වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මල් වඩම් අනවශ්‍යයි බලන්න ආ රසිකාවට සිහිය නැතිවුණා

මල් වඩම් අනවශ්‍යයි බලන්න ආ රසිකාවට සිහිය නැතිවුණා

පි‍්‍රයන්ත රංජන්

පි‍්‍රයන්ත රංජන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘මල්වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය මේ මස 04 වැනිදා බදුල්ල නගර ශාලාවේදී වේදිකා ගතවෙයි. කාලයක පටන් වේදිකා නාට්‍ය සංවිධායකවරයෙක් හා නිෂ්පාදකවරයෙක් ලෙස ප්‍රේක්ෂක හමුවට පැමිණි ප්‍රියන්ත රංජන්ගේ කලා ආගමනයත්, ‘මල් වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය පිළිබඳත් ඔහු ‘සරසවිය‘ට මෙසේ සඳහනක යෙදුණේය.

වේදිකා නාට්‍ය සංවිධායක කටයුතු හා නිෂ්පාදක කටයුතු අමතක කරල ද ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ

හැමදාම එකම භූමිකාවක සිටිය යුතුයි කියලා මා අදහස් කරන්නේ නැහැ. ඒ නිසා මා සංවිධායක කටයුතු වගේම නිෂ්පාදන කටයුතුවල නියැළෙන අතරතුරදිම අධ්‍යක්ෂණයටත් අත්පොත් තිබ්බා. කාලයක පටන් පුරුදු පුහුණු කරගෙන පැමිණි අධ්‍යක්ෂණය කියන අංශයට යොමුවීමේ හොඳම කාලය ලෙස මා දැක්කේ මේ කාලයයි. මේ නිසා මා ඊට පිවිසුණා. ඊට පෙරත් ‘රූකඩ රාජ්ජේ ’, ‘කෝළම් පුරේ’ වගේ වේදිකා නාට්‍ය සඳහා පූර්ණ වශයෙන් අධ්‍යක්ෂණයෙන් දායක නොවුණත් එහි බොහෝ වෙනස්කම් සිදු කිරීමට මට හැකිවුණා. කොහොම නමුත් මට ලැබුණු පිටපත් කිහිපයක් අතරෙන් මා මේ පිටපත තෝරා ගත්තා.

“මල්වඩම් අනවශ්‍යයි” වේදිකා නාට්‍යයෙහි පිටපතෙහි තිබෙන විශේෂත්වය කුමක්ද?

ක්ලයිව් මාට්ස් කියන පිටපත් රචකයා මට මුණ ගැසෙන්නේ මීට කාලයකට පෙරයි. ඔහු මීට වසරකට පෙර ගෙනත් දෙන ඒ පිටපතයි මා මෙලෙස වේදිකා නාට්‍යයකට රැගෙන එන්නේ. ඔහු මේ වනවිට ජීවතුන් අතර නැති වුණත් එය බොහොම අපූරු පිටපතක් ලෙස මා දුටුවා. නවීකරණය වුණු මිනීපෙට්ටි සාප්පුවක් මූලික කර ගනිමින් ජීවිතයේ ස්වභාවය ගැනයි මේ කතාවේ කියන්නේ. යටි පෙළෙන් දිවෙන හාස්‍ය මුසු කර ගනිමින් නාට්‍යය වේදිකා ගත වෙනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් බොහොම හොඳ මට්ටමක තිබෙන්නේ.

දිගින් දිගටම හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍ය රැසක් වේදිකා ගතවන සමයක ඇයි ඔබත් එවැනි නාට්‍යයකට සිත යොමු කළේ නැත්තේ?

අනෙක් අය හාස්‍ය මුසු වේදිකා නාට්‍ය කළ නිසා ඒ වගේම නාට්‍යයක් කළ යුතුය කියන මතයේ ඉන්න මට උවමනා වුණේ නැහැ. මා කළේ මට ලැබුණු පිටපත්වලින් තිබුණු හොඳම පිටපත තෝරා ගැනීම පමණයි. ඒ ඔස්සේ වෙනස්ම නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න මට උවමනා වුණා. මේ වේදිකා නාට්‍ය බලලා ජීවිතයේ අනිත්‍ය වගේම මේ කියන්නේ අපි ගැන නේද කියලා හිනාවෙන්නත් ප්‍රේක්ෂකයන්ට පුළුවන්.

ප්‍රවීණ රංගන ශිල්පීන් සහභාගි කර ගැනීම නිසා නාට්‍යය වේදිකාගත කිරීමට යම් ගැටලුවක් නිර්මාණය නොවුණාද?

විජය නන්දසිරි, සරත් කුලාංග, කුමාර තිරිමාදුර, සුරංගි, වසන්ත විට්ටච්චි ආදී රංගන ශිල්පීන් රැසක් මෙහි රඟපාන බව ඇත්තයි. ඔවුන්ගෙන් සමහරු දැනට වේදිකා ගතවන වේදිකා නාට්‍යවල වගේම ටෙලි නාට්‍යවලත් රඟපානවා. නමුත් ඒ සියලු දෙනාම කොයිතරම් කාර්යබහුල ශිල්පීන් වුණත් එකිනෙක නිර්මාණ පටලවා ගන්නේ නැතිව සහයෝගය දැක්වීම නිසා මෙතෙක් කිසිදු ප්‍රශ්නයක් පැන නැඟී නැහැ. ඒත් සමඟම ඔවුන්ගේ රංගනය පිළිබඳ දෙවරක් සිතන්නත් අවශ්‍ය වන්නේ නැහැ.

