|
සිංහල සිනමාවේ සුපිරි වීරයා සමඟ අසංක දේවමිත්‍ර පෙරේරා උණුසුම් කතාබහක...“සරසවිය” සම්මානයට කිසිවකු ඇඟිලි ගහන්නේ නැහැ
රන්ජන් රාමනායකගෙන් සහතිකයක්
ෂාරුක්ලා, සල්මන්ලා, අක්ෂේ කුමාර්ලා තරමටම අද කොලිවුඩයේ විජයලා, සූර්යලා, වික්‍රම්ලා අපේ සිනමා ලෝලීන්ට සමීපය. කලක් හොලිවුඩයේ සුපිරි වීරයන් වූ සිල්වෙස්ටර් ස්ටැලෝන්, ආර්නෝල්ඩ් ස්වසෙන්ගර්ලා අභිබවමින් වින් ඩීසල් ලා අද වැඩ පෙන්වති. ජාත්‍යන්තර මල්ලව පොර පිටියේ සුපිරි විරයන් වන ජෝන් සීනා, රැන්ඩි ඕට්න් වැන්නවුන් අද බටහිර සිනමාවේ දිදුලන තරුය. නමුදු සිනමා සටන් කලාවේ සදාකාලික වීරයා බෲස් ලීය. සිංහල සිනමාවේ අවසන් විරයා රන්ජන් රාමනායක යැයි ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම වරෙක ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඇතැම් විචාරකයන්ට අනුව නම් සිංහල සිනමාවේ වීරයා මිය පරලොව ගොසිනි. සිනමාලෝලී ඔබේ මතය කුමක්දැයි මා දන්නේ නැත. කෙසේ වුව ද කලෙක අපේ රිදී තිරයේ සිහින කුමරා වෙමින්, ඒ හරහා සිය වීරත්වය ප්‍රකට කළ රන්ජන් වැනි නළුවකු අපට සම්පතක් බව නොකියා බැරිය. තවදුරටත් ඔහුට අවුරුදු දහ අටේ, විස්සේ යුවතියන්ට ආදරය කරන්නට හැකිය. ගහගන්නට මෙන්ම ගුටි කන්නට ද එක සේ ඔට්ටුය. අන්තිම අහිංසකයකු වීමට ද නොම්බර එකේ චණ්ඩියකු වීමට ද පුළුවන. එහෙව් නළුවන් අද ඔබේ සිනමාවේ ඇත්තේම නැති තරම්ය. මේ රන්ජන් සමඟ කෙළින් කතා බහකි. ‘රන්ජා’ ට මොකද වුණේ? ඒ කිව්වේ? නෑ ‘රන්ජා’ චිත්‍රපටය හිතපු තරම් සාර්ථක වුණේ නෑ නේද? ඊ. ඒ. පී. වර්තා අනුව දැනට කෝටි හය හමාරක් කරලා තියෙනවා ‘රන්ජා’ චිත්‍රපටය . සුනිල් ටී. ලොකු බජට්වලට යන්නේ නැති නිසා ෆිල්ම් එක ලාබයි. ‘ජීවිතය ලස්සනයි’ ගාණටම මේකත් දිව්වා. නමුත් මගේ ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ ‘වන් ෂොට් ධදඥ’ තරමටම ‘රන්ජා’ දිව්වේ නෑ කියලා මම පිළිගන්නවා. එච්චර ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. නමුත් සුනිල් ටී. ‘රන්ජා’ නිපදවන්නේ අපේ සිනමාවේ ‘සුපර් ස්ටාර්’ තාමත් ඔබ කියන තැන ඉඳලා? මේ චිත්‍රපටය ප්‍රදර්ශනයේදී ඊට යම් යම් බලපෑම් ආවා කියලා කවුරුත් දන්නවනේ. ප්‍රචාරක කටයුතුවලට බාධා පැමිනුණා. සෙන්සර් බෝඩ් එකෙන් ප්‍රශ්න ආවා. අන්තිම මොහොත වෙනකල් චිත්‍රපටය දාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ. ‘රතුපස්වල’ රන්ජා කියන නමට ප්‍රශ්න ආවා. ‘රතුපස්වල රන්ජා’ කියන නම චිත්‍රපටයට යෙදුවේ ප්‍රචාරක උපක්‍රමයක් හැටියටනේ? රතුපස්වල සිද්ධියට සමානම කතාවක් තමයි ‘රන්ජා’ චිත්‍රපටයේ තියෙන්නේ. ඒ නිසයි ඒ නම දැම්මේ. ඉතිං කොහොම වුණත් අනෙක් චිත්‍රපටවලට ලැබෙන සහයෝගය ‘රන්ජා’ට ලැබුණේ නැහැ. පත්තර කවර පවා ලැබුණේ නැහැ. ‘සරසවිය’ට අද මේ ඉන්ටර්වීව් එක