|
ඊට පස්සේ චිකන් වෙනමත් ෆ්‍රයි වෙනමත් කෑවාසුදර්ශන- සහනිකාගේ ආදර කැදැල්ල වරින් වර වැටෙන හිරිපොද වැස්ස අභිබවා නැගෙන හිරු කිරණ පරිසරයට එක්කළේ සොඳුරු දසුනක්. ඉස්තෝප්පුවේ හාන්සි පුටුවට වී සිටි සුදර්ශන ඒ සොඳුරු දසුන දෙසට තම තෙත් දල්වා බලාගෙන සිටියේ ඉන් වශීකෘතව ගිය කලෙකයි. වැස්ස නිසා ගේ ඉදිරිපස සතුටෙන් ඉපිල ගිය සමන් පිච්ච වැලෙහි පිපුණු සමන් පිච්චමල්වල සුවඳ නැහැයට දැනෙයි. “මෙහෙ එන්නකෝ” උස් හඬෙන් කෑ ගසන සුදර්ශනගේ ස්වරය දිගේ ඉස්තෝප්පුවට ආව සහනිකා බැලුවේ තම පෙම්බරයාගේ උවන. “දැනෙනවද ඔයාටත් සමන් පිච්ච මල්වල සුවඳ?” තමා දෙසම බලාගෙන සිටින ආදරබර බිරියගෙන් ඔහු විමසුවා. ඈ සමන් පිච්ච වැල ළඟට ළංවුණේ ඒ සුවඳ විඳීන්න හිතාගෙන. එවිටමයි අපි ඔවුන්ගේ ගේට්ටුවෙන් එඹුණේ. ‘සමන් පිච්ච් මල් පිපිලා බොහොම සුවඳයි’ ඈ කිව්වේ අපි දෙසම බලාගෙන. “දෙන්නත් එක්කම සමන් පිච්ච් මල්වල සුවඳ විඳීනවා වගේ” මා පැවසුවේ සමන්මලක් වගේ ඉන්න සහනිකාගෙන්. “සහනිකාගේ අත් ගුණේ ඵලය තමයි“ සුදර්ශන පැවසුවේ සිනහා වෙවී. “සුන්දරව පිරිසිදුව තිබෙන ගෙවත්ත ඒකට අපූරු ආදර්ශයක්” මට එහෙම සිතුණා. “ඉතිං කොහොමද ජීවිතේ” සුදර්ශන බණ්ඩාර කියන ජනප්‍රිය රංගන ශිල්පියාගේ තනිකඩව ගෙවුණු ජීවිතයට තිත තිබ්බේ මීට මාස හතකට කලින්. “තනිකඩව ගෙවුණු ජීවිතයට වඩා හාත්පසෙන්ම වෙනස්ම ජීවිතයක්. තවමත් තරුණ වියේ ඉන්න නිසාදෝ කොහෙද පෙර පුරුදු විදියටත් කාලය ගත වෙනවා. ඒත් වගකීමක් කියන දෙයක් සිතට ආවේ විවාහයෙන් පස්සේ තමයි. ජනවාරි 23 න් පස්සෙ ඉඳලා මා වෙනස්ම පුද්ගලයෙක් වුණා.” සුදර්ශනගේ ජීවිතයේ වෙනස් වීම ආරම්භ වෙන්නේ එහෙම. ඒ වෙනසට මුල පුරන්නේ සහනිකා. “සුදර්ශනව මට මුණ ගැසෙන්නේ නූර්ති ගී වැඩසටහනකදියි. එතැනදි දැකලා ඇතිවන ආදරයයි විවාහයකට මුල පුරන්නේ්. ඒ සඳහා දෙපැත්තෙන්ම ආශිර්වාදය හිමි වුණා. සුදර්ශනයි, මමයි විවාහ වුණා. ජීවිතය සුන්දරව ගලාගෙන යනවා.” නාරාහේන්පිට ආමි රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන සහනිකාගේ ජීවිතය සතුටෙන් පිරිලා. වෛද්‍ය වෘත්තියට වගේම ඈ කලාවටත් ආදරෙයි. ඒ නිසාම සුදර්ශනගේ කලා ජීවිතයට ඈ ආලෝකයක්. “ඇයත් කලාවට හිතැති කෙනෙක් නිසා මට වැඩවලට පහසුයි. මගේ කලා කටයුතුවලට ඇගෙන් ලැබෙන සහයෝගයත් අපමණයි. මා උගන් වන වත්තල ජාත්‍යන්තර පාසලේ කටයුතුවලටයි පළමුව මුල්තැන ලබාදී තිබෙන්නේ. ඒ අතර කලා කටයුතුත් කරනවා. මේ දවස්වල නම් රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍ය දෙකක් පුහුණු කරන නිසා කලා කටයුතු කිසිම දෙයක් බාරගත්තේ නැහැ. ඉදිරියේදී මා රඟ පෑ චිත්‍රපටයක් පැමිණීමට නියමිතයි. ඊට අමතරව චාමර පීරිස්ගේ අයාල් 2 ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ කරාවි.” ගුරුවරයෙක් වගේම රංගන ශිල්පීයෙක්, සැමියෙක් කියන භූමිකා රැසක සැරිසරන සුදර්ශනට කාලය කියන්නේ බොහොම වැදගත් දෙයක්. මේ සෑම දෙයක් අතරම කාලය කළමනාකරණය කර ගන්න ඔහු සහනිකාත් සමඟ විවේකය ගත කරන්නත් කාලය සොයා ගන්නවා. “විවේකය ගත කරන්න අපි බොහොම වෙලාවට කරන්නේ චිත්‍රපටයක් නරඹන එකයි. එහෙම නැත්නම් ගෙදරටම වෙලා ඉන්නයි මමයි, සහනිකායි වඩාත් කැමැති වන්නේ. ඒ වගේ වෙලාවක සහනිකාගේ අලුත් කෑම පර්යේෂණත් එළි දකිනවා. එහෙම කියන විට මගේ මතකයට නැගෙන්නේ මේ ළඟදි හැදුව චිකන් ෆ්‍රයි එක. කොහොම වුණත් අවසානයේ අපි චිකන් ටික වෙනමයි ෆ්‍රයි එක වෙනමයි කෑවා.” සුදර්ශනගේ පමණක් නොව ඇයගේ මුවඟට නැගෙන්නේ ද සිනහවක්. “කෑමවලින් කිසිම කරදරයක් මට ඇත්තෙ නෑ. හදලා දෙන ඕනෑම දෙයක් සුදර්ශන කනවා. මම උයන පිහන කටයුතු සිදු කරන්නේ බොහොම අඩුවෙන්. වැඩිපුරම උයන්නේ අම්මා තමයි. අපි දෙන්නා උදේ නැඟිටින විටත් අම්මා උයලා. අපට තියෙන්නේ කෑම ටික අරගෙන වැඩට යන්න විතරයි. නිවෙස අස්පස් කරන කටයුතුත්, ගෙවත්ත ලස්සනට තියා ගන්නත් මම කැමැතියි. ලැබෙන නිදහස් දවස ඒවගේ කටයුතුවලටත් යොමු කරන්න මා අමතක කරන්නේ නැහැ. සුදර්ශන සිටියොත් එයත් ඒ වැඩට හවුල් වෙනවා.” සහනිකාගේත්, සුදර්ශනගේත් කාලය ඒ විදියට ගෙවෙද්දි ආදරය කළ කාලයේ හිටිය සහනිකාද මේ ඉන්නේ කියලත් අපි විමසුවා. “බොහොම දෙනෙක් කියන කතාවක් තමයි ආදරය කරන කාලයේ හිටිය කෙනා නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ කියන එක. ඒත් සහනිකා නම් එහෙම නැහැ. එයාගේ ආදරයත් එදා වගේමයි. ඒ කාලයේ නිතරම තරහ ගන්න සහනිකාගේ ඒ ගතිගුණ අදටත් එහෙමමයි.” “ඒ කියන්නේ සුදර්ශන තරහ ගන්නේ නැද්ද?” “මට තරම් සුදර්ශනයට තරහ යන්නේ නැහැ. මට තරහ ගියාම එයා නිහඬ වෙනවා. එයා තරහ ගත්තම මම නිහඬ වෙනවා. එහෙම වුණාම කිසි ප්‍රශ්නයක් නැහැ.” පවුලේ බඩපිස්සි විදියට උන්නු සහනිකාට තිබෙන වගකීම් තරමක් හෝ ලිහිල් වෙන්නේ සහනිකාගේ අම්මා, තාත්තා නිසා. “නිවෙසේ කටයුතු සියල්ලක්ම සොයලා බලලා කරන්නේ අම්මා. ඒ නිසා සහනිකාගේ වගකීම තරමක් අඩුවෙලා. සහනිකාගේ අම්මත් මට මගේ අම්මා වගේමයි.” “තවත් කාලයක් ඔහොමම ඉන්නද හිතාගෙන ඉන්නේ?” “ඇත්තටම මගේ රැකියා ස්ථානය ඉදිරියේදී වෙනස් වෙවි. ඒ නිසා රැකියාවට ටිකක් දුරකට යන්න වුණොත් තුන්වැනියෙකුට කරන අසාධාරණයක් කියලා හිතෙන නිසා අපි ටික කාලයකට ඒ අදහස ප්‍රමාද කළා.” සහනිකා සුදර්ශන දෙසම නෙත් මානගෙන කිව්වා. සුදර්ශනත් ඇගේ අදහස අනුමත කළේ එකපාරටම. “අපූරු සුසංයෝගයක්” පැපිලියාන ප්‍රදේශයේ සොඳුරු කැදැල්ලක ජීවත් වන මේ සොඳුරු යුවළ සමඟ ගෙවුණු හෝරා කිහිපය අවසන් කරන්නට මත්තෙන් මගේ සිතට පැමිණියේ ඒ වගේ අදහසක්. |