මේ උයන් තෙරේ මේ ගුරු පාරේ ඔබේ සිනා මට තවම ඇසේ
මේ උයන් තෙරේ
මේ ගුරු පාරේ
ඔබේ සිනා මට තවම ඇසේ
නිර්මලා රණතුංග
“විශාරද නිර්මලා රණතුංග.” කලා පවුලකින් කලාවට පිවිසුණු තවත් කාන්තාවකි. දිගු කලක් සංගීත ගුරුවරියක් හා
ගායිකාවක් ලෙස රසිකයන් ඉදිරියට පැමිණි ඕ මේ වනතෙක් කිසිදු ඒක පුද්ගල ගී ප්‍රසංගයක්
පවත්වා නොමැත. මේ මස 05 වැනිදා සවස 6.30ට කොළඹ ආනන්දයේ කුලරත්න ශාලාවේ පැවැත්වීමට
නියමිත ‘මේ උයන්තෙරේ’ නම් ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය පැවැත් වෙන්නේ දිගු කාලයක
පටන් ඇගේ සිතේ තිබුණු සිහිනයක් සැබෑ කරමිනි. මේ ඒ පිළිබඳ කළ සාකච්ඡාවකි.
* මෙපමණ කාලයක් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් නොපැවැත් වූයේ ඇයි?
ළමයින්ට ඉගැන්වීම් කටයුතු, තරගවල විනිශ්චය මණ්ඩලවල සිටීම ආදී විවිධ කරුණු කාරණාවල
නියැළී සිටි මට ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන්නට නොහැකි වුණා. ඒ වගේම ඒකපුද්ගල
ප්‍රසංගයක් තබන්නට තරම් උවමනාවක් මට තිබුණේත් නැහැ. ඒත් මගේ රසික රසිකාවන් පසුගිය
කාලයේ දිගින් දිගටම මට නිතරම දුරකථනයෙන් කතා කරලා මාව දිරිමත් කළා. එතනදී ඔවුන්
විමසුවේ ඔයාගේ ගීත දැන් අපට අහන්න ලැබෙන්නේ නැහැ. ඇයි දැන්වත් ඒක පුද්ගල ප්‍රසංගයක්
කරන්නේ නැත්තේ කියලා. ඔන්න ඒ අදහස මගේ සිතට බොහොම තදින් කා වැදුණා.
දුවන්නන් වාලේ
දුවන්නේ නැතිව බොහොම හෙමින් ආව මේ ගමනේ සංගීතයේ සෑම අංශයෙන්ම මා පොහොසත් නේද කියන
හැඟීම මගේ සිතේ ඇති වුණේ රසිකයන්ගේ මේ ඉල්ලීමත් සමඟයි. මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක්
කරන්න හොඳම කාලය මේ කාලය කියලා මා තීරණයකට ආවා. මගේ තීරණය පිළිබඳ මනරම් මීඩියා
සොලූෂන් ආයතනයේ රාජිත මනරම් හා සමිත ට කිව්වාට පස්සේ ඔවුන් ඒ කටයුත්ත භාරගත්තේ
බොහොම කැමැත්තෙන්. එවැනි භාරදූර කටයුත්තකට මුල පිරීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තූති
කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. එදිනට සංගීතය සපයන්නේ මගේ මල්ලී මනෝජ් පීරිස්.
කථනයට මා කතා කළේ කැළුම් ශ්‍රීමාල්ට. ඔහු ඒක භාර ගත්තේ කිසිම දෙයක් විමසන්නේ
නැතිවමයි.
යුග ගී ගායනා කිහිපයක් ප්‍රසංගයට ඇතුළත් නිසා වික්ටර් අයියාට, එඩ්වඩ්
ජයකොඩි, බණ්ඩාර අතාවුද, ලක්ෂ්මන් විජේසේකර, මගේ දුව සෙව්වන්දිටත් මා ආරාධනා කළා. ඒ
අය මේ කටයුත්ත අගය කරමින් ඊට උපරිම සහයෝගය දක්වන බවත් පැවසුවා. ඒ නිසා “මේ
උයන්තෙරේ” ප්‍රසංගය එදිනට සොඳුරු ප්‍රසංගයක් වේවි කියලා මා සිතනවා.
