වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ආයෙත් නටන්න එන්න

ආයෙත් නටන්න එන්න

දක්ෂ නර්තන ශිල්පියෙකු වන ෂෝන්ගේ එකම බලාපොරොත්තුව සාර්ථක නර්තන ශිල්පියෙකු වීමයි. ඒ වෙනුවෙන් ඔහු තම නර්තන කණ්ඩායමවන ද මොබ් සමගින් ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙන්නේ ඒ වෙනුවෙනි. නමුත් ඔවුන්ට එහිදි සාර්ථක වීමට නොහැකි වන අතර ඒ හේතුවෙන් ද මොබ් කණ්ඩායම මයාම් වෙත පිටත්ව යාමට තීරණය කරයි. නමුත් ෂේන් ලොස් ඇන්ජලීස්හි නතර වීමට තීරණය කරයි.

එහිදී ඔහුට නර්තන තරගයක් පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබෙන අතර එහි ජයග්‍රාහකයාට වසර තුනක කොන්ත්‍රාත්තුවක් හිමි වේ. ෂෝන් හට මෙම තරගයයට ඉදිරිපත් වෙන්නට උවමනා වුවත් කණ්ඩායමක අඩුව තිබේ. ඒ වෙනුවෙන් ෂෝන් මූන්ගේ සහය පතයි. මූන් ඔහුහට ඇන්ඩි හඳුන්වා දෙනු ලබයි. ඇන්ඩි වසර ගණනකට පෙර අනතුරකට ලක්ව නැවත නර්තනයට එක් වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින නර්තන ශිල්පිනියකි.

මේ අනුව තවත් යහළුවන් කිහිප දෙනෙකු සමගින් නර්තන කණ්ඩායමක් නිර්මාණය කර ගන්නා ෂේන් ලාස් වේගාස් වෙත පිටත් වෙන්නේ එම නර්තන තරගයට සහභාගිවීම වෙනුවෙනි. නමුත් ෂේන් ඇතුළු කණ්ඩායම එහි යන විටදී ද මොබ් කණ්ඩායමද එහි පැමිණෙන්නේ එම තරගයට සහභාගීවීමටය. එය දකිනා ෂෝන්හට දැඩි කේන්තියක් ඇති වේ. අනතුරුව සිදු වෙන්නේ කුමක්ද ? යන්න ගෙන එන්නේ Step Up: All In  චිත්‍රපටය යි.

ට්‍රිෂ් සී විසින් අධ්‍යක්ෂණය කරන ලද Step Up: All In  චිත්‍රපටය Step Up චිත්‍රපට මාලාවේ පස්වැනි චිත්‍රපටය යි. එහි ප්‍රථම චිත්‍රපටය 2006 වසරේදී තිරගත කරන ලදී. Step Up: All In  චිත්‍රපටය සඳහා පසුගිය චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ තරු බොහොමයක දායකත්වය ලැබී ඇත. රයන් ගුස්මන්, බ්‍රියානා එවිගන්, ඇඩම් සෙවාම්, මීෂා හැමිල්ටන්, ස්ටීවන් බෘස්, ස්ටීවන් ජෝන්ස් ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් Step Up: All In  චිත්‍රපටයෙහි රංගනයෙන් දායක වෙති.

මිනිත්තු 112ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය පසුගිය අගෝස්තු 08 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනයට එළික්වන ලදී. මේවන විටත් එය ඩොලර් මිලියන 6.7ක ආදායමක් වාර්තා කර තිබේ. ති‍්‍රමාණ නර්තන චිත්‍රපටයක් වන Step Up: All In  චිත්‍රපටය පසුගිය 29 වැනිදා සිට ලාංකේය රසික රසිකාවන් වෙනුවෙන් වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලේ ප්‍රදර්ශනයට විවෘත විය.

Step Up චිත්‍රපට මාලාවේ මෙම නවතම චිත්‍රපටය මුල් චිත්‍රපට හතරටම වඩා සාර්ථක ලෙසින් කළ නිර්මාණයක් බව විචාරක මතය වී ඇත. එය Step Up චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපටවලට වඩා මහන්සි වී කළ නිර්මාණයක් ලෙසින් ඔවුන් එය දකිනා බව සඳහන්. බොළඳ ගති ලක්ෂණ ඉස්මතු නොවූ එමෙන්ම හොඳ ලක්ෂණ පෙන්වා දෙමින් සීමාවන් දැන කළාවූ නිර්මාණයක් ලෙසින්ද විචාරකයන් Step Up: All In චිත්‍රපටය හඳුන්වා දී තිබේ. මෙහි අඩංගු වූ විචිත්‍රවත් නර්තන අංගයන්ද ඔවුන්ගේ පැසසුමට ලක් වී ඇති අතර මෙම චිත්‍රපටය  Step Up  චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය වනු ඇති බවටත් විචාරකයන් හඳුන්වා දී ඇත.