල හඳුනන්නේ කලා ක්ෂේත්‍රයේ හිත හොඳ මිනිසෙකු හැටියටය. ටෙලිවිෂනය, සිනමාව, වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයේම කැපී පෙනුණු ඔහු හදිසියේ රෝගාතුර වූ වග පසුගියදා සැළවිණ. අප එහි ගියේ ඔහුගේ දුක සැප විමසා බලන්නටය.

අප ප්‍රේම් අයියා සමීපයට ගියේ දිගු කලකින් ඔහු දැකීමේ සතුටත් සමඟිනි. නමුත් සියුම් දුකක් ද අප සිත් හී තිබුණි. ඒ හිතාදර රංගන ශිල්පියා හදිසියේම රෝගාතුර වූවේ සක්‍රීයව රංගන කටයුතුවල යෙදෙන අතරතුරය.

* ඉතින් ප්‍රේම් අයියේ කොහොමද ඔයාට දැන්?

දැන් ලෙඩේ සියයට පණහක් විතර සුවයි. දිගටම ප්‍රතිකාර කරනවා. ඩොක්ටර් මහේන්ද්‍ර පෙරේරා තමයි ඒ බෙහෙත් හේත් ලබා දෙන්නේ. ඔහුටත් තුති පුදනවා මේ වෙලාවේ.

ඔහොම තමයි මල්ලි මිනිස්සුන්ගේ ජිවිත. මේ ඉන්නවා මේ යනවා. මුලින්ම මට ආවේ බඩේ අමාරුවක්. එන්න එන්න ලෙඩේ තද වුණා. සුළු අජීර්ණයක් කියලා මුලදී ගණන් ගත්තේ නැහැ. ඒත් තේරුණා මේක එහෙම දෙයක් නෙවෙයි කියලා. අන්තිමේ වෛද්‍යවරයකු හමුවෙලා පරීක්ෂණ කළා. එහිදී තමයි තීරණය වුණේ මගේ බඩේ රෝගී තත්ත්වයක් ඇති වෙලා කියලා.

* ගොඩක් බය හිතෙන්න ඇති?

ඕන කෙනෙකුට තමන්ගේ ඇඟේ රෝගයක් කියලා දැනගත්තම විශාල බයක් දැනෙනවා. මටත් එහෙම වුණා. ඉස්පිරිතාලේ නවතින්නට වෛද්‍යවරු කිව්වා. දවස් කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ගත්තා. එහිදී තමයි මගේ හිත හැදුණේ. මම හොඳයි. අවුරුදු හැට එකේදිනෙ මට මෙහෙම දෙයකට මුහුණ දෙන්න වුණේ. ඒත් අවුරුදු විස්සේ තිහේ තරුණ කොල්ලො කෙල්ලෝ මටත් වැඩිය අසාධ්‍යව ඉන්නවා මං සියැසින් දැක්කා. හරිම දුකයි. ඒ අතින් බලද්දී මං වාසනාවන්තයි. මුලදි ලෙඩේ හඳුනගෙන ප්‍රතිකාර කරන්න ලැබුණා. දැනට මට ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරනවා. තුනක් ගැහැව්වා. තව තුනක් ගහන්න තියෙනවා. අනෙක් ඉන්ජෙක්ෂන් තුනත් ගැහැව්වායින් පස්සේ ඉස්සෙල්ලා පරිදිම ඉන්න පුවවන් වේවි. මේ ඉන්ජෙක්ෂන් සඳහා වියදම් වන මුදල් ලබා දුන්නේ ජනාධිපති අරමුදලින්. ඉන් එකකට ලක්ෂ තුනක් වැය වෙනවා. ඒ ප්‍රතිපාදන ලබා දුන් සියලු දෙනාට මං ස්තුති කරනවා.

* මේ කාලය අතරතුර ඔබට සෑහෙන්න නිර්මාණ මග හැරුණා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ප්‍රේම් අයියා ඇඳට වැටිලා කියලා. එහෙම කට කතාවකුත් පැතිරුණා.

අපොයි ඔව්. මට අන්තිමයි කියලා කතාවක් බොහොම දරුණු අන්දමින් ව්‍යාප්ත වුණා. මගේ ලෙඩේ තද වුණෙත් සූරියභානු නාට්‍යයහි රූගත කිරීම්වලට යද්දිනෙ. මට ඒකට සහභාගි වන්නත් බැරි වෙලා ආපහු ආවා. ඊට පසුව ටෙලි නාට්‍ය පහකට කතා කළත් ඒවාට යන්නත් බැරි වුණා. නමුත් දැන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෛද්‍යවරු කිව්වා රඟපෑවට කමක් නැහැ කියලා. අනික මානසිකවත් වේදනාවක්නෙ මම මෙහෙම ගෙදරට වෙලා ඉන්න එක. ආයේ නිර්මාණ බාර ගන්නවා මම.

මල්ලිලට කියන්න මට බත්, පාන්, ඉදියප්ප වගේ කිසිම කෑමක් කන්න බැරිව හිටියේ. කිසිම පිරියක් නැහැ. ඒ ලෙඩේ හැටිලු. ජෙලි සහ චීස් වර්ග විතරයි කන්න පුළුවන් වුණේ. දැන් ටික ටික කන්න පුළුවන්.

මගේ යාළුවො බොහෝ දෙනෙක් මාව බලන්න ආවා. අපේ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහත්තයා ඒ අතරින් විශේෂයි. හැමෝම ඇවිත් මගේ හිත සනසලා ගියා. මට ඔවුන් ආවම තමයි දැනෙන්නේ මා වටා කොපමණ පිරිසක් ඉන්නවද කියලා. ඒ වගේම අපේ ප්‍රදේශවාසීන්, කලාකරුවන් සහ වෙල්ලස්සෙ වෙඩි හඬ සංවිධානයෙන් මං වෙනුවෙන් බෝධි පූජා තුනක් තියලා තිබුණා. ඔවුන්ගේ කැප කිරීම මං බෙහෙවින් අගයනවා.

* ඔබ මේ වන විට වේදිකා නිර්මාණ කිහිපයකටම දායක වෙලයි හිටියේ. ආයේ වේදිකාවට එන්න පුළුවන්ද?

අනේ ඔව්. කැප්ටන් කූල්, අයෑම් ශ්‍රී ලංකා ඇතුළු වේදිකා නිර්මාණවලට රෝගී වෙනකම්ම හිටියා. වේදිකා නිර්මාණයක රඟපාලා වේදිකාවෙන් බහිද්දී දැනෙන සන්තෝසෙ වචනවලින් නිම කරන්න බැහැ. ඒ හින්දා ළඟදීම වේදිකාවට එකතු වෙනවා. ඒකෙ වචන දෙකක් නැහැ.

මට දැන් ඉස්සර වගේ කන්නත් පුළුවන්. මං හිතන්නේ ඉතාම ඉක්මනින් මට පෙර තත්ත්වයට එන්න හැකි වේවි වගේ.

* ප්‍රේම් අයියාට දරුවන් පස් දෙනෙකි. දෙදෙනකු නිවසට ගොඩ වැදුණ අතර ඒ පිරිස අපේ කැමරා ඇසට අසු විය.

අපි දැන් බැඳලා අවුරුදු තිස් අටක්.

ප්‍රේම් අයියා බිරිය දෙස බලා පැවසීය.

* ප්‍රේම් අයියා අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනෑ.

අමිත් අවසන් කොට කීවේ අප නිවසින් එළියට බහින අතරතුරදීයි.

මේ ප්‍රේම්ගේ දුරකතන අංකයයි 0777602832.