* අනෙක් ප්‍රසංග වගේ ‘මේ උයන්තෙරේ’ ප්‍රසංගය සඳහා නර්තනාංග ඇතුළත්ද?
ඒ කිසිම දෙයක් සිදු වන්නේ නෑ. අනෙක් එක ඒකට මම කැමැති නැහැ. මට අපූරු කටහඬක්
තියෙනවා. මගේ කටහඬ ගැන මට තිබෙන්නේ උපරිම විශ්වාසයක්. රසිකයන් ප්‍රසංගයට පැමිණෙන්නේ
මගේ කටහඬ අහන්න. ඒ නිසා සම්පූර්ණයෙන්ම මගේ ගීත විතරක් එදිනට හැමෝටම අසන්නට ලැබේවි.
* එදිනට සී.ඩී. පටයක් නිකුත්වීමක් සිදු වෙනවාද?
සී.ඩී.පටයක් නිකුත් වෙන්නේ නැහැ. කලින් නම් මගේ සිතේ තිබුණේ ඩී.වී.ඩී පටයක්
කරන්නයි. ඒ සඳහා මට තිබුණු කාලය අඩුයි. ඒත් මා කරන දේ හරියටම කළ යුතු නිසා ඒ අදහස
අතෑරලා ප්‍රසංගයට පමණක් සූදානම් වීමට තීරණය කළා. ඉදිරියේදි ඊට කාලය වෙන්කර ගැනීමටයි
සිතාගෙන සිටින්නේ. ඒ වගේම එදාට ප්‍රසංගයේ ගීත අහන්න මගේ රසික –රසිකාවන් පැමිණේවි
කියලා මා විශ්වාස කරනවා. මේ මගේ ප්‍රසංගයේ ගීත අහන්න ආනන්දයේ කුලරත්න ශාලාවට එන්න
කියලත් මා ඔවුන්ට ආරාධනා කරනවා.
* “මේ උයන්තෙරේ” නමින් ප්‍රසංගය නම් කිරීමට විශේෂ හේතුවක් තිබුණාද?
බොහෝ දෙනා මාව හඳුනාගත්තේ මේ ගීතයෙන් නිසා මම ප්‍රසංගය නම් කළේත් ඒ නමින්. මගේ පළමු
කැසට් පටයත් නිකුත් වුණේත් මේ නමින්. ඒ නිසා ඒ නම ප්‍රසංගයට වඩාත් සුදුසු යැයි මා
සිතුවා. ප්‍රසංගය සඳහා මා ‘සිනා සපිරි සඳ දුර’, ‘ගලන ගලන දොළපාරේ’, ‘එදා ඔබ මෙන්’,
‘මේ කෘර ලෝකෝ’, ‘සිනා මල් ගොඩක්’, ‘ඔබ මට තරුවකි’ කියන ජනප්‍රිය ගීත තෝරා ගත්තා.
මෑත කාලයේ මා බණ්ඩාර අතාවුද සමඟ ගැයූ ‘සුපෙම් සුවයක් පතා’ කියන ගීතයත් ප්‍රසංගයට
ඇතුළත්. මේ වගේ ජනප්‍රිය ගීත විසි දෙකක් එදිනට ගැයෙනවා. එහිදී මා වැඩිපුරම ගයන්නේ
කලින් මා ගැයූ පැරණි ගීත වීමත් විශේෂත්වයක්.
* සංගීත ගුරුවරියක් ලෙස ගෙවන ජීවිතය තෘප්තිමත්ද?
