|
තාත්තේ ගිහින් එන්නප්රවීණ කලාකරුවෙකු වූ බන්දුල විතානගේ මහතා අද දැයෙන් සමු ගන්නේය. දේහය පිළිබඳ අවසන් කටයුතු සවස 4.30ට බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. දේහය මේවන විට ජාතික කලාභවනේ තැන්පත් කොට තිබේ. පියකු ගැන පුතකු ලියූ සංවේදී ලිපිය
මාස කිහිපයකට ඉහත දී මා උත්තරීතර පිය පදවියට පත් වූයේ දුර්ණවී රුවිහාරි දියණිය මෙලොව එළිය දුටු දාය. එදින මා ලද ආඩම්බරකාර ආශ්වාදය මා උපන් දිනයේදී අපේ තාත්තා අත් විඳින්නට ඇත. මා පියකු වූ මොහොතේ දැනුණු ආඩම්බරකාර හැඟීම එදා තාත්තා ද ලබන්නට ඇත. දැන් මගේ ආදරණීය තාත්තා බොහෝ දේ ඉතිරි කොට නික්ම ගොස් අවසානය. බන්දුල විතානගේ නම් වූ සදා අනුස්මරණීය, සදා අමරණීය සුන්දර මිනිසාගේ පුතකුව උපත ලැබීම සැබැවින්ම පෙර පින් පල දුන් වාසනාවකි. අපේ අම්මා කමලා විතානගේත් අයියා චානක සහ අක්කා වජිරා සහ මා එක් වූ කළ තැනුන, මැවුන සුන්දර ලෝකය සිත නිවන නිර්මල වූ එකක් වූයේය. මා කුඩා කලම තාත්තා මගේ රටේ වීරයකු වූයේය. කොළඹ නාලන්දා විද්‍යාලයේ සුවිසල් මාර තුරු වියල යටින් තාත්තා මා පාසලට රැගෙන යන්නේය. එහි යන අතරමගකදී හමුවන ගුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් හෝ සමාජයේ උසස් යැයි කාණ්ඩ ගත කළ රැකියාවන්හි නියැළෙන්නන් අපට හමු වන්නේය. ‘බන්දුල මහත්තයා අලුතෙන් නාට්‍යයක් කළේ නැද්ද?’ කෙනෙක් අසන්නේය. ‘මාස්්ටර් බන්දුල ඩ්‍රාමා එක නම් හරිම ලස්සනයි තාත්තා අමතා කෙනෙකු එසේ කියන්නේය. තාත්තා මට වීරයෙකු වූයේ කුඩා කාලයේදීය. ක්‍රමයෙන් මා ලෝකය තේරුම් ගනිද්දී පොත් අතර හිර වුණු තාත්තා උගතෙකු, විද්වතෙකු බව මට හැඟෙන්නට පටන් ගත්තේය. කුඩා කලදීම යුගයේ ජනප්‍රිය තරු තාත්තාගෙන් උපදෙසක් අනුග්‍රහයක් ලබා ගැනීමට අප නිවසට යනෙන අයුරු මා දුටුවේය. නිහතමානී සුපිරිසිදු හිතැති තාත්තා නිරතුරුවම සැමට අත හිත දුන් ගුරුවරයෙක් ද වූයේය. එමෙන්ම ඔහු අතිශය විමෝදකාමී නිදහස් නිස්කලංක සරල සුන්දර නිහඬ මිනිසෙකු ද වූයේය. අයියාත්, අක්කාත්, මමත් තුරුළු කොට ගනිමින් ඔහු තමාගේ ජීවිතය අපට කියා දුන්නේය. එදවස අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ගත කළ සුන්දර කාලය ගැන මෙන්ම අතුරුවැල්ල ආණ්ඩුවේ පාසලේ ගෙවූ ඉමිහිරි යුගය ගැන තාත්තා අප හට කීවේ ආදර්ශවත් කතා ලෙසටය. කලාවට තම කාලයෙන් වැඩි කොටසක් කැප කළ තාත්තා ආදරබර පියෙකු මෙන්ම ෙ සනෙහෙබර සැමියෙක් ද වූයේය. අතුපතර විහිදී ගිය ඒ යෝධ තුරු සෙවණ යට අයියාත්, අක්කාත්, මමත් රිසි සේ සුව වින්දෝය. උත්පත්තියෙන්ම කලාව සිරුර තුළට එන්නත් වූ අප තිදෙනාම මේ මොහොතේ ද කලාවට සම්බන්ධව කටයුතු කරන්නේ තාත්තාගෙන් ලද ඒ යෝධ සවිය නිසාය. අප තිදෙනාම ළෙන්ගතුව කලාව ඇසුරු කරන අයුරු පෙරේදා වනතුරුත් තාත්තා බලා උන්නේ සන්තෝසයෙනි. මේ අවාසනාවන්ත අසුභ ආරංචිය සැලවෙන මොහොතේ ද මා උන්නේ ටෙලි නාට්‍යයක අධ්‍යක්ෂණ කටයුතුවලට දායක වෙමිනි. මේ පුවත සැලවීමත් සමඟ මගේ ලොව එකලු කළ පහන් ආලෝකය නිවී ගිය බවක් මට දැනුණි. සදා නොමියන මගේ තාත්තා උත්තරීතර ගුණ සුවඳ පිරි යථාර්ථවාදී මිනිසෙකු යැයි නොබියව ලියා තැබීමට මා වාසනාවන්ත පුතෙකි. එය තාත්තා මට දුන් විශාලතම දායාදය යැයි මම සිතමි. නැවතත් මගේ සිත දිව යන්නේ තාත්තා සමඟ ගෙවූ ඒ සුන්දර අතීතයටය. නාලන්දාවේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මා දිව්රුම් දී නිවසට පැමිණෙන තෙක් ඔහු මග බලා සිටි අයුරු මට තාමත් මතකයි. මා කලාකරුවෙකු වනු දැකීම තාත්තාගේ ජීවිතයේ බලාපොරොත්තුවක් වූයේය. එය ඉටු වී තාත්තාගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මා ‘බ්‍රේකින් නිවුස්’ නම් නාට්‍යය නිර්මාණය කළේය. හිස අත ගා මසිත සනසා ඔහු එදින අතිශය සන්තෝෂයට පත් වූයේය. වේදිකාව පිටුපස තාත්තාගේ දෙපා වැඳ මා නිර්මාණකරණයට ඔහුගෙන් ආශිර්වාද ලබා ගත්තේය. එතැන් සිට තාත්තා මට මෙන්ම අක්කාගේත්, අයියාගේත් කලා ලොව ශක්තිමත් කිරීමට වටිනා උපදෙස් ලබා දුන්නේය. ‘අනිත්‍යා’ චිත්‍රපටයේ පළමු පියවර තැබූ දා ඔහු මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. ‘පුතා මට වඩා ඉස්සරහට ගියා. ඒක තමයි මගේ ජයග්‍රහණය’ එතුමා පැවසුවේ දරාගත නොහැකි සන්තෝෂයකින් සිත පුරවාගෙනය. තාත්තා නිරතුරුවම සන්තෝෂයෙන් දිවි ගෙවන්නට හුරුව උන්නේය. කුඩා කල සිට අපගෙන් වෙන්ව යන තෙක්ම ඔහු අපට උපදෙස් අවවාද ලබා දුන්නේය. තාත්තා කිසිදු දිනෙක කිපෙනු මා දැක නැත. තාත්තා කිසිවෙකුටත් බනින හඬක් මට ඇසී නැත. ඉඳුරුව ගෝනගල ගම්මානයේ අව්‍යාජ ගැමි සුවඳින් ඔහුගේ සිත සැමදා පිරී තිබුණේය. නාට්‍ය දර්ශනයක් රුගත කිරීමක් හෝ තිර පර්යේෂණයක් නිමා කරන ඔහු සිතෙහි සියලු බර මුදා හරිමින් සන්තෝෂයට පත් වන්නේය. අප සතු ආර්ථිකය තුළ ජීවත් විය හැකි