|
ජීවිතය නැවත පටන් ගනිමු
ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි
ඇ න්ඩෘ ජයමාන්නයන් ගැන මා අසා තිබුණේ හැත්තෑවේ දශකයේ මුල් භාගයේදී. ටයිටස් තොටවත්තයන්ගේ ‘හාරලක්ෂය’ සහ ‘තෙවත’ කෙටි චිත්‍රපට තුන නිසා ඇන්ඩෘ ජයමාන්නයන්ගේ කැමරා අධ්‍යක්ෂණය ගැන අපි පාසල් යද්දී කතා කරන්නට පෙළඹුණා. අපි ඊට කලින් කැමරා අධ්‍යක්ෂණය කියලා සිනමාවේ විශේෂිත ක්ෂේත්‍රයක් ගැන කතා කරන්නට පෙළඹිලා හිටියේ නැහැ. හාරලක්ෂයේ වාහන දෙකක් ලුහු බැඳීමේ ජවනිකාවත්, එක් වාහනයක් රික්ෂෝ රථයක ගැටීමත් පිළිඹිබු කෙරෙන ජවනිකාව මේ චිත්‍රපටය නැරඹූ හැම සිනමා රසිකයෙක්ගේම මතක සටහන් අතර අදත් රැඳී පවතිනවා. සිනමා අධ්‍යක්ෂවරයාගේ අදහස කැමරා ශිල්පියාගේ රූප සටහනෙන් අර්ථ ගැන්වූ ප්‍රබල සිහිවටනයක් ලෙසින් එම ජවනිකාව විචාරක ප්‍රසාදයට පාත්‍ර වුණා. ටයිටස් තොටවත්තයන්ගේ නිර්මාණශීලිත්වයේ ආනුභාවයෙන් කළ එලි බැස්ස අති දක්ෂ චිත්‍රපට කැමරා ශිල්පියෙක් ලෙසින් ඇන්ඩෘ සම්මානයට පාත්‍ර වුණා. ඊට පස්සෙ ටයි මහත්තයගේ ‘හඳයා’ දක්වාම චිත්‍රපට හැම එකකම පාහේ කැමරා ශිල්පියා බවට පත් වුණේ ඇන්ඩෘ ජයමාන්නයන්. චිත්‍රපටයක් බලන කොට ඒකෙ කැමරාව මෙහෙයවන්නේ කවුද කියන එකත් රසිකයන් දැන ගන්න උනන්දු වුණේ හැටේ සහ හැත්තෑවේ දශකයේදි. චිත්‍රපටය ගැන ප්‍රචාරණයෙදි ඒ නමත් පෝස්ටරයට ඇතුල් කරන්න චිත්‍රපටකරුවන් පෙළඹෙන කාරණාවක් බවට ඒ ක්ෂේත්‍රය පත් වුණා. ‘බක්මහ දීගේ’ මගේ සිනමා රංගන ජීවිතයේ අමරණීය පළමු චිත්‍රපටයයි. එදා මගේ රංගනය සිනමා කැමරාවෙන් සටහන් තැබුවේ ගම්පෙරළියේ කැමරා ශිල්පි විලී බ්ලේක් වීම මට අමරණීය මතකයක්. ඒ මතකයට නො දෙවෙනි මතකයක් ‘පළගැටියෝ’ වසන්ත ඔබේසේකරයන් වසර දහයකට පසුව මාව යළිත් සිනමා රංගනයට යොමු කළා. ‘පළගැටියෝ’ කැමරාකරණයට වසන්ත තෝරා ගෙන තිබුණේ ඇන්ඩෘ ජයමාන්න වීම නිසා එයත් මට ලොකු සතුටක් වුණා. මොකද හාරලක්ෂයත්, ඉන් පසු තවත් චිත්‍රපට ගණනාවකත් ඔහුගේ සිනමා ඡායාරූපකරණය මම ප්‍රිය කළ නිසා. බක්මහ දීගෙන් පස්සේ කැමරා ඇහෙන් මා දෙස බැලුවේ ඇන්ඩෘ ජයමාන්නයි. ඒ තමයි මට ඇන්ඩෘ හමුවුණු පළමු දවස වසන්තගේ ගෙදරදී 1978 දී. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මට ගැලපෙන නවක රංග ශිල්පිනියක් සොයා ගන්න වසන්තට පිහිට වුණෙත් ඇන්ඩෘ. සමහරවිට ඇන්ඩෘ වසන්තට දම්මි මුණ නොගැස්සුවා නම්, පළගැටියෝ චරිතය මට අහිමි වෙන්නත් ඉඩ තිබුණා. පළගැටියෝ කරද්දි අධ්‍යක්ෂක වසන්ත තම රූපමය භාවිත අවශ්‍යතාවය ඇන්ඩෘට පවසද්දී, එම ජවනිකාව කැමරා ගත කිරීම උදෙසා ඔහු දක්වන උද්යෝගය, රංගන ශිල්පියෙක් ලෙසින් මට ලොකු අධ්‍යාපනයක් වුණා. එක් අවස්ථාවක මාත්, දම්මිත් බෑග් කරපින්නාගෙන ලෑලි ගැසූ තරප්පු පේලියක් දිගේ උඩට නගින ජවනිකාව ඇන්ඩෘ රූප ගත කළේ ගෝණියක් මත හිඳගෙන කඹයකින් එය ඉදිරියට ඇද ගෙන යන්නට කිහිප දෙනෙක් යොදවමින්. ඒ ජවනිකාව දකින ඕනෑම කෙනෙක් සිතන්නේ එය කැමරා ඩොලියක් යොදා ගෙන සිදු කළ රූප ගත කිරීමක් ලෙසිනුයි. කෘතහස්ත කැමරා භාවිතයක් පළගැටියෝ චිත්‍රපටයේ බොහෝ තැන්වලදි පෙනුණා. කැමරා ශිල්පියාට අතිරේකව වෙනත් වෘත්තියකුත් ඇන්ඩෘ ‘පළගැටියෝ’ කරද්දි සිදු කළා. ඒ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරුගේ වැඩ කොටසයි. ඔහු ඒ අතිරේක කටයුත්ත නිෂ්පාදකගේ අවශ්‍යතා මත මැනවින් ඉටු කළා. වාර්ෂික සිනමා උත්සව කිහිපයකින් සුදුකළු ඡායාරූපකරණයට හිමි හොඳම කැමරාකරණය උදෙසා ඇන්ඩෘ සම්මානයෙන් පිදුම් ලැබුවා. 1979 ‘හංස විලක්’ චිත්‍රපටය හදන්නට නිෂ්පාදකයෙක් මට මුණ ගැහෙන කොට ඇන්ඩෘ ජයමාන්න කැමරාකරණය සඳහා එක්කර ගන්නට මට සිදුවුණා. ‘පළගැටියෝ’ කරද්දි අප අතර ඇතිවුණු හැඳුනුම්කම හා අවබෝධය මට හංසවිලක් කරද්දි වඩ වඩාත් ප්‍රයෝජනවත් වුණා. ඔහුගේ තාක්ෂණික දැනුම තුළින් පරිනතවීමේ අභ්‍යාසයක් ඒ තුළදි සිදුවුණා. ඒ වන විටත් ඇන්ඩෘ, කොළඹ මල්වත්ත පාරේ, ශාන්ත පාවුළු මධ්‍යස්ථානයේ පිහිටි කතෝලික සිනමා පර්ෂදයේ සිනමා අභ්‍යාස පාඨමාලාව මාසිකව පවත්වාගෙන ගියා අර්නස්ට් පෝරුතොට පියනමගෙ සහ සුසන්ත තිසේරාගේ මෙහෙයවීම යටතේ. එම සිනමා පාඨමාලාවට මම සහභාගි නොවුණත් වසන්ත සමග ඇන්ඩෘ පළගැටියෝ කරපු කාල පරිච්ඡේදම මට පාඨමාලාවක් වුණා. පසුකලෙක ඇන්ඩෘ පැවැත්වූ මෙම පාඨමාලාවට වීඩියෝ කැමරාකරණය හා තාක්ෂණයද එකතු වුණා. ලංකාවේ එවැනි පාඨමාලාවක පුරෝගාමියා ලෙසින් ඇන්ඩෘ හැඳින්වීම ඔහුට කරන ගෞරවයක් කියා මම හිතනවා, අද හතලිස් විය පසු කරන බොහෝ රූපවාහිනි මාධ්‍යවේදීන් වැඩි දෙනෙක් ඔහුගේ ගෝලයේ කියා කීවාට