මා සංගීතයේ අ යන්න ආ යන්න කියන්නේ සනත් අයියගෙන්. ඊට පස්සේ බී වික්ටර් පෙරේරා හා
ප්‍රේමදාස මුදුන්කොටුව කියන ගුරුවරුන්ගෙන් සංගීතය හදාරනවා. ඒ හැදෑරීම්වලින් පස්සේ
පළමුවෙන්ම මට දුර පළාතකට සංගීත ගුරුවරියක් ලෙසට පත්වීමක් ලැබෙනවා. ඒත් ඒ පත්වීම භාර
ගන්නවට මගේ මහත්තයා කැමැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අදහස අත්හරින්න මට සිදුවුණා. මගේ
දැනුම බෙදා දෙන්න මට තිබුණු බලවත් උවමනාව නිසාම මම සංගීත පන්ති පටන් ගත්තේ මගේ
ගෙදරමයි. ඒ එක ළමයකුගෙන්. ඒ ආරම්භය අද වන විට ළමයි දහස් ගණනක් දක්වා ව්‍යාප්ත වෙලා
තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ සියලුදෙනාම විභාගවලින් ඉහළින්ම සමත්. එයයි මට තිබෙන එකම
සතුට වන්නේ. මේ නිසා මගේ කාලයෙන් වැඩිම ප්‍රමාණයක් වෙන් වෙන්නේ ඔවුන්ගේ ඉගැන්වීම්
කටයුතු සඳහායි. මේ ළමයින් සමඟ වගේම ඔවුන්ගේ මව්පියන් සමඟ තිබෙන බැඳීමත් ඒ වගේමයි.
* ඔබ සංගීතයට වගේම නර්තනයටත් හපන්නියක්.
මුලින් මා ඉගෙන ගත්තේ පියානෝ වාදනයයි. ඊට පස්සෙයි මා නර්තනය පිළිබඳ ඉගෙන ගන්න යොමු
වන්නේ. එහිදී මා හැදෑරුවේ උඩරට නර්තනයයි. නර්තනයට තිබුණු ඒ කැමැත්ත කොයිතරම් ද
කිව්වොත් මම දක්ෂ ලෙස නර්තනයේ යෙදුණු බව බොහෝ දෙනෙක් පැවසුවා. ඒ මගේ දක්ෂකම දැක්ක
තාත්තා සිතුවේ කවදාහරි මම නවතින්නේ තර්නත ශිල්පිනියක් වී බවයි. ඒ සියලු කටයුතුවලට
මට තිත තියන්න සිද්ධ වුණේ විවාහයත් සමඟයි. උසස් පෙළ ලියපු ගමන්ම විවාහ වුණ නිසා මගේ
මහත්තයා මා නර්තනයෙහි යෙදෙනවාට කැමැති වුණේ නැහැ. නමුත් ඔහු සංගීත කටයුතුවල
යෙදෙනවාට අකැමැති වුණේ නැහැ. ඉන් පසුවයි මා සංගීතයෙන් දිගු ගමනක නිරතවීම ආරම්භ
කරන්නේ.
* ඔබගේ පවුල් පසුබිමත් ඊට බලපෑවාද?
පවුල් පසුබිමටත් වඩා මට ගායන ශිල්පිනියක් ලෙස ඉදිරියට පැමිණීමට බලපෑවේ ගුවන්
විදුලියේ ළමා පිටියට පිවිසීමයයි මා සිතනවා. ඒ සඳහා මූලික පසුබිම නිර්මාණය වෙන්නේ
කුඩා කාලයේදීමයි. මගේ දක්ෂතාවය වර්ධනය වීමට බලපෑ එමෙන්ම මගේ නර්තනය, ගායනය හා රඟපෑම
ගැන බොහෝදෙනා කතා කළ ගීත නාටකයක් මතකයට නැගෙන්නේ මේ අතරදියි. එය නන්දා මාලිනියන්
මූලික වී කළ ‘රුවැති ළඳක්’ ගීත නාටකයයි. එහි ප්‍රධාන චරිතයට මා තෝරාගත් අතරම ගීත
නාටකය අවසානයේ මගේ දක්ෂතා පිළිබඳ පුවත්පත්වල පවා ලිපි ලියැවුණා. ඊටත් පසුව සරල ගී
පරීක්ෂණය සමත් වන මම වික්ටර් රත්නායකයන් සමඟ යුග ගීයක් ගයන්නටත් අවස්ථාව හිමි
වෙනවා. ඒ අවස්ථාව මා සලකන්නේ මගේ ගායන ජීවිතයේදී මට ලැබුණු සුවිශේෂී වරමක් ලෙසයි.