ඒ චරිතය පිළිබඳ ඔවුන් සතු අවබෝධයත් ඒවගේමයි. ඒ වගේම ඔවුන්ට ඕනෑම කට්ටක් කන්නත් පුළුවන් කියන මේ සියලු කාරණා සම්පූර්ණ වීම නිසා මට ඔවුන් සමඟ කටයුතු කිරීම පහසුයි.

අද නාට්‍ය සංවිධායකරුවන්ට විවිධ චෝදනා නැගෙනවා. ඔබටත් මේක පොදු කාරණයක්.

චෝදනා නැත්තේ කාටද? වැඩක් කරන මිනිස්සුන්ටයි නිතරම චෝදනා නැගෙන්නේ. අපිටත් ඒ වගේයි. ඒ චෝදනාවලට බයවෙලා වැඩ නොකර සිටියොත් අපියි මෝඩයෝ වෙන්නේ. ඒ වගේම නාට්‍ය සංවිධාකයෙක් වීමට කලිනුයි මා රඟපෑවේ.

ඒ කියන්නේ කලාවට පිවිසිමේ මූලාරම්භය සිදුවන්නේ නාට්‍ය සංවිධායකවරයෙක් වීමට පෙරද?

මම රංගන කටයුතුවලට සහභාගි වෙන්නේ කුඩා කාලයේ පටන්මයි. කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය මගේ ගුරුතුමා වෙන්නේ ලයනල් රන්වලයන්. ඔහුගේ මාර්ගයෙන් තමයි මා රඟපෑමට යොමු වෙන්නේ. ඒ කාලයේ පාසලේ තිබුණු සාහිත්‍ය සංගම්, නාට්‍ය සංගම්වල ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට මම ගොඩක් දේවල් කළා. එදා සිටිය ගුරුවරු “කාලගෝල” කතාව පුරුදු කරලා එය පාසල්වලට අරගෙන ගිහින් පෙන්නුවා. මෙහිදී මම කාලගෝලටත් රඟපාලා තියෙනවා. ඊට අමතරව බහු භූතයන්ටත් රඟපෑවා. එහි රඟ පෑ කිසිම නළුවෙක්ට ස්ථිර චරිතයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි සියලුදෙනාම සෑම චරිතයක් කළ යුතු වුණා.

ඊට පස්සේ අපි කිහිපදෙනෙක් ජී.ඩී.එල් පෙරේරාත් සමඟ චිත්‍රපටයක් කළා. එහිදී ලයිට් අල්ලන කටයුත්තේ පටන් සියල්ලම කරන්න වුණේ අපටමයි. චිත්‍රපටයේ නම වුණේ ‘හොරා පොළිස්’. ඊට පස්සේ ඒක ඊ.ඒ.පී. එකෙන් අරගෙන ‘චක්‍රායුධ’ කියලා තිරගත කළා. එකේ පළමුව කැමරා අධ්‍යක්ෂණය කළේ ඩොනල් කරුණාරත්න. පසුව ඔහු චිත්‍රපටය අතහැරලා ගියාට පස්සේ අපේ කණ්ඩායමේ සිටිය කෙනෙක් තමයි කැමරා අධ්‍යක්ෂණය කළේ. ඒ චිත්‍රපටයේ සනත් ගුණතිලක අශෝක පීරිස්, දෙනවක හාමිනේ, කාන්ති ලංකා, නෙල්සන් දිවිතුරුගම, සඳුන් විජේසිරිත් රඟපෑවා බව මට මතකයි. ඒත් එක්කම අපේ කණ්ඩායමේ සිටිය අයගෙන් කලාව පැත්තට යොමු වුණේ මා පමණයි.”

‘මල්වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය සම්බන්ධයෙන් සිදුවුණු විශේෂ සිදුවීම් තිබෙනවාද?

අපි නුවර කළ ෂෝ එකකදී අපූරු සිදුවීමක් වුණා. විජේ අයියාගේ රසිකාවක් විජය අයියාව සොයා ගෙන නේපත්‍යාගාරයට ආවා. ඒ එනකොට මිනී පෙට්ටි දෙක උඩ මිනී වගේ ඩමි තියලයි තිබුණේ. එක දැක්ක අර රසිකාව සිහිය නැතිව වැටුණා.

මේ වනවිට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවගේද?

මේ වනවිට වේදිකා ගත කරලා තියෙන්නේ සීමිත දර්ශන කිහිපයක් වුණත් ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර නම් හොඳයි. අවසාන වශයෙන් මට ප්‍රේක්ෂකයන්ට කියන්න තිබෙන්නේ ‘මල්වඩම් අනවශ්‍යයි’ කියන්නේ සර්ව කාලයමට ඔබින නාට්‍යයක් කියලා. ඒ සර්ව කාලයටම ඔබින ඔබ පිළිබඳ කියැවෙන මේ නාට්‍යය බලන්න එන්න කියලා මා ප්‍රේක්ෂකයන්ට අවසාන වශයෙන් ආරාධනා කරනවා.