හිත් රිදෙන එක්ක නැහැ. විවිධ අමාත්‍යංශයන්හි මාධ්‍ය ඒකකයන් ඇන්ඩෘගෙන් දැනුම ලබා ගන්නට ඔහුට ආරාධනා කළා. ශ්‍රී ලංකාවේ පොලීසිය, යුද හා නාවික හමුදාව, රහස් පොලිසිය වැනි ආයතන ගත මාධ්‍ය ඒකකයන්ද ඇන්ඩෘගෙන් දැනුම ලැබුවා. ඔහු ඉන්දියාව, ජපානය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය, සිංගප්පූරුව සහ එංගලන්තය වැනි රටවලට ගොස් සිනමා හා රූපවාහිනි මාධ්‍යයේ නව දැනුම සොයා ගත්තා. ලංකාවට පැමිණ තමා දන්නා දේ කෙලෙස හෝ තම සිසුවෙකුට අවබෝධ කර දීමට ඔහු දැරූ වෙහෙස බොහෝ ගුරුවරුන් තුළ දකින්නට නැහැ. ඇන්ඩෘ යටතේ ඉගෙන ගත්ත හැම කෙනෙක්ම පාහේ ඔහුට ගෞරවය පුදන අයුරු මා හැම තැනකදිම දැක තිබෙනවා. ලංකාව පුරා හැම වාර්ගිකත්වයකම ශිෂ්‍යයන් ඔහුගෙන් ඉගෙන ගත්තා. එමෙන්ම විදේශිය මාධ්‍යකරුවන් අප්‍රමාණ පිරිසක් ඔහුගේ සහායෙන් විවිධ වාර්ථාකරණ නිර්මාණය කළා. බීබීසී මාධ්‍යකරුවන් පවා ඒ අතර සිටියා. ‘හංසවිලක්’ චිත්‍රපටය 1979 දී බටහිර ජර්මනියේ මෑන්හයිම් සිනමා උළෙල නියෝජනය කරන්නට අයදුම් පත් යැවුවේ අර්නස්ට් පෝරුතොට පියනම විසින්. ඇන්ඩෘ ඒ සඳහා සිදුකළ මෙහෙවර කියා නිම කළ නොහැකියි. ‘හංසවිලක්’ කැමරාකරණය තම සිසුන්ට අත් පොතක් ලෙස කියා පහදා දෙන්නට ඇන්ඩෘ දැරූ උත්සාහය අප්‍රමාණයි. අර්නස්ට් පෝරුතොට පියනම, නීල් අයි පෙරේරා, සිරිල් බී පෙරේරා, ලෙස්ලි බෝතේජු, විමල් රංජිත් ප්‍රනාන්දු, විජය අබේදේව, රැලෙක්ස් රණසිංහ, බෙනඩික්ට් ජෝශප් පියනම ඇතුළු විද්වතුන් විශාල පිරිසක් මා හඳුනා ගත්තේ ඇන්ඩෘ නිසයි. ඉන් පසුව මා තැනූ ‘කාන්තාරයේ සිහිනය’ කෙටි චිත්‍රපටයේ කැමරා ශිල්පියාත් ඇන්ඩෘ ජයමාන්නයි. මෙය සිනමාස්කොප් කැමරා භාවිතයෙන් පටිගත කළ චිත්‍රපටයක්. පොයින්ට් පේදුරුවලින් සැතපුම් 18 ක් පමණ ඈතින් පිහිටි මනල්කාඩු නම් වැලි කතරක් සහිත ප්‍රදේශයක අපි මේ චිත්‍රපටය පටිගත කළා. අවාසනාවකට වගේ අද ඒ චිත්‍රපටය ආගිය අතක් නැහැ. ඒක තිබුණා නම් ඔහුගේ පුළුල් තිර කැමරා කෝණ නිර්මාණකරණය ගැන ඔහුගේ සිසුන් දැනුවත් කරන්නට යොදා ගන්නට ඔහුට ඉඩ තිබුණා. ඒ කෙටි චිත්‍රපටයේ නිර්මාණකරණ අත්දැකීම අදත් මෙනෙහි කර බලන විට ඒක මහා දුෂ්කරක්‍රියාවක්. 