ඉන් පස්සේ වික්ටර් අයියා සමඟ ගැයූ ‘අඹ ගස් යට මල් හැලිලා’ ගීතය බොහෝ ජනප්‍රිය වුණා.
මේ වන විට චිත්‍රපට, ටෙලිනා්‍ය කිහිපයකටම ගී ගයා ඇති මම ‘ගුරු ගෙදර’ චිත්‍රපටයේදී
ගැයූ ‘මගේ මන්ද්‍රි නම් බිසෝ’ ගීතය සඳහා ස්වර්ණ සංඛ සම්මාන උළෙලේදී හොඳම ගායනයට
හිමි සම්මානයත් හිමිකර ගන්නවා.
* විජේරත්න රණතුංග කියන ඔබගේ සැමියා පිළිබඳ මතකය අවදි නොකළහොත් අඩුවක් වගේ දැනෙනු
නියතයි.
ඔහුගේ යෝධ සෙවණැල්ල මගේ ජීවිතයට අරගෙන ආවේ ආලෝකයක්. මාව උනන්දු කරලා මෙතනට ගෙනාවේ
ඔහුයි. එහෙම නැතුව බිරියගේම භූමිකාවේ විතරක් සිටියා නම් මම තවමත් එතනමයි. මට මතකයි
ඔහු අසනීපයෙන් සිටි කාලයේදී මා මගේ පන්ති නැවැත් වූ බව දැන ගත්තාට පස්සේ, නැවතත්
ඒවා ආරම්භ කරන්න කියලා මට බල කළ විදිය. ඔහු මිය යන්නට මාස හයකට පෙර මාත් සමඟ ඒක
පුද්ගල ගී ප්‍රසංගයක් කරන්නයි අපි දෙන්නාම සූදානම් වෙලා හිටියේ. ඒත් ඒ ආදරණීයයා මාව
දාලා ගියා. අදත් මේ විදියට නැගිටලා ඉන්නට මට හැකියාව ලැබිලා තියෙන්නේ ඔහුගේ වචනයයි.
ඔහුගේ වචනය ගරු කිරීමක් විදියට මම අදත් පන්ති පවත්වනවා. මේ සෑම අවස්ථාවකම මා ඔහුව
සිහිපත් කරනවා. අද මා මේ ඒක පුද්ගල ගී ප්‍රසංගය කියන පියවර තියන්නේත් ඔහුව සිහිපත්
කරමින්.
* ඔබ දෙපළගෙන් පස්සේ මේ පරපුර පවත්වාගෙන යන්නේ දුවද පුතාද?
දුව සෙව්වන්දි වගේම පුතා නුවන් හැඳුණේ වැඩුණේ සංගීතය තිබුණු පරිසරයක නිසා ඒ අයට
සංගීතය ඉගෙන ගන්න වැඩිය උවමනාවක් තිබුණේ නැහැ. නමුත් පුතාට හොඳට තබ්ලාව වාදනය කරන්න
පුළුවන්. දුව මේ වනවිටත් සංගීතය පිළිබඳ හදාරනවා. ඉදිරියේදී මගෙන් පස්සේ ඈ එය
ඉදිරියටම රැගෙන යාවි කියලා මා විශ්වාස කරනවා. දුවගේ වගේම පුතාගේත් දරුවන් වුණු
පද්‍යා, යසඳු, රුසර කියන මගේ මුනුබුරු මිනිබිරියන්ටත් දක්ෂතා එමටයි. ඔවුන් ගයන්න
වගේම නටන්නත් දක්ෂයි.
තිලානි ශානිකා විතානාච්චි
|