වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




බර්ටි ගුණසේකර ගේ ඡායාරූප ප්‍රදර්ශනය අද ඇරඹෙයි

ඒ කාලේ මුදල් ගැන හැඟීමක් අපට තිබුණෙ නැහැ

බර්ටි ගුණසේකර ගේ ඡායාරූප ප්‍රදර්ශනය අද ඇරඹෙයි

ලාංකේය ඡායාරූප ශිල්පීන් පිළිබඳ කතා බහ කරනු ලබන ඕනෑම තැනකදී අපේ කතාවේ නායකයාගේ නාමය වැජඹෙන්නේ ඉහළිනි. දශක කිහිපයක් සීඝ්‍රයෙන් යාවත්කාලීන වෙමින් කැමරාව හරහා ඔහු පෑ ප්‍රතිභාව අති මහත්ය.

එදවස අතිශය ජනපි‍්‍රය වූත් බන්දුල පද්මකුමාරයන්ගේ අතින් සංස්කරණය වූත් සරසි, සත්සර, රැජින සහ අරලිය පුවත්පත්වල මෙන්ම Shennel සඟරාවේද ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස මේ අසිරිමත් මිනිසා වෙනස්ම ඉසව්වක් සොයා ගියේය.

පර්යේෂණයන් හි නිරත වූයේය.

ඒ පර්යේෂණ කොතරම් දුරට සාර්ථක වීද යත් ලංකාවේ ඡායාරූප ශිල්පීන් අතර ඔහු සීඝ්‍රයෙන් නම තබාගන්නට සමතෙක් වූයේය. ආලේඛ්‍ය ඡායාරූපකරණය, වාණිජ ඡායාරූපකරණය මෙන්ම ඡායාරූපකරණයේ සියලුම ඉසව් ජයගත් හෙතෙම ඡායාරූපයට නව හැඩතල එක් කළේය.

බර්ටි ගුණසේකර

බර්ටි ගුණසේකර.........

තෙවැනි ඇසින් සජීවි ලොව ජීවමාන කළ මිනිසා ඔහුය. හන්තානේ කතාව, රැයක් දවාලක් තිර පිටපත් රචනයෙන් දායක වූ බර්ටි ගුණසේකර ‘දාහකින් එකෙක්’ තනමින් අධ්‍යක්‍ෂවරයෙක් වූයේය. අමරනාත් ජයතිලකයන් ගේ පි‍්‍රයංගා හි සහාය අධ්‍යක්‍ෂවරයා වූයේද බර්ටිය.

මෙසේ විවිධ ඉසව් හරහා ප්‍රවීණත්වය ප්‍රකට කළ බර්ටි ගුණසේකරයන් ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් අද ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ඇරඹෙයි. මේ එම ප්‍රදර්ශනය පිළිබඳත්, බර්ටි ගුණසේකර ගේ කලා දිවිය පිළිබඳත් සරසවිය කළ කතා බහකි.

* ඡායාරූප ප්‍රදර්ශනය පිළිබඳ කතා කරමින්ම සාකච්ඡාව අරඹමු?

මේ සඳහා නිමිත්ත වූ කාරණා කිහිපයක්ම තියෙනවා. ඉන් මූලිකම කාරණය බවට පත් වුණේ සෙංකඩගල ඡායාරූප කවය. විජිත වික්‍රමරත්න, සුසන්ත කන්දද්දරගේ හේමන්ත අරුනසිරි සහ ආචාර්ය රංජිත් පල්ලෙගම යන තිදෙනා එකතු වෙලා මගේ තිස් වසරක ඡායාරූප කලා දිවියට උපහාරයක් සංවිධානය කළා.

මේ වෙනුවෙන් මා යමක් කළ යුතුයැයි සිතුණා. ඒ නිසාම මම උපහාර උත්සවයට සමගාමීව ඡායාරූප ප්‍රදර්ශනයක් සංවිධානය කළා.

ඒ සඳහා ආලේඛ්‍ය ඡායාරූප බොහොමයක් යොදා ගත්තා.

ඒ ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථකව නිමා වුණා. ඉන් අනතුරුව තවත් ප්‍රදර්ශනයක් පැවැත්විය යුතුයැයි මා තීරණය කළා.

මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ඒ අදහස අනුවයි.

අද සවස 3.00 ට ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. ටී. බී. ඒකනායක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ඇරඹෙන ප්‍රදර්ශනය 5, 6, සහ 7 දිනවල උදේ 10.00 සිට සවස 6.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

* ඔබ ඡායාරූප කලාව වෙනත් මානයකට ගෙන ගිය චරිතයක්. ඒ අතීතයෙ සුන්දර මතක අතරට යමු?

ඇත්තටම මං හැමදාමත් වෙනස් දෙයක් කරන්නට වෙහෙසුන කෙනෙක්.

ඒ සඳහා ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරයන් ගෙන් හොඳ සහායක් ලැබුණා. ඒ වනවිට මුල් පිටුව සැරසූ කවර රටාවට වඩා වෙනසක් කරන්න අපට අවශ්‍ය වුණා.

මට මතකයි සරසි පුවත්පතේ මුල් පිටුවෙ අප කළ වෙනස. ඡායාරූපයට පෙනී සිටියෙ අමරසිරි කලංසූරිය.

පිටු දෙකෙහි පුරාවට ඡායාරූප ත්‍රිත්වයක් යොදා අපි ඒ වෙනස සිදු කළා.

මෙවැනි නවීනතම වෙනස්කම් හරහා මගෙ නම ජනපි‍්‍රය වෙන්නට පටන් ගත්තා. ඒ ජනපි‍්‍රයත්වය සමඟ තවත් නව නිර්මාණ කරන්නට පෙළඹුණා.