1980 දී නිෂ්පාදනය කළ ‘තුන්වෙනි යාමය’ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සියයට සියය ණය සහනාධාරයට ශ්‍රේණිගත චිත්‍රපටයේ කැමරාකරණය සහ නිෂ්පාදන කළමනාකරණය මා පැවරුවේ ඇන්ඩෘට. චිත්‍රපටයේ ප්‍රථම රූපාවලියට අඩි 400 ක මැගසින් එකක් යොදා පටිගත කරන්නට සිදු වුණා. පුහුණුවීම් ගණනාවකින් පසු එක්වරින්ම එය පටිගත කරන්නට ඇන්ඩෘ සිනමා ඡායාරූපකරණයේ දැඩ්වූ පරිනත භාවය අදත් ඔබට ඒ චිත්‍රපටය හරහා අවබෝධ කර ගන්නට පිළිවන් වෙනවා. මුළු චිත්‍රපටය පුරාම අඳුර සහ අලෝකය චරිතයන්ගේ ආත්ම ගත ක්‍රියාවලිය හා සමපාත කරන්නට ඔහු දැරූ වෑයම සිනමා අභ්‍යාසකරණයේ යෙදෙන්නන්ට අත් පොතක් වනු නොඅනුමානයි. ආලෝක පාලනය සියුම් ඒකාග්‍රතාවයකින් යුතුව සමස්ත චිත්‍රපටය පුරාම පවත්වාගෙන යාමෙන් ‘තුන්වෙනි යාමය’ චිත්‍රපටයේ සිනමානුරූපී ආත්මය ඔහු දැහැන් ගත කළා. 1982 දී ‘සුද්දිලාගේ කතාව’ පටිගත කරද්දී මා කැමරාකරණය සඳහා පරාක්‍රම ද සිල්වා යොදා ගත්තද මට ඔහු සමග පටිගත කළ හැකි වුයේ චිත්‍රපටයේ අඩක් පමණයි. ඉතිරි අඩක කොටස පටිගත කරන්නට මට උපකාර කළේ ඇන්ඩෘ ජයමාන්නයි. සමහර විට එම චිත්‍රපටයට ඔහු යොදා නොගැනීම පිළිබඳව හිතේ අමාරුවක් ඔහු තුළ තිබෙන්නට පුළුවන් වුණත් ඔහු එම අවස්ථාවේ මා සමග එක් වුණේ මා අවබෝධ කර ගත් හිතෛෂී මිතුරෙකු ලෙසින් පමණයි. මා අධ්‍යක්ෂණය කල ‘හංසවිලක්’, ‘තුන්වෙනි යාමය’ කළු සුදු වර්ණ චිත්‍රපට දෙකක්. ඒ චිත්‍රපට දෙක සඳහාම ඇන්ඩෘ ජයමාන්නයන් නියමිත වර්ෂයන්හිදී හොඳම කැමරාකරණය උදෙසා පිදෙන සම්මානයෙන් පිදුම් ලැබුවා. අඩක් පටිගත කරමින් සහාය ලබා දුන් ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේදීත් ඇන්ඩෘ සමග පරාක්‍රමත් වසරේ හොඳම කැමරා ශිල්පීන් ලෙසින් සම්මානයට පාත්‍ර වුණා. පසු කලෙක මම ඇන්ඩෘ සමග වීඩියෝ මාධ්‍යයෙන් වාර්තා චිත්‍රපට දහයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කළා. ඉන් පසු නිර්මාණකරණයේදී අප හමු නොවුණත් අපගේ මිත්‍රත්වයේ සලකුණු මැකී ගියේ නැහැ. 2005 දී මම මාස තුනක පමණ කාලයක් රෝගීව රෝහල් ගතව හිටියා. එතැන් සිට පියෙකු මෙන් මා රැක බලා ගත් අය අතර සිටි මගේ එකම පියා ඇන්ඩෘ ජයමාන්නයි. ‘ජීවිතය නැවත පටන් ගම්මු ධර්මේ! ඔයාට අපි ඉන්නවා!’ ඒ ඇන්ඩෘගේ හඬයි. විටින් විට මා දකින්නට, ඔහු මගේ ත්‍රිකෝණියට ගොඩ වැදුණා. තනියෙම ගතකරන ජීවිතයේ වේදනාවන් ඔහු මා හා බෙදා හදා ගත්තා. මා හා නතර වී හිඳින ලෙසින් මා ඔහුගෙන් ඉල්ලා සිටියත්, අන්තිමට ‘ධර්මෙ මම ගිහිං එන්නම්’ කියා ඔහු මීගමු ගියා. මීගමුවේ ඔහු නිතර දකින යාළු මිත්‍රයින්ගේ හා පියතුමන්ලාගේ ප්‍රිය ඇසුර ඔහුගෙ තනිව ගෙවුනු ජීවිතයට ආලෝකයක් ලබා දුන්නා කියා මා හිතනවා. විදෙස් ගතව සිටින දරුවන් හා අවසාන කාල පරිච්ඡේදය ප්‍රීතියෙන් ගෙවන ලෙස මා ඇන්ඩෘගෙන් ඉල්ලා සිටි වාර බොහෝයි. ඒත් වැඩ කරන්නට, නැවත පන්ති පවත්වන්නට ඔහු ආශා කළා. කවුරු හරි ඇවිත් ඔහුට එහෙම යෝජනා කරාවි කියලා ඔහු බලා සිටියා. කියා ගන්නට බැරි තනිකමකින් හා කළකිරීමකින් ඔහු දවසක මා හමුවන්නට ආවා. ‘ධර්මේ මම ඉතාලියේ පුතාලා ළඟට ගිහින් නතර වෙන්න තීරණය කළා’ කියලා මට කිව්වා. මම එහෙම යෝජනා කළත් එහෙම කිව්වහම මට ඒක දරා ගන්නට බැරි වුණා. ‘ඒක කියල යන්නයි මම ආවෙ’. ටිකක් ඉඳලා කෑම ටිකක් කාලා යන්න කියල මම කිව්වත්, ඉක්මනින් බස් එකක් අල්ලගෙන මීගමු යන්න ඕනෑ කියලා මගෙන් සමු ගෙන ඇන්ඩෘ ඈතට ගමන් කරනවා පාරට බැහැලා මම බලා ගෙන හිටියා. ත්‍රිකෝණියේ තාප්පය විටින් විට අල්ලමින් පාරට යන තෙක් තිබුණු හැම තාප්පයකටම වාරුවෙමින් ඇන්ඩෘ පාර්ලිමේන්තු පාරට ගිහින් නොපෙනී ගියා. ලංකාවෙන් යන්න කලින් මේ උතුම් මනුස්සයාට උපහාරයක් දක්වමු. ඇන්ඩෘගේ ගෝලයින් හා මිතුරන් කිහිප දෙනෙක් මගේ මේ යෝජනාවට සහාය දැක්වූවා. ඇන්ඩෘට නොදන්වා අපි මේ උපහාර උළෙල සංවිධානය කළා. 2012 මාර්තු මාසේ 12 වෙනිදා රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ අපි උත්සවය පැවැත්වූවා. දෙසුම් කිහිපයක් අවසානයේ අපි ‘හාරලක්ෂය’ තිරගත කළා. එදා ඇන්ඩෘට අපේ මිත්‍රත්වයේ සෙනෙහස හොඳින් දැනුනා. දරුවන් අතට සතුටෙන් පිය නගන පියෙක් අපි ගොඩ නැගුවා කියලා අපිත් සතුටු වුණා. ඇන්ඩෘ එදා රැයේ හුඟක් සතුටු වුණා. ලංකාවෙන් පිටව යන පැයේ කටුනායක ඉඳන් මට එවූ අවසාන එස්. එම්. එස්. එකේ ලියා තිබුණේ ‘ධර්මේ තනියෙම ඉන්න එපා කියලයි’. ජීවිතය ගැන කෝටියක් දේවල් ඒ එස්. එම්. එස්. එක ඇතුළේ ලියැවී තිබුණා. ඉතාලියේ ඉඳන් එවපු හැම ඊමේල් පණිවිඩයකම වගේ අපි නොදුටු ඡායාරූප, විහිළු තහළු, චිත්‍රපට විස්තර, අපිට