ක්‍රමය කුමක්දැයි එතුමා දැන උන්නේය. සුඛෝපභෝගී සංකීර්ණ දිවියකට වඩා සරල මැදහත් දිවියකට තාත්තා ප්‍රිය කළේය. මා කලා ලොවට පැමිණි දා සිට ‘බන්දුල විතානගේ ගේ පුතා’ යන ලේබලයෙන් මා අමතනු ඇසීම මසිතට ගෙන දුන්නේ අභිමානයකි. මා ඒ අභිමානය රැකිය යුතු යැයි වැටහෙන්නේ තාත්තාගේ නික්ම යෑම සමඟය. එක් නිස්කලංක සන්ධ්‍යාවක බන්දුල විතානගේ නම් උත්තරීතර මිනිසා අපෙන් සමුගෙන යන්නට ගියේය. ඒ සමඟම මාගේ හොඳම රසිකයාත්, මිතුරාත්, විචාරකයාත් යළි නොඑන්නටම යන්නට ගියේය. මේ මොහොතේ මගේ දෑස කඳුළින් තෙත් වන්නේ නැත. නමුදු මගේ සිත තුළ ඇත්තේ පිරවිය නොහැකි හිඩැසකි. පැරණි මතක පොකුරක් ඒ හිඩැස තුළ පිරී ඇත. කුඩා කල සිට මාගේ හොඳම මිතුරා වූ තාත්තා මට බොහෝ දේ ඉතුරු කොට යන්නට ගියේය. නමුදු ඔහු මා වෙනුවෙන් මැවූ ලෝකයෙහි සදාකල් තාත්තා ජීවමානව හිඳිනු ඇත. තාත්තේ ගිහින් එන්න. මේ කරළියේ කොතැනකදී හෝ අපි ආයෙත් හමුවෙමු.
මේ ආදරණීය පුතණුවන් * * * * * * * * * * * * * * නාලක විතානගේ බන්දුල විතානගේ මහතා පිළිබඳ කෙටි හැඳින්වීමක්. සම්පූර්ණ නම – බන්දුල ද සිල්වා විතානගේ උපන් දිනය – 1940 සැප්තැම්බර් 11 වැනිදා වයස - අවුරැදු 74 යි උපන් ගම - ගෝනගල, ඉඳුරුව ගිය පාසල් - 1. අතුරුවැල්ල ආණ්ඩුවේ පාසල 2. කොළඹ කේරි විද්‍යාලය 3. අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලය මවගේ නම – පියසීලි කනහැරආරච්චි මවගේ රැකියාව - පාසල් ගුරුවරියක්ව සිට ගෝනගල ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනිය විය පියාගේ නම - පෝල් සිල්වා විතානගේ පියාගේ රැකියාව - ගිණුම්කරණ නිලධාරියෙකි සහෝදර සහෝදරියන් - සහෝදරයන් දෙදෙනායි. ලොකු මල්ලි - අතුල විතානගේ. එංගලන්තයේ ශල්‍ය වෛද්‍යවරයෙකි පොඩි මල්ලි - රාහුල විතානගේ බිරිඳගේ නම – කමලා විතානගේ දරුවන් සංඛ්‍යාව - තුන් දෙනයි. චානක විතානගේ, වජිර කුමාරි විතානගේ, නාලක විතානගේ - - - - - - - - - - - - -
වේදිකා නාට්‍ය - මේඝ ගර්ජනා, ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් බෙකට් , වැනිසියේ වෙළෙන්දා, දොළොස් වැනි රාත්‍රිය, සෙනෙහෙබර ඩොලී, හිරුදහස, රෝමය ගිනි ගනී, සිකුරු සැණකෙළිය අයි ලව් ජෙනී ටෙලි නාට්‍ය - අත්ත බිඳෙයි, බුමුතුරුණු, අසල්වැසියෝ රංගනයෙන් දායක වූ චිත්‍රපට - පාන්කිරිත්තා, අහස් ගව්ව, පෙම්බර මධූ, අනිත්‍යා, රූපාන්තරණ |