දෙන එක ගැනත් සෑහෙන්න සංතෝෂ වෙනවා. සුනිල් ටී. යළි ඔබ සමඟ චිත්‍රපට කරන එකක් නෑ? මම ප්‍රධාන චරිතය රඟපාන සුනිල් ටී. නිෂ්පාදනය කළ 60 වැනි චිත්‍රපටය තමයි සිංහයා. දැන් එහි රූගත කිරීම් අවසන්. එතකොට ඔහු මාව යොදාගෙන DON වගේ චිත්‍රපටයක් කරන්න සූදානම් වෙනවා. සුනිල් ටී. පාඩු වෙන්න ෆිල්ම්ස් කරන නිෂ්පාදකවරයෙක් නොවන බව ඔබ දන්නවනේ. මේ චිත්‍රපටය දිව්වේ නෑ කියා අර්ථ දක්වන්න ක්ෂේත්‍රයේම සමහරු උත්සාහ කරනවා. අපේම අය. සුනිල් ටී. එක්ක මම මේ වෙන කොට චිත්‍රපට දාහතරක් කරලා තියෙනවා. මං හිතන්නේ පාඩු නැතිව ඇතිනේ. ඉතිං බොහොම ස්තුතියි කියලා එයාට කියන්න වෙනවා. හරි, අපි ‘රන්ජා’ පැත්තකින් තියමු. එතකොට ඔබ ප්‍රධාන චරිතය රඟන ‘පරපුර’ චිත්‍රපටයත් දුවන්නේ නෑනේ? ඇත්තටම මේක අඩු බජට් එකකින් කරපු ෆිල්ම් එකක්. ක්ලීටස්ට සහයෝගයක් හැටියට තමයි සියලු දෙනාම වැඩ කළේ. ඒකට හොඳ මණ්ඩලයක් හම්බ වුණෙත් නෑ. හොඳ තත්ත්වයේ සිනමාහල් අපි බලාපොරොතුවෙන් හිටියත් ඒවා ලැබුණේ නැහැ. පිළිසකර කටයුතු නිසා රීගල් සිනමාහලත් අපට අහිමි වුණා. ප්‍රචාරයට ඔවුන් ළඟ මුදල් තිබුණේ නැහැ. සේරම කුණු බෙංගාල බොක්කටද? නැහැ. ඇත්ත තත්ත්වය මම කිව්වේ. මම සුද්දෝධන රජුගේ චරිතය රඟපෑ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය සාර්ථක වුණා. ‘ජීවිතේ ලස්සනයි’ හොඳ ආදායම් වාර්තා තිබ්බා. ඊට පස්සේ ආව ‘රජ හොරු’ චිත්‍රපටයටත් හොඳ ප්‍රචාරයක් ලැබුණේ නෑ. ‘රන්ජා’, ‘පරපුරත්’ එතරම් සාර්ථක වුණේ නෑ. මම චිත්‍රපට කරන්න ගත්තා වැඩි ද කියාත් වෙලාවකට හිතෙනවා. චිත්‍රපටයක් රිලීස් කරන්න නිෂ්පාදකයන්ට මුදල් තියෙන්න ඕනෑ. හොඳ මණ්ඩලයක් තියෙන්න ඕනෑ. එතකොට හොඳ තිර කතා තියෙන්න ඕනෑ. හොඳ අධ්‍යක්ෂවරු වෙන්න ඕනෑ. මේ කරුණු සැළකිල්ලට අරගෙන තමයි මම ඉදිරියට චිත්‍රපට බාර ගන්නේ. අනෙක් අය පිට වරද පටවලා මේ යථාර්ථයෙන් බේරෙන්න බැහැ? නෑ, නෑ, නෑ මම එහෙම කියන්නේ නෑ. අර චිත්‍රපටවලට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් නොලැබුණේ මගේ වරද නිසාද, මණ්ඩලවල වරද නිසා ද, නැතිනම් වෙනත් හේතුවක් නිසා ද කියා මට හිතා ගන්න බැහැ. හැබැයි ඉදිරියේ තිරගතවීමට නියමිත ‘මායා’ චිත්‍රපටයට නම් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන වග මට විශ්වාසයි. කොහොමද ඔබ එවැනි සහතිකයක් දෙන්නේ? එහි සටන් අධ්‍යක්ෂණය කළේ විජේගේ චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂණය කළ සිල්වාර් කියන ස්ටන්ට් මාස්ටර්. එහි සටන් ජවනිකාවට ලක්ෂ අසූපහක් වැය වුණා කියා චිත්‍රපටයේ නිෂ්පාදක සදේශ් කුමාර් මට කිව්වා. මේ චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනකු පැවසුවේ අපේ සිනමවේ මෙතෙක් දැකපු හොඳම සටන් දර්ශනය එය කියායි. ඉන්දියාවේ කොචින්වල එය රූගත කළේ. දවස් තුනක් නොකඩවා ඒ සටන රූගත කළා. ඔබ කියන්නේ සටන් ජවනිකාවන් සාර්ථක වූ පමණින් චිත්‍රපටයක් සාර්ථක වෙනවා කියලද? නෑ. ඒ්ක වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ මම කරන්නේ චන්ඩි ගැහැනු චරිතයක්. ඒ කියන්නේ මෙතෙක් මං රඟපෑ චරිතවලට වඩා වෙනස්ම චරිතයක්. මම හිතනවා ඒ චිත්‍රපටය ඉතාම ජනප්‍රිය වෙයි කියලා. ‘නවරියන්’ ඔබේ අලුත්ම චිත්‍රපට අධ්‍යක්ෂණය? ඒ චිත්‍රපටයේ කොතනක හරි වැරැද්දක් තිබුණොත් සියලු වගකීම් මම බාර ගන්නවා අධ්‍යක්ෂවරයා හැටියට. එහි අනවශ්‍ය දර්ශන මොකුත් නැහැ. දෙපිට කැපෙන වචන නැහැ. ඉතිං මම හිතනවා ‘මායා’ සහ ‘නවරියන්’ මේ තියෙන වාතාවරණයට නිසි පිළිතුරක් වෙයි කියලා. කාලයක් ඔබ අපේ සිනමාවේ ‘සිහින කුමරා’. ඊට පස්සේ ‘සුපිරි වීරයා’ අදටත් ඒ ටයිට්ල්ස් වලංගුද? මම දන්නේ නෑ ඉතිං. ඒක මට හැමදාම පෞද්ගලික බූදලයක් හැටියට තියා ගන්න බෑ. කාලෙට අනුරූපව ඒක ස්වභාව ධර්මය විසින් වෙනස් කරලා තියෙනවා. මම හිතන්නේ අපේ පළමුවැනි සිනමා නළුවා තමයි ඇන්. ඇම්. පෙරේරා මහත්මයා. එඩී ජයමාන්න මහත්මයා හිටියා. හර්බට් එම්. සෙනෙවිරත්න. එතකොට ප්‍රේම් ජයන්ත්, අපේ රටේ ප්‍රථම සුපිරි තරුව. සුමිත් බිබිලේ. ඊට පස්සේ ස්ටැන්ලි පෙරේරා ආවා කැලෑහඳෙන්. ඊළඟට ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකා, ආනන්ද ජයරත්න, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග. ඔබ මේ කියන්නේ සුපිරි තරු ගැන? ඔව්. අපේ සිනමාවේ සුපර් ස්ටාර්ස්ලා. ඒ සුපිරි තරු පරපුර අවසන් වෙන්නේ කොතැනින්ද ඔබේ දැක්මට අනුව? මම හිතන්නේ අපි ඒක කතා කරන එක අන්තිම වැරැදියි. දැන් මගෙන් අහනවා ඔබ සුපිරි තරුවක් ද කියලා. මම හැම විටම දැකලා තියෙනවා ඒක තීරණය කරන්නේ ජනතාව. ප්‍රේක්ෂක ජනතාව තමයි කෙනෙකුව සිහසුනේ හිඳුවන්නේත් එයින් ඇදලා මහ පාරට දාන්නෙත්. ‘හෝම් අලෝන්’ චිත්‍රපටයේ රඟපෑ සුපිරි නළුවා මැකෝලි කුල්කින් පසු කලෙක චිත්‍රපට නැතිව මත් ද්‍රව්‍ය පානය කරලා අන්තිමට නතර වෙන්නේ පුනරුත්ථාපන කඳවුරක. අපේ රටේ ගත්තත් රුක්මණී දේවිය වගේ සුපිරි තාරකාවක් අන්තිමට රෝහල් බිල්පත් පවා ගෙවා ගන්න බැරිව අසරණ තත්ත්වයට පත් වුණා කියා මම අසා තිබෙනවා. දැන් ඇලෙක්සැන්ඩර් වගේ සුපිරි නළුවකුගේ වර්තමාන තත්ත්වය බලන කොට අපට දුක හිතෙනවා. ඔබත් අපේ සිනමාවේ සුපිරි තරුවක්? මම දන්නේ නෑ දිගටම මට මේක පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද කියලා. මට මේක හෙට නැති වෙයිද, අනාගතයේ හිඟන්නෙක්ගේ තත්ත්වයට පත් වෙයි ද කියලා අද කියන්න බැහැ. රන්ජන් රාමනායක කාලයක් අපේ සිනමාවේ ‘සිහින කුමරා’ ලෙසත් කිරුළ පැළඳා සිටියා. මම හිතන්නේ ඒ ටයිට්ල් එක රැඳී තියෙන්නේ තාරුණ්‍යයත් එක්ක? මේ පාරත් ස්ලීම් People’s Award එක ලැබුණේ මට. Youth Actor of the Year මේ දෙකම හම්බ වුණා. මේ Youth Actor සම්මානය මට ගැළපෙන්නේ නැහැ. තරුණ නළුවො ගොඩක් ඉන්නවා කියලා මම එහි සංවිධායකයන්ට කිව්වා. ‘නෑ . . . නෑ . . . මේ තරුණයන්ගේ තේරීම. ඒ අර්ථයෙනුයි ඔබට මේ සම්මානය පිරිනමන්නේ. ඒකට ඔබ Youth වෙන්න ඕන නෑ’ කියලයි ඔවුන් මට කිව්වේ. මේක S.M.S කූපන් නැති බ්‍රිටිෂ් රිසර්ච් ටීම් එකක් කරන ප්‍රෝගෑම් එකක්. ඉතින් ඒගොල්ල තෝරාලා තියන්නේ ඔයාවයි’ කියන එකයි ඔවුන් තවදුරටත් කිව්වේ. ගිය පාර ඒ සම්මානය ලැබුණේ රොෂාන් රණවනට. ඒක ආයේ මට ආවා. රොෂාන්ට කලින් මේක ලැබුණේ මේනක රාජපක්ෂට. නමුත් People’s Award එක අඛණ්ඩව ලැබුණේ ඔබට? ඔව්. 2000 වසරේ ඉඳලාම මටනේ ලැබුණේ. ‘සරසවිය’ ජනප්‍රිය නළුවා සම්මානය හය පාරක් ලැබුණා. ඊට පස්සේ ‘නිලම්බරේ’ චිත්‍රපටයට ‘සරසවිය’ හොඳම නළුවා සම්මානය ලැබුණා. නාම යෝජනා වුණා ‘යකඩ පිහාටු’ වගේ චිත්‍රපට. ඉතින් මේවා මම බලෙන් ගත්ත දේවල් නෙවෙයි. ඒගොල්ල දුන්න දේවල්. නමුත් ‘සරසවිය’ ජනප්‍රිය නළුවා සම්මානය තමන්ට දෙන්න එපා කියා ඔබ බලපෑම් කළ බවට එක්තරා නළුවකු චෝදනා නඟනවා? මමත් එක්තරා පුවත්පතක ඒ නළුවා කළ ප්‍රකාශය දුටුවා. මම ඉතාමත් කනගාටු වෙනවා ඒ ප්‍රකාශය ගැන. ඒක ඉතාම සාවද්‍ය ප්‍රකාශයක්. එහෙම කියනවා නම් කවුරු හරි ඒක එයා ඔප්පු කළ යුතුයි. ලේක්හවුසිය කියන්නේ රජයට අනුබද්ධිත ආයතනයක්. එහි සභාපතිවරයෙක් ඉන්නවා. අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඉතිං ඒ වගේ තැනකට මම කොහොමද බලපෑම් කරන්නේ. එහෙම දෙයක් කරන්න නම් ඉතා බලසම්පන්න පුද්ගලයෙක් වෙන්න ඕනෑ. මම හිතන්නේ රටේ ජනාධිපතිවරයාවත් සරසවිය සම්මානයට අඟිලි ගහන්නේ නෑ. එය බාල, බොළඳ ප්‍රකාශයක් විදිහටයි ඔබ දකින්නේ? නැතුව. එහෙම රාජ්‍ය ආයතනයකට මට බලපෑම් කරන්න පුළුවන් ද විපක්ෂයේ ඉඳගෙන. එතකොට සම්මාන උළෙලේ ජූරිය අහන්නේ මම කියන දේවල්. පත්තරවල අය මම කියන දේ අහන්නේ. ප්‍රචාරක ආයතන මට යටත්. මේවා බොළඳ ප්‍රකාශ වගේම මෝඩ ප්‍රකාශ. මේ වගේ බලයක් මට තියෙන බව මමවත් දන්නේ නෑනේ. ඔහු තවත් චෝදනාවක් නඟනවා ඔබට? මොකක්ද? ‘රජ හොරු’ චිත්‍රපටයේ එක්තරා ජනප්‍රිය නිළියක සමඟ තිබූ නැටුම් ජවනිකාව ඔබේ උපදෙස් පරිදි අධ්‍යක්ෂවරයා විසින් ඉවත් කළා කියලා? ඕකෙ ඇත්ත කතාව ‘රජ හොරු’ අධ්‍යක්ෂ සුරංග ද අල්විස් මහත්තයා කියයි ඔබ ඇහුවොත්. මුලින් මේ චිත්‍රපටයට තෝරා ගත්තේ ඔය නළුවා නෙවෙයි. මේනක. මේනකට දින නැති වුණා. ඊට පස්සේ සාරංග. ඔහුටත් දින නැති වුණා. ඊළඟට රොෂාන් රණවනව යෝජනා වුණා. ඒකත් කොහොම හරි මිස් වුණා. ඊට පස්සේ තමයි ඔය නළුවාට මේ චිත්‍රපට්යේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ චරිතයට තමයි සීන්ස් වැඩි. හැබැයි අර නැටුම් ජවනිකාව තිබුණේ මට. ඔබ වෙනත් අධ්‍යක්ෂවරුන්ට