දකින්නට ලැබුණා. මා වටා සිටි බොහෝ පි‍්‍රයයන් පසු ගිය වසරේ සිට පිළිකා රෝගයෙන් පෙළෙන බව මා ඇන්ඩෘට දන්වා යැව්වා. ඇතැම් අය ජීවිතයෙන් සමු ගත් විටත් ඒ බව ඔහුට දන්වා යැව්වා. ස්වර්ණාගේ අසනීප තත්ත්වය ගැනත් ඔහු නිතර විපරම් කළා. ඇය නැවත චිත්‍රපටයක් කරනවා කියා ඇසූ විට ඇන්ඩෘ අතිශයින් සතුටු වුණා. සුනිලා මිය ගිය බව අසා ඔහු මගෙන් ඇසුවේ ඇයි මෙහෙම වෙන්නේ කියලයි. සුනිලාගේ පුතා සංජයගේ මරණය ගැන අහලත් ඔහු කම්පා වුණා. මේ වසරේ ජූලි මාසයේ දිනෙක දුරකථනයෙන් මා ඇමතූ ඇන්ඩෘගේ බාල පුතා ‘අන්කල් අපේ තාත්තාට කැන්සර් එකක්. කාටවත් කියන්න එපා’ කියලා ඉකි ගසා හැඬුවා. ඒ පණිවිඩය තවත් කිහිප දෙනෙකුට මට කියන්නට සිදු වුණේ මටත් එය දරා ගැනීමට නොහැකි වූ නිසයි. ඔහුගේ හිත හැදෙන්නට මම ලිපි කිහිපයක්ම ලිව්වා. ‘ඔබ බැරි දේවල් කරන්න ගිය මිනිහෙක් නෙමෙයි ඇන්ඩෘ. දන්න දේ හොඳින් කරපු මිනිහෙක්. ඒ ටික හොඳටම ඇති ඇන්ඩෘ. කොයි තරම් අපි නොදන්නා දේවල් ජීවිත ඇතුළේ සඟවගෙන අපි මැරිලා යනවද?’ 2014 ජූලි මාසයේ 19 වෙනිදා ඇන්ඩෘ ඔහුගේ අවසාන ඊමේල් පණිවිඩය මට එවා තිබුණෙත් එය කාටවත් පෙන්වන්න එපා කියලයි. දරුවන් අතර ඔහු සතුටෙන් ඉන්න බවත් ඉතාලියෙ වෛද්‍ය පහසුකම් ගැනත්, තමා බලන්න එන වෛද්‍යවරයා සහ සාත්තු සේවිකාවගේ උතුම් මනුස්සකම ගැනත්, ප්‍රතිකාර ලබා මාස හයක් තව ජීවත් වෙන්න පුළුවන් වුණත්, ප්‍රතිකාර නොලබා මාස තුනක් පමණක් ජීවත් වීමට තීරණය කළ බවත් ඇන්ඩෘ අවසාන ලිපියේ ලියා තිබුණා. ඔහු මියගිය පුවත ඇසූ සැණෙන් මට හිතුණා ඔහු මට එවාපු ඒ ඊමේල් පණිවිඩය ජීවිතය ගැන කියවන්නට නොදන්නා මිනිසුන් වෙනුවෙන් මුදා හරින්නට. මම මේ වෙනකොට බොහෝ අය වෙත එය මුදා හැරියා For your eyes only ලෙසින්ම. හැම දෙනාගේම ජීවිත දෙස, ඉරියව් දෙස කැමරා කාචයෙන් එබී බැලූ ඇන්ඩෘ, ඔබ බලා සිටියා නේද යහපත් මිනිසුන් ඔබ හමුවට ඇවිත් ඇන්ඩෘ සර් අපි අලුතෙන් පන්තියක් පටන් ගම්මු කියලා කියනකන්? හමු වුණේ නැහැ නේද අපට එවන් මිනිසුන්? මට තනියෙන් ඉන්න එපා කියලා කියපු ඇන්ඩෘ, ඔබත් දැන් හිටියේ නැහැ නේද, ඔබත් අපව අතහැරලා යන කොට එතනදි සිදුවෙන මේ තනිවීම කාටවත් කොහොමවත් නවත්වන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. |