මේ කාලයේදී තරු යොදා ගනිමින් කැලැන්ඩර් නිර්මාණය කිරීම ඇරඹුවා. එයත් ඉතා සාර්ථක වුණා.

මම වසරකට කැලැන්ඩර් 60 – 70 ක් කළා. මේ කාලයේදීම බන්දුල පද්මකුමාරයන් ඇරඹූ ඉඩඥදදඥත සඟරාවේ ඡායාරූප ලබාගැනීමට අවස්ථාව ලැබුණා.

එය ෆැෂන් ෆොටෝ ග්‍රැෆිවලට සම්බන්ධ වීමට නව මාවතක් තනා දුන්නා. ඉන් අනතුරුව කමර්ෂල් ෆොටෝ ග්‍රැෆිවලට සම්බන්ධ වුණා.

මෙහෙම කලක් ඇවෑමෙන් ගෘහ නිර්මාණ සම්බන්ධ ඡායාරූපකරණයට යොමු වුණා.

මේ ආකාරයෙන් විවිධ ඉසව්වල කැමරාව සමඟ සැරිසරන්නට මට ඉඩ ලැබුණා. මා හිතනවා ඒක වාසනා ගුණයක්.

* මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙන්නේ මොනවගේ ඡායාරූප ද?

වටිනා පුද්ගලයන් රැසකගේ ඡායාරූප මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙනවා.

ඔවුන්ගේ වටිනාකමට තවත් අරුතක් එක් කිරීමට මා වෙහෙසුණා.

මං මෙම ඡායාරූප ලබා ගැනීමට මා විසින්ම නිර්මාණය කළ නව තාක්‍ෂණයක් භාවිත කළා. නව ආලෝකකරණ ක්‍රමවේදයක් මා මේ සඳහා යොදා ගත්තා.

එම ක්‍රමවේදය මම හත්වෙනිදාට අපේ ඡායාරූප ශිල්පීන්ට හඳුන්වා දෙනවා.

* අද ඡායාරූපකරණය ඩිජිටල් වෙලා. ඕනෑම කෙනෙකුට කැමරාවක් තිබෙනවා නම් පිංතූර ගතහැකි බව තමයි ප්‍රමුඛ මතය?

ලෝකය ඇසිපිය හෙළන නිමේෂයෙන් වෙනස් වෙනවා.

මේ වෙනස්වන ලෝකයට සමගාමීව අපත් වෙනස් විය යුතුයි.

ඩිජිටල්කරණය වීම හොඳ කටයුත්තක්. නමුත් කැමරාවක් තියෙන හැමෝටම ඡායාරූප ශිල්පියෙක් වෙන්නට බැහැ. දැන් කැමරාව සංකීර්ණයි.

ඒ වගේම පහසුයි. වෙනදා අපේ මොලයට විශාල වැඩ කොටසක් තිබුණා. නමුත් දැන් එතරම් විශාල වැඩ කොටසක් නැහැ.

ඒත් අපේ දැනුම දැන් දිනෙන් දිනට යාවත්කාලීන කොටගත යුතුයි.

එදා ෆිල්ම් රීල් ටික ඩිවලොප් වෙනකල් අපි හිටියේ පපුවට අත තියාගෙන. අද එහෙම නෑ.

* ඔබට මුණගැසුණු ඡායාරූපකරණයට පහසුම කෙනා කවුද?

මෙහෙමයි, කලාකරුවන්. විශේෂයෙන්ම නළු නිළියන් ඡායාරූපයට නඟන්න ඉතාමත් පහසුයි.

ඔවුන් කැමැරාව සමඟ සම්බන්ධතාවය ගොඩනගා ගන්න දන්නවා. ඒ නිසා ඉතා පහසුයි.

ඒ වගේම ඔවුන් ඉතා ඉක්මනින් ඡායාරූප ශිල්පියාට හිතවත් වෙනවා. මුහුණේ ඉරියව් ඉතා ඉක්මනින් වෙනස් කරන්න ඔවුන්ට පුළුවන්.

* අපි හන්තානේ කතාව ළඟත් මොහොතක් නතර වෙමු?

ඒක ඉතාමත් සුන්දර මතකයක්. සුගතපාල සෙනරත්යාපා තමයි කතාව නිර්මාණය කළේ.

අපි එකතු වෙලා ඒ කතාව පෝෂණය කිරීම තමයි කළේ.

අපේ විශ්වවිද්‍යාල ජීවිතයේදී දකින්නට ලැබුණු සිද්ධියක් තමයි කතාවට තේමා වුණේ.

විශ්වවිද්‍යාලයෙදි අප අත්දුටු සත්‍ය කතාන්දර තමයි මේ කතාව පොෂණය කළේ. ඒ අතීතය අති සුන්දරයි.

ඒ කාලෙ මුදල් පිළිබඳ හැඟීමක් අපට තිබුණේම නැහැ.

හැමෝම එකතු වෙලා සාර්ථක නිරමාණයක් බිහි කිරීම තමයි අරමුණ බවට පත් වුණේ. අදටත් මුදලට වඩා මා හිතන්නේ හොඳ නිර්මාණයක් බිහි කරන්න.

* මේ ප්‍රදර්ශනයේ ඔබේ අරමුණ කුමක්ද?

මෙහෙමයි, මට වාණිජ අරමුණක් නැහැ. මේ ප්‍රදර්ශනය නරඹන කෙනෙක් තෘප්තිමත් වෙනවා නම් එය මට සතුටක්.

කවරකු හෝ මේ හරහා දැනුමක් එක් කරගන්නවා නම් එය මට තෘප්තියක්. ඒ දැනුම සතුට ලබාගන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.