පවා බලපෑම් කළාලු ඔහුව චිත්‍රපටවලට ගන්න එපා කියලා? කොහොමද මම එහෙම කරන්නේ. අනෙක මොකටද? ඔය නළුවා රඟපාපු චිත්‍රපටයක් තිබුණා ‘නොම්බර එකේ චණ්ඩියා’ කියලා. අන්තිම අසාර්ථකයි. ඊට පස්සේ ඒ කතාවම අරගෙන ටෙනිසන් කුරේවයි, මාවයි දාලා ‘කිව්වද නහී නොකිව්වාද නහී’ චිත්‍රපටය කළා. සාර්ථක වුණා. ඔය නළුවාව දාලා සුනිල්සෝම පීරිස් චිත්‍රපටයක් කළා ‘ජය පිට ජය’ කියලා. දිව්වේ නෑ. ඉතින් සුනිල්සෝම කියනවා මාවයි ටෙනීවයි දාලා ඒ ෆිල්ම් එක ආයේ කරනවා කියලා. මේ ටිකේ ඒක ගැන සාකච්ඡා යනවා. මම දන්නේ නෑ ‘රජ හොරු’ තිරගත වෙලා අවුරුද්දකට පස්සේ මෙහෙම ප්‍රශ්නයක් අදින්න හේතුව මොකක්ද කියා. ඔහු ඔබ සමඟ චිත්‍රපට කිහිපයකම සුහදව වැඩ කළා? ‘කිව්වද නසී’ කරන කාලේ ඔහු පුවත්පත්වලට කියා තිබුණේ මම ඉතා හොඳ සහෝදර නළුවෙක් කියලයි. ‘අපි ඉතා හොඳින් වැඩ කරනවා. කිසිම අපි අතරේ ආරාවුලක් නැහැ’ ඒ වගේ දේවල්. ඔහු මට නගා තිබූ චෝදනාව පුවත්පතෙන් දැකපු හැටියේ මම ඔහුට දුරකථනයෙන් කතා කළා. ‘කිව්වද නහී’ කරන කාලේ ඔහු මට කියා තිබුණා ‘රන්ජන් අයියේ පත්තර කාරයෝ අපිව කොටවන්න හදයි. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් කෙලින්ම මගෙන් අහන්න’ කියලා. ඒ නිසයි ඔබ කතා කළේ? ඔව්. ඒත් ඔහු දිගටම ෆෝන් එක කට් කළා. ඊට පස්සේ මම S.M.S එකක් යැව්වා. Call එකක් දෙන්න’ ඒකටත් පිළිතුරක් නෑ. ඒකෙන් මට තේරුණා ඔහුට අවශ්‍ය මට මේ අවනඩුව කියන්න නොවේය, ඔහුට අවශ්‍යය මේ නඩුව ජනතාවට කියන්නය කියලා. ඒකනේ අදහස ඒකේ. ජනතාවට කියලා ඒ හරහා ප්‍රචාරයක් ලබා ගැනීම හා අනුකම්පාවක් ලබා ගැනීමයි ඔහුගේ අරමුණ වුණේ. මට ඒක තේරුණා. දැන් මොකක්ද ඔබේ ප්‍රතික්‍රියාව? ඔහු මට කළ චෝදනාව නීතිය ඉදිරියේ ඔප්පු කළ යුතුයි. දැන් මේක දුරකථනය හරහා අපට විසඳ ගන්න තිබුණ ප්‍රශ්නයක්නේ. ඒ කියන්නේ ඔබ නීතිය හමුවට යනවා? මම හරි අකැමැතියි. මම හිතනවා ‘රජ හොරු’ අධ්‍යක්ෂවරයා මේකට මැදිහත් වෙයි කියලා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතකොට වගකිව යුතු පුද්ගලයෙක්. මගේ රසික, රසිකාවෝ හිතනවා ඇති ‘අනේ රන්ජන් රාමනායක මේ මනුස්සයාගේ සම්මාන උදුරාගෙන, නැතිනම් සිංදුවක් කපා දාලා, අවස්ථාවන් පැහැරගෙන වගේ දේවල්. මේ නළුවා කියනවා එයාගේ ආරම්භයේ ඉඳලාම මම එයාව කපා දාන්න උත්සාහ කළාලු. මේ සම්බන්ධව ඔබ අධිකරණ ක්‍රියා මාර්ගයකට යනවාද නැති ද කියලා හරියටම කිව්වේ නෑනේ? මගේ නීතිඥවරු සමඟ මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන සාකච්ඡා කළා. මගේ නම සඳහන් කරලාමයි ඒ ඉන්ර්වීව් එක දිලා තියෙන්නේ. අනෙක රාජ්‍යය ආයතනයකට බලපෑම් කළා කියන එකත් ලොකු චෝදනාවක්. මේක ඔප්පු කරන්න ඔහුට ලිඛිත හෝ වාචික සාක්ෂි තියෙන්න ඕනෑනේ. එහෙම දෙයක් කරන්න කියා මම බලපෑම් කළේ විෂය භාර ඇමැතිවරයාට ද, නැතිනම් ලේක්හවුස් සභාපතිවරයාට ද, නැතිනම් එවකට සිටි ‘සරසවිය’ කර්තෘවරයාට ද කියන එක ඔහු ඔප්පු කළ යුතුයි. මේක ‘අරයා’ ‘මෙයා’ කිව්වා කියලා බෑ. හරියටම ඔප්පු කළ යුතුයි. ලිඳ ළඟ සංගමය වගේ බෑ. ඇයි ඔහු ඔබට මෙවැනි’ චෝදනාවක් එල්ල කරන්නට ඇත්තේ? මට විතරක් නෙවේ. ඔහු අපේ ප්‍රවීණ නළු නිළියන්ට මීට පෙරත් අපහාස කර තිබුණා. ඔහු කියලා තියෙනවා ගාමිණී ෆොන්සේකා සහ තමන් රඟපෑ සටන් දර්ශන බලන්න කවුද හොඳට සටන් කරන්නේ කියලා. ඒ වගේම විජය කුමාරතුංග. ලංකාවේ මෙතෙක් බිහි වූ ජනප්‍රියම පුද්ගලයා. එතුමාගේ මයිල් ගහක්වත් මම වටින්නේ නෑ කියලා මම අවංකවම කිව්වා. ඔහු කියලා තිබුණා විජයගේ කාලේ ඉපදුනා නම් ඔහුත් ඒ වගේම ජනප්‍රිය වෙයි කියලා. විජය කුමාරතුංග සුපිරි නළුවෙක් වගේම දේශපාලනඥයෙක්. ජනාධිපති අපේක්ෂකයෙක්. පක්ෂයක නායකයෙක්. හොඳ ගායකයෙක්. ඉතින් මේ කියන අය ඒ මට්ටමේ නළුවොද? ගායකයොද? සිනමා සක්විතිට පවා අභියෝග කර තිබුණා? ගාමිණී මහත්තයා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායකවරයෙක්. ඔහුට තිබූ ඉංග්‍රීසි බස පිළිබඳ දැනුම, එතකොට සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස දැක් වූ දක්ෂතාවය. එතුමා කළ නිර්මාණ දිහා බලලා තමයි මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න පවා පෙළඹුණේ. මේ වෙන කොට මම චිත්‍රපට හතරක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. එතුමා ‘පරසතු මල්’ අධ්‍යක්ෂණය කළේ වයස අවුරුදු විසි නවයේදී. ඉතිං ‘පරසතු මලුයි’ ඔය කියන නළුවා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයයි එක වගේද? එතකොට ‘පරසතු මල්’ වගේ නෙවෙයිනේ ‘වන් ෂොට් ONE’ චිත්‍රපටයත්? නෑනේ. එහෙම වෙන්න බැහැනේ. අනෙක මම කවදාවත් කියන්නේ නෑනේ ඒ විදිහට. ගාමිණී මහත්තයාට ‘පරසතු මල්’ වගේ චිත්‍රපටයක් අවුරුදු විසි නවයක් වගේ වයසෙදි කරන්න ලැබුණේ ඔහු ඩේවිඩ් ලීන්, ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ දැවැන්තයන් එක්ක වැඩ කරලා ලැබූ අත්දැකීම් සහ පරිචය නිසා. ‘Bridge on the river kwai’, ‘රේඛාව’ චිත්‍රපටවලින් තමයි ඒ කාර්මික ඥානය ඔහුට ලැබුණේ. අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ශිෂ්‍යයෙක්. ඒ වගේම සුසිල් ප්‍රේමරත්නයන්ගෙන් චිත්‍ර ශිල්පය හැදෑරූ අයෙක්. ගාමිණී ෆොන්සේකා වගේ චරිතයක් ගොඩ නැගෙන්නේ මෙවැනි වටපිටාවක. එබඳු අයට ද මේ අපහාස කරන්නේ මේ විදිහට. ප්‍රවීණයන් හට ගරු බුහුමන් දැක් විය යුතුයි කියන ආස්ථානයේ සිටින කලාකරුවෙක් ඔබ? අනිවාර්යයෙන්ම. ෂාරුක් ඛාන්, අමිතාබ් භච්චන්ට වඳිනවා මම දැකලා තියෙනවා. එතකොට රැජිනි කාන්ත්ට ඊට පසු පරපුර ගෞරවාදරය කරන හැටිත් මම දැක්කා. ගාමිණී ෆොන්සේකාට මම කතා කළේ ‘සර්’ කියලා. ලෙස්ටර් මහත්මයාට ‘සර්’ කියලා. අපි ඒ අය ළඟ තිබෙන පුටුවකවත් ඉඳ ගන්නේ නෑ. මේ ළඟදී කාවිංග පෙරේරා කියන තරුණ නළුවා මං එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරලා යන්න යනකොට මගේ ළඟ දන ගහලා වැන්දා. මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඒක හරි පපුවට වදින, සංවේදී දෙයක්. ලෙස්ටර් මහත්තයාගේ කකුල් දෙක අල්ලලා මම වැඳලා තියෙනවා. පාර්ලිමේන්තුවේදී පවා ඔබ සහෝදර කලාකරුවන් සමඟ අනවශ්‍ය විදියට පැටලෙන්න යන්නේ නැහැ? ඒක තමයි ගරුත්වය. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මට රජයට සමීප කලාකරුවන්ගේ විස්තර ෆයිල් පිටින් ලැබෙනවා ඒ අය ගැන ප්‍රශ්න කරන්න කියලා. රිසානා තව්ෆික්ට ගෙනා දෝෂාභියෝගයෙන් සිනමා වීරයා පරදා ඩිලාන් වීරයා ජය ගත්තා කියලා මාලිනී ෆොන්සේකා මහත්මිය මට පහර ගැසුවා. ඒත් මම උත්තර දෙන්න ගියේ නෑ. මොකද මාලිනී අපේ නිළි රැජන. වරක් සිනමාව බාර අමාත්‍යවරයාව මම රූපවාහිනී නාළිකාවකින් විවේචනය කළාම රවීන්ද්‍ර රන්දෙණිය දුරකථනයෙන් සජීවීව සම්බන්ධ වෙමින් මට දරුණු ලෙස දොස් කිව්වා. නමුත් රවී අයියා සමඟ අදටත් ඔබ ගොඩක් හිතවත්? අපි එකිනෙකා හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ. මම රවී අයියාට කතා කරන්නේ ‘බිග් බී’ කියලා. හින්දි සිනමාවේ අමිතාබ් භච්චන්ට කියන නම. රවි අයියා මට කතා කරන්නේ ‘රන්ජෝ’ කියලා. ඒ අපේ හිතවත්කම. පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරයකු වන ජීවන් කුමාරතුංග කලාකරුවන්ට ඉතාමත් ගරු කරන අයෙක්. එතුමා කිසි විටෙකවත් කලාකරුවන් විවේචනය කළේ නෑ. අද සමහරු සිනමාව් සුපිරි විරයෝ වෙලා ඉන්නේ තාක්ෂණය නිසා බවත් අර නළුවා ප්‍රකාශ කර තිබුණා. කේබල් ෂොට්ස්, ස්ටන්ට්ස්ලා නැතිනම් ඇත්තටම සිනමාවේ සුපිරි වීරයෝ බිහි වෙයිද? මම වැඩ කළා ‘blood sport 03’ කියලා චිත්‍රපටයක. වසන්ත කුමාරවිලත් ඒකේ හිටියා. ඇලන් මර්ස් තමයි අධ්‍යක්ෂණය කළේ. වෑන් ඩෑම් තමයි මුලින් මේ චිත්‍රපටයට එන්න හිටියේ. නමුත් පස්සේ ඒ වෙනුවට ආවේ ඩැනියෙල් බෙන්හාර්ට් කියන සුපිරි නළුවා. අපි ඒ චිත්‍රපටයට ගියේ නුපුහුණු සටන්කරුවන් හැටියට. මම එක පාරට පැනලා ගහපු පහරකින් ස්ටීව් ඔටෝ කියන නළුවාගේ නළල පැලිලා ගියා. එතකොට මට අධ්‍යක්ෂවරයා ඇවිත් තරයේ අවවාද කරලා කිව්වා ‘මේක සැබෑ සටනක් නෙවේ. චිත්‍රපට සටනක් කියලා. ඒ චිත්‍රපටයේදී මං දැක්කා අසංක මේ පුටුවේ ඉඳං එහා පුටුවට පනින්න දෙන්නේ නැහැ ප්‍රධාන නළුවාට. බටහිර සිනමාවේ කිසිම විටෙක භයානක සහ අවදානම් සහගත දර්ශන සඳහා ප්‍රධාන නළුවන් යොදා ගන්නේ නැහැ. ඒ නළුවාගේ නම හදන්න කෝටි ගණනක් වියදම් කරලා තියෙනවා ඒ කොම්පැනියෙන්. ඉතින් තමන්ගේ හිතු මනාපෙට වැඩ කරරලා නිකමට හරි අතක් පයක් කඩා ගත්තොත් අර කොම්පැණිය නළුවාට විරුද්ධව නඩු දානවා. නමුත් අපේ සිනමාවේ තාත්වික සටන් කලාවක් තිබුණනේ. ඒ කියන්නේ ඇත්තම සටන් ජවනිකා? ඔව්. දැන් ‘යකඩ පිහාටු’ චිත්‍රපටයේ මමයි, විල්සන් කරුයි ඇත්තටම ගහගන්නවා. ‘’රන්ජා’ චිත්‍රපටයේත් වසන්ත කුමාරවිල එක්ක මම ඇත්තටම ගහගත්තා. ඔබ ඒ දර්ශන තලයේ හිටියා. අපේ අත පය තුවාල වුණා. තොල්පට පැලිලා ගියා. ඉතින් මේක නෙවෙයි සිනමාව කියන්නේ. මේක සිනමාව නෙවේ නම් ‘නිධානයෙන්’ පස්සේ මාලිනී ෆොන්සේකා මැරිලා. ‘දඩයමේ’ ස්වර්ණා මැරිලා. ‘වැලිකතරේ’ ගෝරිං මුදලාලි මැරිලා. නමුත් සිනමාව නමැති මායාවේදී ඒක ඒහෙම වුණාට යථාර්ථය එය නෙවෙයි. අන්තර් ජාලයේ කරුණු සොයද්දී අපට සිනමාවේ සැබෑ සටන්කරුවන් හමු වෙනවා නේද? අද තියෙනවා බ්ලූ ස්ක්‍රීන්, ග්‍රීන් ස්ක්‍රීන් කියලා. ඒවා ගැන අපි නිරීක්ෂණය කළ යුතුයි. එහෙම ඇත්තටම ගහගන්න කෙනෙක් තමයි ටෝනි ජා. ‘ඔන්බැක්’ චිත්‍රපට මාලාවේ රඟපෑ ප්‍රධාන නළුවා. එතකොට බෲස්ලීගේ ‘ෆිස්ට් ඔෆ්හියුරි’ එකේ පවා ස්ටන්ට් කරලා තියෙනවා. එක තැනක තියෙනවා බෲස්ලී අත් දෙකෙන් රික්ෂෝවක් උස්සනවා. මතකද? ඒක කේබල් දාලා කරලා තියෙන්නේ. මෙට්රස් තියෙනවා. කේබල්ස් තියෙනවා. මේවා නැතුව කරලා මගෙත් කකුල් දෙක කැඩිලා තියෙනවා. පසුගිය දවස්වල මම ඉන්දියාවේ හිටියේ. දන්න විදිහට වික්‍රම් ගේ කකුල් දෙකම කැඩිලා. කමලා හසන්ලගේ කකුල් කැඩිලා. ඇයි ඒ. ඔබ කියන තාක්ෂණය භාවිත කරනවානේ ඔවුන්? භාවිතා කළාට හිතුවක්කාර වැඩ කරන්න ගිහිල්ලා ජැකී චෑන්ට තියෙනවා ඔපරේෂන් එකසිය හතරක්. එයා හැම ෆිල්ම් එකකටම පස්සේ යනවා හොස්පිට්ල් එකට. ඒක ලස්සන කතාවක්. ‘You Came Again. I Told you not to Stant’ ඩොක්ටර් එහෙම කිව්වම ජැකී චෑන් කියනවලු ‘Dr, You Do Youre Job. I’ll do My Job’ කියලා. කඩන් එන එක මගේ ජොබ් එක. හදන එක උඹේ වැඩේ. ඉතිං මේ ජැකී චෑන්. ඔහු සර්කස් කාරයෙක්. ස්ටන්ට්මන්ට් කෙනෙක් වෙලා හිටියා කාලයක්. එතකොට ජැකී චෑන් ටෝනි ජා, වෑන්ඩෑම් වගේ කිහිප දෙනෙක් විතරයි ඔය හිතුවක්කාර වැඩේ කරන්නේ. රන්ජන් රාමනායක ජනප්‍රිය නළුවෙක් වුණාට චරිතාංග නළුවෙකු වැටියට ඉස්මතු වුණේ නැහැ නේද? මට ලැබුණ හොඳ චරිත අතරින් මුලින්ම සිහිපත් වෙන්නේ විජය ධර්මශ්‍රීගේ ‘භාග්‍යා’ ටෙලි නාට්‍යයේ මම රඟපෑ චරිතය. ඊළඟට තිස්ස අබේසේකරයන්ගේ ‘පිටගගම්කාරයෝ’ අර්නෝලිස් චරිතය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘අවරගිර’ චිත්‍රපටයේ ප්‍රියංකර සැතිගල. උදයකාන්තගේ ‘යකඩ පිහාටු’ චිත්‍රපටයේ ‘රමේෂ්’ගේ චරිතය. එතකොට සෙල්ලප්පෙරුමගේ ‘අයදිමි සමා’ උක්කු බන්ඩේ, කැලුම් පාලිතගේ ‘නිලම්බරේ’ චිත්‍රපටයේ ‘නිර්වාන්’ ගේ චරිතය මගේ රංගනයේ කඩඉම් ලකුණු. ඒ චරිත පිළිබඳ මං අතිශයින්ම තෘප්තිමත්. එවැනි චරිත හරහා මගේ චරිතාංග නිරූපණයත් ඉස්මතු වුණා කියලා මම විශ්වාස කරනවා. |